භූතානය ලොවට නැතිවෙමින් යන අවසාන පාරාදීසය


1985 දී ශ්‍රී ලංකා රජයත්, ලංකාවේ සන්නද්ධ ද්‍රවිඩ කණ්ඩායම් කීපයකුත් අතර භූතානයේ තිම්පු අගනුවර සාකච්ඡා පවත්වන විට භූතානයේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 350ක් පමණ විය. එවකට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායමත් ඩොලර් 350කට ආසන්න විය.
තිම්පු සාම සාකච්ඡා පවත්වා දැන් වසර 30ක් පමණ ගතව ඇත. ලංකාව හැරුණුවිට දකුණු ආසියානු කලාපයේ ඇති බෞද්ධ බහුතරයක් සිටින එකම රටවන භූතානයේ අද ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 3500කි. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායමද ඩොලර් 3500කි. භූතානයේ අද විරැකියා අනුපාතය සියයට 6ක් වන අතර ලංකාවේ අනුපාතයද එය වේ.
කෙසේ නමුත් ලංකාව හා භූතානය අතර ඇති සමානකම් එතනින් අවසන් වේ. චීනයේ හා ඉන්දියාවේ අති දුෂ්කර ප්‍රදේශවලින් වටව ඇති භූතානය භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 38,000කි. එය ලංකාවේ භූමි ප්‍රමාණයෙන් භාගයකට වඩා මඳක් වැඩිය. ලෝකයේ පියස්ස ලෙස හඳුන්වන චීනයේ ටිබෙට් ප්‍රාන්තයට මායිම්ව ඇති භූතානය ලොව මුහුදු මට්ටමින් වැඩිම උසකින් පිහිටි රට වන අතර එහි සාමාන්‍ය උස මුහුදු මට්ටමින් අඩි 7000ක් පමණ වේ. ජනගහනය ලක්‍ෂ අටක් පමණි. ජනතාවගේ සාක්ෂරතාව 73% ක් පමණි. රාජ්‍ය නායකයා රටේ රජතුමා වුවත් විධායක බලතල බොහොමයක් පාර්ලිමේන්තුව සතුය.
භූතානයේ හමුදාව පුහුණු කරන්නේ හා එයට අවශ්‍ය ආයුධ සපයන්නේ ඉන්දියාවයි. භූතානයට ගුවන් හමුදාවක් නැත. හදිසි අවශ්‍යතාවකට හෝ හෙලිකොප්ටරයක් හෝ ගෙන්වා ගන්නේ අසල්වැසි ඉන්දියාවෙන් හෝ නේපාලයෙන්ය. මීට අමතරව භූතානයට අවශ්‍ය ආහාරපාන හා අනෙකුත් භාණ්ඩද පැමිණෙන්නේ ඉන්දියාවෙනි. මේ නිසාම භූතානයේ දේශපාලනයට ලොකුම බලපෑම එල්ල වන්නේද ඉන්දියාවෙනි. භූතානය ඉන්දියාවට කිට්ටුවීමට ප්‍රධාන හේතුව හිටපු චීන නායක මා ඕ සේතුං විසින් භූතානය චීනයේ කොටසක් බව ප්‍රකාශ කිරීමයි. භූතානයට අමතරව නේපාලයත්,  ඉන්දියාවේ අරුණාචලම්, සිකීම් ප්‍රාන්තත් චීනයේ කොටස් බව මා ඕ ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයෙන් ටික කලකට පසු චීනය එවකට නිදහස් රාජ්‍යයක් වූ ටිබෙටය ආක්‍රමණය කළේය. චීනයට බිය වූ භූතානය ජවහර්ලාල් නේරුගේ ඉන්දීය රජය සමඟ කිට්ටු සබඳතා ඇතිකර ගත්තේය.
භූතානයේ ජනතාවගෙන් සියයට 83ක්ම බෞද්ධයන් වන අතර ඉතුරු පිරිසෙන් වැඩි දෙනා හින්දු භක්තිකයෝය. භූතානයේ රජ පවුල මාධ්‍ය නිසා රටේ ජනතාවගේ ගුණධර්ම හා දේශපාලන මතිමතාන්තර වෙනස් වේ යැයි බොහෝ කාලයක් බයෙන් සිටියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස භූතාන වැසියන්ට රූපවාහිනිය නැරඹීමට 1999 තෙක් බලාසිටින්නට සිදුවිය. ජංගම දුරකථන භාවිතයට අවසර ලැබුණේ 2003 දීය.


