අවුරුදු තුන සමරන්න අගමැති තෑගි බෙදයි


එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා, ගම්පෙරළිය හා ඉඩම් ඔප්පු ලක්ෂ 10 බෙදා දීමේ ව්‍යාපෘතිවල නිරත අගමැතිවරයා පසුගිය සතිය පුරාම ඒ වෙනුවෙන් රට පුරා ගියේය.


“නුවරඑළියෙන් පටන් ගෙන බද්දේගමට එනවිට දැනටත් ඉඩම් ඔප්පු 10,000 ක් අප රටේ මිනිස්සුන්ට බෙදා දී තිබෙනවා. මහින්දලා ඉඩම් බෙදුවේ විදේශිකයන්ටයි. මූල්‍ය නගරයේ හා ෂැංග්‍රිලා ඉඩම් සින්නක්කර දුන් ඒවාත් බදු ක්‍රමයට යටත් කර ඒවා බේර ගත්තෙත් අපයි” අගමැතිවරයා බද්දේගමදී ප්‍රකාශ කළේය.


ඉඩම් බෙදාදීමේ ව්‍යාපෘතියේ නියමුවා වන ඇමති ගයන්ත කරුණාතිලකගේ මෙහෙයවීම මත උත්සව පැවති අතර වජිර අබේවර්ධන ද ඊට එක් විය.


බ්‍රහස්පතින්දා අගමැතිවරයා පාර්ලිමේන්තු ගියේ එජාපෙ කණ්ඩායම් රැස්වීමටය. ඊට පෙර සිය කාර්යාලයට පැමිණ සිටි පිරිස සමග කතා බහ කිරීමටද ඔහු වග බලා ගත්තේය.


“ලක්ෂ්මන්, වජ්පායිගේ ෆියුනරල් එකට ගිය ගමන කොහොමද?’’ අගමැතිවරයා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් විමසීය.


“ඒ ගමන රටට හුඟක් වටිනවා. අගමැති මෝදි හමු වුණාම මගේ පැමිණීම ගැන ඔහු ස්තූති කළා. එතුමා ලංකාවට ආවාම මා පරිවාර ඇමැති ලෙස හිටපු බවත් එතුමාට මතක් වුණා.”


“වජ්පායි හා අගමැති රනිල් අතර තිබූ කිට්ටුවන්තකම මා මෝදිට මතක් කළා.”, කිරිඇල්ල කීය.


“වෙන අයට කතා කරන්න අවස්ථාව ලැබුණේ නැද්ද? අගමැතිවරයා විමසීය.


“ඉන්දියාවේ විදේශ ඇමැතිනිය එක්ක දෙරටේ වත්මන් තත්ත්වය ගැන බොහෝ දේ කතා කළා. ඇෆ්ගනිස්ථානේ හිටපු ජනපති කර්සායි එක්කත් කතා කළා.” කිරිඇල්ල කීය.


“සභානායකතුමා අපට ලස්සන කතාවක් කිව්වා සර්. එතුමා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ නියෝජ්‍ය විදේශ ඇමැති කාලේ ලංකාවේ සාක් සමුළුව තිබූ වෙලාවේ වජ්පායි හා පකිස්ථානයේ නවාෆ් ෂෙරිෆ් ළඟ පුටු දෙකක වාඩි කරන්න කිරිඇල්ල ඇමැතිතුමා සෙට් කළේ දෙරට අතර ඒ වෙලාවෙ පොඩි යුද උණුසුමක් තිබූ නිසා එය සමනය කරන්නලු.”


දෙරටේ නායකයෝ දෙන්න මුලින් අහක බලාගෙන හිටියත් ටික වෙලාවකින් වජ්පායි ෂෙරිෆ් එක්ක හිනාවෙලා ඔහු ළඟ තිබූ වතුර බෝතලය හා වීදුරුව ෂෙරිෆ්ගේ පැත්තට තල්ලු කළාම ෂෙරිෆ් වතුර බෝතලෙන් උගුරක් බීලා, හිනාවෙලා වජ්පායිට කතා කළාලු.”


“දෙරට යුද උණුසුම නැති කරන්නත් කිරිඇල්ල ඇමැතිතුමා සෙට් කළ ඒ කුඩා සිදුවීම ඉවහල් වුණා කියා දවසක් කිරිඇල්ල ඇමතිතුමා අපට කිව්වා”, බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි කී කතාව අගමැතිවරයා ඇතුළු පිරිස අහගෙන සිටියේ මහත් අවධානයෙනි.


