වසර පනස් අටකට පසුව ඔපෙක් තෙල් හවුලත් අවුල්


සෑම මිනිසකු ම එක සමාන නොවේ. ඉතාම සියුම් ලෙස වුවද එකිනෙකාට වෙනස් ය. අනෙකුත් සත්වයන් හා සසඳන කල මිනිසා බොහෝ සතුන්ට වඩා දුර්වල ය. තනිව කරගත නොහැකි කාරණාවලදී සමගිය මිනිසාගේ බලය වේ. එහෙත් සාමුහිකත්වය තුළ තිබිය යුත්තේ පොදු අරමුණු ය. එකිනෙකාට වෙනස් පිරිසකට දීර්ඝ කාලීනව පොදු අරමුණක රැඳී සිටීම අසීරු ය. කොයියම් මොහොතක හෝ පොදු හැඟීම අභිබවා මමත්වය ඉස්මතුවීමේ අවදානම එතැන ඇත. හවුලේ කැඳත් එපා යයි පැරැණ්නන් විසින් කියා ඇත්තේ කට කසනවාට නොවේ. වර්තමානයේ මෙයට නිදසුන් එමට ඇත. ඇතැම් රටවල හවුලේ කරගෙන ගිය දේශපාලනය දැන් අවුල් ය. යුරෝපා හවුලෙන් මහා බ්‍රිතාන්‍ය ඉවත්වීමට සූදානම් ය. මේ අතර ඛනිජ තෙල් අපනයනය කරනු ලබන රටවල් එකතුවී පිහිටුවාගෙන ඇති ඔපෙක් සංවිධානයේ දෙදරීම අලුත්ම අවුල ය.   


කටාර් රාජ්‍ය 2019 වසරේ ජනවාරියේ සිට ඔපෙක් හවුලෙන් ඉවත් වෙන බව ප්‍රකාශ කළේ 2018 දෙසැම්බර් මස තුන්වැනිදා ය. ඒ ඔස්ට්‍රියාවේ වියානා නගරයේ පැවැත්වීමට තිබුණු ඔපෙක් රටවල වාර්ෂික මහා සම්මේලනයට දින දෙකක් තිබියදී ය.   


කටාර් රාජ්‍ය ඔපෙක් සාමාජිකත්වය ලැබුවේ 1961 දී ය. ඛනිජ තෙල් අපනයනය කරනු ලබන රටවල් අතර කටාරයට හිමිවෙන්නේ එකොළොස් වැනි තැන ය. කටාරය දිනකට බොර තෙල් බැරල ලක්ෂ හයක් නිෂ්පාදනය කළ ද, එය සපුරන්නේ ලෝක අවශ්‍යතා​ෙවන් සියයට දෙකක අවම ප්‍රතිශතයක් පමණි. (සෞදි අරාබිය දිනකට බොරතෙල් බැරල මිලියන දහයක් නිෂ්පාදනය කරයි.) එහෙත් ස්වභාවික ගෑස් නිෂ්පාදනයේදී කටාරය පෙරමුණේ සිටී. ලෝක ස්වභාවික ගෑස් අවශ්‍යතාවෙන් සියයට තිහක ප්‍රතිශතයක් පිරිමසනු ලබන්නේ කටාරයයි.   