2009 මා භූතානයට ගියේ භූතාන අධ්‍යයන පර් යේෂණ ආයතනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතිය මගින් සංවිධානය කළ ආසියාව හා ප්‍රජාතන්ත්‍රවාදය නමින් වූ සමුළුවේ කථිකයන්ගේ ලැයිස්තුවට මගේ නමත් ඇතුළත් කර තිබූ නිසාය. ඔක්තෝබර් 11 සිට 14 දක්වා තිබූ මෙම සමුළුව පැවැත්වූයේ භූතානයේ පාරෝ නගරයේය. භූතානයේ එකම අන්තර්ජාතික ගුවන් තොටුපළ පිහිටා ඇත්තේද මුහුදු මට්ටමින් අඩි 7,200ක් උඩින් පිහිටා ඇති මෙම පාරෝ නගරයේය.  
මා භූතානයට යෑමට වසරකට පෙර ඉතිහාසයේ ප්‍රථම වතාවට එහි ඡන්දයක් පවත්වා තිබිණ. එම ඡන්දයෙන් පාර්ලිමේන්තු ආසන 47න් 45ක්ම ලබා ගත්තේ ජිග්මේ තින්ලේගේ නායකත්වයෙන් යුත් සාමය හා සෞභාග්‍ය පක්‍ෂයයි. ඒ වන විට භූතානයේ රජවූ ජිග්මේ සින් යේ වැන්චුක් සිය රජකම තම 26 හැවිරිදි පුතා වන කේසාර් වැන්චුක් 
පවරා තිබිණි.
2008 පත්වූ පාර්ලිමේන්තුවත් සමගම භූතානයට අලුත් ව්‍යවස්ථාවක් ලැබී තිබුණි. ව්‍යවස්ථාවේ මූලිකම සංකල්පය වන දළ ජාතික සතුට (ග්‍රොස් නැෂනල් හැපිනස්) පිළිබඳව මුඵ ලෝකයේම අවධානය යොමුව තිබිණි. රටේ සාම්ප්‍රදායික සංස්කෘතිය ආරක්‍ෂා කිරීම, පරිසර පද්ධතියේ සමතුලනය, පරිසරයට බරක් නොවන ආර්ථික සංවර්ධනය හා සාධාරණ රාජ්‍ය පාලනයක් භූතානයේ දළ ජාතික සතුට ප්‍රතිපත්තියේ මූලික අංග විය.
මෙම දළ ජාතික සතුට ප්‍රතිපත්තිය හිටපු රජු වන ජිග්මේ සින්යේ වැන්චුක්ගේ යෝජනාවකි. සින්යේ වැන්චුක් රජු එංගලන්තයේ සසෙක්ස්හි උසස් අධ්‍යාපනය ලබා තිබූ අතර, වත්මන් රජු වන ඔහුගේ පුත් කේසාර් වැන්චුක් උසස් අධ්‍යාපනය ලැබුවේ ඔක්ස්ෆර්ඩ් සරසවියේය. 2008 ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් රජතුමා රාජ්‍ය නායකකමින් ඉවත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට 
ලැබී ඇත.
2009 ඔක්තෝබර් මාසයේ මා භූතානයට යන විට නව ප්‍රජාතන්ත්‍රවාදී මාවත ඔස්සේ රට ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යමින් තිබුණ. නව රජයත් රටේ ජනතාවත් අනාගතය පිළිබඳව බොහෝ බලාපොරොත්තු සහගතව සිටියහ. දළ ජාතික සතුට ප්‍රතිපත්තියට අනුව සැලසුම් කළ ආකාරයටම රටේ පරිසරය රැකගැනීමට විශාල වැඩ පිළිවෙළක් ඒ වන විට දියත්ව තිබිණ. අදටත් සියයට 71ක් වනාන්තරවලින් වැසී තිබෙන භූතානය ලෝකයේ ඉහළම වනගහන ප්‍රතිශතයක් ඇති රටවලින් එකකි. වැඩිම වනගහන ප්‍රතිශතයක් තිබෙන්නේ දකුණු ඇමෙරිකාවේ කුඩා රටක් වන සුරිනාම්හිය. එහි මුඵ භූමි ප්‍රමාණයෙන් සියයට 93 ක්ම වනාන්තරය.


හිමාල කඳු වැටියෙන් වටවූ, වනාන්තරවලට අමතරව සුන්දර ගංගා ඇළ දොළවලින්ද පිරි, කරුණාවන්ත මිනිසුන් සිටින, ලෝකයේ උසම තැනක තිබෙන නිසා ළඟාවීමට අසීරු භූතානය බටහිර රටවල සංචාරකයන් හඳුන්වන්නේද ලාස්ට් ෂැංග්‍රිලා ඔෆ් ද වර්ල්ඩ් නැතිනම් ලෝකයේ අවසාන පාරාදීසය ලෙසය.
