2024 වාර්තා වෙන්නේ මානව ඉතිහාසයේ මෙතෙක් වාර්තා ගතවූ වඩාත්ම උණුසුම් වර්ෂය ලෙසයි. 2025 එම වාර්තාව ඉක්මවන්නේදැයි බියක් දැන් ඉස්මතුවී තිබේ. ලොව පුරා වාර්තාවෙන ළැව් ගිනි හා හිම ශිඛර දියවී යාමෙන් ඉහළ යන ගංවතුර තර්ජන හා සාගර ජල මට්ටම ඉහළ යාම ආදිය මේ සිදුවීම් අතර වෙයි. එහෙත් ඒ සියල්ලටම වඩා ලෝකය කම්පා කිරීමට හා බියපත් කිරීමට හේතු වී ඇත්තේ, මේ සතියේ වාර්තා වූ දකුණු කොරියානු ගින්න හේතුවෙනි. එය ගින්නකට වඩා මහා ගිනි කුණාටුවක් ලෙස දකුණු කොරියානු ජනතාව බියගැන්වීය.

ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය, සෙල්සියස් අංශක 30 සීමාව හා සැසදීමේදී එය ඉතා අඩු උණුසුමකි. එසේනම් සීතල දකුණු කොරියාව ගිනි කුණාටුවකට ගොදුරු වූයේ කෙසේද? ඊට උත්තරය වෙන්නේ උෂ්ණත්වය අඩු වුවද ගින්නක් ඇවිළී යාමට අවශ්‍ය අනෙක් සියළු සාධක දකුණු කොරියාවේ පැවතීමයි. මෙය කැලිෆෝනියාවේ තත්ත්වයට බෙහෙවින් සමානය. සීත ඍතුව තදින් බල නොපෑවද, ජනවාරි මාසයේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය මෙවැනිම ගින්නකට ගොදුරු වුයේ සීත ඍතුවේ ප්‍රබලතම කාලය තුළයි. එහෙත් කැලිෆෝනියාවේද ගින්න ව්‍යාප්තියට අවශ්‍ය සාධක හොඳින් පැවතිණ. ගින්නක් ඇතිවීමට අවශ්‍ය මූලික කරුණු විද්‍යාවේ හඳුන්වන්නේ නිසි ජ්වලන උෂ්ණත්වය, දහනයට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය හා දහනපෝෂක වායුව ය(ඔක්සිජන්ය). සීත ඍතුව තුළ උෂ්ණත්වය සම්බන්ධ ගැටලුවක් පැවතුනද, දහනය වෙන ද්‍රව්‍ය හා දහනපෝෂක වායුව අඩු නැතිව පැවතින.
ප්‍රථමයෙන් අපි කැලිෆෝනියා ගින්න සලකමු. ජනවාරි මාසයේ කැලිෆෝනියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 13-18 සීමාවේ දෝලනය වෙයි. එය ඉහළ උණුසුමක් නොවේ. එහෙත් ඉකුත් ජනවාරියේ කැලිෆෝනියාව අධික වියළි කාලගුණ තත්ත්වයක පැවතිණ. කැලිෆෝනියාව ඇමෙරිකාවේ වියළිතම හා ජල සම්පත් වඩාත් හිඟ ප්‍රාන්ත වලින් එකකි. ඉන් පෙර වසරේ, මහ වැසි ඇදහැළී තුරු හා පඳුරුවලින් පෝෂණය වූ වනාන්තර යළි නියඟය ආ දා මැලවී, මියැදී මහා දරඉපල් හා පිදුරු මිටි තොග බවට පත්ව තිබිණ. කොටින්ම කිවහොත්, ජනවාරියේ ගින්න හටගනිද්දී කැලිෆෝනියාව හොඳින් ඇසුරු දර මඬුවකි. වැසි පොදක් නොවැටුණු ගිනිගත් දුවිලි පොළොවෙන් යුත් කැලිෆෝනියාව ගින්නෙන් වසාලීමට ‘‘සාන්තා ආනා’’ සමත්විය. ඒ පැයට කිලෝමිටර 60 කට අධික වේගයෙන් හමාගිය සුළඟට තබා තිබු නමයි.
සාන්තා ආනා යනු, මනුසතට සෙත සළසන කිතු දහමේ සාන්තුවරියක වුවද, කිසිදු ගැලපීමක් නැතිව ඒ නමින් නම්කර තිබූ සුළග කැලිෆෝනියාවේ පලිසේද්(Palisades) පළාත දවාලීමට ගින්නට උපකාරි වූයේ අවශ්‍ය ඔක්සිජන් හා ගිනි දැල්වීමට අවශ්‍ය උත්තේජනය ලබාදෙමිනි. හරියටම එය ලිපට පිඹ ගිනි මොළවන්නාක් බදු විය.
