පීතෘ සෙනෙහසකින් ලොව හැඬවූ ඔලිම්පික් කතාව


 

පීතෘ සෙනෙහස ගොළු යයි කියති. ඒ නිසාම දෝ මාතෘ සෙනෙහසට වඩා පීතෘ සෙනෙහස පිළිබඳව ලියැවුණු කියැවුණු දේ අල්පය. පීතෘ සෙනෙහස පිළිබඳ කතා අල්ප වුවද, ඒ හැම සිත් සසල කරන කතාවන්මය. මෙය පීතෘ සෙනෙහස පිළිබඳව ලියැවුණු මහ දිග කතාවක් නොවේ. එහෙත් සංවේදී කතාවකි. මේ සියල්ල සිදුවීමට ගතවූවේ විනාඩි දෙකකටත් අඩු කාලයකි. එහෙත් මෙම සිදුවීම ඒ මොහොතේම ලොවක් හැඬවීමට තරම් සමත් විය. එක්ලක්ෂ දහතුන් දහසකගේ අත්පොළසන් හඬ මැද, ලොවක සුසුම් මැද, පියෙකු තම පුතුට ඇති සෙනෙහස පෙන්වූ කතාවක් වේ නම්, ඒ මෙයම පමණි.   


ඒ ස්පාඤ්ඤයේ බාසිලෝනාහි ඔලිම්පික් ක්‍රීඩා තරග පැවැත් වුණු 1992 වසරය. දිනය අගෝස්තු මස පස්වැනිදාය. බාසිලෝනා ඔලිම්පික් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඒ මොහොතේ පැවැත්වීමට නියමිතව තිබුණු තරග ඉසව්ව වූයේ මීටර් හාරසීය අවසන් පූර්ව තරගයයි. තරගයට සහභාගීවීමට නියමිත ක්‍රීඩකයෝ තමන්ට නියමිත ධාවන තීරු මත සූදානමින් සිටියහ. අංක පහ දරන ධාවන තීරුවේ දිවීමට සූදානමින් සිටියේ එංගලන්තය නියෝජනය කරමින් තරගයට සහභාගී වෙන ඩෙරෙක් රෙඩ්මන්ඩ් නම් ක්‍රීඩකයාය. ඔහු ඊට වසර හතරකට පෙර කොරියාවේ පැවැත්වුණු ඔලිම්පික් ක්‍රීඩා තරගයට ද එංගලන්තය නියෝජනය කළ ක්‍රීඩකයෙකි.   


තරගය ආරම්භ කිරීම සඳහා සංඥාව ලැබීමත් සමඟම, දුන්නෙන් මුදාහල ඊතල මෙන් තරගකරුවෝ නික්මිණි. තරගය ආරම්භයේදීම අනෙකුත් තරගකරුවන් අභිබවා ඩෙරෙක්ගේ වේගය කැපී පෙනුණි. ඩෙරෙක් විසින් මෙතෙක් සටහන් කර තිබුණු මීටර් හාරසීය අවම ධාවන කාලය වූයේ තත්පර හතළිස් හතරකි. ඔහුගේ අපේක්ෂාව වූයේ එම කාලයටත් වඩා අඩු කාලයකින් තම ඉසව්ව නිමාකර, අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමය. ඒ වෙනවිටත් ඔහු තම ධාවන තීරුවේ මීටර් එකසිය පනහ පසුකරමින් සිටියේ ය. එහෙත් ඔලිම්පික් ඉතිහාසය තුළ සංවේදී සටහනක් තැබීමට මුලපුරණ සිදුවීමක ආරම්භය සිදුවූවේ ඒ මොහොතේ දීය. හදිසියේ සිදුවූ දකුණු කකුලේ මස්පිඩු පෙරළීමකින් ඩෙරෙක් ධාවන පඨය මත ඇද වැටුණි.   


ක්‍රීඩාපිටිය මත ඇදවැටුණු ඩෙරෙක් වේදනාවෙන් මොරදෙන්නට විය. මේ ඉසව්වට සහභාගී වීම සඳහා වසර හතරක් තුළ තමන් විසින් කරන ලද පරිත්‍යාගයන් මෙන්ම දරන ලද වෙහෙසද ඔහුට සිහිවෙන්නට ඇත. කකුලේ වේදනාවට වඩා ඔහු හඬවන්නට ඇත්තේ සිතේ වේදනාවය. ප්‍රථමාධාර ඒකක ක්‍රීඩකයා වෙත දිව ආවේ ඔහු පිටියෙන් ඉවතට ගෙන යාමටය. එහෙත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ ඩෙරෙක් තම වම් කකුලෙන් නැගී සිටියේය. ක්‍රීඩා පිටියේ සිටි තරග විනිශ්චයකරුවන්ගේ උපදෙස් පවා ප්‍රතික්ෂේප කළ ඩෙරෙක් වම් කකුලෙන් පනිමින් තරගය නිමකිරීමේ ගමන ඇරඹීය.   


