පන්සලයි-පාර්ලිමේන්තුවයි


ඉතාලිය කතෝලික රටක් බැවින් මෙහි පල්ලි හිඟ නැත. පසුගිය වසර තිහක කාලය තුළ විවිධ රටවල පුරවැසියන් මුදල් සොයා ඉතාලියට ඒමත් සමඟම තම තමන්ගේ ආගම් ඇදහීම සඳහා සිද්ධස්ථානද මෙහි බිහිවෙන්නට විය. මේ අනුව මුස්ලිම් පල්ලිද හින්දු කෝවිල්ද බෞද්ධ පන්සල්ද දැන් මෙහි අඩුවක් නැත. මීට වසර කීපයකට පෙර සිහිනෙන්වත් නොසිතූ ලෙස අද පන්සලකට ගොස් බුදුන් වැඳීමට මඟ පෑදී තිබීම බෞද්ධ අප ලද භාග්‍යයකි.  


වසර විස්සකට පමණ පෙර රෝම නගරයේ ඇරැඹුණ එකම බෞද්ධ පන්සල මේ වනවිට පන්සල් තුන හතරක් බවට පත්ව ඇත. පන්සලේ දායකයන් අතර ඇතිවූ භේද භින්නද, සංඝයා අතර ඇතිවූ විවිධ ආරවුල් හා අමනාපකම්ද රෝමයේ පන්සල් සංඛ්‍යාව වර්ධනයට හේතුවූ නිසා මිස රෝමයේ බෞද්ධ අපට එක පන්සලක ඉඩකඩ මදි වූවා නොවේ.  


අපේ පන්සල අරුංගේ පන්සල යයි දැන් මෙහි වර්ගීකරණයක් සිදුවී හමාරය. කොයි පන්සලේ දායකයා වෙම්ද යන්න දැන් රෝමයේ බෞද්ධයාට ප්‍රශ්නයකි. සියලුම බෞද්ධයන් විසින් අදහනු ලබන්නේ බුදුන් විසින් දේශනා කළ එකම ධර්මය නම් මෙවන් භේදයක් කුමකටද? මෙහිදී සිහියට නැගෙන්නේ ශ්‍රී ලංකාවේ දේශපාපලන පක්ෂ අතර ඇති ගැටුමය. අපේ පක්ෂයේ සියල්ල හොඳය. අනික් පක්ෂයේ සියල්ලම වැරැදිය. මේ පක්ෂයේ හිටි එකා හෙට අනික් පැත්තේය. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා දේශපාලන පක්ෂ ලේබල් අලවාගෙන ඇති සැටියෙන්ම මෙහිද පන්සල් ලේබල් අලවා ගත්තෝ එමටය. මොවුන් විසින් අදහනු ලබන්නේ බුදුන් වදාළ ධර්මය ද නැත්නම් පන්සල් ගොඩනැගිල්ල දැයි මට නම් තේරෙන්නේ නැත.  

පන්සලේදී පොඩ්ඩ වරදින්නට බැරිය. භේද වීමට වරදින එක වචනයක් වුවද ප්‍රමාණවත්ය. භේද වූ දායකයා කොහේ හෝ පන්සලක් අටවා ගනී. මේ කිසිම පන්සලක ස්ථිර නේවාසික සංඝයා වහන්සේලා දෙනමක් නැත. සංඝයා වහන්සේලා දෙනමකට මෙහි එකම ආවාසයක සහජීවනයෙන් වැඩ සිටීමට බැරිද යන්න සැකයකි.  


ඡන්ද ඉල්ලා වැද වැටෙන අපේක්ෂකයා පාර්ලිමේන්තුවට ගිය පසු සිදුවෙන විපර්යාසය සිහිපත් කරවමින් මෙහි පන්සල් භාරකාරත්වයට පත් කරගනු ලබන ඇතැම් සංඝයා වහන්සේලාටද පසු කාලීනව සදාචාරාත්මක ප්‍රශ්නයන්ය. පන්සලේ මුදල් අපහරණය කළා කියන චෝදනාවන්ය. මේ අතරම මෙවන් චෝදනා ලබන භික්ෂූන් ආරක්ෂා කර ගන්නා පිරිස්ද වෙති. දායකයන් අතර මේ බෙදීම යනු තවත් පන්සලක පටන් ගැන්මය. මෙතැනත් ලංකාවේ පාර්ලිමේන්තුවෙත් වෙනසක් නැත. මෙහි අවසන් ප්‍රතිඵලය වෙන්නේ සැදැහැවත් බෞද්ධයා තුළ කලකිරීමක් ඇතිවීමය.  


විශේෂ ආගමික කටයුතු සඳහා හෝ සංචාරය සඳහා හෝ මෙම පන්සල්වලට ශ්‍රී ලංකාවේ සිට වැඩම කරනු ලබන ඇතැම් සංඝයා වහන්සේලාගේ ක්‍රියාකාරකම්ද සැදැහැවත් බෞද්ධයා කලකිරීමට පත් කරයි. සංඝයාට ඉහළම සත්කාරය බෞද්ධ අපේ සංස්කෘතියයි. මෙම ඉහළම සත්කාරය දී බෞද්ධයා විසින් අනුගමනය කළයුතු වත් පිළිවෙත් ද ඇත. එමෙන්ම සංඝයා වහන්සේලාටද කැප කිරීම් ඇති බව ද සිහිකරගත යුතුය. පසුගිය ජුලි මස මැද තරම ශ්‍රී ලංකාවේ සිට මෙහි වැඩම කළ හිමි නමක් රෝමයේ විහාරාධිපති හිමි නමක සමඟින් ආපන ශාලාවකින් විකාල භෝජනය සඳහා ‘ඌරු මස් ඩෙවල් සමඟ ඉඳි ආප්පද, සුරාමේසය සඳහා බෝතලයක්ද ලබාගත් බව රෝමයේ දැන් ප්‍රසිද්ධ රහසකි. මේවා සැදැහැවත් බෞද්ධ සිත්වලට තැවුලක්ය.  


රෝමයේ වේවා, වෙනත් තැනක වේවා බෞද්ධ බැතිමතුන්ගේත්, සංඝයා වහන්සේලාගේත් අරමුණ විය යුත්තේ නිවන් මගට සිත දියුණු කර ගැනීම මෙන්ම ලොවට ආදර්ශයක් වීමය. පන්සල් හැදීමේ මෙන්ම සංඝයා නඩත්තුවේද අරමුණ එයයි. සංඝයා වහන්සේලාගෙන් සහ දායකයන්ගෙන් එය ඉටු නොවෙන කල සැදැහැවත් දායකයාට පන්සල එපා වෙයි. මෙම සැබෑ තත්ත්වය පෙන්වාදීම අකුසලයක් නොව ශාසනික සේවයකි. මෙය ලියන ලද්දේ එම සේවාව ඉටු කිරීමටය.  

 

 

 

 

හංසිනී  - රෝමය