ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් තවමත් රෝහලේය. 88 හැවිරිදි පාප්තුමන් පෙණහලු ආසාදනයක් හේතුවෙන් රෝමයේ ගැමේලි රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය ආදරවන්තයන්ගේ දිනයේ - එනම් පෙබරවාරි 14 වැනිදාය. රෝහල්ගත කළ පාප්තුමන්ගේ පෙණහලු ආසාදනය උත්සන්න විය. තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය නො සඟවා හෙළි කරන්නැයි පාප්තුමන් වතිකානයට දැනුම් දී තිබුණු අතර, සති ගණනක් තිස්සේ වතිකානයෙන් අසන්න ලැබුණේ ‘පාප්තුමන්ට අමාරුයි’ යන්න පමණි. පෙණහලු ආසාදනය නිවුමෝනියා තත්ත්වයකට පෙරළුණු අතර, වකුගඩු ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද ගැටලු මතුවිය. ලොව පුරා කිතුනු බැතිමත්හු යාච්ඤා කරන්න පටන් ගත්හ. මේ වනවිට පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් යහපත් අතට හැරී ඇත. වතිකානය මේ බව පැවැසුවේ, රෝහල් කාමරයේ සිටින පාප්තුමන්ගේ ඡායාරූපයක් ද ප්‍රසිද්ධ කරමිනි.
ෆ්‍රැන්සිස් පාප්තුමන් ලෙස පාප් ධුරයට පත් වී සිටින්නේ, ආජන්ටිනාවේ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ ය. ආජෙන්ටිනාව ලතින් ඇමෙරිකාවට අයත් විශාලතම රාජ්‍යයයි. සෙසු ලතින් ඇමෙරිකා රටවල මෙන්ම ආජන්ටිනාවේ ද බහුතරය කතෝලිකය. එපමණක් නොව, ඔවුන්ගෙන් බහුතරය දිළින්දන් ය.
1936 දෙසැම්බර් 17 වැනිදා උපත ලැබූ බර්ගොග්ලියෝ, සැබෑ කිතුනුවෙකු බව අවිවාදයෙන් පිළිගත යුතුය. එතුමා රසායන තාක්ෂණ ශිල්පියෙකි. රසායන විද්‍යා උපාධිධරයකු මෙන්ම සාහිත්‍යය සහ මනෝ විද්‍යාව පිළිබඳ හසළ දැනුමක් ඇත්තෙකි. තරුණ වියේදී එතුමා රාත්‍රී සමාජ ශාලාවල කලහකාරීව හැසිරෙන පිරිස් බෙල්ලෙන් අල්ලා එළියට ඇද දමන ‘බවුන්සරයෙක්‘ විය. කෙමෙන් කෙමෙන් ආගමට නැඹුරු වූ එතුමා පූජකවරයකු බවට පත් වූයේ 1969 වසරේදී ය. එතුමා 1998 දී බූනෝස් අයර්ස් හි අගරදගුරු ලෙසත්, 2001 වසරේ පෙබරවාරි 21 වැනිදා කාදිනල් පදවියටත් පත් කරනු ලැබුවේ දෙවැනි ජුවාන් පාවුල් පාප්තුමන් විසිනි.
එතුමන් ලොව කෝටි 120 ක් පමණ වන කිතුනු බැතිමතුන් නියෝජනය කරමින්, පළමු වැනි ෆ්‍රැන්සිස් ලෙසින් පාප් ධුරයට තේරී පත්වූයේ 2013 වසරේ මාර්තු 13 වැනිදා ය. පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමන් ලෙස තමා හඳුවන්නැයි එතුමන් තීරණය කළේ, 13 වැනි සියවසේ ඉතාලියේ ෆ්රැන්සිස්කන් නිකායේ පුරෝගාමී අසීසයේ ශාන්ත ෆ්‍රැන්සිස් පාප්තුමන්ට ගරු කරමිනි. අසීසයේ ශාන්ත ෆ්‍රැන්සිස් පාප් තුමන් ද දුප්පතුන් වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙකි.
2013 වසරේ දී පාප් ධුරයට පත් වීමෙන් පසුවත්, ඊට පෙරත් දුප්පතුන් වෙනුවෙන් කැපවී කටයුතු කරන පළමු ෆ්‍රැන්සිස් පාප්තුමන් චාම් දිවි පෙවෙතක් ගත කරන්නකු ලෙස ප්රකටය. දකුණු ඇමෙරිකාවෙන්, එසේත් නැතිනම් ලතින් ඇමෙරිකානු රටකින් බිහිවූ පළමු පාප්වහන්සේ වන්නේ ද මෙතුමා ය. ඒ අනුව යුරෝපයෙන් පිට රටකින් පාප්වරයකු බිහිවීම ඓතිහාසික සිදුවීමකි.
