වෝටර්ලූ සටනේදී නැපෝලියන්ට පරාජය අත්කරදුන් අනෝරාවැස්ස


 

අතීතයේ සිදුවූ යමක අහිතකර ප්‍රතිඵල හෝ කටුක අත්දැකීම් හේතුවෙන් එය එසේ නොවුනා නම් යැයි වර්තමානයේ දී සිතීම නිෂ්ඵලය. ආපසු අතීතයට ගොස් වැරදීගිය තැන් නැවත නිවැරදි කිරීමේ හැකියාවක් කිසිවෙකුටත් නැත. ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී එදා එසේ සිදුනොවිය යුතුව තිබුණි යැයි සිතෙන අවස්ථාවන් එමට ය. ඒවා නිවැරදි කිරීමේ නිෂ්ඵල අරමුණෙන් නොව කුතුහලය නිසා ම, ඉතිහාසයේ ලියැවී ඇති ඇතැම් අතීත සිදුවීම් නැවත නැවත අධ්‍යයනය කිරීමට ඉතිහාසඥයෝ පෙළෙඹ සිටිති. මෙම අතීත සිද්ධීන් අතර නැපෝලියන්ගේ වොටර්ලූ සටන ද තවමත් නැවත නැවත අධ්‍යයනය කෙරෙන්නෙකි. 


රුසියාව ආක්‍රමණයේදී ලද අන්ත පරාජයට දඬුවමක් ලෙස එල්බා දූපතේ හුදකලා අඩස්සිගතව සිටි නැපෝලියන් බොනපාට්, මාස දහයකට පසුව ඉන් මිදී නැවත පැරිසියට පැමිණියේය. නැපෝලියන්ගේ පුනරාගමණයත් සමගම ප්‍රංශයේ දහඅටවැනි ලුවී රජතුමා විදේශයකට පළාගියේය. දහඅටවැනි ලුවී රජු යටතේ ප්‍රතිසංවිධානයක් නොවුණු ප්‍රංශ හමුදාවෝ නැපෝලියන්ගේ නායකත්වය පිළිගත්හ. 


නැපෝලියන්ගේ නැවත පිබිදීම තමන්ට තර්ජනයක් ලෙස සැලකු කලාපයේ උතුරු ප්‍රදේශයේ රටවල් නැපෝලියන්ට එරෙහිව එක්සත් වීම ඇරඹුණි. එකල අධිරාජ්‍යයක්ව පැවති ඔස්ට්‍රියාව, ප්‍රසියාව වැනි කලාපයේ උතුරේ පිහිටි රටවල්, ඉංග්‍රීසීන් යටතේ එක්සත් හමුදාවක් ලෙස නැපෝලියන්ට එරෙහිව සංවිධානය වෙමින් තිබුණි. මෙම එක්සත් හමුදාවේ නායකත්වය බ්‍රිතාන්‍යයේ වෙලින්ටන්හි ආදිපාද ආතර් වෙල්ස්ලිට භාරවිය. 


නැපෝලියන්ගේ විශේෂත්වය වූයේ සටන් බිමේදී ක්ෂණික තීරණ ගැනීම සහ ක්ෂණික ප්‍රහාර එල්ලකිරීම ය. උතුරේ රටවල් ඉංග්‍රීසීන් සමග තමන්ට එරෙහිව සංවිධානය වෙද්දී නැපෝලියන්ට අවශ්‍ය වූයේ සතුරා තමන් ළගට පැමිණීමට පෙර, තමන් පෙරට ගොස් ප්‍රහාර එල්ලකර සතුරා විනාශ කිරීම ය. මේ අනුව නැපෝලියන් එක් ලක්ෂයක (ඇතැම් ඉතිහාසඥයකු කියන්නේ ලක්ෂ දෙකක් බව ය) හමුදාවක් සමග උතුරට ගමන්කර සාර්ථකව සටන නිමකළේය. 


