දුප්පත් අපට අපේ රටේ ජීවත්වෙන්න බැරි තත්ත්වයක් අද උදාවී ඇත. හැදුනේ කව්ද නොහැදුනේ කව්ද මේවාට පිළිතුරැ සපයන්නෙ කවුද? ඒ අත මේ අත පිල් මාරුවෙමින් කතාකරගෙන බෙදාගෙන කන්නේ අපිද? ඔහේලද?
නායකයන් කියමින් රටවල්වල සංචාරය කරමින් අපේ අඩුපාඩු පින්තූරවලින් පෙන්වා දෙමින් ආධාර ලබාගන්නේ කවුද? මේවා රැගෙන හරි හැටි පාලනය, විය හියදම් අවංකව කරන්නේ කවුද? හැම රටක්ම අපට ආධාර කරන්නේ දුප්පත් රටක් නිසා, අසරණ දුප්පත් ශ්‍රී ලංකාදීපයේ ජනතාව නගා සිටුවාලීමට.
වංචාව බොරුව හොරකම රජකරවමින් දවසින් දවස අලුත් බයිලා කියමින් ඉදිරියට ඇදෙන්නෙ මන්ත්‍රීවරු ඇමතිවරු, අපේ බඩ කට පිරවීම සඳහා නොවේ. රට ජාතිය ආගම නගාසිටුවාලීමට නොවේ. ඇස් දෙක පියාගෙන නිදාගෙන ඉන්න බැරි යුගයක් රටට උදාකරල ඉවරයි. ශ්‍රී ලංකාදීපය නාමයත් වෙනස් කරමින් අකුරු අල්කරමින් නමත් කන රටත් කන නගරයත් ගමත් ගිනි බත් කරමින් රට ප්‍රපාතයට ඇද දමන නායක පරපුරු එදා මෙදා ආ ගමන් මග හැරිල බලන විට ඔවුන් කළේ දරුවන් බිරින්දෑවරුන් පරම්පරාවන් ඉඩම් මුදල් හම්බකළා පමණයි.
බඩු මිල අහස උසටම යවමින් පිටරටවලින් නොයෙක් මාදිලියේ බඩු ගෙන්වමින් කොමිස් ලබාගත්තා පමණයි. ඒවා ප්‍රදර්ශනයට තැබීමට පමණි. එදිනෙදා කුලියක් කරමින් දහඩිය ශ්‍රමය වැයකරමින් උපදවගන්නා මුදලෙන් කඩයට ගොස් කෑමට ආහාර ලබාගන්නවා මිසක ගෙවල් සෑදීමටවත් ඉතුරුවක් කිරීමට නොහැක.
අපි අපේකමත් දැන් නැතිකරගෙන ඉවරයි. අල්ලසට ජරාවට අතපාමින් රට පාවාදෙන රට විනාශකරන අවස්ථාවාදී කොටසක් දිනෙන් දින බිහිකරන ශ්‍රී ලංකාවක් වෙලා ඉවරයි. බුදු දහම පවා බොරු කරන ගිහි ජීවිතයෙන් නික්මගිය බුද්ධ පුත්‍රයන් වහන්සේලා පවා රට ජාතිය ආගම ගොඩගැනීම සඳහා අසරණ දුප්පත් ජනතාව වෙනුවෙන් ඉදිරිපත්වෙලා වැඩ කරන්නේ චීවරයට ගෞරවය ලබාදීම සඳහාද?
මන්ත්‍රී හාමුදුරුවන් වහන්සේලා අද චීවරය කරේ තබාගෙන කෑ කෝ ගහන්නේ බුදු දහම හිසමත තියාගෙනද. ශීලය කොහිද. දන නමා වඳින්නේ කාටද. සුදු රෙදි පුටුවලට දානවද. මැති ඇමතිවරු මන්ත්‍රීවරු මන්ත්‍රී හාමුදුරුවරු අද පාර්ලිමේන්තුව සෙල්ලම් පිටියක් බවට පත්කරගෙන පන්දු යවන්නෙ පන්දුවට පහර දෙන්නේ රටට, ජාතියට, ආගමට, දුප්පත් ජනතාවට බඩගින්නට සහන රස්සාවල් ලබාදීලද.
රජ පුටුවල වැජඹුනාට රජ පුටුවල මියැදෙන්නේ නොමැත. රට ජාතිය වෙනුවෙන් කැපවී වැඩකළ භික්ෂූන් වහන්සේලා හා නායකවරු එදා සිටියා වගේම අවංක සේවයක් කළත් අද එසේ කරන කෙනකු ජීවත්වීම අමාරු කරුණක් බවට පත්වෙන තත්ත්වයට රට හැදුවේ උඩුපිල යටිපිල කතාවෙලා මාරුවෙන් මාරුවට බෙදාගෙන.
අපි දුප්පත් අර සමිතියට මේ සමිතියට අර පෙළපාළියට මේ පෙළපාළියට ගියා කියල අපට ලැබුණු දෙයක් නැත. වැඩට ගියෙත් නැත. මුදල් ලැබුණෙත් නැත. ලැබුණ මුදලත් වියදම් වුණා. දවසෙ පැය 24ම රස්තියාදු වුණා. අසනීප වුණා. රෝහලට ගියා. රණ්ඩු වුණා. පොලිසියට ගියා. උසාවි ගියා. නඩුවට ගියා.
මේ ටික කරගන්නද අපට සිදුවූයේ? දුප්පත් අපේ වටිනා කතිරයට සාධාරණය ඉටුවූයේ නොමැත. දැන්වත් ඇස් ඇරලා බලන්න. මොලේ පාවිච්චි කරන්න. අපිට අපි විතරයි. කිසිවකු විශ්වාස කරන්න එපා. අසාධාරණ පත්වීම ගසාකෑම් සූරාකෑම් යන මේවා නැවත පණපෙවීමක් නොමැත. අවංක සේවය නීතිය අකුරට ක්‍රියාකරයි නම් රට ගොඩනැගිය හැක.
ආවාසවත්තේ
එච්. ගුණසිරි ද සිල්වා
රාස්ලපාන් සිටි, දෝහා කටාර්