මතු දවස සිව්පද කවිය රැකෙන්නේ කා අතද?


මාර්තු 21 වැනිදාට යෙදුණු ලෝක කවි දිනය වෙනුවෙනි

 

මීට අඩ සියවසකට පමණ පෙර මිනුවන්ගොඩ ඇලිස් පාක් පිටියේ සති පොළ පැවැත්වූවේ ඉරිදා ය. ඊට සැතපුම් පහක් පමණ එපිට ආඬිඅම්බලමේ සති පොළ පැවැත්වූවේ සඳුදා ය. දුර බැහැර සිට මිනුවන්ගොඩ ඉරිදා පොළට කරත්තවලින් පැමිණෙන වෙළෙන්දෝ ඉරිදා රාත්‍රිය ඇලිස් පාක් පිටියේ ම ගතකර, සඳුදා පාන්දර ම ආඬිඅම්බලමේ පොළට යාම සඳහා කරත්ත පෙරහැරින් පිටත්වෙති. එවකට මිනුවන්ගොඩ සිට ආඬිඅම්බලම දක්වා පාර දෙපස සිටි අපි උදෑසන අවදි වූවේ මේ ගැල්කරුවන්ගේ කවි සීපද හඬින් ය. සකරෝද හඬ සහ ගව කුර හඬ ඒ කවි සීපදවල පසුබිම් සංගීතය මෙන් විය. ඒ අතීත මිහිරි අත්දැකීම තවමත් මේ දැන් මෙන් සිහිපත් කරගත හැකිය. 


එකල ඉරිදා පොළේ බස්නැවතුම්පොළේ විරිඳුකාරයෝ ය. කවිකොළකාරයෝ ය. බොහෝවිට මෙම කවිවල නිමිති වූවේ එදා කාලීන ප්‍රවෘත්තිවල අඩංගු වූ සංවේදී පුවත් ය. නෙයිනගෙ සූදුව විරිඳුකාරයාගේ ය. ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, අඩ්ලින් විතාරණ, මනම්පේරි ඝාතන කවිකොළකාරයාගේ ය. කවිකොළකාරයාගේ බොහෝ කවි ආරම්භ වූවේ ‘සකල සිරින් පිරි සිරි ලංකාවේ’ කියා ය. පුවත්පත් ප්‍රවෘත්තියට වඩා කවිකොළකාරයාගේ විස්තරය අසන්නාට වඩාත් ළෙන්ගතු විය. ඒ සංවේදී කවි අසා හැඬූ කාන්තාවෝ ද එදා වූහ. මේ කවි තේරුම් ගැනීමට ඉතිහාසය භූගෝලය පිළිබඳ දැනුමක් අවශ්‍ය නොවීය. එදා කවි සාමාන්‍ය ජනතාවට බුද්ධිඝෝචර විය. 


එහෙත් අද ගැල නැත. ඉරිදා පොළේ විරිඳුකාරයා, කවිකොළකාරයා නැත. කවිය සීපදය ඇසෙන්නේ නැත. අද බොහෝ දෙනා අවදිවෙන්නේ පාන් චූන් වෑන් එකේ වාදනයෙන් ය. බොහෝවිට පාන් චූන් වෑන්වල වාදනය වෙන්නේ බිතෝවන්ගේ “ෆෝර් එලීස්” නම් වූ සංගීත ඛණ්ඩයයි. කොටින්ම දැන් අපි උදෑසන අවදිවෙන්නේ බිතෝවන්ගේ “ෆෝර් එලීස්” සංගීතයෙනි. 


සියල්ල වෙනස්වෙන ලොවක කවිය පමණක් නොවෙනස්ව තිබිය නොහැකිය. අද කවිය පමණක් නොව කවියේ හැඩරුව ද වෙනස්ව ඇත. එදා ජාතික ඇඳුමෙන් හෝ සරමෙන් කමිසයෙන් සැරසුණු කවියා වෙනුවට අද සිටින්නේ කලිසම් කබා හැඳගත් හුරුබුහුටි තරුණයෝ ය. ඔවුන් කවියෙන් දකින ජීවිත පැතිකඩ ද වෙනස් ය. බොහෝවිට ඒවා ද එක්තරා ආකාරයකින් අපූරු ය. එහෙත් කණගාටුවට හේතුව වෙන්නේ ඔවුන් බොහෝ දෙනෙකු විසින් ලියනු ලබන පැදි තාලයකට ගායනා කළ හැකි සිව්පද කවි නොවීම ය. ඒ කවි කියවනවා හැර ගායනා කළ නොහැකි ය. නූතන කවියාගේ මුහුකුරාගිය පරිකල්පනය එළිවැට සමය රකිමින් සංක්ෂිප්තයෙන් සිව්පද කාව්‍යගත කිරීමට හැකි ද යන්න ද සැකයකි. කොටින් ම එදා සිටම අපි කවිය යන්නෙන් අදහස් කළ දේට වඩා මෙය වෙනස් ය. සියල්ල වෙනස්වෙන සුළු ය. මේ නූතන කවියට ද කවදා හෝ දිනෙක තනු නොබැඳේ යයි නොකීමට බැරිය. කීමටත් බැරිය. 