“පොහොට්ටුව ඇතුළේ ගිනිකන්දක් ඇති වෙලා. ගෝඨා - බැසිල් ජනපති අපේක්ෂක ගැටුම නිසා එතන කල්ලිවලට ​ෙබදිලා. ඒ නිසයි, 19 හිලකින් රිංගා මා එනව කියා දැන් මහින්ද කියන්නේ”, සජිත් ප්‍රේමදාස මෙන්ම නවීන් දිසානායකද කීවේ එක සමාන අදහසකි.


“මහින්ද රටේ නීති කඩන්න හදනවා”, අගමැති කීය.


“හිලකින් රිංගන්න ඉඩක් තිබුණේ ජේ.ආර්. ට විතරයි. මොකද, එතුමා ඡන්දයෙන් ජනපති වුණේ එක වරයි. ඒත් මහින්ද හා චන්ද්‍රිකා දෙවරක් ඡන්දයෙන් ජනපති වූ නිසා ඒ දෙන්නට රිංගන්න නම් මොන හිලක්වත් නැහැ” නීති විශාරදයකු වන විජයදාස රාජපක්ෂ කීය.


“එහෙත් 19 හෝ වෙනත් නීතියක් හෝ පැනවීම අතීතයට බලපාන්නෙ නැහැ නේද? දයා ගමගේ ප්‍රශ්න කළේය.


“නීතියක් අතීතයට බලපාන්නේ නැතත් යමකුගේ අතීත ක්‍රියාකාරකම් බලපානවා. අනික දෙවරක් ජනපති වුණේ නැති බවට දිව්රුම් ප්‍රකාශය නාම යෝජනා දෙනවිට දෙන්න වෙනවා. ඒ හරහා බොරු කිව්වොත් දණ්ඩ නීති සංග්‍රහයේ 190 වගන්තිය අනුව වසර 03 ක් හිරේ යන්න වේවි” විජේදාස රාජපක්ෂ පැහැදිලි කළේය.


“ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්නයි මෙයාල බලන්නේ”, සජිත් ප්‍රේමදාස කීය.


“ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න පුළුවන් ජනපතිට විතරයි. හැම කොල්ලට-බල්ලටම ඒක කරන්න බැහැ”, විජයදාස කීවේ සිනාසෙමිනි.


දිසා අධිකරණයට මේ ගැන පෙත්සම ඉදිරිපත් කළාම ඔවුන් ලවා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට යම් අවස්ථාවක් තිබෙනවාද? නීතිඥයෙක් වන නවීන් දිසානායක කීය.
“දෙවරක් ජනපති වූ කෙනෙකුට යළි බැහැ කියා 19 වැනි සංශෝධනයේ පැහැදිලිවම තිබියදී දිසා අධිකරණයට ගියාම ඒ පෙත්සම විසි වේවි. ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසන්න දිසා අධිකරණවලට ඔල්මාද ඇති කියා මා හිතන්නෙ නැහැ” විජයදාස රාජපක්ෂගේ විග්‍රහය එය විය.


"විජයදාස විශ්වවිද්‍යාලවල නවක වදයට විරුද්ධව හා සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන අවස්ථාවාදීන්ට විරුද්ධව යුද ප්‍රකාශ කිරීම ගැන මුළු රටම ප්‍රසංශා කරනවා”. දයා ගමගේ කී විට අගමැතිවරයා ඇතුළු සියලු දෙනාද විජයදාස රාජපක්ෂට ප්‍රශංසා කරන්නට වූහ.


“මහින්ද රාජපක්ෂගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කළාම පැය 03ට හය පාරක් ටොයිලට් ගිහින්ලු. ටොයිලට් එකේ ඉඳන් නීති උපදෙස් ගන්න ඇති.”, චමින්ද විජේසිරි කී විට පිරිස සිනාසුණහ.


