වෙඩි කෑ ට්‍රම්ප් බලවත්


“2024  අැමෙරිකානු ජනාධිපතිවරණය අපි මින් පෙර නුදුටු, හිතාගන්නටත් අපහසු මානයක් කරා යොමු වෙනවා.” මෙසේ ප්‍රකාශ කළේ මීට දින කිහිපයකට පෙර මට මැලේසියාවේදී හමුවූ අමෙරිකානු ජාතික මහාචාර්ය මාටින් ස්මිත්. ඔහු උතුරු කැරොලයිනාවාසී විද්වතෙක්. මේ ප්‍රකාශය තුළ ගැබ්ව ඇත්තේ අමෙරිකානු ඡන්ද දායකයා මුහුණ දී ඇති වික්ෂිප්ත භාවයයි. අමෙරිකානුවන් කිසිසේත් අපේක්ෂා නොකළ පරිදි මැතිවරණ ව්‍යාපාරය ප්‍රචණ්ඩකාරී වී ඇත. ජනාධිපති අපේක්ෂකයෙකු ඝාතන ප්‍රයත්නයක් දක්වාම තත්ත්වය දුරදිග ගොස් තිබෙන ලකුණු දක්නට තිබේ. අනෙක් අපේක්ෂකයා තරගය තුළ රැඳී සිටීද යන්න ගැන ප්‍රශ්නයක් පවතී. 
 
