මිලානෝ රංගශාලා ප්‍රේක්ෂකාගාරය විශ්මයට පත්කළ ‘වන්දනා ’ ප්‍රසංගය


 

ශ්‍රී ලාංකීකයින් විශාල පිරිසක් තම මව් රටින් බැහැර වී නොරටවල ජීවත් වෙති. මැද පෙරදිග කලාපයේ එය සංඛ්‍යාත්මක වශයෙන් බහුතරයක් වුව ද වර්තමානයේ යුරෝපාකරයේ තත්ත්වයද ඊට දෙවෙනි නොවේ. ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය වැනි යුරෝපයේ ප්‍රබල රටවලට ශ්‍රී ලාංකීකයින්ගේ සංක්‍රමණයවීම මේ වන විට වැඩි වෙමින් පවතී.   


මෙසේ සංක්‍රමණය වෙන සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම මූලික ඉලක්කය තම ජීවන ආර්ථිකය ඉහළින් ඔසවා තබා ගැනීමය. එය එසේ වුවද, තම උපන් දේශයෙන් බැහැරවී ආගන්තුක පරිසරයක ජීවත්වෙන ඔවුන් තම සංස්කෘතිය, ආගම සහ කලාව පිළිබඳව නොමඳ පිපාසාවකින් පෙළෙති. සෑම සති අන්තයකම විවිධ සංස්කෘතික හෝ කලා කටයුතු වේදිකාරූඪ වෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.   


මෙම දෙසැම්බර් 01 වැනි දින සන්ධ්‍යාවේ ඉතාලියේ මිලානෝ නුවර පී.මේ. ශාලාවේ අසුන්වලට බරදී සිටියේද මා ඉහතින් සඳහන් කළ සංස්කෘතික, ආගමික සහ කලා පිපාසිත පිරිසකි. 21ක් වසරක් නර්තන අචාරිණියක ලෙස තම ශිල්පීය දැනුම් සම්භාරය ගුරු මුෂ්ඨියකින් තොරව පරම්පරා දෙකකට මුදාහළ මානෙල් ජයශාන්ත නම් ගුරු මෑණියන්ට උපහාර පිණිස සංවිධානය කර තිබූ “වන්දනා” නර්තන ප්‍රාසාංගිකය රස විඳීමට මේ පිරිස මිලානෝ පී.මේ. ශාලාවට රොද බැඳ සිටියහ.   


වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වන්දනාවක්ම වූ මේ රසාලිප්ත රංගාවතරණය සංවිධානය කර තිබුණේ මානෙල් ජයශාන්ත ගුරු මෑණියන්ගෙන් දශක දෙකකට අධික කාලයක් සිප් සතර හැදෑරු ගෝල පිරිස විසිනි. හෙළ නර්තන කලාවේ මහා ඇදුරෙකු වූ කොළඹ සෞන්දර්ය සහ කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් සහ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් ඩෙන්සිල් ෆොන්සේකා යන මහත්වරුන් “වන්දනා” නර්තන ප්‍රාසාංගිකයේ ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගීවී සිටියහ.   


හෙළ නර්තන සම්ප්‍රදායන්ට අනුකූල වෙමින් උඩරට, පහතරට සහ සබරගමු නැටුම් කලාවන්ගේ රසයන් රසයෙන් රස ගන්වමින් පී.මේ. රංගශාලාවේ වේදිකාව මත මුදා හැරීමට ‘‘වන්දනා’’ රසාලිප්තය හැඩකළ රංග ශිල්පීන් සහ ශිල්පිණියන් සමත් වූහ. මුදියන්සේ දිසානායක ගුරු ඇදුරුතුමාණන් වේදිකාවට පිවිස කළ කෙටි කතාවේදීද එය තහවුරු කරමින් තම ප්‍රශංසාව ඔවුන් වෙත පුදකර සිටියේය.   


විදේශයක ඉපදී හැදී වැඩුනද, හෙළයන්ගේ ජානවලින් පෝෂණයවූ මේ සිසු දරු දැරියන්ගේ රංග කුසලතාවන් ප්‍රේක්ෂකාගාරය විශ්මයෙන් විශ්මයට පත් කළ අතර පැමිණ සිටි ඉතාලි ජාතික ප්‍රේක්ෂක පිරිසද තම දෑත් තලා ලබා දුන් අත්පොලසන් හඬින් ශාලාව ගිගුම් දුනි.   


මෙම සටහන අවසන් කිරීමට පෙර මානෙල් ජයශාන්ත ගුරු මෑණියන් පිළිබඳව කෙටියෙන් යමක් සඳහන් කිරීම වටී. ඇය, නර්තනයේ හැඩ තල තම සිසු පරපුරට දායාද කරන අතරතුර අපේ හෙළ නර්තන කලාව යුරෝපය පුරා ප්‍රචලිත කිරීමට ඉමහත් වෙහෙසක් ගත් දිරිය කාන්තාවකි. ස්විට්සර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය සහ ඔස්ට්‍රියාව යන රටවල උත්සව අවස්ථා සඳහා ඇය නිරන්තර ආරාධනා ලබන්නේ ඒ නිසාවෙනි. පී.මේ.රංගශාලා වේදිකාව මත “වන්දනා” රංගාරූඪවෙන අයුරු ශාලාවේ කොනක සිට නැරඹුවෙමි. දේශීය නර්තන කලාව සතු කලා රසය කුළු ගැන්වෙන සියුම් ශිල්පීය කම්පනය ප්‍රකම්පනය කර යුරෝපීය ජාතිකයින්ගේ හදවත් තුළට සන්නිවේදනය කිරීමට මානෙල් ජයශාන්ත ගුරු මාතාවට සහ ඇයගේ සිසු සිසුවියන්ට හැකි වූවායැයි අවසානයේ මට සිතුනි.   

 

 


සුමිත් අරුණ   
ඉතාලියේ මිලානෝ නුවර සිට.