හසීනා ගෙදර යවා යුනුස් ගෙනා අරගලය කෙන්යාවටත් පතිරිලාද? එංගලන්තයත් උදාහරණයට ගනී ද?


“ඇය යන්න ගියා මැකිලා’’ - අමරසිරි පීරිස්ගේ ජනප්‍රිය ගීතයක්. බංග්ලාදේශයේ මේ දිනවල ගැයෙන්නේ මෙවැනි ගීතයකි. හසීනා යන්නම ගියාය. ප්‍රතිවාදීහු ඇය හා ඇගේ පක්ෂය මකා දැමීමේ යෙදී සිටිති. බංග්ලාදේශ නිදහසට මුල්වූ හසීනාගේ පියා විසින් බිහිකළ දේශපාලන පක්ෂය වන  අවාමි ලීගයේ පසුගිය දිනවල බලවතුන් වී සිටි කිසිවෙකු දැන් බෙහෙතකට සොයාගැනීමට නැත. හසීනාට සමීපව සිටි ඇතැමුන්ගේ, තළා පුලුස්සා දැමුණු මළ සිරුරු විවිධ ප්‍රදේශවලින් හමුවෙමින් පවතී. දේශපාලනයේ හා පොදුවේ පිළිගන්නා පරිදි ලෝක ධර්මයේ ස්වභාවය එයයි.
සතියකට පෙර අයෝමය හස්තයකින් රට පාලනය කළ ෂෙයික් හසීනා අද වෙනවිට අන්තර්ජාතික දේශපාලන සරණාගතයෙකි. ඇය හා නැඟණිය භාරගැනීමට මේ දක්වා රටක් ඉදිරිපත් වූ බවක් දක්නට නැත. ඇය ඉන්දියාවේ සිට අලු‍ත් නවාතැනක් සොයමින් සිටින්නීය. ඇයගේ ප්‍රථම සලකා බැලීම වූයේ ඥාතීන් බහුතරයක් සිටින මහා බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණය ලබාගැනීමටයි. එහෙත් හසීනා මත මේ වෙන විට මරණ 400කට අධික සංඛ්‍යාවක වගකීම පැටවෙමින් තිබෙන ලකුණු දක්නට ලැබෙන නිසා එය සාර්ථක වෙතැයි සිතීම අසීරුය. ගතවූ සති කිහිපය තුළ හසීනාගේ හා රජයේ අණදීම මත, උද්ඝෝෂණ මැඩලීම සඳහා පොලිසිය හා හසීනාගේ අණ ඉටුකිරීම සඳහාම බැඳීසිටි ක්ෂණික විහිදුම් පොලිස් බළඇණිය නම්වූ අතුරු හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් මියගිය නිරායුද සිවිල් වැසියන්ගේ මරණ 400කට අධික සංඛ්‍යාවක වගකීම හා වගවීම ගැන දැන් පුළුල් ලෙස සාකච්ඡා වෙමින් පවතී. මේ නිසා හසීනාගේ අවධානය දැන් යොමුවෙන්නේ බොහෝ අධිකාරිවාදී පාලකයන් හා ඉඩිඅමින් වැනි ඒකාධිපතියන්ගේ විශ්‍රාම නවාතැන වූ මැද පෙරදිග කලාපය වෙතටයි.