 ගෝලීය මැතිවරණ රටාව 
 
2024 ශ්‍රී ලංකාවේ අපට මෙන්ම ලොව බොහෝ රටවලට මැතිවරණ වසරකි. මෙතෙක් විවිධ රටවල පැවති මැතිවරණ බෙහෙවින් පෙරළිකාර ප්‍රතිඵල පෙන්නුම් කර තිබේ. ඉන්දියාවේ ඉමහත් පරිවර්තනයකට දායක වූ නරේන්ද්‍ර මෝදි ඉකුත් අප්‍රේල් මැයි වකවානුවේ පැවති මහ මැතිවරණයේදී අනපේක්ෂිත පසුබෑමකට මුහුණ දුන්නේ, ඔහු සිය පක්ෂය තුළ මවා තිබූ පාර්ලිමේන්තු ආසන 400 සිහිනය කඩා වට්ටමින් පමණක් නොව, ඔහුගේ භාරතීය ජනතා පක්ෂයට දශකයක් පුරා පැවති පාර්ලිමේන්තු බහුතරයද අහිමි කරමිනි. අගමැති මෝදිගේ තෙවැනි ධුර කාලය රැඳී පවතින්නේ සන්ධානගත පක්ෂවල සහයෝගය මතයි.
දකුණු අප්‍රිකාවේ පැවති මහ මැතිවරණයේදී, ඉතිහාසයේ පළමු වතාවට, අප්‍රිකානු ජාතික කොංග්‍රසයට පාර්ලිමේන්තු බහුතරය අහිමි විය. ජනාධිපති සිරිල් රම්පෝසා යළි තම පදවියේ බලය තහවුරු කරගත්තේ, සන්ධානගත පක්ෂවල සහය ඇතිව ලබාගත් පාර්ලිමේන්තු 
අනුමැතියක් තුළිනි. 
යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය ඉකුත් ජුනි මස 6-9 වකවානුවේ පැවති අතර, ප්‍රතිඵලය කලාපීය පාලන තන්ත්‍රය තුළ පමණක් නොව බටහිර බල කඳවුර නියෝජනය කරන සියලු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර තුළ බලවත් තිගැස්මක් හා කම්පනයක් ඇති කළේය. ඒ යුරෝපයේ අන්ත දක්ෂිණාංශික බලවේගය හිස ඔසවා ඇති බව තහවුරු වීම නිසාය. ඉන් කලබැගෑනියට පත්වූ ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් වහා පාර්ලිමේන්තුව විසුරුවා හැර, ජුනි 30 හදිසි මහ මැතිවරණයක් කැඳවූයේ, 
දක්ෂිණාංශික විරෝධී බලවේග එක්රැස් කිරීම සඳහාය. පළමු වටය ෂෝන් මරී ලපන් ප්‍රමුඛ අන්ත දක්ෂිණාංශික බලවේගය ජය ලැබුවත්, දෙවැනි වටයේදී මධ්‍යගත හා මධ්‍ය වාමාංශික පක්ෂ කඳවුරුගත වී අනුගමනය කළ උපාය මාර්ගික වැඩපිළිවෙළ නිසා දකුණට තල්ලු වූ ප්‍රංශය අමාරුවෙන් යළි මැදට ඇදගැනීමට හැකි විය. ප්‍රංශ ජනපති තම දේශපාලන සූදුව යන්තමින් 
ජයගත්තේ එසේය.
ඊළගට බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී වසර 14ක් එකදිගට රට පාලනය කළ කන්සර්වෙටිව් පක්ෂය අවමන්සහගත ලෙස විපක්ෂයට ඇද දැමීමට එරට ජනයා සමත් වූහ.  ඉන්දීය සම්භවයක් සහිත ප්‍රථම බ්‍රිතාන්‍ය අගමැතිවරයා වූ රිෂි සුනාක්ට පක්ෂ නායකත්වය පවා අහිමි කළේ එම කටුක පරාජයයි. “මට ඔබේ කේන්තිය අවබෝධ වුණා. ඔබේ හඬ හොඳින් ඇසුණා. සියලු දේට සමාව ඉල්ලා සිටිනවා.” පරාජය පිළිගනිමින් හා අගමැති පදවියෙන් ඉවත්වෙමින් රිෂි සුනාක් පරාජයේ වගකීම බාර 
ගත්තේ එලෙසිනි.
ඉතිහාසයේ වඩාත්ම ජනතා සහභාගිත්වයෙන් තොර ජනාධිපතිවරණය ඉරානයේ පැවතියේ මේ වසරේදීය . 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පසු මුල් වරට ජනාධිපතිවරණයකදී ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් 50% කට වඩා අඩු සංඛ්‍යාවක් එනම් 40%ක් පමණක් ඡන්දය පාවිච්චි කළේ මෙවරය. හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවූයේ හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ හදිසි අභාවය නිසාය. එහිදී ජනතාව පසුගිය කාලයේ පාලන තන්ත්‍රයෙන් සිදු වූ ඇතැම් ජනතා විරෝධී ක්‍රියාකාරකම් වලට එනම් උදාහරණයක් ලෙස සංස්කෘතික පොලිස් බැටන් පොලු පහරින් සිදුවූ බව කියන මාෂා අමීනි නම් තරුණියගේ මරණය වැනි ජනතා විරෝධී සිදුවීම්වලට නිසි උත්තරයක් ලබා දුන් බව අන්තර්ජාතික දේශපාලන ක්ෂේත්‍රයේ පිළිගැනීමයි.  දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කමෙයිනිගේ ආශිර්වාද ලත් අපේක්ෂක සයීද් ජලීලි, එනම් හිටපු න්‍යෂ්ටික සාකච්ඡා නියෝජිත හා සංස්කෘතික පොලිස් ක්‍රියාකාරකම්වලට ආවඩන්නෙකු ලෙස ප්‍රකට දැඩිමතධාරී අපේක්ෂකයා ගෙදර යවා ජනපතිවරණයට ඉදිරිපත් වූ එකම ප්‍රතිසංස්කරණවාදී අපේක්ෂක වෛද්‍ය මසූද් පෙෂෙස්කින් 54%ක බහුතර ඡන්දයකින් තෝරා ගැනීමට එරට ජනතාව උත්සුක වූයේ, එරට දැඩිමතධාරී පාලන තන්ත්‍රයට ජනතා අභිලාෂය කුමක් ද යන්න සිහිපත් කර දෙමින් බව අන්තර්ජාතික පිළිගැනීමයි.
මේ සියලු මැතිවරණ ප්‍රතිඵල තුළින් ගම්‍ය වන එක් වැදගත් කරුණක් තිබේ. ඒ ජනතා පරමාධිපත්‍යයේ හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ බලය කුමක්ද යන්න ගෝලීය ප්‍රජාව හමුවේ පෙන්වා දීමයි. ජනතාව යනු පාලකයන් හා දේශපාලකයන්ගේ ඇඟිලි අතර නැටවෙන රූකඩ නොවන බවත්, සැමදාම විජ්ජා තුළින් ජනතාව මුළාකර පරම්පරා ගානකට බඩවඩා ගනිමින් පාලනයේ රැඳීසිටීම ජනතා පරමාධිපත්‍යය හමුවේ සෑමවිටම සිදුකළ නොහැකි බව හා අඩුතරමින් යම් ප්‍රමාණයකට හෝ ජනතාවාදී විය යුතු බව දේශපාලන ලෝකයට යළි යළිත් මතක් කර දීමයි. අමෙරිකානු ජනාධිපතිවරණය දෙසට ලෝකය යොමු වන්නේ මෙම සංදර්භය තුළිනි.
 
