ප‍්‍රංශ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගෙන් අපේ මන්ත‍්‍රීවරුන්ට හොඳ ආදර්ශයක්


තමන්ට ලැබෙන වරප‍්‍රසාද ප‍්‍රතික්ෂේප කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ජීවත්වෙන රටවලුත් ලෝකයේ ඇත. එම රටවල් බෙහෝමයක් ධනවත් රටවල්ය. අන්ත දුප්පත් රටවල මන්ත‍්‍රීවරු තමන්ට හිමි වරප‍්‍රසාද කලින් කලට දෙතුන් ගුණයෙන් වැඩිකර ගන්නා විට ධනවත් රටවල මන්ත‍්‍රීවරු තිබෙන වරප‍්‍රසාදත් එපා කියති.   


විශේෂයෙන් දකුණු ආසියානු හා අප්‍රකානු රටවල මන්ත‍්‍රීවරු තම වරප‍්‍රසාද ගොඩ වැඩි කරන විට යුරෝපයේ හා ස්කැන්ඩිනේවියානු රටවල මන්ත‍්‍රීවරු වරප‍්‍රසාද අඩු කරති. ඒ සඳහා අාසන්නම උදාහරණය අසන්නට ලැබෙන්නේ ප‍්‍රංශයෙනි. ප‍්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහතාගේ ජනාධිපතිවරණ පොරොන්දු පත‍්‍රයේ සඳහන් එක් පොරොන්දුවක් පසුගිය ජුලි 28 වැනිදාා ප‍්‍රංශ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 372 කින් සම්මත කර ගනිමින් ඉෂ්ඨ කර ගැනීමට සමත් වූයේය. එනම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, ඇමැතිවරු හා සෙනට් සභිකයෝ, නගරාධිපතිවරු යන අයට තම පවුලේ සාමාජිකයෝ, ඥාතීන්, හිත මිතුරන් තමා යටතේ සේවයට බඳවා ගැනීමට අවසර දී තිබුණු අණ පනත් අහෝසි කරමින් මින්පසු පවුලේ හෝ වෙනත් කිසිම ඥාතියෙකුට ඔවුන් යටතේ සේවය කිරීමට තිබු අවස්ථාව සම්පූර්ණයෙන්ම තහනම් කළේය. මෙම තහනම ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්දයෙන් ප‍්‍රංශ පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූයේය.  


මින් පෙර ප‍්‍රංශ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෝ ඇමැතිවරයකුට තම පවුලේ සාමාජිකයන් (බිරිඳ, සැමියා, දරුවන්, ඥාතීන්) 5 දෙනෙකු තමන් යටතේ සේවයට බඳවා ගැනීමට හැකි නීතිමය පහසුකම් තිබුණි. එය සෙනෙට් සභිකයෙකුට තිදෙනෙකුට සීමා කර තිබුණේය. එම නීතිමය වරප‍්‍රසාදයට ආවරණය වෙමින් බොහෝ මන්ත‍්‍රීවරු ඇමැතිවරු තම පවුලේ සාමාජිකයන් තමා යටතේ සේවයට බඳවා ගත්තෝය. ප‍්‍රංශ නීතියට අනුුව ඕනෑම කෙනෙකු සේවය කළයුතු උපරිම කාල සීමාවක් තිබේ. එය සතියකට පැය 35කි. ඉහත කී ඥාතීන්ද එම නීතියට යටත් වේ. එබැවින් ඔවුන්ටද වැටුප් පතක් මාසිකව නිකුත් වේ. ඔවුන්ගේ වැටුප් සඳහා මුදල් ලබා දෙන්නේ පාර්ලිමේන්තුවෙන්ය. නව ව්‍යවස්ථා සංශෝධනයෙන් එය සපුරා තහනම් කරන ලදී. ඊට අමතරව වෙනත් රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක තනතුරක් දැරීම හෝ එහි කොටස්කරුවෙකු වීම, උපදේශකයෙකු ලෙස සේවය කිරීම ද සම්පූර්ණයෙන්ම තහනම්ය.   


