රූපවාහිනී වැඩසටහනකින් උපුටා ගන්නා ලදුව මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ පැතිර යන ‘අම්මාට තවම අකුරු ලියන්න බැහැ’ නම් වූ වීඩියෝව මට එවා තිබුණේ මගේ මාධ්‍ය ඇඳුරුතුමා විසිනි. එය මා හැඬවූවා යයි මම පෙරළා එතුමාට ලියා යැවීමි. එම වීඩියෝව නැරඹූ මා මෙන්ම සංවේදී සිත් ඇති දහස් ගණනින් හඬන්නට ඇති බව නිසැකය. මෙම වීඩියෝවේ කතකයා කවුරුන් දැයි මේ හැඬූ සියලු දෙනාම දන්නවා ඇතැයි මම නොසිතමි. ඔහු අපට ආගන්තුකයෙකි. අප හැඬවූවද, මුළු කතනය පුරාම මේ ආගන්තුකයාගේ මුහුණේ ඇත්තේ වේදනාකාරී වූවද, සිනහවකි. ඇතැම් අවස්ථාවක හද තුළ රැඳි දුක උගුරේ හිරවෙන බවක් ද පෙනේ. මේ ආගන්තුකයා සිනහ මුසු මුහුණින් අප හඬවන්නේ කෙසේ දැයි ඔබ සිතුවා ද?
ජීවිතය යනු සංකීර්ණ වියමනකි. දුක වේදනාව කාගේත් කිල්ලෝටවල හුණු ය. දේවදූතයෝ ද හඬතැයි ඉතාලි කියමනක් ඇත. තමන් විඳි දුක වේදනාව සිනහ මුසු මුහුණින් පැවසීමට වේදිකාවට පැමිණෙන්නේ කෙසේද යන්න හැදෑරිය යුතු ශිල්පයකි.
තමන් අතීතයේදී විඳි දුක වේදනාව පිළිබඳව සතුටකින් සිහිපත් කළ හැකි වෙන්නේ ඒ දුකින් වේදනාවෙන් මිදුණු අයෙකුට පමණි. නැතිනම් වෙන්නේ දුක වේදනාව තුළම හඬමින් ජීවත් වීමටය. දුකේදී වේදනාවේදී සිදුවිය යුත්තේ අකර්මන්‍ය වීම නොවේ. ධෛර්යමත් වීමය. වේදනාවෙන් මිදෙන මග සෙවීමට සිත්දෙන්නේ එවිට ය. නැතිනම් වැටුණු වළේ මය.
අතීතයේදී තමන් විඳි දුක පිළිබඳව කියන්නෝ ජීවිතය ජයගත්තෝ ය. බොහෝ තරගවල ජයග්‍රාහකයෝ කිරුළ පළඳින වේදිකාවේදී හෙළන කඳුළ තුළ ඇත්තේ තමන් ඒ දක්වා පැමිණි ගමනේ කටුක බවය. විඳි දුකින් ලද ධනාත්මක ප්‍රතිඵලයක් නැත්නම්, ඔවුන්ගේ කතාව ඇසීමට තරම් කෙනෙකුන්ට සිත්දෙන්නේ නැත.
ජයග්‍රහණය යනු වෙහෙස මහන්සිය පරිත්‍යාගය හෝ විදින දුක වේදනාව හෝ පමණක් නොවේ. ඒ සියල්ලෙන් ලබාගන්නා ධනාත්මක ප්‍රතිඵලයයි. ප්‍රාර්ථනා යනු සිහින පමණි. ජීවිතය ජයගැනීමට තිබිය යුත්තේ සිහින නොව අරමුණු ය. ඉලක්කයන් ය. ප්‍රාර්ථනාවන්ට වඩා අරමුණු ප්‍රබලය. බොහෝ විට අරමුණු කරා ළගා වියහැකි මාර්ගය සැලසුම් සහගත පියගැට පෙළකි. එහි ගමන් කළ යුත්තේ පියවරින් පියවරය. වැදගත් වෙන්නේ ගමනේ වේගය නොවේ. තබන සෑම පියවරක් මය. මෙම පියගැට පෙළේ ඉහළට ගමන් කරන්නාට සෙසු ලෝකය හොඳින් පෙනෙන්නා සේම, ඉහළින් ඉහළට යනවිට සෙසු ලෝකයට ද ඔහු පෙනෙනවා වැඩි ය.
“ලෝකෙ මිනිස්සු හැටියට ගණන් ගන්නෙත් අපි එක ලෙවල් එකකට ආවට පස්සෙ”. කතකයාගේ කතාවේ පරම සත්‍ය එයයි. කොකාගේ සුද පෙනෙන්නට ඉගිලිය යුතුමය. සමාජය ඔබ දකින්නේ එදාටය.
කල්ප ගුරුගේ. මිලානෝ, ඉතාලිය.