හිට්ලර් සුසානයෙන් නැගිටුවන ඊශ්‍රායල් පලස්තීන වෛරය


හේල් හිට්ලර්...හේල් හිට්ලර්....හේල් හිට්ලර්....මේ හඬ - දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර්ගේ නාසි හමුදාව සිය නායකයාට ගරුකිරීමට යොදාගත් පාඨයයි. 1945 හිට්ලර්ගේ මරණයෙන් හා නාසිවාදීන්ගේ පරාජයෙන් පසු , මේ හඬ නෑසී ගියේය. යුරෝපයේ නව නාසිවාදීන් රහසිගතව මෙය භාවිත කළද, ශිෂ්ට සමාජය තුළ මිනීමරු හිට්ලර් වන්දනාවක් පැවතියේ නැත.  ඒ කෙසේ වෙතත් , ඉකුත්දා මේ හඬ වඩාත් තීව්‍ර ලෙස ප්‍රංශයෙන්  අසන්නට හැකිවුණි.  2024 ඔලිම්පික් තරගාවලියේ ඊශ්‍රායලය සහභාගී වූ පාපන්දු තරගයකදී, ඊට සහභාගී වූ නරඹන්නන් පිරිසක් පලස්තීන කොඩි ද අතැතිව හිට්ලර් වන්දනාවේ යෙදෙන ආකාරයක්, මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබිණි. පැරිස් ඔලිම්පික් තරගාවලියට සහභාගී වන ඊශ්‍රායල් ක්‍රීඩකයන්ට , විවිධ පුද්ගලයන් හිට්ලර්ගේ මග යා යුතු බව කියමින්, විවෘතවම ජීවිත තර්ජන එල්ල කරති. 


පැරිස් ඔලිම්පික් තරග හා සමගාමීව හිට්ලර් යළි මිනි වළෙන් නැගිට ඊශ්‍රායල් ක්‍රීඩකයන් දඩයමේ යෙදීමට සැරසෙන්නේ ඇයි? මේ වනවිට ගෝලීය වශයෙන් හටගෙන ඇති බරපතළම ප්‍රශ්නය වන ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස, ගෝලීය ඉස්ලාමීය හා අරාබි ප්‍රජාවන් තුළ හටගෙන ඇති බරපතළ ඊශ්‍රයාල් විරෝධී ආකල්පයන් හා හැගීම් වල ප්‍රතිළුලයක් ලෙස, හිට්ලර් යළි සුසානයෙන් නැගිට ඇත. හිට්ලර් යුදෙව්වන් හෙවත් වර්තමානයේ ඊශ්‍රායල් භූමියේ ජීවත් වන ජනතාවගේ යුරෝපීය අත්තම්මා  හා මුත්තාවරුන් හැට ලක්ෂයකට අධික පිරිසක් ගෑස් කාමරවල දමා හෝ   විවිධ  වධ බන්ධන වලට ලක්කොට මරා දමනු ලැබීය. වර්තමානයේ පලස්තීන ළැදි  කණ්ඩායම් හිට්ලර්ගේ ගුණ වයන්නේ, ඊශ්‍රායල්වරුන්ට වර්තමානයේ ද නාසි හමුදාව ලබාදුන් ආකාරයේ ඉරණමක් අත්කරදිය යුතුය යන හැඟීම  ජනිත  කරමිනි. වෛරය එතරම් ම බරපතළ වී තිබේ. මේ වෛරය කුමක් දවා හළුකරයිද?  


