ලොව පැරණිම කෘත්‍රිම උමං ජල මාර්ගයක් ග්‍රීසියේ සමෝස් දූපතෙන් හමුවෙයි


ගැස්කොන් ලාසරස්. 

 

 

මානව ඉතිහාසය පුරාම මිනිසාගේ මූලික අවශ්‍යතාවන් අතර ජලයට හිමි වෙන්නේ ප්‍රධාන තැනකි. මෙතෙක් සොයාගෙන ඇති පැරණි මානව සභ්‍යත්වයන් සියල්ලම පාහේ ගංඟාධාර ආශ්‍රිතව බිහිවූ ඒවා ය. මෙසපොතේමියානු සභ්‍යත්වය බිහිවී ඇත්තේ ටයිග්‍රීස් යුප්‍රටීස් ගංගාධාරවල ය. පසුකාලීනව තාක්ෂණයේ ඉහළම තැනක තිබූ මිසර ශිෂ්ටාචාරය බිහිවෙන්නේ ද නයිල් ගඟ අසබඩ ය. අනුරාධපුර ශිෂ්ටාචාරය අපට ආසන්නම උදාහරණයයි. 


මානවයා සමූහ වශයෙන් ඒකරාශීව ස්වභාවික ජල සැපයුම් මාර්ගවලින් දුරස්ථව ජීවත් වීමේදී, තම අවශ්‍යතාවන් සඳහා වැස්ස මගින් හෝ ළිං වලින් ලබාගන්නා ලද ජලය පමණක් ප්‍රමාණවත් නොවීය. මේ නිසාම ආරක්ෂා සහිතව නොකඩවා ගලා යන ජල සැපයුමක අවශ්‍යතාවක් නිර්මාණය විය. දැනට මැද පෙරදිග රටවල් කීපයක කරන ලද පූරාවිද්‍යාත්මක කැනීම් වලදී සොයාගෙන ඇති වසර දෙදහසකට පමණ පෙර කානු කපා ගල් අතුරා ජලය කාන්දු නොවෙන ලෙස බදාමයකින් ආවරණය කර සාදාගෙන තිබුණු ඇළ මාර්ග, මෙම ඉල්ලුමට එවකට සැපයුම විය. එදා මෙම ජලප්‍රවාහයන්ට ප්‍රධාන බාධකය වී තිබුණේ ජල ගමන් මාර්ගයේදී මුණගැසුණු උස් බිම් ය. මෙහිදී පැරණ්නෝ කළේ බෑවුම පසින් කණ්ඩිය උසට තනා, උස් බිම වටා ජල ප්‍රවාහයට ඇළ පහසුකම් සැලසීම ය. උස් බිමක් වටා තැණුනු කෘතිම ජල මාර්ගයක් ලෙස දැනට හමුවී ඇති ඉපැරණිම නිදසුන වෙන්නේ ක්‍රි. පූ. අටවැනි සියවසේ තනන්නට ඇතැයි කාල නිර්ණය කර ඇති ජෙරුසලෙමට ආසන්නව ඇති හෙසකියා ඇළ මාර්ගයයි. 


කන්දක් සිදුරුකර උමගක් කපා තනන ලද පැරණිම භූගත ඇළ මාර්ගය ලෙස දැනට තොරතුරු සොයාගෙන ඇත්තේ ග්‍රීසියෙනි. ඒ ග්‍රීසියේ සමෝස් දූපතේ කස්ට්‍රෝ කන්ද සිදුරුකර තනා ඇති උමං ජල මාර්ගයයි. මෙම කෘතිම ජලමාර්ගය නිර්මාණය කර ඇත්තේ ක්‍රි. පූ. හයවැනි සියවසේදී ය. යුපැලිනෝස් නම් වූ ග්‍රීක වාරිමාර්ග ඉංජිනේරුවාගේ නිර්මාණයක් වන මෙය, නම්කර ඇත්තේ ද ඔහුගේ නමින් ම ය. 


දැනට සොයාගෙන ඇති තොරතුරු වලට අනුව මෙම භූගත කෘතිම ජල මාර්ගයේ විශේෂත්වය වෙන්නේ කන්ද දෙපසින්ම එකවර කැනීම් කටයුතු අරඹා මැදදී උමං දෙකම එකට යාකර තිබීම ය. මානව ශ්‍රමය පමණක් යෙදාගෙන තැනී ඇති මෙම උමග හෑරීම සඳහා ගල්කටු සහ මිටි පමණක් යොදාගෙන ඇත. මීටර් එක්දහස් තිස්පහක් දිග මෙම උමග කම්කරුවන්ට පහසුවෙන් කැනීම් කිරීම සඳහා අඩි අටක් උසින් සහ පළලින් නිර්මාණය කර ඇත. බුරුල් පස වළකා හුණුගල පමණක් උමග සඳහා යොදාගැනීම හේතුවෙන්, මෙම උමග වංගු සහිතය. එහෙත් නියමිත ස්ථානයේදී උමං දෙකම එකට මුණගැස්සවීමට තරම් එදා වාරිමාර්ග ඉංජිනේරුවා සමත්වී ඇත. දෙපසින් පැමිණි උමං දෙක කන්ද මැදදී හමුවෙන ස්ථානයේ ජලය ගලායන දිසාවට අඩි දෙකක අවපාතයක් ඇත. උමග ආරම්භයේ සිට අවසානය දක්වා ජලය පහසුවෙන් ගලායාම සඳහා බැස්ම මීටර් නවයකි. මෙම කෘතිම උමං ජල මාර්ගය තැනීම සඳහා වසර දහයක් පමණ ගතවෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. පසුකාලීනව අමතකව ගිය මෙම උමං ජල මාර්ගය, 1863 වසරේදී වික්ටර් ගෝරින් නම්වූ ප්‍රංශ පුරාවිද්‍යාඥයා විසින් නැවත සොයාගන්නා තුරු කාලයේ වැලි තලාවෙන් වැසී සැඟවී තිබුණි. අද වියැළී ඇති මෙම උමං ජල මාර්ගය ග්‍රීසියේ සංචාරක ආකර්ෂණයකි. 
 

 

 

ගැස්කොන් ලාසරස්. 
රෝමය, ඉතාලිය.