266 වැනි පාප්තුමන් ලෙස ෆ්‍රැන්සිස් පාප්තුමන් පාප් ධුරයට පත් වූයේ ඊට පෙර පාප්තුමන්ව සිටි 16 වැනි බෙනඩික් පාප්තුමන් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් විශ්‍රාම යෑම නිසාය. සාමාන්‍යයෙන් පාප් ධුරයට කෙනකු තෝරා ගැනෙන්නේ එම ධුරයේ සිටින පාප්තුමන් ස්වර්ගස්ථ වීමෙන් දින 15 ක් තුළ දී ය. එහෙත් 16 වැනි බෙනඩික් පාප්තුමෝ එම සම්ප්රදාය කඩ කළහ. එතුමෝ ධුරයෙන් ඉල්ලා අස්වූහ. එසේ ඉල්ලා අස්වූ දෙවැනි පාප්තුමන් වන්නෝ එතුමෝ ය. මීට පෙර පාප්තුමකු ධුරයෙන් ඉල්ලා අස්වූයේ 1415 දීය. එසේ ඉල්ලා අස්වූයේ 12 වැනි ග්‍රෙගරි පාප්තුමාය.
‘පාප්’ යන වදන සිංහලට පෙරළෙන්නේ, ‘පෝප්’ යන ඉංග්‍රීසි වදනෙනි. එය ග්‍රීක වදනක් වන ’පාපා’ යන්නෙන් බිඳී ආවකි. පාපා යනු ‘පියාණන්’ය. වර්තමානයේ පාප් ධුරයට කෙනකු පත්වන්නේ කාදිනල්වරුන් ගේ ඡන්දයෙනි. මෙම කාදිනල්වරුන් පත් කරනු ලබන්නේ පාප්තුමා විසිනි. කාදිනල් ධුර සඳහා රදගුරු මෙන්ම පූජකවරුන් ද තෝරා ගැනීම සිදු කෙරෙන්නේ පාප්තුමන් විසිනි. පාප්තුමා ගේ රාජධානිය රෝමයේ වතිකානය යි. ලොව කුඩාම රාජ්‍යය ලෙස සැලකෙන්නේ ද වතිකානයයි. වතිකාන රාජ්‍යයේ නායකයා පාප්තුමාය. හෙක්ටයාර් 44 ක් පුරා විහිදෙන වතිකානය පිහිටුවනු ලැබුවේ 1929 දී ය. වතිකානයේ ජනගහනය 798 කි.
පාප්තුමෙකුගේ බොහෝ කටයුතු යම් සාම්ප්‍රදායික රටාවකට සිදුවෙයි. එය පාප්තුමෙකුගේ අභාවයකදී ඒ ආකාරයෙන්ම වෙයි. සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව පාප්තුමකු ස්වර්ගස්ථ වූ පසු රෝමයේ කාදිනල් හිමි සහ වතිකානු සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා ඉදිරියේ වතිකානයේ රාජකීය වෛද්‍යවරයා විසින් මරණය තහවුරු කරයි. පාප්තුමන්ගේ අභාවය සනිටුහන් කරමින් - වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සීනු නාද කෙරේ. සම්ප්‍රදායට අනුව පාප්තුමන්ගේ අභාවය රෝමයේ කාදිනල් හිමිපාණන් විසින් මහජනතාවට නිවේදනය කරයි. නිල වශයෙන් ශෝකය සඳහා දින නවයකි. ඒ කාලය තුළ පාප්තුමන් ගේ දේහයට ගෞරව දැක්වීමට අවස්ථාව ලබා දෙයි. අවමංගල්‍යයෙන් පසු වතිකානය නමැති ලොව කුඩා ම රාජ්‍යයට ප්‍රධානියකු මෙන්ම කතෝලික සභාවට පාප්වහන්සේ නමක් පත් කරගැනීමට කාදිනල්වරු එක් රැස් වෙති.