මියුනිච් ඝාතනය         සිහිගැන්වීම


ප්‍රංශ බලධාරීන් - ඔලිම්පික් උළෙලට සහභාගී වන ඊශ්‍රායල් ක්‍රීඩකයන්ට ආරක්ෂාව ලබාදීම පිළිබඳ උභතෝකෝටිකයකට මුහුණ දී ඇත්තේ, 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේදී  ඊශ්‍රායල් ක්‍රීඩකයන් 12 දෙනෙකු පලස්තීන තුවක්කුකරුවන් අතින් ඝාතනය වීමේ සංසිද්ධියද  ස්මරණය වෙන හෙයිනි.
ගාසා හි සිදුවන පලස්තීන මරණ සම්බන්ධයෙන්, පැරීසියේදී යුදෙව්වන්ගෙන් පළිගැනීමට - ඉස්ලාමීය යැයි ප්‍රකාශ කරගන්නා සන්නද්ධ පාර්ශ්වයක් පෙලඹෙනු ඇතැයි යන බිය තවදුරටත් තීව්‍ර වෙමින් පවතින මොහොතකි මේ. පැරීසිය එළෙස බියෙන් හා සැකයෙන් ඔද්දල් වෙද්දී, මැදපෙරදිග නව යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ - ගෙවීගිය දින හත තුළ , ඊශ්‍රායල් මෙහෙයුම් වල ප්‍රතිඵලයක් ලෙස, පලස්තීන හා ඉරාන ලැදි  සන්නද්ධ කල්ලි ප්‍රධානීන් මියයාම හේතුවෙනි. ඒ නිසා පළිගැනීමේ වහසි බස් හැම අතින්ම ඇසෙමින් පවතී. ඊශ්‍රායලයට අලුත් පාඩමක්  ඉගැන්වීමට - ඉරානය, හමාස් සංවිධානය,  හා හිස්බුල්ලා සංවිධානය පෙළ ගැසී සිටී.  එක්ව හෝ වෙන වෙනම , ඊශ්‍රායලයට එරෙහිව සන්නද්ධ ප්‍රතිචාරයක් දැක්වීම , එම කණ්ඩායම්වල අපේක්ෂාව වී ඇති සෙයක් පෙනේ.


කලාපීය යුද අවදානම නොතකා , ඊශ්‍රායලය තම සතුරන් මෙළොවින් තුරන් කිරීමේ වැඩසටහන සැලසුම්ගත පරිදිම සිදු කරමින් තිබේ. ජුලි මාසය තුළ හමාස් සංවිධානයේ සන්නද්ධ නායකයා හා දේශපාලන නායකයා ඝාතනය කෙරුණු අතර, ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලා සංවිධානයේ දෙවැනි සන්නද්ධ ප්‍රධානියාද මරාදමනු ලැබීය.  