වසරින් වසර වැඩි වැඩියෙන් පිරෙන ඉතාලි පංසලේ පිංකැටය


 

ඉතාලියේ ආදායම්ලාභීන් සෑම වසරකම මැයි මස අවසන් වීමට පෙර පසුගිය වසරේ තමන් ලද ආදායම පිළිබඳ පූර්ණ වාර්තාවක් ඉතාලි ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. මෙම වත්කම් ප‍්‍රකාශනයේදී තම වාර්ෂික ආදායමෙන් දාහට අටක ප‍්‍රතිශතයක් තමන් ලැදි ආගමට පරිත්‍යාග කිරීම අනිවාර්ය වේ. පරිත්‍යාගය යොමුවිය යුතු ආගම පැහැදිළිව සඳහන් නොවෙන මුදල එක්තරා අනුපාතික ක‍්‍රමවේදයකට අනුව සියලුම ආගම් අතර බෙදී යයි. පුද්ගල වාර්ෂික වත්කම් ප‍්‍රකාශන පත‍්‍රිකාවල මෙම පරිත්‍යාගය යොමුකිරීම සඳහා පිළිගත් ආගම් ලයිස්තුව ද අඩංගු ය. වසර තුනක සිට බෞද්ධාගම ද මෙහි ලයිස්තුගතව ඇත.   


ඉතාලියේ බහුතරය කතෝලිකයන් වෙන බැවින් මෙම අනිවාර්යය පරිත්‍යාගයෙන් වැඩි මුදලක් යොමු වෙන්නේ කතෝලික පල්ලියට ය. එහෙත් පසුගිය වසර කීපය තුළ පුද්ගල වත්කම් ප‍්‍රකාශන පරීක්ෂා කර බැලූ විට පෙනෙන්නේ ආගම සඳහා අනිවාර්යයෙන්ම පරිත්‍යාග කළයුතු මුදල කතෝලික පල්ලියට යොමුකිරීම වසරින් වසර අඩුවෙන බව ය.   


කතෝලික පල්ලියේ පිංකැටය වසරින් වසර පිරිහෙද්දී ඉතාලි පංසලේ පිංකැටය වසරින් වසර වැඩි වැඩියෙන් පිරෙන බව අවසන් වසර තුනේ ඉතාලියේ පුද්ගල වත්කම් ප‍්‍රකාශන විමසීමේදී පැහැදිළිවම පෙනී යයි.   


2014 වසරේ පුුද්ගල වාර්ෂික ආදායම, ආදායම් බදු දෙපාර්තමේන්තුවට හෙළි කිරීමේදී ඉතාලි ජාතිකයෝ මිලියන පහළොවක පිරිසක් තමන් ලැදි ආගම වෙනුවෙන් අනිවාර්යයෙන්ම පරිත්‍යාග කළ යුතු මුදල කතෝලික පල්ලියට යොමුකර තිබුණි. එහෙත් 2015 වසරේ මෙම වාර්තාවන් පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ පල්ලියට තම ආදායමෙන් දාහෙන් අටක ප‍්‍රතිශතය පරිත්‍යාග කර ඇත්තේ මිලියන 14ක පිරිසක් පමණක් බව ය. මේ වසරේ මැයි මාසයෙන් අවසන් වූ 2016 වසරේ ආදායම් ප‍්‍රකාශනයෙන් පල්ලිය බලාපොරොත්තු වූ මුදලින් යුරෝ මිලියන විසිහයක මුදලක් අහිමිවී ඇති බව වාර්තා වේ.   