ඇය මුහුණ දී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී  රාමුව තුළ බිහිවී ඒ තුළින් ජන නායකත්වය හිමිකරගෙන රාජ්‍ය නායකත්වය කරා ළඟාවූ දේශපාලන චරිතයකට අත්විය හැකි ඛේදනීයම ඉරණමටයි. කෙසේ වෙතත්, හසීනා යනු පෙනෙන මානයක දේශපාලන අනාගතයක් නොපෙනෙන චරිතයකි. ඇය හමුවේ ඇත්තේ චෝදනා, නඩු නිමිති හා අපවාද මුසු අවිනිශ්චිත අනාගතයකි. පසුගාමි රටක්  ආසියානු කලාපයේ නැඟී එන ආර්ථිකයක් බවට පත්කළ නායිකාව අද එරට දුටු තැන ඝාතනය විය හැකි මහා දුෂ්ට චරිතයකි. බංග්ලාදේශය නම් රටක් පාකිස්ථාන පාලනයෙන් මුදාගෙන නිදහස් රාජ්‍යයක් බවට පත්කිරීමට මුල් වූ ජාතියේ පියා - ෂෙයික් මුජිබර් රහ්මන් - ෂෙයික් හසීනාගේ පියා - ඔහුගේ මෙහෙවර අද බංග්ලාදේශ තරුණ ප්‍රජාවට කිසිදු වැදගත් සාධකයක් නොවේ. ධකා නුවර පිහිටි ඔහුගේ ප්‍රතිමා බැකෝ යන්ත්‍ර යොදා බිම හෙළනු ලැබුවේ දුෂ්ටයෙකු විනාශ කරන පරිද්දෙනි. මෙරට එම ඡායාරූපය සහිතව පළවූ ඇතැම් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වුණේ තමාට මේ ආකාරයෙන් සලකන බව දනී නම් ෂෙයික් මුජිබර් බංග්ලාදේශයක් නොතනනු ඇති බවයි.  
ජන මනස වෙනස්වීමට අතීතය සාධකයක් නොවන අතර එය හුදෙක්ම වර්තමානය මත රඳා පවතින බවට බංග්ලාදේශ සිද්ධිය උදාහරණයකි. ෂෙයික් හසීනා අද නිදහසේ පියාගේ දුව හෝ රට ගොඩනැඟූ නායිකාව හෝ නොව ජන ඝාතක ඒකාධිපතිනියක් ලෙස බංග්ලාදේශය තුළ හංවඩු ගැසී අවසන්ය. මේ සිද්ධිය ගැන විශ්ලේෂණාත්මකව බලන කල, බංග්ලාදේශය තුළ මෙවැන්නක් සිදුවූයේ ඇයිද යන්න ගැන ගෝලීය වශයෙන් පුළුල් සංවාදයක් ගොඩනැගී තිබේ. 
මෙහිදී සාකච්ඡාවට ලක්වෙන කරුණු දෙකක් ඇත. පළමුව, හසීනා ප්‍රජාතන්ත්‍රවාදයෙන් අධිකාරීවාදයට යොමුවීම නිසා මේ ව්‍යසනය සිදුවූයේද? ඇය හෝ ඇයගේ අවාමි ලීග රජය රටේ පවත්නා සැබෑ තත්ත්වය අවබෝධ කරගැනීමට අසමත් වීද?  ඇයට රට හැර පලායාමට සිදුවූයේ ජනතා ප්‍රශ්නවලට පිළිතුරු දෙනු වෙනුවට මර්දනය දියත් කිරීමද? එසේත් නැත්නම් ඇයම පවසන පරිදි, ඇය අන්තර්ජාතික කුමන්ත්‍රණයක ගොදුරක් බවට පත්වී ද? කිසියම් අන්තර්ජාතික බලවතෙකුට හසීනා ඉවත් කිරීමට වුවමනා වීද? එසේත් නැත්නම් ඇය ගෝලීය හා කලාපීය බල අරගලයේ ගොදුරක් වීද? පවතින තත්ත්වය අනුව කරුණු සොයා බලමු.
අපි කවුරුත් දන්නා පරිදි හා පසුගිය සතිය මුළුල්ලේම කියැවුණු  පරිදි, ෂෙයික් හසීනා ඇගේ 15 අවුරුදු පාලන කාලය තුළ බංග්ලාදේශය පසුගාමී තැනක සිට ආර්ථික වශයෙන් ශක්තිමත් ස්ථාවරයකට ගෙන ඒමට සමත් වූවාය. ඒ සඳහා ඇය විශාල කැපවීමක් කළාය. පසුගිය දශකය තුළ එරට ආර්ථික වර්ධන වේගයෙහි දළ අගය 6.% ඉක්මවයි. ඉකුත් වසරේ එම අගය 6.5% ව පැවතිණ. කර්මාන්ත හා අපනයන ක්ෂේත්‍රය, විශේෂයෙන් ඇඟලුම් ක්ෂේත්‍රය ශීඝ්‍රයෙන් දියුණු විය. 2023 වසරේ ඒක පුද්ගල දළ දේශීය ආදායම ඇමෙරිකානු ඩොලර් 2528කි. එය එම වසරේ ඉන්දියාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදන අගය ඉක්මවා යාමකි. එහෙත් බරපතළ ආර්ථික දුෂ්කරතාද පැවතිණ.


එරට අභ්‍යන්තර ණය වේගයෙන් ඉහළ ගොස් තිබිණ. 2021-22 මුදල් වර්ෂය තුළ බංග්ලාදේශයේ අභ්‍යන්තර ණය ඩොලර් බිලියන 95 ඉක්මවා ඇත. එය දශකයක් තුළ 238%ක වැඩිවීමකි. අභ්‍යන්තර අසාදු  ණය ප්‍රමාණය ඩොලර් බිලියන 21 ඉක්මවා තිබිණ. ඒ නිසා අන්තර්ජාතික මූල්‍ය අරමුදල හෙවත් අයි.එම්.එෆ්. ආයතනය මගින් බංග්ලාදේශයට ඩොලර් බිලියන 4.7ක මූල්‍ය පහසුකමක් ඉකුත් වසරේදී ලබා දී  ඇත. විරැකියාව ඉහළ ගොස් තිබිණ. සරසවිවලින් උපාධි ලබා පිටවෙන සිසුන්ට රජයේ රැකියා නොමැතිවීම ඉතා බරපතළ ලෙස රජය අපහසුතාවට පත්කළ තත්ත්වයකි.
ඊට එරෙහිව උද්ඝෝෂණය කළ සිසුන් ත්‍රස්තවාදීන් හා ඔවුන්ගේ දරුවන් ලෙස සලකා ඝාතනය කිරීම හා අත්අඩංගුවට ගැනීම විරැකියා උද්ඝෝෂණවලට හසීනා දුන් පිළිතුරයි. උද්ඝෝෂණ වැඩිවෙත්ම මර්දනයද වැඩි කළා මිස සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන ඊට විසඳුම් සෙවීමක් සිදු නොවීම අර්බුදය උග්‍ර කළ සාධකයක් සේ සැලකේ. 
එතෙක් පැවති රැකියා කෝටා ක්‍රමයට එරෙහි අධිකරණ තීන්දුව ආපසු හරවා, එය ජනවාරියේ පැවති මහ මැතිවරණයේදී පක්ෂයේ ආධාරකරුවන්ට රැකියා ලබාදීමට සැකසූ මාර්ගයක් බවට පත්කරගැනීම සිසු හා ජනතා විරෝධය උත්සන්න කළ අවස්ථාවකි.
අනෙක් අතට, ශක්තිමත් වෙමින් පැවති සිසු හා ජනතා ව්‍යාපාරයෙහි ස්වභාවය හා ජෙනරල් එර්ෂාද් වැනි ඒකාධිපතියන් පලවා හැරි ජන බලය ගැන නිසි තක්සේරුවක් නොකොට, හුදෙක් මර්දනය ගැනම විශ්වාසය තබා කටයුතු කිරීම තවත් තීරණාත්මක සාධකයක් සේ සැලකේ. අවසාන මොහොතේ පවා මර්දනය තවත් වැඩිකරන ලෙස ඇය හමුදා ප්‍රධානියාගෙන් ඉල්ලා සිටි බවත් එතෙක් මර්දනයට සම්බන්ධ නොවී සිටි හමුදා ප්‍රධානී ජෙනරල් උස්සමාන් ඒ වෙනුවට ඇයට, ඉල්ලා අස්වී පැයක් තුළ රටින් ඉවත් වෙන ලෙස දන්වා ඇත්තේ ජන බලය අවි බලයෙන් මර්දනය කළ නොහැකි බව ඇයට දන්වා සිටිමින් බවත් බංග්ලාදේශ මාධ්‍ය පවසයි. 