ලක්ෂයක සේනාවක් යනු එවකට ප්‍රංශයේ ජනගහණය අනුව එතරම් විශාල හමුදාවක් නොවේ. එවකට කලාපයේ වැඩිම ජනගහනයක් වාර්තා කළේ ප්‍රංශයයි. එහි මුළු ජනගහනය මිලියන තිහක් වූ අතර එංගලන්තයේ මුළු ජනගහණය මිලියන දහයක් පමණක් විය. ඔස්ට්‍රියා අධිරාජ්‍යයේ මුළු ජනගහනය මිලියන පහළොවක් විය. කුඩා කුඩා ප්‍රාන්ත මිස ජර්මනිය එවකට විශාල රටක් ලෙස නොපැවතුණි. 


කලාපයේ උතුරේදී එක්සත් හමුදාවන්ට එරෙහිව කළ පළමු සටනින් සාර්ථක ජයක් හිමිකරගත් නැපෝලියන්ගේ ඊළඟ ඉලක්කය වූයේ ඉංග්‍රීසීන්ට යටත්ව තිබුණු බෙල්ජියම ආක්‍රමණය කිරීම ය. ඒ සඳහා ඔහු බ්‍රසල්ස් නගරය වෙත ගමන් කරන්නට විය. මෙම ගමනට හතළිස්නව දහසක පාබල හමුදාවක් ද, දහසයදහසක අශ්වාරෝහක හමුදාවක් ද, කාලතුවක්කු 246 ක් ද, යුද කරත්ත හත්දහසක් ද, සැපයුම් සහ වෙනත් සේවාවන් සඳහා අනුඛණ්ඩ කීපයක් ද, ගිලන් කරත්ත කීපයක් ද ඇතුළත් විය. මෙම සටනට කඩු හෙල්ල කිරිච්චි මෙන්ම තුවක්කු ද ගෙන ගියහ. 


පාබල හමුදාව අතවූ තුවක්කු කොටන තුවක්කු ය. ජිල් බෝලයකට මදක් විශාල යකඩ බෝලයක් උණ්ඩය ලෙස භාවිතා විය. උණ්ඩය තුවක්කු බැරලයට ඇතුළුකර එය පිටතට පෙරලී ඒම වැළකීම සඳහා කඩදාසි ගුලියක් ඔබා තදකළ යුතුවිය. මේ සඳහා කොටන කූරක් ද තුවක්කුව සමග විය. තුවක්කු බැරලය අගට සෙන්ටි මීටර් හතළිහක බයිනේත්තුවක් සවිකර තිබුණි. සටන් ඇවිලී යන අතරතුර වෙඩි කෙටීම දුෂ්කර කාර්යයක් වුවද, විනාඩියකට වෙඩි පහක හයක ප්‍රමාණයක් කෙටීමට තරම් සමතුන් නැපෝලියන්ගේ හමුදාවේ සිටි බව හෙළිවී ඇත. 


1815 ජුනි මස දාහත්වැනිදා සන්ධ්‍යාව වෙන විට නැපෝලියන්ගේ හමුදාව බෙල්ජියමේ වෝටර්ලූ ගම්මානය වෙත ළඟාවිය. ඒ දවස පුරාම නොකඩවා අනෝරා වැසි ඇද හැළෙමින් තිබුණි. නැපෝලියන්ගේ හමුදා වෝටර්ලූ හි LA HAYE SAINT නම්වූ ගොවිපොළේ කඳවුරු බැඳගත්හ. වැසිජලය හේතුවෙන් ප්‍රදේශය මඩ ගොහොරුවක් වී තිබුණි. සොල්දාදුවෝ අධික වෙහෙසට පත්ව සිටියහ. නැපෝලියන්ට තම පාවහන් උනාදැමීමට තරම්වත් ශක්තියක් නොවුණු බව සඳහන් ය. තම පෞද්ගලික කෝකියා අසල සිටියද, ඉවුම්පිහුම් කට්ටලය නොපැමිණ තිබීම හේතුවෙන් එදා රාත්‍රි නැපෝලියන්ට නිසි ආහාරයක් ද නොවීය. 