ඔපෙක් සංවිධානයෙන් ඉවත්වීමට තීරණය කිරීමට හේතු ලෙස කටාරය සඳහන් කරන්නේ ස්වභාවික ගෑස් නිෂ්පාදනය කෙරෙහි වැඩියෙන් යොමුවීමට තමන්ට අවශ්‍යව ඇති බව ය. දැනට වාර්ෂිකව ස්වභාවික ගෑස් ටොන් මිලියන 77 ක නිෂ්පාදනය, අනාගතයේදී වාර්ෂිකව ටොන් මිලියන එකසිය දහය දක්වා ඉහළ දැමීමට කටාරය තීරණය කර ඇත.   
ගල්ෆ් යුද අවදියේදී පවා එකට බැඳී සිටි ඔපෙක් හවුලේ නොහොඳ නෝක්කඩුවල ආරම්භය 2006 වසර දක්වා දිවයයි. එම වසරේ තෙල් රටවල වාර්ෂික මහා සම්මේලනයට, සංවිධානයට අයත් නොවෙන ඇමෙරිකාව රුසියාව වැනි රටවලට සහභාගී වීමට අවසර දීම සංවිධානයේ ස්වෛරී භාවයට තර්ජනයක් වූ බව පැවසේ. තෙල් රටවල බලවතා වූ සෞදි අරාබිය කලාපයේ පොදු සාමුහිකත්වය අමතක කර, ඇමෙරිකාව රුසියාව වැනි ලෝක බලවතුන්ගේ අවශ්‍යතාවන්ට අනුව කටයුතු කිරීම සංවිධානයේ ඇතැම් රටවල් රුස්සන්නේ නැත. කටාර රාජ්‍යය විසින් ඉරානය සහ ලෙබනනය වැනි රටවල් සමග පවත්වන සබඳතා දෙස සෞදි ආරාබිය බලන්නේ වපර ඇසින් ය.   
පසුගිය දා අාර්ජන්ටිනාවේ බුවනොස් අයරස් නගරයේ පැවති මහා බලවතුන් විසිදෙනාගේ සමුළුවේදී, සෞදි අරාබිය තම බොරතෙල් නිෂ්පාදනය සීමා කිරීමේ සම්මුතියකට රුසියාව සමග එකඟවී ඇත. 


ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම දේශපාලන වාසි තකා බොරතෙල් බැරලයක මිල ඩොලර් පනහක සීමාවට ගෙනෙන ලෙස සෞදි අරාබියට බලපෑම් කරයි. (2018 ඔක්තෝබර් මස අවසානයේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් අසූ දෙකක් විය) කටාරයේ හිටපු අගමැති හමාද් බින් ජසින් පවසන්නේ, ඇමෙරිකාව රුසියාව වැනි රටවල් ඔපෙක් සංවිධානයට අතපෙවීම, තෙල් රටවලට පොදු අරමුණු වෙත යාමට බාධකයක්ව ඇති බව ය.   


ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල යහපත් ස්ථාවරයක තබාගැනීම සඳහා නිෂ්පාදනය සීමා කිරීමේ එකඟතාවක් ඔපෙක් රටවල් අතර තිබුණද, ඇතැම් රටක් හිතුවක්කාර ලෙස බොරතෙල් නිෂ්පාදනය ඉහළ දමා ඇති බවට චෝදනා එල්ලවී ඇත. ලිබියාව වැනිසියුලාව සහ නයිජීරියාව බොරතෙල් නිෂ්පාදනයේ බාන කඩාගත් හරකුන් වැනිය. 

 
කටාරයෙන් පසුව ඉරාකය ද ඔපෙක් හවුලෙන් ඉවත්වෙන ලකුණු පළකර ඇත. ඉරාක ජාතික ආදායමෙන් සියයට අනූවක ප්‍රතිශතයක් ආවරණය කරනු ලබන්නේ එරට නිෂ්පාදනය කෙරෙන බොරතෙල් ය. ගල්ෆ් යුද්ධයේදී සහ ඊසිස් ත්‍රස්ත අරගලවලදී බිඳවැටුණු ඉරාක ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන එකසිය දහයක අවශ්‍යතාවක් ඉරාකයට ඇත. මෙම ආර්ථික හිඟය පියවා ගැනීම සඳහා ඉරාකයට ඇති එකම මාර්ගය තම බොරතෙල් නිෂ්පාදනය ඉහළ දැමීම ය. එහෙත් ඔපෙක් සංවිධානයේ සම්මුතීන් මෙම ඉලක්කය සපුරාගැනීමට බාධාවකි. මේ නිසා ම ඉරාකය ද ඔපෙක් සංවිධානයෙන් ඉවත්වීමේ මගට පිවිස ඇත.   

 

 


චාපි කෝසලා
මියුනිච්