ප්‍රවීණයන්ගේ ලෝක මළල ක්‍රීඩා උළෙලට සහභාගි වූ ක්‍රීඩිකාවන් පැරිසියට පැමිණි දා


 

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයට අනුබද්ධව වර්ෂ දෙකකට වරක් වයස අවුරුදු 35ට වැඩි ප්‍රවීණයන්ගේ ලෝක මලල ක්‍රීඩා උත්සවයක් විවිධ රටවල පවත්වනු ලැබේ. වර්ෂ 2016 දී ඉහත උත්සවය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වූ අතර වර්ෂ 2020 දී කැනඩාවේ ටොරාන්ටෝ නුවරදී පැවැත්වීමට කටයුතු යොද‌ා ඇත්තේය.   


මෙවර මෙම උත්සවය ස්පාඤ්ඤයේ මලගා නගරයේ ක්‍රීඩා පිටි හතරකදී සැප්තැම්බර් මස 05 වැනිද‌ා සිට 16 වැනිද‌ා දක්වා පැවැත්වූයේය. ලෝකයේ විවිධ රටවල් 82ක 8000ක් පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවර උත්සවයට සහභාගිවූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවෝ හය දෙනෙක් මෙම උත්සවයේ විවිධ ඉසව් සඳහා තරග බිමට පැමිණ සිටියහ. ඔවුන් සහභාගිවූ තරග ඉසව්වලින් ප්‍රධාන ස්ථාන සඳහා ජයග්‍රහණ ලබා ගැනීමට නොහැකි වුවද එම සංචාරයේදී සතුටුද‌ායක ප්‍රථිපල නෙළා ගැනීමට හැකිවීමෙන් ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් ලබාදීමට හැකිවූ බව අතිශෝක්තියක් නොවන බව ඔවුහු පැවසූහ. මෙම මලල ක්‍රීඩා උත්සවයට සහභාගි වූ ශ්‍රී ලාංකික ප්‍රවීණ ක්‍රීඩිකාවන් ලංකාවේදී පැවැත්වූ තෝරාගැනීමේ මූලික තරග මලාවකින් පසු අවසාන වශයෙන් ක්‍රීඩිකාවන් හය දෙනෙකු ඉහත උත්සවය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබුවෝය.   


ඔවුන් අතරින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන නන්දනී අතාවුද මීටර් 2000 බාධක දිවීමේ තරගයට සහභාගි වූවාය. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සේවයේ නියුතු රමණී ගුණසේකර හා ශීලා ජයසිංහ තුන් පිම්ම ඉසව්වට සහභාගි වෙමින් පිළිවෙළින් 13 වැනි හා 10 වැනි ස්ථාන හිමි කර ගත්තෝය. ඛනිජ තෙල් සංස්ථාවේ සේවය කරන මාතාංජනී පෙරේරා මීටර් 5000 ඇවිදීමේ තරගයට සහභාගි වෙමින් 14 වැනි ස්ථානය හිමිකර ගත්තාය. ලංකා විදුලිබල මණ්ඩලයේ ඩී.ඩබ්ලිව්.සී.එම්. නිශාන්ති මීටර් 200 තරගයට සහභාගි වූවාය. වයස අවුරුදු 60 වැඩි කාන්තා කඩුලු පැනීමේ ඉසව්වේ මේ දක්වා ශ්‍රී ලංකා වාර්තාව හිමි විශ්‍රාමික ගුරු කේ.ඩී. කාන්ති දුර පැනීමේ ඉසව්වෙන් 18 වැනි ස්ථානය හිමි කර ගත්තාය. උත්සවයට සහභාගි වූ මොවුන් පැරීසියේ සිරි නරඹමින් ඩිස්නිලන්තයට පැමිණි අවස්ථාවේ මා මුණ ගැසුනේය. එහිදී ඔවුන් හා දොඩමළු වෙමින් ඔවුන්ගේ සංචාරයේ විස්තර දැනගැනීමට මග පෑදුනේය.   


* මෙම උත්සවයට සහභාගි වීමට ඔයාලා මලල ක්‍රීඩා අංශයේ සුවිශේෂී දස්කම් දක්වල තියෙනවද? 

 
මම ඔවුන්ගෙන් ප්‍රශ්නයක් ඇසුවෙමි.   


අපි ඔක්කොම දක්ෂ මලල ක්‍රීඩිකාවෝ තමයි. අපි පොඩි කාලේ පාසලේ ඉඳල මලල ක්‍රීඩා කරපු අය. අපි කරන රැකියා පවා අපට ලැබී තිබෙන්නේ අපේ එම හැකියාවන් නිසයි. ලංකාවේ පැවති තෝරා ගැනීමේ මූලික තරග මලාවකින් පසුවයි ස්පාඤ්ඤයේ පැවති මෙම මලල ක්‍රීඩා උත්සවයට සහභාගි වීමට අපට අවස්ථාව ලැබුණේ.   


* ඔයාගේ නම කොහොමද?   


මම මතාංජනී පෙරේරා ඛනිජ තෙල් සංස්ථාවේ සේවය කරන්නේ. පාසල් ගියේ කිරිබත්ගොඩ විහාර මහා දේවි විදුහලට. ආදි ලෙස සියල්ලෝ හඳුන්වා දුන්නෝය. විශ්‍රමික ගුරු කේ.ඩී. කාන්ති කරන්දෙණිය මැදි මහ විදුහල, ලංකා විදුලි බල මණ්ඩලයේ ඩී.ඩබ්ලිව්.සී.එම්. නිශාන්ති මහනුවර උසස් බාලිකා විදුහල, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රමණී ගුණසේකර සහ ශිලා ජයසිංහ පිළිවෙළින් විජේරිය සුමන මහා විදුහල සහ කිරිඳිවැල මැදි මහ විදුහල, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නන්දනී   


අතාවුද මිරීගම ඩී.ඇස් සේනානායක විදුහල ලෙස එකිනෙකා හඳුන්වා දුන්නෝය.   


