මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතාවට නොයෙකුත් ආකාරයේ හිරිහැරවලට මුහුණ දීමට සිදුවිය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයෝ ඉන්දියාවෙන් හින්‍දු හා මුස්ලිම් ජනතාව මියන්මාරයට ගෙන්වාගෙන ඔවුනට රජයේ ඉහළ රැකියා ලබා දුන්හ. එය හරියටම ලංකාවේ අධිරාජ්‍යවාදී පාලන කාලයේ ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවට රජයේ රැකියා දීමේදී බ්‍රිතාන්‍ය රජය කළ විශේෂ සැලකුම්
හා සමානය.
මිලියන 54ක ජනගහනයක් සිටින මියන්මාරයේ ජනගහණයෙන් සියයට 90 ක් පමණ බෞද්ධයෝය. මියන්මාරය ථෙරවාදී බෞද්ධ ලෝකයේ ප්‍රබලම රට ලෙස සලකන්නේ එහි ලක්‍ෂ පහකට අධික බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා පිරිසක් සිටින නිසාය. භික්‍ෂුණී ශාසනයක් එහි නොමැති වුවත් මෙරට දසසිල් මාතාවන් හා සමාන පැවිදි කාන්තා පිරිසක්ද එහි සිටිති. තිලාෂින් යනුවෙන් හැඳින්වෙන ඔවුන් සංඛ්‍යාවෙන් 75,000කි.
ථෙරවාදී බෞද්ධ ලෝකයේ මෑත යුගයේ පැවැත්වූ ධර්ම සංගායනා දෙකම පවත්වා ඇත්තේ මියන්මාරයේය. ඒ 1871 වර්ෂයේ මියන්මාරයේ මණ්ඩලේ ප්‍රදේශයේ මින්ඩෝන් රජු යටතේ පැවැත්වූ සංගායනාව සහ නිදහසින් පසු 1954 වසරේදී මණ්ඩලේ ප්‍රදේශයේම එවකට තිබූ මියන්මාර් රජය විසින් සංවිධානය කරන ලද සංගායනාවයි.
මියන්මාරය ථෙරවාදී බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳව විශේෂත්වයක් දක්වයි. 19 වැනි සියවසේ එහි සිටි ලෙඩි සයාදෙව් භික්‍ෂූන් වහන්සේ විසින් ප්‍රචලිත කරන ලද විපස්නා භාවනා ක්‍රමය පසුව ලංකාවේද ජනප්‍රිය විය. පසුගිය ශතවර්ෂයේදී යු නාරද, මහාසි සයාදෙව්, සයාදෙව් යූ පණ්ඩිත වැනි ස්වාමීන් වහන්සේලාද මියන්මාරයේ විපස්සනා භාවනා ක්‍රමය ලොව ප්‍රචලිත කිරීමෙහිලා විශාල
සේවයක් කළහ.
මුල් බුදුදහම අනුගමනය කරන රටවල් දෙකක් ලෙස මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර දුරාතීතයේ සිටම තිබුණේ දැඩි සබඳතාවකි. ශ්‍රී ලංකා අමරපුර හා රාමඤ්ඤ නිකායන් දෙකටම නම ලැබුණේද මියන්මාරයෙනි. මණ්ඩලේ ප්‍රදේශයේ තිබෙන අමරපුර නගරය අතීතයේදී දෙවතාවක්ම මියන්මාරයේ අගනුවර ලෙස තිබූ නගරයකි. රාමන යනුවෙන් හඳුන්වන්නේ මියන්මාරයේ මොන් නම් ජනවර්ගයයි. රාමඤ්ඤ යන නම සැදුණේ මොන් ජනවර්ගය මුලින්ම සිටි ප්‍රදේශය රාමඤ්ඤදේශ් ලෙස හැඳින්වූ නිසාය. රාමන යන නම බුරුම භාෂාවෙන් අලංකාර යන තේරුම ගෙනදෙයි. අමරපුර නිකාය ලංකාවේ ආරම්භ වූයේ 1800 දීය. රාමඤ්ඤ නිකාය බිහිවූයේ 1864 දීය.
1948 නිදහස ලැබූ මියන්මාරයේ නිදහසින් පසු ගත වූ වසර 76න් 52ක්ම තිබුණේ හමුදා රජයන්ය. එයට එක් හේතුවක් වූයේ නිදහසට පෙර සිටම රටේ තිබූ බෙදුම්වාද අරගල නිසා ඇතිව තිබූ දේශපාලන අස්ථාවර බවයි.
