කෲ ඩ්‍රැගන් යානය
ඇමෙරිකාව රුසියාව ඇතුළු බලවත් රටවල් අතලොස්සක් සතුව තිබුණු අභ්‍යවකාශ ගමන් ඒකාධිකාරය බිඳ හෙළීමට ඇමෙරිකානු ව්‍යාපාරික එලන් මස්ක් මාර්තු මස දෙවැනිදා සමත්විය. සංචාරකාන්තයක් ලෙස අභ්‍යවකාශය ජයගැනීම සඳහා මීට වසර දාහතකට පෙර එලන් මස්ක් විසින් ආරම්භ කරන ලද “ස්පේස් එක්ස්” (SPACE X) පෞද්ගලික ආතනය විසින් නිර්මාණය කර අභ්‍යවකාශ ගත කරන ලද “කෲ ඩ්‍රැගන්” (CREW DRAGON) යානය මාර්තු මස දෙවැනිදා පෘතුවියේ සිට කිලෝ මීටර් හාරසීයක දුරින් අභ්‍යාවකාශයේ ස්ථාන ගතකර ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත නිරුපද්‍රිතව සේන්දුවී, ස්වයංක්‍රීය ක්‍රමවේදයකට අනුව ඒ හා සම්බන්ධ විය.
අභ්‍යවකාශයේ දින පහක් ගතකළ කෲ ඩ්‍රැගන් යානය මාර්තු මස හත්වැනි දින යළි නිරුපද්‍රිතව අත්ලන්තික් සාගරයට ගොඩබැස්සේය. මෙම මෙහෙයුම අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ දීර්ග පිම්මක් ලෙස සැලකේ. ඒ සමගම මෙම පියවර රුසියානු සෝයුස් අභ්‍යවකාශ ව්‍යාපෘතියට විශාල අභියෝගයක් බවට පත්වනු ඇත.
ඇමෙරිකානු ජාතික හතළිස් හත් හැවිරිදී එලන් මස්ක් ගේ “ස්පේස් එක්ස්” ආයතනය විසින් නිර්මාණය කරන ඇති කෲ ඩ්‍රැගන් යානය තුළ ගගන ගාමීන් හත්දෙනෙකුට දින හතක් පහසුවෙන් ගමන්කළ හැකිය. එහෙත් මෙවර මෙම යානය පර්යේෂණ තත්ත්වයෙන් ගමන් කළේ මිනිස් ශරීරයේ සියලුම සංවේදීතාවයන් දැනෙන රොබෝ කෙනෙකුන් සමග ය. මෙම රොබෝවරයාගෙන් ලබා ගන්නා ලද දත්තයන්ට අනුව, කෲ ඩ්‍රැගන් යානය ගමන පටන් ගත් තැන සිට ගමන අවසානය දක්වා සියලුම තත්ත්වයන් මිනිස් සිරුරට පහසුවෙන් ඔරොත්තු දෙන බව අනාවරණය වී ඇත. මෙම යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ සමඟ සම්බන්ධ වූ පසුව අභ්‍යවකාශ නැවතුම්පොළේ සිටි ගගනගාමීන් කෲ ඩ්‍රැගන් යානයට ඇතුළුවී, එමගින් ප්‍රවාහනය කර තිබුණු කිලෝග්‍රැම් එකසිය අසූවක් බරැති මෙවලම් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ගොඩබාගෙන ඇත.
කෲ ඩ්‍රැගන් යානය අභ්‍යවකාශ ගතකර ඇත්තේ ස්පේස් එක්ස් ආයතනය විසින්ම නිපදවන ලද “ෆැල්කන් නයින්” නම්වූ රොකටයක් මගිනි. මෙම රොකටය අහසට විද ඇත්තේ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ “39 ඒ” රොකට් විදිනය මගින් ය. 1966 සිට 1972 දක්වා ඇපලෝ අභ්‍යවකාශ යානා ද, 1981 සිට 2011 දක්වා කොලොම්බියා යානය ද අභ්‍යවකාශ ගතකර ඇත්තේ මෙම රොකට් විදිනයෙන්ය.
කෲ ඩ්‍රැගන් යානයට මෝටර අටකින් බලය ලබාදෙන අතර, යානය තුළ ගගනගාමීන් හත්දෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි පරිදි සියල්ල සැලසුම්කර ඇත. මෙම යානය අභ්‍යවකාශ ගමන් කීපයක් සඳහා නැවත නැවත පාවිච්චි කළ හැකිය. කෲ ඩ්‍රැගන් යානය ආපසු පෘතුවියට පැමිණීමේදී මෘදු ගොඩබැසීමක් සඳහා පැරිෂුට හතරක් මගින් එහි වේගය පාලනය කරනු ලබයි.