හොඳම කවිපොත් ලෙස පසුගිය වසර කීපය තුළ සම්මානයට පාත්‍ර වූවේ මේ මෝස්තරයේ කවි අඩංගු පොත් ය. ඇතැම් සාහිත්‍ය තරගවල දී සඳැස් නිසඳැස් ලෙස ප්‍රභේදයකින් කාව්‍ය විනිශ්චය කෙරුන ද, සිව්පද නොවූ පද බැඳීම් මොන සම්මතයක පිහිටා සම්මානයට ලක්කළා දැයි ගැටලුවකි. යමක් දෙස නවතාවයකින් බැලීම අගේ කළ යුතුය. එහෙත් එම දෘෂ්ඨිය පවතින සුභාෂිතයට හානිකර නොවිය යුතුය. කරුණු මෙසේ ඉදිරියට යා නම්, අනාගතයේ දී සිංහල සිව්පද කවිය රැකෙන්නේ කා අත ද යන්න සිතාගැනීමට බැරිය. 
මෙම කතිකාවතේ දී අපේ පැරණිම කාව්‍ය මූලාශ්‍ර ලෙස සැලකෙන සීගිරි කැටපත් පවුරේ ලියැවුණු කවිපද, එළිවැට සමය රැකි සිව්පද කවි නොවෙන බවට කිසියම් කෙනෙකුන්ට තර්ක කළ හැකිය. සීගිරි ළඳුන් බලා එමින් ගමන තමන් දුටු දේ පිළිබඳව තම අදහස කැටපත් පවුරේ “කමෙන්ට්ස්” ලෙස සටහන් කර ඇත්තේ කෙටියෙන් ය. ගලක අකුරු ලියා තැබීම පැන්සලයකින් කොළයක් මත සටහන් තැබීමට වඩා දුෂ්කර ය. නැතිනම් හුණු කෑල්ලකින් කළුලෑල්ලක් මත යමක් ලිවීම තරම් පහසු නැත. දීර්ඝව ගල මත ලිවීමේ අපහසුතාවය හේතුවෙන් එදා සීගිරි රසවතා තම කාව්‍යමය සංකල්පනය ඉතා කෙටියෙන් කැටපත් පවුරේ සටහන්කොට තැබුවා වීමට බැරි නැත. ලිවීමට ඇති දුෂ්කරතාවය හේතුවෙන් උණ පතුරු මත ඉතා කෙටියෙන් කොටන ලද කාව්‍යමය අදහස්, හයිකු කාව්‍යයේ ආරම්භය විය හැකි බවට ඇතැමෙකු සැක කරයි. 


එදා ඉල්ලුමත් අද ඉල්ලුමත් අතර ඇත්තේ විශාල වෙනසකි. නූතන කවියාගේ ප්‍රදර්ශන පුවරුව පුළුල් ය. එය නව තාක්ෂණය හා බැඳුනකි. එබැවින් ඉක්මනින් ජනතාව අතරට යාමේ සහ කිසියම් බලපෑමක් කිරීමේ වාසිය ද නව පරපුරේ කවීන් සතුය. ඒ තුළ කුඹුරේ කමතේ කරත්තයේ ගායනා කළ කවි සීපද වියැකෙමින් ඇත. සුළු කාලයක් තුළ ලොව සිදුවූ ඇතැම් වේගවත් වෙනස්වීම් තුළ පරම්පරා දෙක තුනක අත්දැකීම් ඇත්තෙකුට සන්සන්දනාත්මකව මේවා දැකීමේ අවස්ථාව ලැබේ. අපේ පරම්පරාවේ ඛේදවාචකය එයයි. ඒ ත්‍රී කල් දැකීම ය. 

 

 


යටියන ක්ලැරන්ස් කොස්තා. 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.