මේ ඝාතන දෙකම ඊශ්‍රායලය භාරගෙන ඇති අතර, තුන්වැනි ඝාතනයේ වගකීම භාර නොගත්තද, ඊශ්‍රායල් ගිණුමට එය බැරවී තිබේ. තත්ත්වය බරපතළය. යුද උණුසුම යළි වැඩිවෙයි. ලිපේ තැබු රොටි තැටියක් මෙන් මැදපෙරදිග උණුසුම් වෙයි. මෙය  ගෝලීය බලපෑම් සහිත  දිගුකාලීන  යුධ ගින්නක් ඇවිළවීමට  හේතු විය හැකි තරමේ තර්ජිත තත්ත්වයක් ද? නොඑසේනම් , යම් ආකාරයකින් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයක් යොදාගනිමින් සමනය කළ හැකි ආකාරයේ අර්බුදයක්ද? මේ වනවිට ඉහත ප්‍රශ්නය මැදපෙරදිග මෙන්ම ගෝලීය තලය තුළත් ඉහළින්ම කතාබහට ලක්වන්නකි.


හනියෙගේ ඝාතනය


වඩාත්ම දැඩි ගෝලීය අප්‍රසාදයකට ලක්ව ඇත්තේ, හමාස් සංවිධානයේ දේශපාලනික නායකයා වන ඉස්මයිල් හනියෙ ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනයට ලක්වීමයි.  මෙය අනවශ්‍ය යුද තර්ජනයක් මවා පෑ හැකි සිද්ධියක් බව අන්තර්ජාතික දේශපාලනික අංශ වල අදහසයි.  ඉස්මයිල් හනියෙ යනු හමාස් සංවිධානයේ අන්තර්ජාතික මුහුණුවරයි. 2018 දක්වා ඔහු ගාසා හි හමාස් පාලනයේ ප්‍රධානියා ලෙස ක්‍රියාකළේය.  එමෙන්ම හනියා පලස්තීන නිදහස වෙනුවෙන් ජීවිතයෙන් වැඩි කාලයක් ගතකළ අයෙකු ලෙසද ගෞරවයට පාත්‍ර වූවෙකි. හමාස් අන්තවාදීත්වය තුළ මධ්‍යස්ථභාවයක් පෙන්නුම් කිරීමට උත්සුක වූ අයෙකු ලෙසද, පලස්තීන ජනතාව හමුවේ ගෞරවය දිනාගත් අයෙකි. මිය යන අවස්ථාව වන විටත් ඔහු සැළකුණේ, ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර වර්තමනයේ පවතින ගැටුම නිරාකරණය සදහා පැවති සාකච්ඡා වල මැදිහත්කරුවකු වශයෙනි. කටාර් රාජ්‍යයේ ජීවත් වූ ඉස්මයිල් හනියෙ එහි සිට සටන්විරාම සාකච්ඡා වල ප්‍රධාන භූමිකාවක් ඉටුකළ බව කටාර් රාජ්‍යය ප්‍රකාශ කරයි. ප්‍රධාන සාකච්ඡාකරු මරාදමා සටන් විරාමයක් ගැන හිතන්නේ කෙසේදැයි? කටාර් රාජ්‍යය ඉස්මයිල් හනියෙ ගේ මරණයෙන් පසු අන්තර්ජාතික ප්‍රජාවෙන් ප්‍රශ්ණ කළේ  එබැවිනි. 


