ලොව ඉහළම තැනත් පෝලිමක්


 

කිසියම් ස්ථානයකට පිවිසීම ජනාකීර්ණ වූ විට, තම වාරය එනතුරු එතැන පෝළිමක් ලෙස පෙළ ගැසීම ශිෂ්ට සමාජයේ සිරිත ය. මෙලෙස බස් පෝළිම, බෙහෙත් පෝළිම, පාන් පෝළිම ලෙස පෝළිම් විවිධ ය. මේ ඡායාරූපයෙන් පෙනෙන්නේ එසේ මෙසේ පොළිමක් නොවේ. පෘථිවියේ වඩාත්ම උස් තැන ලෙස සැලකෙන මුහුදු මට්ටමේ සිට මීටර් අටදහස් අටසිය හතළිස් අටක උසින් පිහිටි එවරස්ට් කඳු සිඛරය ජනාකීර්ණ වීම හේතුවෙන්, එහි පා තැබීම සඳහා පෙළ ගැසී සිටින කඳු නගින්නන් සමූහයකි. 


එවරස්ට් තරණය සඳහා පෙළඹෙන පිරිස වැඩිවීමත් සමගම එහිදී සිදුවෙන අනතුරු සංඛ්‍යාව ද වැඩිවෙමින් ඇත. පසුගිය අප්‍රේල් මස එක සතියක් තුළ එවරස්ට් කඳු නගින්නන් දසදෙනෙකු අනතුරට පත්ව මියගිය බව වාර්තා වේ. මේ පිරිස අතර ඇමෙරිකානු - අයර්ලන්ත - චීන - ඉන්දියානු සහ නේපාල ජාතිකයෝ වෙති. මේ මරණ වැඩි සංඛ්‍යාවකට හේතුවී ඇත්තේ අවශ්‍ය ප්‍රමාණයට ශරීරයට අවශ්‍ය ඔක්ෂිජන් වායුව නොලැබීම බව ද වැඩිදුරටත් වාර්තාවී ඇත. 


පෘථිවියෙන් ඉහළට ගමන් කිරීමත් සමගම වායු තලයේ අඩංගු ඔක්ෂිජන් ධාරිතාව හීන වෙන බැවින්, එහිදී ක්‍රමවත් ආශ්වාස ප්‍රාශ්වාසය සඳහා කෘත්‍රිම ක්‍රමවේදයක් මගින් ඔක්ෂිජන් ලබාගැනීමට සිදුවේ. එවරස්ට් සිඛර ආසන්නයේ දී උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් ඍණ අංශක 20ක් පමණ වේ. මේ හේතුවෙන් කඳු නගින්නෝ ඔක්ෂිජන් සිලින්ඩර ගෙන යාම අනිවාර්යය කරගෙන සිටිති. කඳු නැගීමේ දී උසුලාගෙන යන බර ප්‍රමාණය සීමා කිරීමට අවශ්‍ය බැවින්, ගමනට සැලසුම් කළ කාලයට පමණක් සෑහෙන පරිදි අවම ඔක්ෂිජන් සිලින්ඩර ප්‍රමාණයක් ගෙන යාම සිරිත ය. එවරස්ට් කඳු සිඛරය ජනාකීර්ණ වීමත් සමගම ගමන ආරම්භයේ සිට කඳු මස්ථකයට පා තැබීම දක්වා සහ ආපසු පැමිණීමට පැය විස්සක පමණ කාලයක් ගතවෙන බව කියැවේ. ගමන මන්දගාමී වීමෙන් ගමනට සැලසුම් කළ කාලය ඉක්මවාගොස්, ආපසු ගමනේ දී ඔක්ෂිජන් හිඟයකට කඳු නගින්නෝ මුහුණ දෙති. 
මීට වසර හැටහයකට පෙර, එනම් 1953 මැයි මස 29 වැනි දින නවසීලන්ත ජාතික එඩ්මන්ඩ් හිලරි සහ නේපාල ජාතික ෂාර්පාවරයකු වූ නෝර්ගේ ටෙනිසින් එවරස්ට් මස්තකයට මුල්වරට පා තැබූ තැන් පටන්, 2018 වසර අවසානය දක්වා නවදහසක පිරිසක් එහි පා තබා ඇත. මේ වසරේ මුල් කාර්තුව තුළ පමණක් එවරස්ට් කඳු තරණය සඳහා අවසරපත් 554ක් නිකුත්කර ඇත. 


1966 දී එවරස්ට් කඳු මුදුනේ සිදුවූ කුණාටුවක් හේතුවෙන් හිමට යටවී කඳු නගින්නෝ පස්දෙනෙකු මියගියහ. 2014 සහ 2015 වසර දෙක තුළ හිමකඳු කඩාවැටීමෙන් ෂාර්පාවරු තිස්දෙනෙකු හිමෙහි වැළලී ගියහ. 


එවරස්ට් කඳු තරණය සඳහා නේපාල රජයෙන් අවසරපත්‍රය ලබැගැනීම, බර උසුලාගෙන යාම සඳහා ෂාර්පාවරුන් කුලියට ගැනීම (එක් කඳු නගින්නකුට ෂාර්පාවරු හතර දෙනෙකුගේ හෝ පස්දෙනෙකුගේ සහය ලබාගැනීමට සිදුවේ) ආදී කාරණා සඳහා, එක් කඳු නගින්නකුට ඇමෙරිකානු ඩොලර් පනස්දහසක පමණ මුදලක් වියදම් කිරීමට සිදුවේ. මෙය ජාතික ආදායම තර කරන බැවින්, එවරස්ට් කන්ද ජනාකීර්ණ වීම හෝ එහිදී සිදුවෙන අනතුරු පිළිබඳව නේපාල රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. 

 


යටියන 
ක්ලැරන්ස් කොස්තා
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.