නව පාප්වරයෙකු තෝරා ගැනීම
නව පාප්වරයෙකු තෝරා ගැනීම සංකීර්ණ ක්‍රියාවලියකි. ඊට දායක වන්නේ ලොව පුරා සිටින කාදිනල්වරුන් 253 දෙනාය. මෙම කාදිනල් වරුන්, නැතිනම් අපේක්ෂකයන් අතරේ පැවැත්වෙන ඡන්ද විමසුම ‘කොන්ක්ලේව්’ යනුවෙන් හැඳින්වෙයි. ඡන්ද විමසුම, සිස්ටයින් දේවස්ථානයේ සිදුවෙයි.
වයස අවුරුදු 80 වැඩි කාදිනල්වරුන්ට පාප් ධුරයට ඉදිරිපත් විය නොහැකි නමුත් - නව පාප්වරයකු තෝරා ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කළ හැකිය. පාප් ධුරයට තෝරා ගැනෙන්නේ අවුරුදු 80 අඩු කාදිනල්වරුන් ගෙන් කෙනෙකි. කාදිනල්වරුන් අතරින් මීළඟ පාප්තුමන් කවුරුන්දැයි යන්න කිසිසේත් කල්තියා පැවැසිය නොහැකිය. එසේ නමුත් අනුමාන කිරීම් කළ හැකිය. එවැනි අනුමාන කිරීම් අනුව ඇමෙරිකන් වෙබ් අඩවි මීළඟ පාප් ධුරයට සුදුසු යැයි අනුමාන කරමින් කාදිනල්තුමන්ලා කීප දෙනෙකු ගැන විස්තර පළ කර ඇත.
කාදිනල් පියෙට්‍රෝ පැරොලින් (70) - ඉතාලිය
කාදිනල් පියෙට්‍රෝ පැරොලින්
පියෙට්‍රෝ පැරොලින් වතිකානු රාජ්‍ය ලේකම් ලෙස ද සේවය කරයි. ඔහු පසුගිය වසර 11 පුරා එම තනතුරේ සේවය කර ඇති අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමග සමීප සබඳතාවක් වර්ධනය කර ගෙන ඇත.
කාදිනල් ෆ්‍රිඩොලින් ඇම්බොන්ගෝ බෙසුන්ගු(65) - මැඩගස්කරය
කාදිනල් ෆ්‍රිඩොලින් ඇම්බොන්ගෝ
ෆ්‍රිඩොලින් ඇම්බොන්ගෝ බෙසුන්ගු අප්‍රිකාවේ සහ මැඩගස්කරයේ එපිස්කෝපල් සම්මේලන සම්මන්ත්‍රණය නියෝජනය කරයි. මොහු කතෝලික පල්ලියේ වඩාත් ගතානුගතික හඬක් වන අතර, පූජකයන්ට සමලිංගික සහ අවිවාහක ජෝඩුවලට ආශිර්වාද කිරීමට ඉඩ දුන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ෆිඩූසියා ඉල්ලුම්කරුවන් ගේ මූලධර්මයට ප්‍රසිද්ධියේ විරුද්ධව කටයුතු කර ඇත.
67 හැවිරිදි - කාදිනල් ලුවී ඇන්ටෝනියෝ ටැග්ල් - පිලිපීනය
කාදිනල් ලුවී ඇන්ටෝනියෝ
ලුයිස් ඇන්ටෝනියෝ ටැගල් ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සමාන අදහස් ඇති අයෙකි. මොහු සමරිසි පුද්ගලයින්ට සැලකීම සහ දික්කසාද වූ සහ නැවත විවාහ වූ කතෝලිකයන් වැනි ගැටලු සම්බන්ධයෙන් පල්ලියේ ස්ථාවරය විවේචනය කරයි. මොහු වතිකානයේ විවිධ භූමිකාවන් ඉටු කරන කැපී පෙනෙන චරිතයකි.
කාදිනල් රේමන්ඩ් බර්ක්(76)- ඇමෙරිකාව
කාදිනල් රේමන්ඩ් බර්ක්
පාප්තුමාගේ අපේක්ෂක ලැයිස්තුවේ සිටින ප්‍රමුඛතම ඇමෙරිකන් කාදිනල්වරයා වන්නේ රේමන්ඩ් බර්ක් ය. මොහු ගතානුගතික අදහස් සඳහා සහ ලතින් දිව්‍ය පූජාවේ යෝජකයෙකු ලෙස ප්‍රසිද්ධය. දික්කසාද වූ සහ නැවත විවාහ වූ යුවපතීන්ට දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගැනීමට ඉඩ දීම ඇතුළුව ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විවිධ පියවරවලට මොහු විරුද්ධ වී ඇත.
ලුසිත ජයමාන්න
ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි