ලොව දියුණුතම අධ්‍යාපන ක්‍රමය සහිත ෆින්ලන්තයේ කතාව



ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍යයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතු අංශ අතර අධ්‍යාපනය පසුවෙන්නේ ප්‍රමුඛ තැනකය. රට මුහුණ දී තිබෙන සමාජ, ආර්ථික, දේශපාලනික අර්බුදයෙහි මූල හේතුව යල් පිනූ අධ්‍යාපන ක්‍රමය බවට මත පළවෙන්නේ ද එබැවිනි. රටක කොඳුනාරටිය වෙන්නේද අධ්‍යාපනයයි. මෙවර අප ගොඩගිය රටවල විත්ති විශේෂාංගයේ කේන්ද්‍රීය අදහස හැටියට ගෙන එන්නේ යහපත් අධ්‍යාපන ක්‍රමයක් පැවතීමෙන් රටකට නෙළා ගත හැකි විපුල ප්‍රතිඵල ගැනයි. ඒ සඳහා ආදර්ශ රට වශයෙන් තෝරා ගත්තේ ෆින්ලන්තයයි. මෙවරත් ඒ වෙනුවෙන් අදහස් දක්වන්නේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහයි.

ෆින්ලන්තය යුරෝපා කලාපයට අයත් සංවර්ධිත රාජ්‍යයකි. 2022 වෙනවිට එරටේ ඒකපුද්ගල ආදායම ඩොලර් 54,000 ක් පමණ විය. ජනගහනය මිලියන 5.5 ක් වෙන කුඩා රටකි. ෆින්ලන්තය සුවිශේෂ වෙන්නේ ආර්ථික අභිවෘද්ධියට සමගාමීව අධ්‍යාපන අංශයේ දී අත්කරගෙන ඇති ඉහළ ප්‍රගතිය නිසාය. තරගකාරී ආර්ථිකයක් සඳහා තරගකාරී නොවෙන අධ්‍යාපනයක් සහිත රටක් හැටියට ෆින්ලන්තය සැලකේ. මුලින්ම එරටේ තරගකාරී ආර්ථිකය ගැන අවධානය යොමු කළහොත්, එහි ඉතා හොඳ ආණ්ඩුකරණයක් ක්‍රියාත්මක වේ. පුරවැසියන්ගේ ජීවිතවල ගුණාත්මකභාවය ද ප්‍රශස්ත මට්ටමක පවතී. ඊට අදාළ දර්ශකවල ෆින්ලන්තය ඉහළ ස්ථානවල පසුවේ. නිදසුනක් ලෙස 2022 දී Quality of Life හි 4 තැන හිමි කරගෙන තිබිණි. ලෝක සතුටු වාර්තාව (World Happiness Index) අනුව 2022 දී ෆින්ලන්තය එහි පළමු ස්ථානයේ පසුවිය. එමෙන්ම මානව ප්‍රාග්ධන දර්ශකයෙහි පළමු තැන පසුවෙන රටකි. දූෂණය අවම රටක් හැටියට ද ෆින්ලන්තය නම් දරයි. ඒ අනුව, Corruption Perception Index හි ෆින්ලන්තය 2 වැනි තැන පසු වෙයි. තිරසර සංවර්ධනය අතින් ද එරට ඉහළ ප්‍රගතියක් අත් කරගෙන තිබේ. Global Sustainable Competitiveness Index ට අනුව එරට එහි දෙවැනි තැන පසුවිය.

මීළඟට ෆින්ලන්තය අධ්‍යාපන හා තාක්ෂණ අංශවලට අදාළව අත්කර ගෙන ඇති ප්‍රගතිය විමසුමට ලක් කළ හැකිය. Global Innovation Index හි එරට 9 වැනි තැන පසුවිය. එසේම Global Knowledge Index හි 4 වැනි තැන පසුවිය. Global Skill වාර්තාවට අනුව ෆින්ලන්තය 2022 දී පසු වූයේ 13 වැනි ස්ථානයේය. මේ දර්ශකවලින් හෙළි වෙන ආකාරයට ෆින්ලන්තය සමාජ, ආර්ථික, අධ්‍යාපන අංශවල පෙරමුණේ පසු වෙයි. මෙපරිදි ෆින්ලන්තය සමාජ, ආර්ථික, අධ්‍යාපනික සහ ආණ්ඩුකරණ යන අංශවල විශාල දියුණුවක් අත්කර ගැනීමට බලපෑ පසුබිම විමසා බැලීම වැදගත්ය.

එහිදී අධ්‍යාපන අංශයට අදාළව අත්කර ගෙන ඇති ප්‍රගතිය සුවිශේෂ වේ. ආර්ථික සංවර්ධනය හා සහයෝගීතාව සඳහා වූ සංවිධානය මගින් ක්‍රියාත්මක කරන Program for International student Assessment ලොව පිළිගත් අධ්‍යාපන කාර්ය සාධන දර්ශකයකි. එම දර්ශකය යටතේ ගණිතය, විද්‍යාව සහ කියැවීම යනාදී අංශවලට අදාළ අතුරු දර්ශක තුනක් ද පවත්වාගෙන යනු ලැබේ. 2000 මුල් කාලයේ සිට 2010 දක්වා එම දර්ශකවල මුල් ස්ථානය හිමි කර ගත්තේ ෆින්ලන්තයයි. ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමයට ජාත්‍යනතර අවධානය වැඩි වශයෙන් යොමු වීමට එය ප්‍රබල හේතුවක් විය. මෑතක සිට ඒවායෙන් ඔබ්බට යමින් නිපුණතා (skills) විවේචනාත්මක චින්තනය (critical thinking) වැනි අංශවලදී ද එරට අධ්‍යාපන අංශය සෑහෙන දියුණුවක් අත් කරගෙන තිබේ. මේ හේතුවෙන් නිපුණතා හා විවේචනාත්මක හරයක් සහිත ශ්‍රම බලකායක් ගොඩනැගීමට එරටට හැකි වී ඇත.

 

ෆින්ලන්ත අධ්‍යාපනයේ අරමුණ වෙන්නේ එක් එක් පුද්ගලයන් සතු පූර්ණ විභවතාව (හැකියාව) හඳුනාගෙන ඒවා වැඩි දියුණු කිරීමත් පුද්ගලයන්ගේ හා සමාජයේ යහපත වෙනුවෙන් ඒවා යොදා ගැනීමත්ය. මේ මූලික අරමුණු මත සකස් වී ඇති ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. පළමුවැන්න නම් සියලු දෙනාට නිදහස් අධ්‍යාපනය යන්නයි. ඒ අනුව, ෆින්ලන්ත වැසියන්ට පූර්ව ළමාවිය අවධියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන තෙක් කිසිදු අය කිරීමකින් තොරව අධ්‍යාපනය ලබා දේ. සැමට සමාන අධ්‍යාපන අවස්ථා යන්න එරටේ නිදහස් අධ්‍යාපනයේ පදනමයි. දෙවැනි වැදගත් ලක්ෂණය වෙන්නේ ප්‍රතිඵල නිකුත් කරන විභාග නොතිබීමය. පන්ති කාමර මට්ටමින් විභාග පැවැත්වුව ද ඒවා හුදෙක් ළමයින්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් කරන්නේ කෙසේද? යන්න ගැන ගුරුවරුන්ට අවබෝධයක් ලබා දෙන තක්සේරු කිරීම්ය. විභාගවල දී ළමයින් ගන්නා ප්‍රතිඵල මත ඔවුන්ගේ අධ්‍යාපනයේ අවධානය යොමු කළ යුතු අංශ ගැන ගුරුවරු දැනුම්වත් වෙති. ප්‍රතිඵල නිකුත් කරන විභාග නොපැවැත්වුව ද පාසල්වල කාර්යසාධනය නිතර සොයා බැලේ.

තුන්වැනි ලක්ෂණය නම්, ළමයින්ට ඔවුන්ගේ මවුපියන් සමග වැඩිකාලයක් ගත කිරීමට ඉඩ ලැබෙන අයුරින් වයස අවුරුදු හතේ දී පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීමය. ඒ අනුව, එරටේ පළමු ශ්‍රේණිවලට ළමයින් ඇතුළත් කර ගන්නේ වයස අවුරුදු 7 දීය. එතැන් සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය අනිවාර්ය කර තිබේ. ඒ යටතේ වයස අවුරුදු 16 සම්පූර්ණ වූ පසු විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ වෘත්තීය පුහුණු අධ්‍යාපනය හෝ යන දෙකෙන් එකක් තෝරා ගැනීමට දරුවන්ට පිළිවන. වෘත්තීය අධ්‍යාපන ආයතනවලට උසස් අධ්‍යාපන ආයතනවලට සමාන වැදගත්කමක් ලබා දේ. එය අවධානයට යොමු විය යුතු තරමේ වැදගත් තත්ත්වයකි. එම වැදගත්කම ලංකාවේ තත්ත්වය සමග සැසඳීමේ දී පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේදී බොහෝ දරුවන් වෘත්තීය පුහුණු අධ්‍යාපනයට යොමු වෙන්නේ පාසල් අධ්‍යාපනය හමාර කළ පසුය. 

සිව්වැන්න, සුදුසුකම් සහිත අය ගුරු සේවයට බඳවා ගැනීමය. සෑම ගුරුවරයෙකුටම අවම වශයෙන් ශාස්ත්‍රපති උපාධියක් තිබිය යුතුය. විශ්වවිද්‍යාලවලින් ඉහළම ප්‍රතිඵල ලබන සියයට 10 ක පිරිසක් වාර්ෂිකව ගුරු වෘත්තියට බඳවා ගැනේ. ෆින්ලන්ත සමාජයේ ගුරු වෘත්තියට ඉහළ පිළිගැනීමක් හිමි වේ. එරටේ අධ්‍යාපනයට අදාළ පස්වැනි ලක්ෂණය වෙන්නේ දරුවන් අතර තරගකාරීත්වය වෙනුවට සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමය. ඒ යටතේ කණ්ඩායම් පැවරුම් ඔස්සේ ළමයින්ට අනෙක් ළමයින් සමග සහයෝගීතාවෙන් සාමූහිකව කටයුතු කිරීමට ඉඩ ලැබේ. දෙයක් ඉක්මනින් කිරීම වෙනුවට නිවැරදිව කිරීමට අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන් පොලඹවයි. උසස් අධ්‍යාපනය සඳහා විවිධාකාරයේ අවස්ථා පැවතීම ද එරට අධ්‍යාපන ක්‍රමයේ දැකිය හැකි ලක්ෂණයකි. ඒ යටතේ ඇතැම් අයට පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කළ හැකිය.  තවත් අයට වෘත්තීය පුහුණුවක් හෝ රුකියාවක් හෝ කිරීමෙන් පසු විශ්වවිද්‍යාලයකට ඇතුළු වී අධ්‍යාපනය ලැබීමට පිළිවන. එමෙන්ම ඇතැම් අයට රැකියා ගණනාවක් කළ පසුව ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබිය හැකිය. මෙපරිදි ෆින්ලන්ත වැසියන්ට මුල් උපාධිය හැදෑරීම සඳහා අවස්ථා ගණනාවක් තිබේ. කවර වයසක දී මුල් උපාධිය හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලයකට ඇතුළු වුවද ඒ අරබයා මුදල් අය නොකෙරේ.

මීළඟට මේ ෆින්ලන්ත ආදර්ශයෙන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය උසස් කිරීම සඳහා උගත හැකි පාඩම් විමසා බැලිය හැකිය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සකස් වී ඇති ආකාරයම ප්‍රශ්න සහගතය. ලංකාවේ පාසල් පද්ධතිය ව්‍යාකූල එකකි. රජයේ පාසල්, පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, ජනප්‍රිය පාසල්, ජාතික පාසල්, මහින්දෝදය පාසල්, පිරිමි පාසල්, කාන්තා පාසල් ආදී වශයෙන් විවිධ නම්වලින් හඳුන්වන සංකීර්ණ පාසල් පද්ධතියක් ලංකාවේ දැකිය හැකිය. ඊට අමතරව බෞද්ධ පාසල්, ක්‍රිස්තියානි පාසල්, දෙමළ පාසල් සහ මුස්ලිම් පාසල් වශයෙන් ජාති හා ආගමික වශයෙන් සැකසුණු පාසල් ව්‍යුහයක් ද තිබේ. 

සමාජයේ තිබෙන විවිධ විෂමතා හා වෙනස්කොට සැලකීම්වල පිළිබිඹුවක් හැටියට මෙරට පාසල් පද්ධතිය සැලකිය හැකිය. ඒවා වර්ධනය කරන සහ වපුරන ඒකක හැටියට මේ සංකීර්ණ පාසල් පද්ධතිය පත්ව ඇත. එහෙත් ෆින්ලන්තයේ තිබෙන්නේ සැමට සමාන අධ්‍යාපන අවස්ථා සහතික කරන අධ්‍යාපන ක්‍රමයකි. මෙය ලංකාවට එරටින් උගත හැකි වැදගත් පාඩමකි. එබැවින් ලංකාවේ පවතින පාසල්වලට අදාළ සියලු වර්ගීකරණයන් ඉවත් කළ යුතුය. ජාති, ආගම්, ජනප්‍රිය ආදී වශයෙන් පවතින පාසල් ඉවත් කර සියලු පාසල් ළමයින්ගේ පාසල් බවට පත් කළ යුතුය.

ෆින්ලන්තයේ දරුවන්ගේ විභාග ප්‍රතිඵල 
දරුවන්ට ලබා දෙන්නෙ නෑ

 

කවර වයසක දී වුවත් මුල් උපාධිය හැදෑරීමට විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න පුළුවන්. මුදල් අය කෙරෙන්නෙ නෑ

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය පවතින බව ප්‍රකාශ වුවද එය අසත්‍යයකි. නොමිලයේ අධ්‍යාපනය ලබා දීමක් සිදු වෙන්නේ නැත. අනෙක් අතට අද වෙනවිට අධ්‍යාපන ක්‍රමය බරපතළ ලෙස ටියුෂන්කරණය වී තිබේ. උපකාරක පන්තිවලට යා නොහැකි දරුවන්ට අධ්‍යාපනයෙන් ඉහළට යෑමට ඇති අවස්ථා නැති තරම්ය. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දරුවන් සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ වහාම උපකාරක පන්ති යන ප්‍රවණතාවක් දැකිය හැකිය. මේ හේතුවෙන් වර්තමානය වෙනවිට ළමයින් පාසල් නොයන තත්ත්වයක් උද්ගතව ඇත. එමෙන්ම ලංකාවේ අධ්‍යාපනය විභාග කේන්ද්‍රීය එකක් බවට පත්ව තිබේ. කණ්ඩායම් හැඟීම් නැති, ආත්මාර්ථකාමී පුද්ගලයන් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් වැඩි වශයෙන් බිහිවෙන්නේ ද එබැවිනි. එය සමාජයේ උද්ගතව තිබෙන අර්බුදවලට ප්‍රධාන හේතුවක් වී ඇත. මේ තත්ත්වය වෙනස් කිරීමට අපට ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය දෙසට හැරිය හැකිය. ඉහත දී විස්තර කළ පරිදි එරටේ අධ්‍යාපනය තරගකාරී එකක් නොවෙන අතර කණ්ඩායම් ක්‍රියාකාරකම් සුලබය.

ගුරුවරුන් ලබන්නේ ඉතා අඩු වැටුප්ය. එබැවින් විශ්වවිද්‍යාලවලින් ඉහළ ප්‍රතිඵල ලබන පිරිස් ගුරු වෘත්තියට පිවිසෙන්නේ අඩුවෙනි. පෞද්ගලික පාසල්වල මේ තත්ත්වය වඩාත් නරකය. එම පාසල් හා ඒවායෙහි උගන්වන ගුරුවරුන් නිසි සුදුසුකම් මත බඳවා ගත් අයද යන්න ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිසි අධීක්ෂණයක් සිදුවෙන බවක් පෙනෙන්නට නැත. 

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ නිර්මාණය වී ඇති මේ අර්බුද විසඳීම සඳහා ෆින්ලන්තය ආදර්ශ මාදිලියක් සේ සලකා ගත යුතු ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කළහොත් ඉන් පළමුවැන්න වන්නේ අධ්‍යාපන ක්‍රමය විභාග කේන්ද්‍රීයභාවයෙන් මුදවාලීමය. විභාග පැවැත්විය යුත්තේ ෆින්ලන්තයේ මෙන් ගුරුවරුන්ට ළමයින්ගේ අධ්‍යාපන තත්ත්වය ගැන අවබෝධයක් ලබා දී ඒවා වැඩි දියුණු කිරීමට කරන මගපෙන්වීමක් වශයෙනි. විභාග නිසා ළමයින් පීඩාවට පත් කරන අධ්‍යාපන ක්‍රමයක් අපට අවශ්‍ය වෙන්නේ නැත. ළමයින්ට ළමා කාලය ලැබෙන, විභාග පීඩනයක් නැති තරගකාරී නොවෙන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය වේ.

ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ දී ළමයින් පාසලේ රැඳී සිටින්නේ පැය 5 ක පමණ කාලයකි. මේ තත්ත්වය ලංකාවටත් ගළපාගත හැකිය. පැය පහක පමණ කාලයක් උගන්වා සෙසු කාලය විවිධ කණ්ඩායම් කටයුතු වෙනුවෙන් වෙන් කළ හැකිය. එය ළමයින්ගේ කණ්ඩායම් හැඟීම් හා සහයෝගීතා ආකල්ප ඉහළ නැංවීමට උපකාරී වේ. ෆින්ලන්තයේ දරුවන්ට හොඳ අධ්‍යාපනයට සමානව පෝෂණයෙන් ඉහළ ආහාර ද ලබා දේ. මේ තත්ත්වය ලංකාවටත් වැදගත්ය. අපි අධ්‍යාපනය ගැනත් දරුවන්ගේ පෝෂණය ගැනත් එක සමාන බරකින් අවධානය යොමු කළ යුතු වෙමු.

අනෙක් වැදගත් කාරණය නම් රජය අධ්‍යාපනයට සැලකිය යුතු මුදලක් වෙන් කළ යුතුය යන්නයි. අධ්‍යාපනය යනු අපේ ඊළඟ පරම්පරාවයි. එම පරම්පරාව හොඳට ගොඩනැගීමට නම් අධ්‍යාපනයට වැඩි මුදලක් වෙන් කළ යුතුය. ලංකාව ඒ වෙනුවෙන් දැනට වෙන් කරන මුදල් ප්‍රමාණය ගැන සෑහීමකට පත් විය නොහැකිය. වැට් බද්ද, ආදායම් බද්ද ආදී බදු මුදල්වලින් යම් ප්‍රතිශතයක් අධ්‍යාපනයට වෙන් කළ හැකිය. ලෝකයේ එසේ බදු මුදල් අධ්‍යාපනයට වෙන් කරන රටවල් තිබේ. 


  • උපුල් වික්‍රමසිංහ