“මතක නැහැ කියන ලෙඩේ මහින්දටත් බෝ වෙලා. බැඳුම්කර කොමිසමට ගිය වෙලාවේ අගමැතිතුමා විතරයි, මට මතක නැහැ කියන්නේ නැතුව කෙළින් උත්තර දුන්නේ”, විජයදාස රාජපක්ෂ කීය.
“කීත් නොයාර් නිදහස් කළ එක වරදක්ද කියල මහින්ද මහත්තය අහනවා. නිදහස් කරන්න කලින් පැහැර ගත්තේ කවුද කියලයි, මිනිස්සු අහන්නේ? චමින්ද විජේසිරි කීවේද සිනාසෙමිනි.


“කීත් නොයාර්ගේ සිද්ධිය ලොකුවට උඩට ඇවිල්ලා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කර ඒ ගැන තවත් කරුණු හොයන්න කියා එජාප මන්ත්‍රීවරුන් රැසක් මට බලකරනවා" අගමැති එළි කළේය.


“පළාත් පාලන ඡන්දය පැරදුණු එක ආණ්ඩුවට ආශිර්වාදයක්. දැන් ඉඩම් බෙදා පවුල් ලක්ෂ 08 කට අලුතින් සමෘද්ධි දී උදාගම්-පාසල් රෝහල් හදා ගම්පෙරළිය-එන්ටර්ප්‍රයිස් ලංකා, ග්‍රාම ශක්ති ආදිය කළාම ඊළඟ ඡන්දය අපට අමාරු වෙන්නේ නැහැ.’’ ගයන්ත කරුණාතිලක කී දේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.


“මා රට පුරා කොට්ඨාස 3992ක පාක්ෂිකයෝ 10 බැගින් හමුවෙලා වැඩමුළු 150ක් ජාතික සංවිධායක ලෙස තියනවා. 40,000 ක් දැනුවත් කරනවා. ඒ අයට ගමේ ව්‍යාපෘති කරන්න කෘෂි උපකරණ ආදියත් බෙදනවා”, නවීන් දිසානායක කීවේ අගමැති ඇතුළු කාගේත් ප්‍රශංසා මැදය.


“ආණ්ඩුවට වසර තුන පිරීමට උදාගම් 100 කට මුල්ගල් තියනවා. ගම් 1000 ක් හදලයි, මා පස්ස බලන්නේ”, සජිත් ප්‍රේමදාස කී විටද අගමැතිවරයා ඇතුළු කාගේත් ප්‍රශංසාව සජිත්ටද හිමි විය.


“උපාධිධාරීන් 4100 කට ගිය සතියේ පත්වීම් දුන්නා. මහින්ද වසර 09 ට පාරවල් කිලෝ මීටර් 183යි හදා තිබෙන්නේ. අප වසර 3 1/2 ට කිලෝමීටර් 185 ක් හදා ඉතිරි වසර 02 දී තවත් හදනවා. පාරවල්වලට මහින්ද පවරා ගත්ත ඉඩම්වලටත් වන්දි ගෙව්වෙ අපයි. දැනට රුපියල් දශ ලක්ෂ 40,000 ක් වන්දි ගෙවා තිබෙනවා. හැම ඇමතිම දැන් තර​ෙගට වැඩ කරනවා. ඒක වටිනවා”, අගමැති කීය.


“ජපාන ආරක්ෂක ඇමැති ඇවිත් රහස් ආරක්ෂක ගිවිසුමක් ගැහුවා කියා විපක්ෂය කරන චෝදනාව මඩක්ද?” චමින්ද විජේසිරි ඇසුවේ අගමැතිගෙනි.


“අප කිසිම ගිවිසුමක් හොරාට ගහන්නෙ නැහැ. අද ලංකාව වටා ඇති ඉන්දීය සාගර කලාපය නාවික හා ආර්ථික මර්මස්ථානයයි. අපේ වැදගත්කම ලෝකයම දකිනවා. ජාත්‍යන්තරයම දැන් ලංකාව එක්ක වැඩ කරන්න ඉතා උනන්දුයි. ඉස්සර එහෙම තත්ත්වයක් තිබුණෙ නෑ. ජපන් ආරක්ෂක ඇමති සින්සො අබේගෙන් පසු “ජපන් අගමැති වෙන්නත් ඉඩ ඇති කෙනායි.. ත්‍රිකුණාමලය හා හම්බන්තොට දියුණුවට ජපන් උදව් හා අායෝජන ගේන්න ඔහු එකඟ වුණා. ඒක ලංකාව ලැබූ විශාල ආර්ථික ජයයි.” අගමැතිවරයා විග්‍රහ කළේය.