එමෙන්ම හසීනාගේ අවාමි ලීගය සිය අවසන් 15 අවුරුදු පාලනයේදී ඉතා දැඩි ලෙස විපක්ෂය මර්දනය කළේය. එය බංග්ලාදේශයේ පවතින ඉතා දුර්වල වූ වැරදි පිළිවෙතකි. හසීනාට කලින් ඇගේ ප්‍රතිවාදියා වූ බෙගම් කලිඩා සියා සිරගත කිරීමට උත්සුක වූවාය. 2009 බලයට පත් හසීනා, තම ප්‍රතිවාදි නායිකා බෙගම් කලිඩා සියා හා ඇගේ පක්ෂයේ සාමාජිකයන් සිපිරි ගෙට යවා ඉතා දුර්වල විපක්ෂයක් නිර්මාණය කළාය. අන්තර්ජාතික බලවතුන්ගේ ද සහාය ඇතිව, ජමාති ඉස්ලාම් වැනි ඉස්ලාමීය පක්ෂ අක්‍රිය කළේය. එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපය හසිනාගේ පාලනය දුර්වල කිරීමට හේතු වූවකි. 


ඉකුත් දා ජනමාධ්‍ය ප්‍රධානීන් සමග කොළඹ පැවති සාකච්ඡාවකදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, කලිඩා නිදහස් කොට තිබුණේනම් හසීනා තවමත් අගමැති බවයි. 
ඇය බලයෙන් පහ කිරීමට මුල්වූ අන්තර්ජාතික සාධක රැසක්ද ඇත. මූලික වශයෙන්ම, හසීනා ඉන්දීය ලැදි නායිකාවකි. 1975 සිය පියා ඇතුළු පවුල ඝාතනය වීමෙන් පසු, ඉන්දියාවේ රැකවරණ යටතේ පසුවීමත්, අනතුරුව තම 15 අවුරුදු පාලන කාලය තුළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග කුළුපග වෙමින් ඉතා පුළුල් ඉන්දීය ලැදි පාලනයක් ගෙන යාමත් ඇයගේ පිළිවෙත් අතර විය.  රට ඉන්දියාවට විකුණනවා යන චෝදනාවත් ඒ හා සමගාමීව රට පුරා ව්‍යාප්ත වූ ඉන්දීය විරෝධයත් යන සාධක බෙහෙවින් හසීනාට අහිතකර විය. එහෙත් හසීනාගේ විදෙස් ප්‍රතිපත්තිය සැලකූ කල, ඇය ඉන්දියාවත් චීනයත් අතර ඉතා මනා සබඳතා තුලනයක යෙදෙමින් කඹයක ඇවිදින්නෙකු මෙන් යම්තාක් දුරකට සාර්ථක කලාපීය සබඳතාවලියක් ගෙන ගිය බව ප්‍රකටය. 
ඉන්දියාව මෙන්ම චීනයද හසීනාට උදව් කළේය. 2023 අවසන් වෙනවිට චීනයෙන් බංග්ලාදේශය ලබා ඇති ණය ඩොලර් කෝටි 500 ඉක්මවයි. එමෙන් ම චීන ව්‍යාපෘති රැසක් එරට ක්‍රියාත්මක වෙයි. චීනය බංග්ලාදේශයේ තුන්වැනි ප්‍රධාන ණය සැපයුම්කරුය. එසේම චීනය හසීනාගේ ඉන්දියානු ළැදි භාවය ගැන විමසිල්ලෙන් පසුවූ බව පෙනේ. නමුත් ඉන්දියාව මෙන්ම චීනයත් පහසුවෙන් ගනුදෙනු කළ හැකි හසීනා කෙරෙහි විශ්වාසයක් තබා සිටි බවක් පැහැදිළි වේ. 