ඇමෙරිකාව විසින් අභ්‍යවකාශ බහුගමන් සඳහා 1981 සිට යොදාගන්නා ලද කොලොම්බියා යානය 2011 දී විශ්‍රාම යාමත් සමගම, ඇමෙරිකානු ගගනගාමීන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත යවන ලද්දේ රුසියානු සෝයුස් යානා මගින් ය. ඇමෙරිකානු ගගනගාමීන්ට අභ්‍යවකාශ ගත වීමට වෙනත් විකල්පයක් නොවුණු බැවින්, රුසියානු සෝයුස් ආසනයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන අසූවක් වැනි අධික මිලක් ගෙවීමට සිදුවිය.
කෲ ඩ්‍රැගන් යානයේ ගමන පිළිබඳව විමසිල්ලෙන් සිටි ඇමෙරිකානු නාසා ආයතන ප්‍රධානී ජිම් බ්‍රිඩ්ස්ටීන් එහි සාර්ථකත්වය පිළිබඳව සෑහීමකට පත්ව සිටී . ඔහුගේ අදහස වෙන්නේ මින්පසු ඇමෙරිකානු ගගනගාමීන් අභ්‍යවකාශ ගත කිරීම සඳහා රුසියානු සෝයුස් යානයට වඩා කෲ ඩ්‍රැගන් යානය යොදාගැනීම සියලුම ආකාරයෙන් වාසි සහගත බව ය. ඇමෙරිකානු අභ්‍යවකාශ වැඩපිළිවෙළට අනුව අඟහරු ජයගැනීම සඳහා 2028 වසර වෙනවිට චන්ද්‍ර කක්ෂයේ හෝ චන්ද්‍රයා මත අභ්‍යවකාශ නැවතුම්පොළක් ස්ථාන ගත කළ යුතුව ඇත. මේ සඳහා ඉදිරි වසර කීපය තුළ අභ්‍යවකාශය වෙත ගමන් රාශියක් කළ යුතුව ඇත. මේ සඳහා නාසා ආයතනය ස්පේස් එක්ස් පෞද්ගලික ආයතනයේ කෲ ඩ්‍රැගන් යානයේ සේවය ලබාගැනීමට දැනටමත් තීරණය කර ඇත.
එලන් මස්ක් මීට වසර දාහතකට පෙර ස්පේස් එක්ස් ආයතනය ආරම්භ කරන ලද්දේ සංචාරකාන්තයක් ලෙස අභ්‍යවකාශය ජය ගැනීමට ය. ගමන් ඇරඹීමටත් පෙරම අනාගත අභ්‍යවකාශ සංචාර සඳහා ධනවතුන් විශාල සංඛ්‍යාවක් ස්පේස් එක්ස් ඉදිරිපිට පෙළගැසී සිටිති. ඇමෙරිකානු ගගනගාමීන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත ගෙනයාමෙන් සහ සංචාරකයන් උඩුගුවනට ගෙන යාමෙන් හෝ පමණක් එලන් මස්ක් සෑහීමකට පත්නොවෙන බව සහතිකය. ඔහුගේ අරමුණ අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයයි. එලන් මස්ක් මේ දක්වා ගමන් කර ඇති වේගය අනුව, නුදුරු අනාගතයේදී සංචාරකයන් උඩු ගුවනේ දින කීපයක් රඳවා තැබීම සඳහා අභ්‍යාවකාශ හෝටලයක් පිළිබඳව ද ඔහු නොසිතා සිටී යැයි සිතීමට බැරිය. එසේ වුවහොත් එය ද ඔහුට සිහිනයක් පමණක් නොවෙනු ඇත. එම සිහිනය සැබෑකර ගැනීමට අවැසි තාක්ෂණය මෙන්ම ප්‍රාග්ධනය ද දැනටමත් ඔහු සතුය.
කෲ ඩ්‍රැගන් යානය, එය අභ්‍යවකාශ නැවතුම්පොළ සමග සම්බන්ධවෙන අවස්ථාව, ආපසු ගමනේදී යානය අත්ලන්තික් සාගරයට ගොඩබට ආකාරය සහ, එලන් මස්ක් ඡායාරූපයන්ගෙන් දැක්වේ.
චාපි කෝසලා
මියුනිච්