සංචාරකයන් භූතානයට කොතරම් ඇලුම් කළත් එහි සංචාරය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවූයේ රටට පැමිණෙන සංචාරකයන් ගණන පාලනය කිරීමට භූතානය රජය අනුගමනය කළ ක්‍රමවේද නිසාය. ඒ අනුව ඩොලර් 40ක වීසා ගාස්තුවකට අමතරව දිනකට ඩොලර් 200ක බද්දක්ද සංචාරකයන්ගෙන් අය කිරීම භූතාන රජය ආරම්භ කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස භූතානයට පැමිණුනේ ඉහළ පන්තියේ සංචාරකයන් පමණි. මෙම ඩොලර් 200 බද්ද අදාළ නොවූ එකම රට වූයේ ඉන්දියාවයි. ඉන්දියානුවන්ට වුවත් භූතානයට පැමිණීමට ලේසිපාසු කටයුත්තක් නොවන්නේ භූතාන දේශ සීමාවට යෑමට නම් ඉන්දියාවේ නැගෙනහිර කෙළවරේ  අරුණාචලම් හා ඇසැම් ප්‍රාන්තවලත් දුෂ්කරම පළාත් හරහා එම ගමන යා යුතු නිසාය. එසේ නැතිනම් නවදිල්ලියේ සිට ගුවනින් භූතානයට යා යුතුය. ඒ ගමනේදී නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපළේද ගුවන්යානය නවතයි. නවදිල්ලියේ සිට භූතානයට යනවිට ගුවන් යානයේ වම් පසින් පෙනෙන එවරස්ට් ඇතුළු හිමාල කඳු වැටි පෙළේ විනාඩි 20ක පමණ දර්ශනය, ලොව ගුවන් ගමනක දක්නට ලැබෙන අතිශයෙන්ම අලංකාර දර්ශනවලින් එකකි.
සංචාරක කර්මාන්තය භූතානයේ ප්‍රධාන විදේශ විනිමය මාර්ගයයි. ඉහළ වටිනාකමකින් යුත් ගමනාන්තයෙන් වුවත් 2019 වසරේදී පමණක් සංචාරකයන් 315,000 ක් එහි 
පැමිණ ඇත.
සියල්ල වෙනස් වෙන්නට පටන් ගත්තේ 2020 වසරේ සිටය. කොවිඩ් වසංගතය හා සමග භූතානය 2020 මාර්තු මාසයේ රට සංචාරකයන්ට තහනම් ප්‍රදේශයක් කළේය. එම තහනම ඉවත් කළේ 2022 සැප්තැම්බර් මාසයේය. රට සංචාරකයන්ට වසා තිබුණු වසර දෙක හමාර තුළ භූතාන ආර්ථිකයේ ඇතිවූ පසුබෑමේ බලපෑමෙන් අදත් භූතානය දුක් විඳියි. රටේ විරැකියාව සියයට 6ක් දක්වා වැඩිවූ අතර අද එහි තරුණ විරැකියා අනුපාතය සියයට 30ක් පමණ වේ. මේ අතර, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට හසුවන පුද්ගල සංඛ්‍යාවද පසුගිය වසර කීපය තුළ නොසිතූ විරූ ලෙස ඉහළ ගොස් ඇත. 2022 වසරේදී 593ක් වූ එය 2023 දී 1566 දක්වා ඉහළ ගියේය. විශාල කර්මාන්ත ශාලා නැති භූතානයේ තරුණ විරැකියා ප්‍රශ්නය ආර්ථික අර්බුදය හා සමග දෙගුණ තෙගුණ වීමත් සමගම රටේ තරුණ පිරිස රටෙන් පිටවන්නට පටන්ගති. බොහෝ දෙනාගේ ගමනාන්තය 
වූයේ ඕස්ට්‍රේලියාවයි.
භූතානය ඕස්ට්‍රේලියාව හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගත් කතාවේ ලංකාව ගැනද සඳහනක් ඇත. ඒ බොහෝ කාලයක් පිටත ලෝකයට වසා තිබූ භූතානය ඕස්ට්‍රේලියාව හා සම්බන්ධකම් පවත්වන්නට පටන් ගත්තේ 1951 දී ආරම්භ වූ කොළඹ සැලසුම නැතිනම් (කලම්බෝ ප්ලෑන්) වැඩසටහන හරහා නිසාය. 1950 දී කොළඹදී හමුවූ පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ ඇමතිවරුන්ගේ තීරණයක් අනුව 1951 දී ඇරඹි කොළඹ සැලසුම අන්‍යෝන්‍ය සහයෝගීතා වැඩසටහනට මුල සිටම ඕස්ට්‍රේලියාව දායක රටක් විය. භූතානය එම වැඩසටහනට එකතු වූයේ 1962දීය. භූතානය එක්සත් ජාතීන්ගේ සංගමයට එක්වූයේ ඊට වසර නමයකටත් පසුවය.