ඒ සමගම මන්ත‍්‍රීවරයෙකුට හා සෙනෙට් සභිකයෙකුට හිමි මාසික ප‍්‍රතිපාදන මුදල්වල අයවැය සම්පූර්ණයෙන්ම විනිවිදභාවයෙන් යුක්ත විය යුතුය. උදාාහරණයක් ලෙස ආපන ශාලාවකින් මිලයට ලබා ගන්නා ආහාර වේලක ලදුපත පවා ඉදිරිපත් කළ යුතුය. එම මුදල් එකම බැංකුවක තැන්පත් කළයුතු අතර අවශ්‍ය ඕනෑම වේලාවක එම ගිණුම් පරික්ෂාවට භාජනය කළ හැකි ක‍්‍රමවේදයක්ද සකසා ඇත්තේය. ඒ අනුව මන්ත‍්‍රී කෙනෙකුට හා සෙනෙට් සභිකයෙකුට මාසික ප‍්‍රතිපාදන ලෙස පිළිවෙලින් යුරෝ 5373ක් (රුපියල් නව ලක්ෂ හැට පන්දාහක්) හා යුරෝ 6110ක් (රුපියල් දශ ලක්ෂ අනූනව දාහක්) ලෙස ලැබේ. ඉහත නීති මාලාවන් උල්ලංඝනය කරන අයෙකුට වසර තුනක අවම සිර දඬුවමක් හා යුරෝ 45000ක (රුපියල් අසූ එක් ලක්ෂයක්) දඩයකට යටත් වන්නේය.   


මෙම වරප‍්‍රසාද අවභාවිතා කොට ඇති බවට ප‍්‍රථම හෙළිදරව්ව කරළියට පැමිණියේ පසුගිය ජනාධිපතිවරණයේ ආරම්භයේදී ය. හිටපු අගමැතිවරයකු එහි ප‍්‍රථම ගොදුර වුයේය. ඉහත මන්ත‍්‍රී වරප‍්‍රසාද අයුතු ලෙස භාවිතා කළ බවට චෝදනා ලත් හිටපු අගමැති හා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ප‍්‍රංශුවා පියොන් මහතාට එරෙහිව අධිකරණයේ නඩුවක් ඇසෙමින් පවතී. සහකාර ලේකම්වරියක ලෙස තම බිරිඳ සේවයට අනුයුක්ත කොට වැටුප් ලබා ඇතත් කිසිදිනක එවැනි රාජකාරියක් නොකර වැටුප් ලබා ගෙන ඇති බවට සාක්ෂි සමගම ප‍්‍රංශයේ පළවෙන ‘‘කැනා ඔන්චෙනේ” සතියේ බදාදා දිනයේ පළවෙන පුවත්පත හෙළිදරව් කළේය. ඒ සමගම තම දරුවන් දෙදෙනෙකුද සේවයට බඳවා වැටුප් ලබා ගෙන ඇතත් කළ සේවයක් නොමැති බව සවිස්තරාත්මකව ඉහත පුවත්පත විසින් පෙන්වා දුන්නේය. කැනා ඔන්චෙනේ යනු අගමැතිවරු, ඇමැතිවරු, මන්ත‍්‍රීවරු ගෙදර යවන පුවත් පතකි. ඉහත සිදුවීම ඔහුගේ ජනාධිපති වීමේ සිහිනයද බොඳ කළේය.   


පසුගිය රජයේ අවසාන කාර්තුවේ අභ්‍යන්තර ආරක්ෂක ඇමැති, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක බෘනෝ ලේ රූ මහතා ඇමැති තනතුර භාර ගෙන මාස හතරකින් ඉල්ලා අස්වී ගෙදර යෑමට සිදු වූයේද එවැනිම සිදුවීමක් ඉහත පුවත්පත විසින්ම කළ හෙළිදරව්වකින් ය. බෘනෝ මහතාගේ දියණියක් බෙල්ජියම් සමාගමක පුහුණු පාඨමාලාවක් හදාරණ අතරතුර ඔහු යටතේ සේවය කළ බවට වැටුප් ලබා ගෙන ඇති බව ඔහුට එල්ලවූ චෝදනාව වූයේය.   