දැන් අපි දකුණු කොරියාව දෙසට හැරෙමු. තෙදිනක් තුළ හෙක්ටෙයාර 35000කට අධික ප්‍රමාණයක් දවාලීමට හේතු වූ ගින්න ද ඉහත අපි සඳහන් කළ කැලිෆෝනියා ගින්නේ නිවුන් සහෝදරිය බඳු විය. ගින්නෙහි මූලික ඉලක්කය වූයේ ගිනිකොනදිග කොරියාවේ උල්සෙයොං ප්‍රාන්තයයි. එය වඩාත් ප්‍රකටව ඇත්තේ කේතුධර පයින් වනාන්තර හා ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන සහිත අතීත උරුමය පිළිබඳවයි. ඩියොංගුං කඳුවැටිය හා ඒ ආශ්‍රිත අන්දොං නගරය මේ ව්‍යසනයට ගොදුරු වූ ප්‍රධාන කලාපයයි. එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10-13 සීමාවේ පැවතුනද එය හිම ඇතිවීමට තරම් අධික ශීත කාලගුණික තත්ත්වයක් නොවේ. එම කලාපය ශීත ඍතුවට පෙර සිටම දැඩි නියං සායක පැවතින. ඒ නිසා වනාන්තර වියළී නොගියද කේතුධර පයින් ගස්වලින් සමන්විත වනාන්තර වියළි බව නිසා ඒවායේ ඇති දුම්මල වැනි මැලියම් ඝන වී ඇත්තේ භූමිතෙලෙන් පොඟවා ඇති දර කොටයකට සමාන තත්ත්වයක් නිර්මාණය කරමිනි.

කැලිෆෝනියාව හරහා හමා ගිය සාන්තා ආනා සුළඟ මෙන් ප්‍රබල නොවුවත්, ඉතා දැඩි සුළං තත්ත්වයක් ගිනිකොනදිග කොරියාව හරහා හමා ගියේ ගින්නට අවශ්‍ය වායුමය තත්ත්වය සපයා දෙමිනි. කොරියානු ගින්නේ ආරම්භය කුමක්දැයි මේ වෙනවිට හරියටම නිශ්චය කොට නැතත් එය මිනිස් ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, දකුණු කොරියානු මාධ්‍යව්දින්ගෙන් අප කළ විමසුමකදී ඔවුන් කියා සිටියේ කුඩා ගින්නක් වුවත් මහා ගිනි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි වාතාවරණයක් ගිනිකොනදිග ප්‍රදේශයේ පවතින බවයි. එහෙත් ඹවුන් පවා පුදුම වෙන්නේ, ගින්නේ වේගය හා ඉන් අත්වූ විනාශය පිළිබඳවයි.
සිකුරාදා දහවල් වන විට ගින්න කිලෝමීටර 70කට අධික පටියක් ලෙස ඇවිළෙමින් ඉදිරියට ගමන්කරමින් පැවතිණ. ඊට සැලකිය යුතු වේගයක්ද අත්කරගැනීමට හැකිව තිබේ. ගිනි නිවන හමුදාව හා කොරියානු කාලගුණ විද්‍යා ඒජන්සිය කළ ගණන් බැලීම් අනුව ගින්න පැයට කිලෝමීටර 8.2 ක වේගයකින් ඉදිරියට පැතිර යයි. වෙනත් වචන වලින් කිවහොත් පැයක් තුළ කිලෝමීටර 8 ක ප්‍රමාණයක් ගින්නෙන් දැවී යයි. ඉන් ලැබෙන පණිවිඩය නම්, ගින්න කිලෝමිටර 8 ක් දුරින් තිබියදී එක පැයක් තුළ එම ප්‍රදේශය අතහැර යාමට හැකියාවක් ලැබෙන පුද්ගලයන්ට ජීවිතය ගලවා ගත හැකි බවයි. මේ නිසා කොරියානු ව්‍යසනයේ ප්‍රබලත්වය අපට උපකල්පනය කළ හැක. මෙතරම් විනාශයක් සිදුව ඇත්තේ ඒ නිසාය.
දකුණු කොරියානු ඉතිහාසයේ දරුණුතම ගින්න ලෙස මෙය ඉතිහාසයට එක්වේ. තවමත් සංඛ්‍යාලේඛන නිසි ලෙස නිකුත්වී නැති නිසා යම් උපකල්පනයක් ඉදිරිපත් කළ නොහැකි වුවද මෙය සමස්ත ආසියාවේම වේගවත් හා දරුණුතම ගින්න වීමට ඉඩ ඇත. සිකුරාදා දහවල් වෙන විට හෙක්ටෙයාර 45000කට අධික බිම් ප්‍රමාණයක් ගින්නෙන් දැවී ගොස් තිබේ. 28 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මින් වැඩිපුරම හානියට පත් ව ඇත්තේ උල්සෙයොං ප්‍රදේශයේ වියපත් ජනතාවයි. ඔවුන්ට කඩිනමින් ඉවත්ව යාමට ඇති අපහසුතාව මෙන්ම දුමාරය ආඝ්‍රාණය වී ඇති කරනු ලබන ලෙඩ රෝග යන දෙඅංශයෙන්ම වැඩිහිටියෝ පීඩා විදිති.

