බුදු ගුණ කඳට


මිලින වෙලා හදවත බුදු හිමියනි පිහිටක් නැතී   
අසරණ ලෙස කල් ගෙවන්නෙ කතරක පංසල් නැතී   
නිදියාගන්නේ අවදිවන්නේ පන්සිල් ගෙන මම නිතී   
මට පෙනෙන්​ෙන අඳුරු වගෙයි කාන්තාරේ හැම පැතී  
 
සිරිපාදේ ගිය හැටි පවුලේ ඔක්කොම බැති සිතින්   
කැලණි විහාරේ වැන්දේ නිවෙන්න කළ පව් සිතින්   
නිවන් යන්න තව පිං මදි කියලා සිතුනා සිතින්   
දන්ත ධාතු දළදා මැදුරේ වැන්දෙමි බොහො දුකින්  
 
ඝංටා නාදේ ඇසුනම පංසල වෙත දුව ගොසින්   
දානේ මානේ දී වැන්දා මුනිදුගේ සිරිපා තුටින්   
වෙසක් පොසොන් ඇසළ පෝය හඳහාමිගේ සඳ රැසින්   
මගෙ මව්බිම එළිය කළා පිරිපුන් බුදුරැස් මතින්   
 
ජීවන රිය පදවගන්න අතේ පනං නැති නිසා   
මැද පෙරදිග ආවේ මං කියන්නේම නැහැ මුසා   
උදේ පාන්දර නැගිටලා බලන විටදී හැම දිසා   
සිහිනයක්ද මා දකින්නේ හැඬුවෙමි සිතිවිලි නසා   
 
කැලණිය වැන්දොත් කළ පව් නිමවෙන බව කියනවා   
ලෝකෙ වටා කැරකෙන්නේ රිය සක ලෙස සිතෙනවා   
ලෝ අම්බලමෙන් සමුගන්නට පිං රැස් කරනවා   
අටලෝ දහමින් නිතරම සිත සනසා ගන්නවා   
 
වෙසක්වලට කොළඹ සිරිය තොරන්වලින් දිස්වන   
පොසොන් පෝය ජයශ්‍රී මා බෝ පත්වල ලෙල දෙන   
ඇසළ පෙරහැරට දළදා මැදුරේ සිරිය පරයන   
දැයක් වේද මගෙ සිරිලක බුදුරැස් කඳ විහිදන   
 
 
 
 
 
අනුරාධපුරයේ  ඒ.එම්. නන්දනී   
​රෝයල් බියුටි, කුවේට්