 ට්‍රම්ප්ට පහරදීමට පෙර 
 
ඉතිහාසයේ මුල් වතාවට මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අලකලංචි ගණනාවක් මධ්‍යයේය.  
මුල් වතාවට පෙර ජනපතිවරණයකින් පැරදුණු ජනාධිපතිවරයෙක් යළි ඡන්ද සටනට පිවිස තිබේ. මුල් වතාවට අධිකරණයෙන් අපරාධ වරදකට වරදකරු වූ පුද්ගලයෙකු ඡන්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව ඇත. මුල්වරට අපේක්ෂකයන් දෙදෙනාම වැඩිම නඩුහබ ගණනකට මුහුණ දී සිටිති.  වැඩිම වයස්ගත අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ මෙවරයි. එමෙන්ම මුල් වරට ජනාධිපති අපේක්ෂකයෙකුට තම පක්ෂය විසින්ම ඉවත්වන ලෙසට බලපෑම් කරන තත්ත්වයක් උදාවී තිබේ. මේ සියල්ලම සාධනීය කරුණු නොවේ. ඒ සියල්ල තුළින් ජනාධිපතිවරණ ක්‍රියාදාමය සංකීර්ණ කරයි. ඇමෙරිකාව තුළ මේ වනවිට දක්නට ලැබෙන්නේ එම ව්‍යාකූල බවයි. 
අනෙක්  අතට අැමෙරිකානු ජනප්‍රජාව ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා දේශපාලන මතවාදී වශයෙන් කඳවුරුගත වී තිබේ. වඩාත්ම බලවත් ස්වරූපයක් පෙන්නුම් කරන්නේ ට්‍රම්ප් කේන්ද්‍රකරගත් දක්ෂිණාංශික හා අතිශය අැමෙරිකානුවාදී බල කඳවුරයි. Make America great again යන පැරණි සටන්පාඨය යටතේ ට්‍රම්ප් වටා සුදු ජාතික ඡන්ද පදනමක් මෙන්ම අැමෙරිකානු පාලනය වඩාත් දේශීය සාධක කෙරෙහි අවධානය යොමු කළයුතු බව විශ්වාස කරන සෙසු ජාතික බලවේගයන් ද ට්‍රම්ප්ට සහය දක්වයි. 
මෙහිදී බයිඩන් නියෝජනය කරන්නේ මධ්‍ය ලිබරල්වාදී බලවේගය මෙන්ම බටහිර බලකඳවුර නියෝජනය කරන අන්තර්ජාතික බලවේගයයි. උදාහරණයක් ලෙස 2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරදා බයිඩන් ජයගත් කල අැමෙරිකානුවන්ටත් වඩා සතුටු වූයේ යුරෝපයේ හා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය නායකත්වයයි. ඒ ට්‍රම්ප් යුගයේදී මඳක් අඩාළ වූ අැමෙරිකානු ලෝක පොලිස් භූමිකාව යළි ශක්තිමත් කර බටහිර ආධිපත්‍යය තහවුරු කරන යුද්ධ සඳහා අවතීර්ණ වී ඒ සඳහා අැමෙරිකානු ජනතා බදු මුදල් ලෝස් නැතිව වියදම් කරන, නේටෝවට අත දිගහැර වියදම් කරන සාම්ප්‍රදායික අැමෙරිකානු නායකත්වයක් බටහිර කඳවුර අපේක්ෂා කරන නිසාවෙනි. දේශීය වශයෙන්ද මේ අපේක්ෂකයන් දෙදෙනා කෙරෙහි දැඩි එදිරිවාදිකම්වලින් යුතු කඳවුරු දෙකක් නිර්මාණය වී ඇති බවක් පෙනේ. දක්ෂිණංශික බලවේග බයිඩන්ට එරෙහි අතර, සංක්‍රමණිකයන් සඳහා ලැදි, ගබ්සාවට ළැදි, සාම්ප්‍රදායික කතෝලික නොවන, යුදෙව් හිතවාදී නොවන පාර්ශ්වය ට්‍රම්ප් ට එරෙහිව නැගී සිටී. මෙය අපේක්ෂකයන් අතුගා දමන ආකාරයේ වෛරයක් දක්වා වර්ධනය වීමේ අවදානමකට අත වනන බවක් ඉතා පැහැදිලිව දක්නට ඇත. අැමෙරිකානු බුද්ධි අංශ පවා ඒ බව තහවුරු කරයි. එදා පෙන්සිල්වේනියාවේදී ට්‍රම්ප්ට එල්ල වූ රයිෆල් උණ්ඩය අප සඳහන් කළ බෙදීමේ හා කඳවුරුවාදයේ ප්‍රතිඵල ද යන්න විමසා බැලිය යුතුය.
  ට්‍රම්ප් ට වෙඩි  
 
ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියාවේ බට්ලර් ප්‍රදේශයේ මැතිවරණ රැළියට සහභාගි වූ අවස්ථාව වනවිටත් ඔහු ඡන්ද සටනේ ශක්තිමත් තැනක පසුවිය. ඒ ජූනි 27 ඇට්ලැන්ටාහි සීඑන්එන් මූලස්ථානයේ පැවති පළමු  ජනාධිපති අපේක්ෂක විවාදයේදී බයිඩන් ලක් වූ ඉතිහාසගත පසුබෑම නිසයි. බයිඩන්ගේ කුජීතවීම ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂය අනපේක්ෂිත අවුලකට තල්ලු කිරීමට හේතු විය. 
81 හැවිරිදි බයිඩන් ගේ ශක්‍යතාව ගැන ප්‍රශ්නයක් ඉස්මතු විය. එය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මුහුණ දුන් ව්‍යසනයකි, භූමිකම්පාවකි, සුනාමියකි. බයිඩන්ගේ කඳවුර දෙකට බෙදිණ. කොටසක් බයිඩන්ගේ දෑත් ශක්තිමත් කිරීමට කැපවූහ. තවත් කොටසක් බයිඩන්ට ඉවත් වී පුළුවන් කෙනෙකුට අපේක්ෂකත්වය දෙන ලෙසට බලපෑම් කරන්නට වූහ. 
මේ ආරවුල වසාගැනීමට බයිඩන් ප්‍රචාරක ව්‍යාපාරය කළේ ට්‍රම්ප්ට පහර ගසන දැන්වීම් වලින් මාධ්‍ය ආයතන හා සමාජ මාධ්‍ය වේදිකා පිරවීමයි. තත්ත්වය වඩාත් නරක අතට හැරෙන්නේ ට්‍රම්ප්ට වෙඩි තැබීමට සතියකට පමණ පෙර පැවති සාකච්ඡාවකදී “ට්‍රම්ප් ඉලක්කයක් විය යුතු කාලය එළඹ ඇතැයි” බයිඩන් ප්‍රකාශ කිරීමයි. මෙය කොහොමත් කටට බ්‍රේක් නැති බයිඩන් කකුල කටේ දමාගැනීමක් බව අැමෙරිකානු දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි. ට්‍රම්ප්ට අවුරුදු 20 තරුණයෙකු වෙඩි තබන්නේ මේ වාතාවරණය තුළයි. වෙඩි තැබීම වූයේ කෙසේද කින්ද මන්ද යන එක ගැන ලංකාවේ මාධ්‍ය බොහෝ දේ කතා කර ඇති නිසා ඒ ගැන විස්තරයක් කිරීමට වඩා ඒ වටා ගොඩනැගී ඇති අර්බුද ගැන විශ්ලේෂණාත්මකව සලකා බැලීම මෙම සටහනේ අරමුණයි. විශේෂයෙන්ම අැමෙරිකානු විශ්ලේෂකයන්ටත් වඩා ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්තාර් භවතුන් ඉතා නිර්භීත ලෙස මත පළකර තිබෙනු දක්නට හැකි විය. වේදිකා කිහිපයකම අපේ ඇතැම්  ෆේස්බුක් හා යූටියුබ් විදග්ධ  භවතුන් කියා තිබුණේ ට්‍රම්ප් තමාටම වෙඩි තියවාගෙන පහත් වී රතු තීන්ත ගාගෙන නැගීසිටි බවයි. 
පෙන්සිල්වේනියාවට කිලෝමීටර් 14103 ඈත සිට පහළ වූ මේ දැක්ම අද්භූතයි, ආශ්චර්යජනකයි. කෙසේ වෙතත් තමන් සිටින ආසන්නයකටවක් බහු උණ්ඩ ප්‍රහාරයක හැකියාවක් සහිත AR 15 රයිෆලයක් එල්ලකරවා ගැනීමට කෙනෙකු පෙලඹෙන්නේ නම් ඔහු මන්දබුද්ධිකයෙකු හෝ මුග්ධයෙකු විය හැකි බව ගිනි අවි ගැන දන්නෝ දනිති. ඒ කෙසේ වෙතත් අැමෙරිකානු ආරක්ෂක හා බුද්ධි අංශවල නිල ස්ථාවරය නම් මෙය නිසැකවම ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයක් බවයි. සිද්ධියෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබූහ.
 