ඒ සමඟම නව ලිබරල් (මොඩම්) පක්ෂයේ උප සභාපති නව රජයේ ප‍්‍රථම කැබිනෙට්ටුවේ යුරෝපා කටයුතු ඇමැති මෙරියෙල් ඩෙ සාර්නේස් මහත්මිය යුරෝපා පාර්ලිමේන්තුවේ සේවය කළ සමයේ ලේකම්වරු දෙදෙනෙකු සේවය කරන බව පෙන්වා වැටුප් ලබා ගෙන ඇති බවට චෝදනාවක් එල්ලවී ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කළේය. ඒ හේතු කොට ඇයට ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූයේය. එම සිදුවීමත් සමගම එම පක්ෂයේ සභාපති නව රජයේ ප‍්‍රථම අධිකරණ ඇමැති ප‍්‍රංශුවා බයරූ මහතා ද ඉල්ලා අස් වූයේය. එතුමාට කිසිම දූෂිත චෝ්දනාවක් නොමැත. එනමුදු තම පක්ෂයේ උප සභාපති ප‍්‍රධාන කොට මුල්‍ය වංචා පිළිබඳ පරීක්ෂණයක් සිදුවන බැවින් ඇමැති තනතුර දැරීම සුදුසු නැත යනුවෙන් ප‍්‍රකාශ කොට ඉල්ලා අස් වූයේය. මෙම සිද්ධීන් ප‍්‍රංශ ජනතාව තුළ කළකිරීමක් ඇති කිරීමට හේතු වූයේය.  


ඉහත සියලු දෙනාටම මහජන මුදල් අවභාවිතා කොට ඇති බවට චෝදනා ගොනු කොට ඇති අතර මෙම සිදුවීම් අද අධිකරණය ඉදිරියේ දිග හැරෙමින් පවතින්නේය. මෙම සමහරක් සිදුවීම් ඉහත ව්‍යවස්ථා සංශෝධනයට ප‍්‍රබල ලෙස බල පෑවේය. ඉහත සංශෝධන හේතු කොට අති විශාල මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරයට ඉතුරු වෙන බව ජනාධිපති පසුගියදාා පෙන්වා දුන්නේය.   


ප‍්‍රංශයේ ජනගහනය ආසන්න ලෙස කෝටි 67කි. එම පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු 577කි. ඔවුන් අතර කාන්තාවෝ 224 කි.

ඉංජිනේරුවෝ 124 ක්. ගුරුවරු 61 ක් , රාජ්‍ය සේවකයෝ 59 ක්, සමාගම්කරුවෝ 47 ක්, විශ‍්‍රාමිකයෝ 41 ක්, සෞඛ්‍ය අංශයේ 33 ක්, නීතිඥයෝ 28 ක්, ගොවියෝ 14 ක් රාජ්‍ය සිවිල් නිලධාරීන් 7 ක්, මාධ්‍යවේදීන් 7 ක්, විනිසුරු 3 ක්, නොතාරිස් 3 ක්, අධිකරණ නිලධාරීන් 6 ක් හා එක් ශිෂ්‍යයෙක්, දේශපාලකයෝ 29 ක් ඉහත පාර්ලිමේන්තු සංයුතියට ඇතුළත්ය. එහි ඇමැතිවරු 22 කි. තමන්ට හිමි වරප‍්‍රසාද ප‍්‍රතික්ෂේප කළේ මෙම පාර්ළිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ය. ශ්‍රී ලාංකික අපට එය ඇදැහිය නොහැක. එසේ නමුදු එලෙස රටට ආදරය කරන මන්ත‍්‍රීවරු ද ලෝකයේ සිටිති. එවැන්නෝ අපේ පාර්ලිමේන්තුවේ නොසිටීම එම ජනතාවගේ කරුමයකි.  
සුනිල් ආනන්ද  - පැරීසියේ සිට