 

 


එදින රාත්‍රියේම වෙලින්ටන්ගේ හමුදාව ද නැපෝලියන්ගේ කඳවුරට සැතපුමකට පමණ ආසන්නයේ HOUGOUMONT නම්වූ ගොඩනැගිල්ලක තම කඳවුරු බැඳගත්හ. මෙම හමුදාවට හැටඅටදහසක සෙබළ පිරිසක් අයත් විය. ඒ අතර පනස්දහසක පාබල හමුදාවක් ද, 12400 ක අශ්වාරෝහක හමුදාවක් ද, කාලතුවක්කු 156 ක් ද, යුද කරත්ත 5500 ක් ද විය. 
වෙලින්ටන් කඳවුරු බැඳගත් ගොඩනැගිල්ල බළකොටුවකට සමාන ශක්තිමත් ගොඩනැගිල්ලක් වුවද, රාත්‍රිය මුළුල්ලේ වෙලින්ටන් හමුදාවෝ එය තවත් ශක්තිමත් කිරීමේ යෙදිී සිටියහ. පවුරු සිදුරුකර කාලතුවක්කු කටවල් පිටතට සිටින සේ සකස් කළහ. දැවැන්ත පවුරු මත සිට සතුරාට පහර දීම සඳහා ද කටයුතු සූදානම් කෙරුනි. උදෑසන වෙන විට මෙම ගොඩනැගිල්ල බළකොටුවකට සමාන විය. 


තීරණාත්මක දිනය වූ 1815 ජුනි මස දහඅටවැනිදාට උදාවිය. නැපෝලියන්ගේ අදහස වූයේ අළුයම සතුරාට එරෙහිව ප්‍රහාරය දියත් කිරීමට ය. එහෙත් සෙන්පතීන් උපදෙස් දුන්නේ භූමිය මඩ වගුරක්ව පැවති බැවින් හිරු පායා පොළොව වියළී යනතුරු ප්‍රහාරය කල්දැමිය යුතු බවට ය. 


1815 ජුනි මස දහඅටවැනිදා පෙරවරු 11.55 ට තීරණය කරගත් හෝරාවෙන් පැය දෙකකට පසුව නැපෝලියන්ගේ කාලතුවක්කු හමුදාවෙන් පළමු වෙඩිල්ල සතුරා වෙත නික්මුණි. වෙලින්ටන් බලා සිටියේ ද සතුරා තමන් වෙත ප්‍රහාරයක් එල්ලකරන තුරු ය. වෙලින්ටන් ගේ එක්සත් හමුදාව තම බළකොටුව තුළ සිටම ප්‍රතිප්‍රහාර එල්ලකළහ. පැය දෙකක් තුළ දරුණු සටන් ඇවිලී ගියේය. කාලතුවක්කු ප්‍රහාරයෙන් පසුව දුමින් වැසී ගිය විවෘත්ත භූමිය ඔස්සේ නැපෝලියන්ගේ හමුදා ඉදිරියට ගමන් කරන්නට විය. 


මඩ ගොහොරුවේ එරෙමින් ඉදිරියට පැමිණෙමින් සිටි නැපෝලියන්ගේ සෙබළ මුළ සතුරාට පහසු ගොදුරු විය. නැපෝලියන්ගේ කාලතුවක්කු උණ්ඩ බරපතල විනාශයක් නොකරම මඩෙහි වැටී එරී ගියේය. මේ වෙන විට නැපෝලියන්ගේ හමුදාවෙන් තුනෙන් එකක පිරිසක් මරණයට පත්වී හෝ බරපතල ලෙස තුවාල ලබා මරණාසන්නව හෝ සිටියහ. 
නිලා කූරකට සමාන එහෙත් තරමක් විශාල අහසේදී පුපුරා මූනිස්සම් විසිර යන අවියක් ඉංග්‍රීසි හමුදා විසින් අත්හදා බැලූහ. එම අවිය මුදා හැරුණේ විදිනයක් මගිනි. මෙම විදිනය ක්‍රියාවේදී නැගුණු විශාල ශබ්දය හේතුවෙන් අශ්වාරෝහක බළඇණියේ අසුන් තැතිගැනීම නිසා, මෙම අවි භාවිතය වහාම නතරකෙරුනි. මෙය රොකට් වෙඩිවල ආරම්භය ලෙස සැලකේ. 