එම තරගයේ ප්‍රථම දෙවැනි හා තෙවැනි ස්ථාන කවුරුන් විසින් හිමිකර ගනු ලැබූවේ දැයි තරග නරඹන්නෝ කිසිවකු දුටුවේ නැත. සියල්ලන්ගේම ඇස් යොමුව තිබුණේ වේදනාවෙන් කෑගසමින් තනි කකුලෙන් පනිමින් තරගය නිමාකිරීමට වෙහෙස දරන ඩෙරෙක් දෙසය. ක්‍රීඩා ලෝලීන්ගේ ඇස් ඩෙරෙක් වෙත යොමුව තිබියදී, ක්‍රීඩා පිටියේ තවත් අනපේක්ෂිත යමක් සිදුවෙමින් තිබුණි.   


ක්‍රීඩා තරග නරඹන්නන් අතරින් ක්‍රීඩා පිටියට පැනගත් දැවැන්තයකු ඩෙරෙක් දෙසට දුවමින් සිටියේය. රූපවාහිනී කැමරාකරුවෝ මේ සියල්ල තම කාචයන් තුළ සටහන් කර ගත්හ. ක්‍රීඩා ලෝලීහු තුස්නිම්භූතව මේ සිදුවීම දෙස බලා සිටියහ. පිටියේ සිටි තරග විනිශ්චයකරුවෝ මේ දැවැන්තයා වැළකීමට තැත්කළ ද, ඔහු ඒ සියල්ලෙන් මිදී ඩෙරෙක් වෙත ළඟා විය. ඒ වෙන කිසිවකු නොව ඩෙරෙක්ගේ පියාය. ළමා කාලයේ සිටම ඩෙරෙක්ගේ ක්‍රීඩා ජීවිතයට පිටුවහලක් වූ තම ආදරණීය පියාය. “ඔබ වහාම පිටියෙන් ඉවත් විය යුතුයි” පියා තම පුතු අමතා කීවේ ය. “නැහැ... මම තරගය නිමාකළ යුතුයි” ඩෙරෙක්ගේ පිළිතුර විය.   


වේදනාවෙන් මොරදෙන තම පුතු වත්තන් කරගත් පියා, නියමිත ධාවන තීරුව ඔස්සේ තරග නිමාව කරා ගමන් කරන්නට විය. ක්‍රීඩාංගණයේ සිටි එක්ලක්ෂ දහතුන්දහසක් වන ක්‍රීඩා ලෝලීන් අසුන්වලින් නැගී සිට අත්පොළසන් හඬ දෙන්නට වූහ. ලොව දිගුම පා ගමන ඒ යයි පිය පුතු දෙදෙනාටම සිතෙන්ට ඇතුවාට සැකයක් නැත. එහෙත් එක්ලක්ෂ දහතුන්දහසකගේ අත්පොළසන් හඬ මැද, තම පුතු වත්තන් කරගත් පියා දිගටම ගමන් කළේය. රූපවාහිනී කැමරාකරුවන් විසින් හසුකරගන්නා ලද පියපුතු දෙදෙනාගේ මධ්‍යම, සමීප රූප පෙළ සජීවී විකාශනයක් ලෙස ලොව පුරා විසිර ගියේය. පීතෘ සෙනෙහස උතුරා ගිය ඒ මුහුණ, මුළු ලොවම හැඬවීමට සමත් විය. තරග අවසානයට මීටර් පහක් තිබියදී පියා නතරවිය. “මේ ටික තනියෙන් පලයන් පුතා”.   


ඔල්වරසන් හඬකින් බාසිලෝනා ඔලිම්පික් ක්‍රීඩාපිටිය ගිඟුම් දෙන්නට විය. තම පුත්‍රයා තරගය නිමකරනු බලා සිටි පියා, නිසොල්මනේ ක්‍රීඩා පිටියෙන් ඉවතට ගමන් කළේය.   


ක්‍රීඩකයකු සතුව තිබිය යුතු චිත්ත ධෛර්යය ලොවට කියාපෑම සඳහා, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් මෙම රූප පෙළ ප්‍රචාරක මාධ්‍යයක් ලෙස තෝරාගෙන තිබුණි. එහෙත් මෙම දර්ශන පෙළින් කියවෙන්නේ පීතෘ සෙනෙහස පිළිබඳව සංවේදී වූ ද අමරණීය වූ ද කතාවකි.   

 

 

 

 


සිදුවීමේ විවිධ අවස්ථා කීපයක් ඡායාරූපවලින් දැක්වේ.

 

 


ගැස්කොන් ලාසරස් 
රෝමය, ඉතාලිය.