  වෙඩි ප්‍රහාරයෙන් පසු  
 
ප්‍රහාරය ගැන ප්‍රශ්න කිහිපයක් ඇත. ට්‍රම්ප් ඉලක්කයක් විය හැති බවට බුද්ධි අංශ අනතුරු ඇගවීම් කලින්ම නිකුත් කොට තිබිණ.  ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයෙකි. ඉහළතම ආරක්ෂාවක් ඔහුට ව්‍යවස්ථාව අනුව හිමිය. ප්‍රශ්නය එම ආරක්ෂාව නිසි පරිදි ලැබුණේද යන්න ගැනයි.  ඝාතකයා රැස්වීම තුළ සැරිසරන ආකාරය ආරක්ෂක අංශ නිරීක්ෂණය කළ බවත්, ප්‍රහාරයෙන් පැයකට පෙර ඔහු සැකකරුවකු ලෙස නම්කළ බවත් රැස්වීම් භූමියේ ආරක්ෂාව මෙහෙයවූ පොලිස් හා රහස් ඒජන්තවරු සනාථ කරති. 
එහෙත් ඔහු සෙනඟ අතරේ නොපෙනී ගිය බව ආරක්ෂක භටයෝ කියති. කෙසේ වෙතත් රැස්වීම් භූමියේ රැස්ව සිටියේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නොව තුන්හාරසීයක් පමණ පිරිසක් බව අප මතක තබාගත යුතුය. ආරක්ෂක භටයන්ගේ ප්‍රකාශය ප්‍රශ්නකාරී වන්නේ එබැවිනි. ප්‍රහාරයට විනාඩි කිහිපයකට පෙර සැකකරු තුවක්කුව රැගෙන යාර 400ක් දුරින් පිහිටි ගොඩනැගිල්ලක වහලයට නගින ආකාරය ට්‍රම්ප්ගේ ආධාරකරුවන් දැක ඒ ගැන ආරක්ෂක අංශ දැනුවත් කළත් ප්‍රහාරය වැළැක්වීමට හැකි වී නැත. 
සැකකරු ඉතා පැහැදිලි ඉලක්කයක් සහිත (line of site) ස්ථානයක්  තෝරාගෙන තිබේ. ඉන් පැහැදිලි වන්නේ රැස්වීම් භූමිය පූර්ව ආරක්ෂක පරීක්ෂාවන්ට ලක්කර නැති බවයි. මේ සියල්ලේම අවසන් නිගමනය විය හැක්කේ ට්‍රම්ප් ඉතා බරපතළ 
ආරක්ෂක ගැටලුවලට ලක්ව 
සිටි බවයි. රිපබ්ලිකන් දේශපාලනයන් හා සෙනෙට් සභිකයන් 
නගන ප්‍රශ්නයද එයයි.
 