මුනිවත රකින ඊශ්‍රායලය


ඊශ්‍රායලය කිසිවිටකත් සංවේදී ඝාතන වල වගකීම භාර නොගනී. ඉස්මයිල් හනියේ ගේ මරණයද එවැන්නකි. මේ දක්වා ඊශ්‍රායලය ඉස්මයිල් හනියෙ ගේ ඝාතනය තම බුද්ධි අංශ විසින් සිදුකරනු ලැබූවක් බවට කිසිදු තැනක කිසිදු ප්‍රකාශයක් කර නැත. එහෙත් ඔහුගේ ඝාතනය ගැන ඊශ්‍රායලයට ඇඟිල්ල දිගු නොකරන පාර්ශ්වයක් නොමැති තරම්ය. පලස්තීන ජනතාව අසන්නේ, එම පුද්ගලයා මරාදැමුවේ ඇයි ද යන්නයි. ඉරානය හනියෙ ගේ මරණයෙන් මද වේලාවකට පසු නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, ඊශ්‍රායලයේ සයොන්වාදී යුධකාමීන් ඉස්මයිල් හනියේ ඝාතනය කළ බවයි. එමෙන්ම හමාස් සංවිධානය ද කියා සිටියේ, මෙය ඊශ්‍රායලයේ මිස අන් කිසිවෙකුගේ ක්‍රියාවක් නොවන බවයි. ඊශ්‍රායලය වගකීම භාරගෙන ඇත්තේ ඝාතන දෙකක පමණි. බදාදා දිනයේ ලෙබනනයේ බෙරූටි අගනුවරට එල්ල කෙරුණු ප්‍රහාරයකින් හිස්බුල්ලා ගරිල්ලා සංවිධානයේ දෙවැනි සන්නද්ධ ප්‍රධානී ෆවුද් ෂකූර් ඝාතනය කළ බව ඊශ්‍රායල් රජය නිවේදනය කළේය. ඉකුත් සෙනසුරාදා ගෝලාන් කඳුකරයේ පිහිටි යුදෙව් ජනාවාසයක පාපන්දු පිටියක් ඉලක්ක කරගනිමින් සිදුවූ රොකට් ප්‍රහාරයකින් යුදෙව් ජාතික දරුවන් 12 දෙනෙකු මියයාමේ සිද්ධියකට පළිගැනීමක් ලෙස, එම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල් අගමැතිවරයා නිවේදනය කළේය. ෆවුද් ෂකූර් ඉකුත් සෙනසුරාදා ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු බවට ඊශ්‍රායලය චෝදනා කරයි. ගුවන් යානයක සිට එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාරයක් මගින් ෂකූර් ඝාතනය කෙරුණු බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ නිවේදනය කළේය. ලෙබනනය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය ඉරානයේ ආධාර ලබන මැදපෙරදිග ප්‍රබල සන්නද්ධ කල්ලියකි. හමාස් හා හූති මෙන්ම හිස්බුල්ලාද නියෝජනය කරන්නේ ෂියා මුස්ලිම් බලවේගය හා ඉරාන ලැදි පාර්ශ්වය මැදපෙරදිග බලය පවත්වාගෙන යාමේ ක්‍රියාවලියයි.  2023 ඔක්තෝම්බර් මාසයේ 7 වෙනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායලයට උතුරු දෙසින් පිහිටි ලෙබනනය තුළ සිට හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායල් ගම්මාන හා ආරක්ෂක මුරපොළ ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර වරින් වර එල්ල කරයි. ඊශ්‍රායලය ඊට පිළිතුරු දෙන්නේ මිසයිල හා කාලතුවක්කු යොදාගනිමිනි. හිස්බුල්ලා ඊශ්‍රායල් අවි ගැටුම නිසා උතුරුදිග ඊශ්‍රායලයේ යුදෙව් වැසියන්ට තම ගම්මානවලින් ඉවත්ව ආරක්ෂක ස්ථාන කරා යාමට සිදුව ඇත. මේ නිසා වත්මන් ගාසා යුද්ධය ඇරඹි දිනයේ සිට හිස්බුල්ලා ගරිල්ලන් හා ඊශ්‍රායලය අතරද, නව යුද පෙරමුණක් නිර්මාණය වී තිබේ. සිරියාවට අයිති ගෝලාන් කඳුකරයේ පිහිටි යුදෙව් ජනාවාසයට පහරදී  දරුවන් දොළොස්දෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය මෙම ගැටුමේ තීව්‍ර අවස්ථාවකි. එහෙත් හිස්බුල්ලා ගරිල්ලන් ප්‍රකාශ කරන්නේ, එය තමන් එල්ල කළ ප්‍රහාරයක් නොවන බවයි. එහෙත් ප්‍රහාරයේ වගකීම හිස්බුල්ලන්ට ම පැවරූ ඊශ්‍රායලය, ප්‍රතිප්‍රහාරයක් සදහා කැබිනට් අනුමැතිය ලබාගත්තේ ය. ඒ අනුව අගමැති බෙන්ජමින්  නෙතන්යාහු අපේක්ෂා කළ පරිදිම ඊශ්‍රායල් යුද තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාමේ නව වරමක් මේ ගැටුම් තුළින් හෙළි වී ඇත.. මීට අමතරව ඊශ්‍රායලය බ්‍රහස්පතින්දා පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, හමාස් සන්නද්ධ අංශයේ ප්‍රධානියා වන මොහොමඞ් ඩෙයිෆ් ඉකුත් මස 13 වෙනිදා තම ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් මියගොස් ඇති බවයි.  ඒ අනුව මසකට අඩු කාලයක් තුළ හමාස් සංවිධානයේ අංශ දෙකක් නියෝජනය  කරන ප්‍රධානීන් මරාදමා ඇත. එය ගාසා තීරයේ උමං තුළ පවත්වාගෙන ගිය හමාස් පාලනයේ  ආධිපත්‍යයට එල්ල කරනු ලැබූ ඍජු පණිවුඩයකි. 