කඩා වැටුණ සංචාරක ව්‍යාපාරය නැවතත් නගා සිටුවීම සඳහා උපක්‍රමයක් ලෙස භූතාන රජය පසුගිය වසරේදී සංචාරකයන්ගෙන් දිනකට අය කරන ඩොලර් 200 බද්ද ඩොලර් 100 දක්වා අඩු කළේය. දැන් නැවතත් සංචාරකයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කළත්, රටේ තරුණ ප්‍රශ්නය විසඳෙන පාටක් නැත. විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් කියන්නේ රටේ හොඳම රැකියා තිම්පු අගනුවර තිබෙන පවුල් කීපයක් අතර පමණක් බෙදී ගොස් ඇති බවයි.
මගේ අදහසට අනුව භූතානයේ විරැකියා ප්‍රශ්නයට භූතාන තරුණ තරුණියන්ගේ අලසකමත් එක් හේතුවක්ව ඇත. භූතාන වැසියන් බොහෝ මහන්සි වී වැඩ කිරීමට කැමති ජාතියක් නොවේ. මේ නිසා ඉදිකිරීම් හා තවත් බොහෝ ක්ෂේත්‍රවල රැකියා සඳහා ඉන්දිය ජාතිකයන් ගෙන්වීමට රටට සිදුව ඇත. මේ වන විට 50,000කට ආසන්න ඉන්දියන් ශ්‍රම බළකායක් භූතානයේ සිටී. භූතාන වැසියන් ඉන්දීය රජයට කැමති වුවත් ඉන්දීය ජාතිකයන්ට කැමති නැත. ඔවුන් කියන්නේ භුතානයට බෝවෙන රෝග බොහොමයක් ගෙනෙන්නේ ඉන්දියානුවන් බවයි. අනෙක් අතට භූතාන වැසියන් සාමාන්‍ය චීන වැසියන්ට කැමතිය. එහෙත් චීන රජයට කැමති නැත. ඒ අදටත් නොවිසඳී තිබෙන චීන භූතාන දේශසීමා 
අර්බුදය නිසාය.
විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ට අමතරව නොයෙකුත් හේතු මත භූතානයේ ඉහළ මට්ටමේ වෘත්තිකයන්ද වසර කීපයක සිට රට හැර යාමට පටන් ගෙන ඇත. රටේ අනාගතය අවිනිශ්චිත බව ඔවුන්ගේ හැඟීමයි. පසුගිය වසරේ පමණක් භූතානයේ මුළු ජනගහනයෙන් සියයට 1.7ක් රට හැර ගියහ.
පසුගිය මාස කීපය තුළ අන්තර්ජාතික මාධ්‍යවල භූතාන රජය බුද්ධි ගලනය වැළැක්වීම සඳහා නිර්මාණය කරන නව නගරයට විශාල ප්‍රසිද්ධියක් ලබා දුනි. දකුණු භූතානයේ ගෙල්ෆ් ප්‍රදේශයේ ඉදිවන මෙම නගරය, ‘සතිමත් නගරය’ (මයින්ඩ්ෆුල්නස් සිටි) යනුවෙන් නම්කර ඇත. රටේ දළ ජාතික සතුට සංකල්පය යටතේ ආර්ථික සංවර්ධනය හා මානසික සැනසීම යන ඉලක්ක දෙකම එක වර සපුරා ගැනීමේ බලාපොරොත්තුවෙන් වර්ග කි.මී. 1000ක දළ ප්‍රමාණයෙන් යුතු මෙම නගරය ඉදිකරන බව භූතානයේ වත්මන් රජු වන කේසාර් වැන්ඩුක් පවසයි. ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ භූතාන දේශ සීමාවේ ඉදිවන මෙම නගරයේ පළමුවන අදියරේ ඉදිකිරීම සඳහා පමණක් වසර 2-5ත් අතර කාලයක් ගතවන බව අනුමාන කෙරේ. ඉදිකිරීමේ කාලය ලැබෙන ආයෝජන අනුව තීරණය වන බව භූතාන රජය කියයි.
ප්‍රශ්නය නම් මේ සතිමත් නගරය සම්පූර්ණයෙන් ඉදිවන තෙක් දැන් රටින් පිටවන්නට බලාපොරොත්තුවෙන් සිටින පිරිස රටේ රැඳී සිටීද යන්නයි.