ලංකාව මෙන් දස ගුණයකටත් වඩා විශාල මියන්මාරයේ ජනවර්ග 135ක් පමණ සිටී. ප්‍රධාන ජනවර්ග අටක් ඇත. බුරුම ජනගහනයෙන් සියයට 68ක් පමණ අයත්වන්නේ බමාර් ජනකොටසටයි. සුළු ජනවර්ගයන්ගෙන් විශාලම ජනකොටස සියයට 9ක් සිටිනා ෂාන් ජනවර්ගයයි.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තිබූ කාලයේ සිටම මියන්මාරයේ ජන කොට්ඨාසවලින් සෑහෙන පිරිසක් ස්වයං නිර්ණය අයිතිය ඉල්ලමින් සිටියහ. නිදහස ලැබෙන අවස්ථාවේ එයට ඉඩ දුන්නා නම් මේ වන විට මියන්මාරය කෑලි කීපයකට කැඩීගොස් අවසන්ය. රටේ ප්‍රධාන ජනවර්ග අටට අමතරව ඒවාට අයත් ඒවායේ උපජනවර්ග මෙන්ම ගෝත්‍රික ජනතාව ඇතුළු විශාල ජනකොටස් සංඛ්‍යාවක් දැන් නිදහස් අරගල ක්‍රියාත්මක කරමින් තිබේ.
එය සිතා ගන්නට නොහැකි තරමේ දේශපාලන අවුල්ජාලයක් බව පැහැදිලි වෙන්නේ අද එහි ප්‍රධාන ජාතිය වන බාමාර්වරුගෙන් කොටස්ද ස්වයංනිර්ණ අයිතිය ඉල්ලන නිසාය. බාමාවරුන්ගෙන් බහුතරය සිටින්නේ මියන්මාරයේ දිගම ගඟ වන ඉරවඩ්ඩි ගංගා නිම්නයේය. ඊට අමතරව බාමාවරු රටේ අවශේෂ ප්‍රදේශවලද ජීවත් වෙති. මෙසේ ඉරවඩ්ඩි නිම්නයෙන් පිටත සිටින බාමාවරුද තමන් සිටින ප්‍රදේශවල ස්වයං අයිතිය ඉල්ලමින් සිටිති.
මුලින්ම හමුදා රජයක් මියන්මාරයේ බලය අල්ලා ගත්තේ 1962දීය. එදා සිටම හමුදා රජයන් යටතේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා අනේක විධ දුක් ගැහැටවලට මුහුණ දුන්හ. වත්මන් හමුදා රජය බලයට පත්වූයේ 2021දීය. ඒ අයුන්සාන් සූකීගේ රජය පෙරළා දමාය. මුල් කාලයේ මෙම හමුදා රජයද භික්‍ෂූන් වහන්සේලාට හිරිහැර කළත්, පසුකාලීනව ජනතා ප්‍රසාදය ලබාගැනීමේ පරමාර්ථයෙන් භික්‍ෂූන්වහන්සේලාට වැඩි නිදහසක් ලබා දුන්නේය.
එසේ වුවත් වත්මන් හමුදා රජය සාමාන්‍ය ජනතාව කෙරෙහි ඉතාමත් දැඩි කෲර ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. එතෙක් නිදහස් ව්‍යාපාර කරගෙන ආ ජනවර්ගය දරුණු ලෙස මර්දනය කරන්නට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක් වූයේ දුසිම් ගණන් රටේ තිබූ නිදහස් ව්‍යාපාර එකට අත්වැල් බැඳගෙන හමුදා රජයට විරුද්ධව
සටන් කිරීමයි.
මෙම නිදහස් අරගලවල සිටින බොහෝ ජනවර්ගවලට ඔවුන්ගේම හමුදා ඇත. ඒවා බොහොමයක් මෑතක් වන තුරු ඉතාමත්ම ප්‍රාථමික මට්ටමක තිබිණ. එහෙත් මෑත කාලයේ සිට ඔවුන් අතට ස්වයංක්‍රීය ගිනිඅවි හා වෙනත් ආයුධ විශාල ප්‍රමාණයක් ලැබී ඇත. ඔවුන්ට බටහිර රටවලින්, විශේෂයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සෑහෙන සහයක් ලැබේ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මියන්මාර හමුදා රජයට විරුද්ධව යුද්ධ කරන ජනවාර්ගික හමුදාවන් ප්‍රසිද්ධියේම පිළිගෙන ඔවුන්ට සහය පළකර ඇත. මියන්මාර හමුදා රජයට යුදමය ආධාර කරන්නේ රුසියාව හා චීනයයි.