ඊශ්‍රායල් රහස් මෙහෙයුම්


ඉස්මයිල් හනියෙ ඝාතනය පිළිබද තවදුරටත් නොවිසඳුණු අබිරහස් කීපයක් පවතී. ඉස්මයිල් හනියේ ඉතිහාසය පුරාම සන්නද්ධ කල්ලියක දේශපාලන මුහුණුවර නියෝජනය කළ චරිතයයි. ඔහු 2006 පලස්තීන මැතිවරණයෙන් ජය ලබා 2006 ජනවාරි සිට 2007 ජනවාරි දක්වා කාලසීමාවේ පලස්තීනයේ අගමැති පදවිය දැරූ අයෙකි.  ඔහු ඝාතනය කෙරුණු ආකාරය ගැන බරපතළ ප්‍රශ්න තිබේ. ඉරානය පවසන්නේ ඉස්මයිල් හනියෙ නවාතැන් ගෙන සිටි ටෙහෙරාන් හි යුධ ප්‍රවීණයන්ගේ ගොඩනැගිල්ලට ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බවය. එහෙත් මේ වනවිට මාධ්‍ය ආයතන රැසක් 
පෙන්වා දී ඇති

ආකාරයට ගුවන් ප්‍රහාරයක් නොව ගොඩනැගිල්ලේ තබා තිබූ බෝම්බයක් දුරස්ථ පාලකයකින් පුපුරුවා හැර හනියෙ ඝාතනය කෙරුණු බවයි. එම බෝම්බය මාස දෙකකට පමණ පෙර, හනියෙ ටෙහෙරාන් නුවරට පැමිණි පසු  ලැගුම් ගන්නා යුධ ප්‍රවීණයන්ගේ නිවස්නය තුළ ට ගෙන ගොස් සූක්ෂමව සවිකර ඇති බවයි. එය දුරස්ථ පාලකයක් මගින් පුපුරුවා හැර තිබේ. එය ඉරානය තුළදී එරට න්‍යෂ්ටික විද්‍යාඥයන් ඝාතනය කිරීම සදහා ඊශ්‍රායල් මොසාඩ් ඔත්තු සේවය සාමාන්‍යයෙන් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයයි. ඊශ්‍රායලය කිසිවිටෙකත් තම සතුරන් අමතක නොකරයි.  දෙවැනි ලෝක යුද්ධයේ වැඩිපුරම යුදෙව් වැසියන් මරාදැමූ ඇඩොල්ෆ් අයික්මාන් ආර්ජන්ටිනාවේ සැඟව සිටියදී කුදලාගෙන ඊශ්‍රායලයට ගෙන ඒම,  උගන්ඩාවේ ඉඩි අමීන්ගේ ඇස් වසමින් එන්ටෙබේ ගුවන් තොටුපළේ රඳවා තිබූ පැහැරගනු ලැබු ගුවන් යානයක සිටි ඊශ්‍රායල් මගීන් බේරාගැනීමේ මෙහෙයුම ඊට උදාහරණ දෙකකි.  මේ වනවිට හමාස් සංවිධානයේ ආධ්‍යාත්මික නායක ෂෙයික් අහමඩ් යාසින් ඇතුළු ප්‍රබල හමාස් ක්‍රියාකාරීන් රැසක් මේ ​ෙවනවිටත් ජීවිතක්ෂයට පත්කරලීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ. හනියෙ ද ඊශ්‍රායල් ගොදුරක් බව සදහන් කරනු ලබන්නේ එබැවිනි.  කෙසේ වෙතත්, මේ ඝාතනය නිසා ඇතිවූ ප්‍රශ්න ගණනාවකි. හනියේ ඝාතනය කරනු ලබන්නේ ඉරානයේ ටෙහෙරාන් නුවර නව ජනාධිපති දිවුරුම් දීමේ අවස්ථාවේ රාජ්‍ය ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වෙමින් සිටි අවස්ථාවකයි. ඉරානය හමාස් සංවිධානයේ ප්‍රධාන අන්තර්ජාතික මෙහෙයුම්කරුවා බව පිළිගත් සත්‍යයකි. ඒ නිසා හනියෙ ටෙහෙරානයට පැමිණීම අරුමයක්ද නොවේ. එහෙත් ඔහු ඝාතනයට ලක්වන්නේ රාජ්‍ය ආරාධිතයෙකු ලෙස ඉරානයට පැමිණි අවස්ථාවකයි. ලොව රටවල් රැසක් එම ඝාතනය හෙළා දකින්නේ එබැවිනි. දැන් මෙය ඉරානයට ප්‍රශ්නයකි. හනියෙගේ ආරක්ෂාව ඉරානය විසින් නිසි පරිදි පවත්වාගනු ලැබුවා ද යන්න ප්‍රශ්න කෙරේ. ඉරානය ඊශ්‍රායලයට දැඩි ප්‍රතිචාරයක් දැක්වීමට තීරණය කර ඇත්තේ එබැවිනි. ඉරාන අධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කමෙයිනි ඒ සඳහා දැනටමත් අනුමැතිය දී ඇති බව වාර්තා වේ. හමාස් සංවිධානය ජ්‍යෙෂ්ඨ නායකයන් මියගියද, තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ පවතී. එය ඊශ්‍රායලයට අභියෝගයකි. දැන් ප්‍රශ්නය වී ඇත්තේ ඉරානය ඊශ්‍රායලයට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය තුළින් මැදපෙරදිග මතුවිය හැකි අභියෝගාත්මක තත්ත්වයයි.