වෙලින්ටන්ගේ කඳවුරට ඇතුළුවීමට උත්සහ දැරූ නැපෝලියන්ගේ සෙබළුන් මැරුම්කෑහ. කලබලය හේතුවෙන් ඇතැම් සෙබළෙකු තම වෙඩි කොටන කූර බැරලයෙන් ඉවතට ගැනීමට අමතකව වෙඩි තැබීම හේතුවෙන් කූර අහිමිව තම තුවක්කුව ප්‍රයෝජනයට ගත නොහැකිව සතුරාට පහසුවෙන් ම ගොදුරු විය. 


වර්ග කිලෝමීටරයකට වැඩි නොවැඩි බිම්කඩක දෙපාර්ශ්වයේම එක්ලක්ෂ හතළිස්දහසක සෙබළ පිරිසක් සටන්වැදී සිටියහ. ප්‍රදේශය දුමාරයෙන් වැසී ගියේය. තැන තැන මියගොස් හෝ බරපතල තුවාල ලබා වැටී සිටි සෙබළුන් මෙන් ම අශ්වයන් ද හේතුවෙන් මග ඇහිරී, නැපෝලියන්ගේ ගිලන් කරත්ත සේවය ප්‍රයෝජනයට ගැනීම අපහසු වී තිබුණි. 
සවස හය වෙන විට නැපෝලියන්ගේ මෙන් ම වෙලින්ටන්ගේ එක්සත් හමුදාව ද බරපතළ ලෙස විනාශයට පත්ව සිටියහ. ඉක්මනින් රාත්‍රිය හෝ අධාරක හමුදාවක් වෙලින්ටන් විසින් ප්‍රාර්ථනා කළ බව සඳහන් ය. එය දෙපාර්ශ්වයට ම තීරණාත්මක අවස්ථාවක් වී තිබුණි. තම හමුදාවන්ට පසුබසින ලෙස වෙලින්ටන් අණ දුන්නේ මේ අවස්ථාවේදී ය. එක්සත් හමුදාවෝ පසුබසිනු දුටු නැපෝලියන්ගේ ඉතිරි හේවායෝ ඔවුන් සමූලඝාතනය කිරීම සඳහා හඹා ගියහ. එහෙත් වෙලින්ටන්ගේ පසුබැසීමේ අණ යුද උපක්‍රමයක් පමණක් විය. ඒ වෙන විට වෙලින්ටන්ට මාෂල් බුල්හර්ගේ නායකත්වය යටතේ ප්‍රසියානු ආධාරක හමුදාවක සහාය ලැබී තිබුණි. චතුරශ්‍රාකාරයෙන් සංවිධානය වූ එක්සත් හමුදාවෝ නැපෝලියන්ගේ හමුදාව සමූලඝාතනය කළහ. රාත්‍රි අටට පමණ වහාම කාලතුවක්කු ප්‍රහාරයක් එල්ලකරන ලෙස නැපෝලියන් තම සේනාංකයට අණ දුන්නද, ඒ වන විටත් ප්‍රමාද වැඩි බව ඔහුම දැන සිටියේය. 


වෝටර්ලූ සටන් බිමින් පැනගිය නැපෝලියන් පැරිසියේදී ඉංග්‍රීසීන් විසින් අත්අඩංගුවට ගෙන සාන්ත හෙලේනා දූපතට පිටුවහල් කළේය. වසර හයකට පසුව 1821 මැයි මස පස්වැනිදා නැපෝලියන් එම දූපතේදීම මරණයට පත්විය. එවකට ඔහුගේ වයස අවුරුදු පනස්එකකි. 


වෝටර්ලූ සටනට සහභාගී වූ යුද නිලධාරීන් මෙන් ම සාමාන්‍ය සෙබළුන් විසින් ද තබන ලිඛිත සටහන් එම සටන පිළිබඳව බොහෝ අලුත් කාරණා හෙළිකිරීමට සමත් ය. මෙම ලේඛන රාශියක් බ්‍රසල්ස් කෞතුකාගාරයේ සුරක්ෂිතව තැන්පත් කර ඇත. මේ සියල්ල පරිශීලනය කරමින් ඉතිහාසඥයෝ වෝටර්ලූ සටන නැවත නැවත අධ්‍යයනය කරමින් සිටිති. ඉදිරි දිනෙක වෝටර්ලූ සටන පිළිබඳව මීට වඩා වෙනස්වූ මතයක් ප්‍රකාශවීමට ද බැරි නැත. 

 


යටියන ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.