  වෙඩිල්ලේ බලය  
 
වෙඩිකෑ ට්‍රම්ප් අපේ ජනවහරේ ඇති පරිදි වෙඩිකෑ ඌරෙකු මෙන් ආක්‍රමණශීලී වී තිබේ. ප්‍රතිවාදීන් පවා ඔහු වටා රැස්වන තත්ත්වයක් උදාවී ඇත. මිල්වුකී ප්‍රදේශයේ පැවති රිපබ්ලිකන් සම්මේලනයේදී ඔහුගේ අපේක්ෂකත්වය ඉහළින් සම්මත විය. දැන් ට්‍රම්ප් ජය කණුව කරා හැල්මේ යාමට සූදානම් බවට සියලු සාධක ඇත.
 
බයිඩන්ගේ සෙනසුරු දශාව 
 
ජෝ බයිඩන් දැන් පත්ව ඇත්තේ “කවුරුහරි මටත් වෙඩිතියා දාන්න අයියෝ” කියන තත්ත්වයකට යි. ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේ බයිඩන්ට කොවිඩ් වැලඳී තිබේ. පක්ෂය එළිපිටම වෙනත් අපේක්ෂකයෙකු ගැන කතා කරයි. හිටපු කතානායිකා නැන්සි පැලෝසි ප්‍රකාශ කරන්නේ බයිඩන්ට මෙවර ජයගත හැකි තත්ත්වයක් නොමැති බව මාස කිහිපයකට පෙර ඔහුට කී බවයි. 
හිටපු ජනාධිපති බරක් ඔබාමාද මේ අදහස ඉදිරිපත් කළ බව පසුගිය බ්‍රහස්පතින්දා සී.එන්.එන්. රූපවාහිනී සේවය අනාවරණය කළේය. මේ අතරේ තවත් හිටපු ඩිමොක්‍රටික් ප්‍රබලයන් “බයිඩන්ට දිනන්න පුළුවන්ද” යන ප්‍රශ්නය මතු කරමින් සිටිති. එසේම උප ජනාධිපති කමලා හැරිස් ගේ ජනප්‍රියත්වය අතිශයින් වැඩි වී ඇති නිසා ඇය තමන්ගේ පක්ෂයේ අපේක්ෂිකාව විය යුතු යැයි විශ්වාස කරන ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ ප්‍රමාණයද දිනෙන් දින ඉහළ යමින් පවතී. එසේම බයිඩන් මත විමසුම්වලදී ට්‍රම්ප්ට පසු පසින් සිටියද කමලා හැරිස් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් සිටින බව අනාවරණය වී තිබේ. මේ නිසා බයිඩන්ට හැදුනේ ‘හොර ලෙඩක්’ දැයි යන සැකයද මතුවෙමින් තිබේ. මේ සියල්ල ඡන්දයක් අබිමුවදී ජනාධිපති අපේක්ෂකයෙකුට නොව ප්‍රාදේශික අපේක්ෂකයෙකුටවත් සිදු නොවිය 
යුතු දේවල්ය.
මේ සියලු හැලහැප්පීම් මැද ලෝකවාසී ජනතාව ලොව සුපිරි බලවතාට ඉදිරි වසර 4ක කාලය තුළ දී නායකත්වය දෙන්නේ කවුදැයි විමසිල්ලෙන් 
බලා සිටිති.
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