මැදපෙරදිග තත්ත්වය


මැදපෙරදිග කලාපය තුළ දැන් පවතින්නේද නව ගෝලීය කඳවුරුවාදයයි.  අමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවේගය නියෝජනය කරන්නේ ඊශ්‍රායලය හා අමෙරිකාවට හිතවත් අරාබි රටවල් විසිනි. විකල්ප බල කේන්ද්‍රය වන්නේ ඉරානයයි. ඉරානය බහුතර වශයෙන් නියෝජනය කරන්නේ ෂියා මුස්ලිම් මතවාදයයි. එමෙන්ම පොදුවේ ඉස්ලාමීත්වය එරටින් තහවුරු කෙරේ. ලෙබනනයේ හිස්බුල්ලා, යේමනයේ හූති, සිරියාවේ ආණ්ඩුව හා පලස්තීන පාර්ශ්වය ඉරානය දෙසට නැඹුරුවක් දක්වයි. ගෝලීය බලයේ විකල්ප මතවාදී ප්‍රමුඛයන් වන රැසියාව සහ චීනය ඉරානය සමග අත්වැල් බැදගෙන සිටි. යුද්ධයක් ආරම්භ වන්නේ නම් මේ සියලු පාර්ශ්ව විවිධ ක්‍රම ඔස්සේ තමන් අපේක්ෂා කරන පාර්ශ්වයට අභියෝගයක් එල්ල 
කළ හැක. 


යුද අවදානම


පුළුල් ගල්ෆ් කලාපීය යුද්ධයක් ඇතිවුවහොත් එය ගෝලීය වශයෙන් විවිධ රටවලට විවිධාකාරයෙන් බලපානු ඇත. ප්‍රධාන වශයෙන් ම ලොව ඛණිජතෙල් නිෂ්පාදනයෙන් 39% කට හිමිකම් කියන්නේ මැද පෙරදිග කලාපයයි. ඒ නිසා මැදපෙරදිග කලාපය ඉලක්ක කරගත් යුද්ධයක පළමු බිල්ල වන්නේ ලොව බලශක්ති ස්ථාවරභාවයයි. එය අප වැනි රටවලට ඉතා අහිතකර අභියෝගයක් නිර්මාණය කරන්නකි.  ඛණිජතෙල් හිගවීම, අධික මිල ඉහළ යාම ,ඒ නිසා භාණ්ඩ හා සේවා මිල වැඩිවීම, මේ ප්‍රශ්න අතර වෙයි. අනෙක් අතට ශ්‍රී ලංකාව ගත් කල විගමනික සේවකයෝ දස ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මේ ​ෙවනවිට මැද පෙරදිග කලාපයේ සේවය කරති. කලාපීය යුද්ධයකදී ඔවුන්ගේ ජීවිත අනාරක්ෂිත විය හැකි නිසා, ඔවුන්  ආපසු ගෙන්වා ගැනීමේ අභියෝගයට මෙන්ම ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට හිමිවන දායකත්වය නොමැති වීම නිසා ඇතිවන විපාක වලට මුහුණ දීමට රජයට සිදුවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ තත්ත්වය අධ්‍යයනය කිරීමට විශේෂ කමිටුවක් ස්ථාපනය කරන්නේ මේ අභියෝගය රජය ඉතා හොදින් හඳුනාගෙන ඇති නිසා 
බව පැහැදිලි වේ.
ඊශ්‍රායල් පලස්තීන ප්‍රශ්නය 1948 සිට මැදපෙරදිග කලාපය තුළ අඩු වැඩි වෙමින් පවතින වාතාවරණයකි. එහෙත් තිබෙන බරපතළම අභියෝගය වන්නේ, ඒ හරහා ජන සමාජය තුළ නිර්මාණය වී ඇති අභියෝගාත්මක තත්ත්වයයි. අප මේ සටහනේ මුලින් සඳහන් කළ යුදෙව් විරෝධී වෛරී සහගත හැගීම් ඉහලයාම නැවත වතාවක් ලෝක ජනමතයේ එක් පාර්ශ්වයක්  හිට්ලර් යුගයකට තල්ලු‍ කෙරෙමින් පවතීද යන ප්‍රශ්නය අප හමුවේ පවතී. මෙය ඉතා අවිනිශ්චිත තත්ත්වයකි. ගෝලීය බලවතුන් එක්ව වහා මේ අර්බුදය විසඳීමේ ක්‍රියාමාර්ගයකට එළැඹුණේ නැතිනම්, ලෝකය මුහුණ දෙන තර්ජනය සිය දහස් ගුණයකින් ඉහළ යනු ඇත.