විහාර සංකීර්ණය විනාශ වීමත් සමග, සෙසු පෞරාණික උරුමයන් හා කෞතුකාගාර වල තිබූ වටිනා පුරාවස්තු ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට බලධාරීහු පියවර ගත්හ. කෙසේ වෙතත් තවත් අමිල වස්තූන් රැසක් සදහටම මානව වර්ගයාට අහිමි විය.
එම පාඩුව බෞද්ධයන්ට පමණක් නොව සෙසු සියළු ලෝකවාසීන්ටමය. ඒ මන්ද, විනාශ වූයේ බොදු උරුමයක් පමණක් නොව ලෝක උරුමයක් වීම නිසාය. මේ ගැන දකුණු කොරියානු බොදු ජනතාව හා සමස්ත රටවැසි ප්‍රජාවම ශෝකය පළකරති. එමෙන්ම එය එරට ජනප්‍රිය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ද විය.
ලෝකයට දකුණු කොරියානු ඉතිහාසය හා ජන ජීවිතය ගැන අවබෝධ ලබාගත හැකි වටිනා ස්ථානයක් අහිමි වී තිබේ. ප්‍රංශයේ නොත්‍රදාම් කිතු දේවස්ථානය ගින්නෙන් දැවී ගියේය. එය යළි ප්‍රතිස්ථාපනය කර ඇත. එහෙත් ඒ ඉපැරණි වටිනා නිර්මාණ ද සමග නොවේ. ඒවායේ ආකෘති සමගිනි. උදාහරණයක් ලෙස, නොත්‍රදාම් පල්ලියේ පිහිටි ඉපැරණි ලී කුලුන ගිනිගෙන කඩා වැටෙන ආකාරය වීඩියෝ දර්ශන මගින් ලොව පුරා ජනතාවට දැකගත හැකි විය. එහෙත් අලුතෙන් ඉදිකළ පල්ලියේ එම කුලුන ඇත්තේ ලෝහ ආරුක්කුවක් ලෙසයි. ඉපැරණි ලී කුලුන දැඩි හළුවී ගියේ එහි ඉපැරණිබව, අතීත පුරා වෘත්ත හා වටිනාකම් ද සමගිනි. ඒ එක උදාහරණයක් පමණි.

ගොවුං සුං විහාර සංකීර්ණය හා අනෙක් විහාර සංකීර්ණවලද තත්ත්වය එසේමය. ගින්නෙන් වැනසුණු ඒ අතීත උරුම යළි ප්‍රතිස්ථාපනය කෙරුණත් ඒවායේ ඉපැරණි වටිනාකම් සියල්ල මැකී ගොස් තිබේ. දකුණු කොරියානු ගින්න සිදුකළ දරුණුතම විනාශය එයයි. අන්දොං නගරයට ආසන්න යුනෙස්කෝ සංස්කෘතික උරුම ගම්මානයද මේ වෙනවිට ගින්නේ තර්ජනයට ලක්ව ඇත. එහි තිබූ වටිනා උරුමයන් රැසක් ආරක්ෂිතව ඉවත් කරගත් බව බලධාරීහු පවසති.
අවසන් වශයෙන් සලකා බලන කළ, කොරියානු ගින්න අපට ලබා දෙන්නේ ඉතා බරපතල පණිවුඩයකි. ඒ රටවල් හෝ ජාති ආගම් බේද නැතිව අප සියල්ල විනාශයේ අවදානමට මුහුණ පා සිටින බවයි. මීට ඍජුව වගකිවයුතු හේතුව ගෝලීය දේශගුණික වෙනස්වීම බව අන්තර්ජාතික විද්‍යාඥයන්ගේ මතයයි. මා කළින් සඳහන් කළ පරිදි, 2024 ලොව වඩාත්ම උණුසුම් වසර ලෙස වාර්තාගත වෙද්දී ඒ වසර ආශ්‍රිතව පැවති කාලගුණ හා දේශගුණික රටාවන් අධ්‍යයනය මගින් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මේ අවදානම දිනෙන් දින වැඩිවන බවයි. ගෝලීය උණූසුම ඉහළ යාම හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වැඩිවෙද්දී ඒ පිළිබදව නිශ්චිත සලකාබැලීම් තුළින් ගම්‍ය වෙන්නේ නිසි ක්‍රියාමාර්ග නොගතහොත් මේ ව්‍යසනයෙන් ගැලවීමට ක්‍රමයක් නොමැති බවයි.
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