හසිනාගේ ඉවත්වීමෙන් පසු චීනය මේ දක්වා පවසා ඇත්තේ තත්ත්වය ගැන විමසිල්ලෙන් පසුවෙන බව පමණකි. ආසියානු බලවතුන්ට වඩා හසිනාට ගැටලු තිබුණේ බටහිර බලවතුන් සමගය. ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය මෙන්ම යුරෝපා රටවල්ද හසිනාගේ පාලනයේ ස්වභාවය ගැන ප්‍රශ්න කර තිබිණ. බටහිර රටවල් බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වීම ගැන නිතර ප්‍රශ්න කළ අතර රජයට එරෙහි බහුජන සංවිධාන හා සෙසු ආයතන ශක්තිමත් කිරීමට ක්‍රියාකළේය. ඒ නිසා හසිනා ගෙදර යැවීමට තුඩු දුන් සිසු උද්ඝෝෂණ සම්බන්ධයෙන් ඇගේ පක්ෂය බටහිර බලවතුන්ට චෝදනා කරයි. 
හසීනා මීට මාසයකට පෙර කියා තිබුණේ “සුදු ක්‍රිස්තියානි රටක්” තමා බලයෙන් පහ කොට බංග්ලාදේශය තමනට ලැදි පාලකයෙකුට ලබාදීමට උත්සුක වෙන බවය. තමා එම රටට බංග්ලාදේශයේ ගුවන් කඳවුරක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් එසේ නොකළේ නම් තමාට දිගටම බලයේ රැඳී සිටිය හැකි වන බවත් ඇය ප්‍රකාශ කර තිබුණේ මාසයකට පෙරදීය.  බටහිර කුමන්ත්‍රණ කතාව එළියට ආවේ මේ පසුබිම තුළයි.  හසීනා බටහිර විරෝධී නිසා මතවාදීමය වශයෙන් බටහිර රටවල් ඇයට එරෙහිව සිටි බව ද නො රහසකි.
ඉන්දීය මාධ්‍ය මතුකරන අනෙක් සැකය නම්, හසීනා ඉවත් කිරීම පකිස්තානයේ ක්‍රියාවක් බවයි. පකිස්තාන අයි.එස්.අයි. ඔත්තු සේවය ඉන්දියාවේ උද්ඝෝෂණ තීව්‍ර කිරීමට මුල්වූ බවට ඉන්දීය මාධ්‍ය වාර්තා පළකරයි. එයද හුදෙක් මතයක් මිස මේ දක්වා තහවුරු කිරීමට නොහැකි වූ කරුණකි. 


දැන් බංග්ලාදේශයේ අනාගතය කෙටි කලකට හෝ පැවරී ඇත්තේ මහාචාර්ය මුහම්මද් යුනුස් වෙතයි. නොබෙල් සාම ත්‍යාග ලාභී, 84 හැවිරිදි මේ වයෝවෘද්ධ නායකයා බංග්ලාදේශයේ බොහෝ දෙනා හඳුනන පරිදි ඔහු රටේ දිළිදු ජනතාවට සහන සැලසූ වීරයෙකි. එහෙත් යුනුස් අගමැති හසීනාට නයාට අඳුකොළ මෙන් විය. බංග්ලාදේශයේ දිළිදු ජනතාව වෙනුවෙන් ලබාදුන් සහන වැඩපිළිවෙළ හා ග්‍රාමීන් බැංකුව යටතේ ක්‍රියාත්මක වූ ක්ෂුද්‍ර ණය යෝජනා ක්‍රම මගින් යුනුස් දිළිඳු ජනයා ශක්තිමත් කළේය. ඒ නිසා ඔහු 2006 නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය. එහෙත් හසීනාට අනුව, යුනුස් ජනතාවගේ ලේ උරා බොන්නෙකි. ඔහුගේ දිළිඳු සහන වැඩපිළිවෙළ හා බැඳුණු ණය අයකරගැනීමේ ක්‍රමවේදයට පහර දෙමින් මේ ප්‍රකාශය සිදුකර තිබිණ. ඒ 2007 වසරේදී යුනුස් දේශපාලන පක්ෂයක් දියත් කිරීම නිසාය. එදා සිට යුනුස් හසීනාට අභියෝගයකි. ඇය ඔහුට ද සුපුරුදු මර්දනය ක්‍රියාත්මක කළේ දූෂණ හා මූල්‍ය චෝදනා මත නඩු පැවරීමේ ක්‍රියාවලියක් තුළිනි. 