වාර්ෂික පුද්ගල ආදායම් ප‍්‍රකාශනයෙන් ආගම සඳහා අනිවාර්යයෙන්ම පරිත්‍යාග කළ යුතු දාහෙන් අටක ප‍්‍රතිශතය පල්ලිය වෙත යොමුකිරීම වසරින් වසර පහත වැටෙමින් ඇත. මෙයට හේතුව ජනතාව කතෝලික ධර්මයෙන් නොව පල්ලියෙන් මඳින් මඳ දුරස්වීම බව ජනතා මතයයි. පල්ලියේ පූජකවරුන්ගේ සුඛෝපභෝගී ජීවන රටාව කෙරෙහි කතෝලිකයෝ තම බලවත් අප‍්‍රසාදය පළකරති. ෆ‍්‍රැන්සිස් සුද්ධෝත්තම පියතුමා විසින් අල්පේච්ඡ ජීවිතයකට යොමුවෙන ලෙස කතෝලික පූජකයන්ගෙන් ඉල්ලා සිටිය ද වසර ගණනාවක ඇබ්බැහියෙන් මිඳීමට මෙම පූජකයන්ට නොහැකි සේ ය. එදා මෙන් නොව අද ජනතාව සිටින්නේ මේ පිළිබඳව විමසිල්ලෙන් ය. අවස්ථාව ලද තැන ජනතාව තම අප‍්‍රසාදය පළකිරීමට මැළි වෙන්නේ නැත.   


පසුගිය වසර තුන තුළ ඉතාලියේ පුද්ගල වාර්ෂික වත්කම් ප‍්‍රකාශන පරීක්ෂා කර බැලීමේදී පෙනී යන්නේ වසර තුනකට පෙර ඉතාම සුළුවෙන් ඇරඹුන ද වසරින් වසර වැඩි වැඩියෙන් පිරෙන්නේ ඉතාලි පංසලේ පිංකැටය බව ය. තම වාර්ෂික ආදායමෙන් දාහෙන් අටක ප‍්‍රතිශතය පංසලට පූජා කරන පිරිස ඉතාලියේ වසරින් වසර ඉහළ යමින් ඇත.   


පුද්ගල වාර්ෂික ආදායමෙන් දාහෙන් අටක ප‍්‍රතිශතය යොමුවිය යුතු පිළිගත් ආගම් ලයිස්තුවට මුලින්ම පංසල ඇතුළත් වූ 2014 වසරේ දී තම පරිත්‍යාගය පංසලට යොමුකළෝ හැත්තෑදෙදහක පිරිසක් පමණක් වූහ. එහෙත් 2015 වසරේදී මෙම පිරිස එක්ලක්ෂ විසිපන්දහස දක්වා වර්ධනය විය. 2016 වසරේදී තම වාර්ෂික ආදායමෙන් දාහෙන් අටක ප‍්‍රතිශතය පංසලට පරිත්‍යාග කර ඇති පිරිස එක්ලක්ෂ හැත්තෑ තුන්දහස දක්වා ඉහළ ගොස් ඇත. 2016 වාර්ෂික ආදායමෙන් දාහට අටක පරිත්‍යාගය ලෙස ඉතාලි පංසලට ලැබී ඇති මුළු මුදල යුරෝ මිලියන පහකට ආසන්න බව ඉතාලි ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පුද්ගල වාර්ෂික වත්කම් ප‍්‍රකාශන වාර්තා පෙන්වා දෙයි.   
ඉතාම සුළුවෙන් ඇරඹුන ද පසුගිය වසර තුන තුළ ඉතාලි පුද්ගල වාර්ෂික ආදායමෙන් ආගම වෙනුවෙන් වෙන්වෙන පරිත්‍යාගය වැඩියෙන්ම ලබන ආගම් පිළිබඳව කෙරෙන විමර්ශනයේදී පංසල තෙවැනි ස්ථානය ලබා ඇති බව පෙන්වයි. පළමුවැනි හා දෙවැනි ස්ථාන හිමිකරගෙන ඇති කතෝලික පල්ලිය හා අපෝස්තලික සභාව උක්ත ආදායම වසරින් වසර සැලකිය යුතු ප‍්‍රමාණයකින් අහිමි කරගනිමින් සිටිති.   
යටියන   
ක්ලැරන්ස් කොස්තා   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.