* ඔයාලට මෙම උත්සවයට එන්න ආණ්ඩුවද වියදම් කළේ? මම ඔවුන්ගෙන් ඇසුවෙමි.   


අපෝ නැහැ. සියලු දෙනාම එක හඬින් පිළතුරු දුන්නෝය. 

 
* එහෙනම් කොහොමද?   


අපි අතින් වියදම් කරගෙනයි ආවේ. මට නම් ආයතනයෙන් සුළු මුදලක් ලැබුණා. කෙනෙක් කීවාය. එම වාසනාව ඔවුන් අතරින් තිදෙනෙකුට පමණි. එනමුදු ඔවුන්ද සංචාරය සඳහා ගුවන් ටිකට් ලබා ගැනීමට තම පසුම්බියෙන් වියදම් කර ඇත්තාහ. එහෙම වුණාට ඕවා පත්තරවලට ලියන්න අවශ්‍ය නැතැයි ඔවුන් කීවෝය.   


ඒ මන්දැයි මම විමසීය.   


අපි රටට අගෞරවයක් කරන්න හොඳ නැහැනේ. එක් කාන්තාවක් පිළිතුරු දුන්නාය. එම පිළිතුර ඇසීමෙන්; කලකට පසු රටට ආදරය කරන කාන්තාවන් පිරිසක් මුණගැසීමට ලැබීම ගැන මම සතුටට පත්වුනෙමි. තමන්ට ලැබෙන සොච්චම් වැටුපෙන් ඉතුරුකරගත් මුදලින් වියදම් කරගෙන තම රටට කීර්තියක් ලබා දීමට පැමිණි එම කාන්තාවන්ට මම ස්තුති කළෙමි.   


සමහරක් රටවලින් පැමිණි ක්‍රීඩකයන් සඳහා පුහුණුකරුවන් හා වෛද්‍ය නිලධාරීන්ද පැමිණ සිටිය බවත් එනමුදු අපට ඒ කිසිවෙක් නොසිටි බවත් ඔවුන් සිනාසෙමින් කීවෝය. එම රටවල් හා අපේ රට අතර වෙනස කතා කිරීමට එය මාතෘකාවක් වුයෙන් යුරෝපය හා ලංකාව ගැන බොහෝ අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට එය අවස්ථාවක් කර ගත්තේය. ඉන්පසු ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර සාපේක්ෂක වෙනස්කම් ගැන විස්තර කරන අතරතුර ඔවුන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ප්‍රංශයේ හා ලංකාවේ ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව සාපේක්ෂක වෙනස්කම් ගැන පැහැදිලි කිරීමක් කළේය.   


ලෝකයේ අන්තවාදී මුස්ලිම් කණ්ඩායම්වල ප්‍රධාන ඉලක්ක බවට පත්ව ඇති රාජ්‍ය නායකයන් අතර ප්‍රංශ ජනාධිපති තුන් වැන්නාය. පිළිවෙළින් ඇමෙරිකානු ජනාධිපති හා ඊශ්‍රායල් අගමැති පළමු හා දෙවැන්නාය. එසේ වුවද ප්‍රංශ ජනාධිපතිගේ ආරක්ෂාවට පැය 24 පුරාවට යොදවා ඇත්තේ ආරක්ෂක නිලධාරීන් අට දෙනෙකි. රාජකාරී ගමන්වලදී ඉදිරියෙන් හා පසුපසින් සිව් දෙනෙකු ලෙස අට දෙනෙකු ආරක්ෂාව සපයනු ලබයි. ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයකුට ඔහුගේ ආරක්ෂාවට එක් ආරක්ෂක නිලධාරියෙක් පමණක් ලබාදේ.   


එසේ නමුදු අපේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිට සියයකට අධික ආරක්ෂක නිලධාරීන් ලබාදී එය භාගයකින් අඩු කළ විට එයටද ඔහු විරෝධය පළ කිරීම අපි සාධාරණීයකරණය කරන්නේ කෙසේද? මේ සඳහා වැය කරන්නේ මහජනයාගේ බදු මුදල් නේද? එසේ නම් අපි ඉන්නේ කොහේද? යන ප්‍රශ්නාර්ථය අප ඉදිරියේ ඇති බව පමණක් මම ඔවුන්ට පැහැදිලි කර දුන්නෙමි.   


ඒ කතාවට සවන් දුන් ඔවුන් සියල්ලෝ නිසොල්මනේ මා දෙස බලා සිටිමින් හෙමිහිට හුස්ම ඇරියෝය. ඉන්පසුව ඩිස්නිලන්තයට ඇතුළු වීමට පෙර ඔවුන්ට පැරීසියේදී නවාතැන් සපයමින් මාර්ග උපදේශකත්වය ලබා දුන් ප්‍රංශයේ අධිකරණ සංඝ නායක පැරීසියේ ජේතවනාරාම විහරස්ථානයේ විහාරාධිපති මුරුංගස්යායේ ඥ‌ාණිස්සර හිමියන්ට හා එහි විහාරවාසී කිරින්දේ ප්‍රේමසිරි හිමියන්ටද ස්තූතිය පුද කරන බව විශේෂයෙන් සඳහන් කළෝය. 

 

 
සුනිල් ආනන්ද   
පැරීසියේ සිට