බංග්ලාදේශ අධිකරණය ඔහුට මාස 6 ක සිරදඬුවමක් නියම කළේ ඒ අනුවයි. එය තනිකරම දේශපාලන පළිගැනීමක් සේ සැලකේ. භාරකාර අගමැති ධුරයට ඔහු නම් කෙරුණු පසු එම නඩු තින්දුව නිශ්ප්‍රභ කෙරිණ.  නිෂ්ක්‍රීයව සිටි මොහොම්මද් යුනුස්, බංග්ලාදේශයේ නායකත්වයට පත්වීමට කැමැත්ත පළකළේ බංග්ලාදේශයේ පැවති අරාජිකත්වය සැලකිල්ලට ගනිමිනි. හසීනා ගිය පසු රටේ පාලන යාන්ත්‍රණය කඩා වැටිණ. ජාති, ආගම්, කුල හා දේශපාලන මතබේද මත මිනීමැරීමේ හා මංකොල්ලකෑම් ක්‍රියාවලිය ආරම්භ වූයේ නායකයෙකු නොමැති අරාජික තත්ත්වය තුළයි. හමුදාව රටේ පාලනය භාරගත්ත ද සියලු‍ පාර්ශ්ව සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණ නව භාරකාර රජයක් ඉක්මනින් පත්කළේ අතීතයේ හමුදා පාලකයන් මෙන් තමන්ට එවැනි රාෂ්ට්‍ර පාලන දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධවීමට අවශ්‍ය නොවන බව පෙන්වා දෙමිනි.
මොහොමඩ් යුනුස් අන්තර්වාර අගමැති පදවියට එන්නේ බංග්ලාදේශ සිසු සංවිධානවල ඉල්ලීම අනුවයි. සිසු සංවිධාන නායකයන්ට ද භාරකාර රජයට සම්බන්ධ වීමට වරම් ලැබී තිබේ. මෙය ශීග්‍රයෙන් කඩා වැටෙන බංග්ලාදේශ ආර්ථිකය යළි ශක්තිමත් කිරීමේ පියවරකි. එහෙත් යුනුස් හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය නම් රටේ වල් වැදී ඇති නීතිය හා සාමය යළි ස්ථාපනය කිරීමයි. ඒ සඳහා ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ, මෙය බංග්ලාදේශයේ දෙවැනි නිදහස් දිනය ලෙස සලකමිනි. දැන් එම අභියෝගය ජයගැනීමේ භාරදුර කාර්යය ඔහු හමුවේ පවතී.
බංග්ලාදේශය හා සමගාමීව කෙන්යාව හා බ්‍රිතාන්‍යද නොසන්සුන් උද්ඝෝෂණවලට මුහුණ පා ඇත. එංගලන්තයේ ඇත්තේ සුදු අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩත්වය එළිදැක්වීමකි. එහෙත් කෙන්යාවේ පවතින්නේ බංග්ලාදේශයේ මෙන්ම රාජ්‍ය විරෝධි උද්ඝෝෂණයකි. බංග්ලාදේශයේ තත්ත්වය දැක මේ උද්ඝෝෂණද උත්සන්න වේ දැයි මාධ්‍ය වලින් බිය පළකෙරෙන ආකාරයක් දක්නට ලැබිණ. 
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