මේ වනවිට රටේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 55ක්, සියයට 60ක් අතර ප්‍රමාණයක් තිබෙන්නේ කැරලිකාර ජනවර්ග හමුදා අතේය. දිනපතාම ක්‍රමක්‍රමයෙන් හමුදා රජයට අයත් භූමි ප්‍රදේශය අඩුවෙමින් යයි. රජයට විරුද්ධව යුද වදින ජනවාර්ගික හමුදාවන්ගෙන් ප්‍රබලතම හමුදාව අරකන් හමුදාවයි. තිස් දහසක පමණ බළ ඇණියක් සිටින අරකන් හමුදාවේ මූලස්ථානය බටහිර බුරුමයේ රකයිනේ ප්‍රාන්තයයි. කාලයක සිටම කොමියුනිස්ට් පක්‍ෂ පාලනයේ තිබූ රකයිනේ ප්‍රාන්තයේ බහුතරයක් රටේ මුළු ජනගහනයෙන් සියයට 4ක් වන රකයින්වරුන්ය. රකයින්වරු තමන් ආර්යන් ජනකොටසක් බවත් ශාක්‍ය වංශයෙන් පැවත එන බවත් ප්‍රචලිත කිරීමට උත්සාහ කළත් ජාන පර් යේෂණවලට අනුව ඔවුන් බුරුමයේ මුල් උරුමකරුවන්ට හා ටිබෙට්වරුන්ට නෑකම් දක්වන බව හෙළි වී ඇත. අරකාන් යනු රකයින්වරුන්ට කියන තවත් නමකි.
රකයින්වරුන්ගේ නිදහස් සටන 1950 ගණන්වල ආරම්භ වුවත් වත්මන් අරකන් හමුදාව බිහිවූයේ 2009 වසරේදීය. අරකන් හමුදාවද ඇතුළු මියන්මාරයේ සියලු කැරලිකාර හමුදා සාමාජික සංඛ්‍යව 70,000ක් පමණය. රජයේ හමුදාව ලක්‍ෂ හතරකට වඩා වැඩිය. එහෙත් පසුගිය මාස කීපය තුළ දිගින් දිගටම කැරලිකරුවෝ විශාල ජයග්‍රහණ ලබා ගත්හ. බොහෝ ප්‍රදේශවල රජයේ හමුදා බැරැක්ක පිටින් සුදු කොඩි ඔසවා, යුද්ධ නොකරම යටත් විය. ඒ හමුදා රජය ඔවුනටද එතරම්ම එපා වී ඇති නිසාය. මේ දිනවල දරුණුම සටන් පවතින්නේ ඊසානදිග ප්‍රාන්තයක් වන ෂාන් ප්‍රාන්තයේය. දැනටමත් කැරලි හමුදා එහි විශාල භූමි ප්‍රමාණයක් අල්ලා ගෙන ඇත. ෂාන් ප්‍රාන්තයට මියන්මාරයේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 25ක් පමණ අයත් වේ.
කැරලිකරුවන් දැනට ලබා ඇති යුද ජයග්‍රහණ දෙස බලන විට තව මාස කීපයකින් යුද්ධය තීරණාත්මක අවධියකට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත. හමුදා රජයට ඒ වනවිට තවදුරටත් බලයේ සිටීමට ඇති හැකියාව අඩුය. ජූලි 31 වැනිදා හයවැනි වතාවටත් රජය හදිසි නීතිය දිගු කළේය. මියන්මාරයේ ලොකුම යුද්ධය ආරම්භ වන්නේ හමුදා රජය බිඳ වැටුණු පසුවය. මන්දයත් තාවකාලිකව දැනට එකතු වී ඇති ජනවාර්ගික හමුදා ඉන්පසු භූමියේ තමන්ගේ කොටස බෙදාගැනීමට උත්සාහ කරන නිසාය. 135ක් පමණ ජනවර්ග ගණනක් සිටින මියන්මාරය ඉන්පසුව තවදුරටත් එක රටක් ලෙස පැවතීමට ඇති ඉඩකඩ ඉතා අඩුය.