ආණ්ඩුව පිළිබඳ ​එජනිසයේ බෙදීමක්


මෛත්‍රී - මහින්ද වෙනම සාකච්ඡාවක්

 


ගිය සතිය පුරා රටම බලා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දෙසය. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ අවුරුදු හතර හමාරක් ගත වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනි බවය. මාසයකට අධික කාලයක් තිස්සේ රට තුළ පැවැති දේශපාලන අස්ථාවර භාවයට එමගින් යම් විසඳුමක් ලැබුණද එය ස්ථිර විසඳුමක් වේ යැයි දැන්ම කිව නොහැකිය. කෙසේ වුවද අධිකරණ තීන්දුවත් සමඟ ජනපති මෛත්‍රී ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අඩියක් පස්සට ගත් බව නම් පැහැදිලිය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම පිට පිට දින තුනක්ම එක දිගට හමු විය. ගිය අඟහරුවාද‌ා සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයේ දී ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර ඊට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සන්ධාන මන්ත්‍රීවරු සහභාගි වූහ. එදින සාකච්ඡාවට ලක්වූවේ වත්මන් දේශපාලන අර්බුදය හා පහුවද‌ා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම ගැනය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වන බැවින් කතානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවීමට බලයක් නැති බව මන්ත්‍රීවරු කියා සිටියහ. ඒ නිසා ඔවුන්ගේ තීරණය වූයේ පහුවද‌ා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම ද වර්ජනය කිරීමටය.


කලින් දින ගත් තීන්දුව අනුව යමින් බද‌ාද‌ා පාර්ලිමේන්තු රැස්වීමට ද සන්ධාන මන්ත්‍රීවරු කිසිවෙක් සහභාගි නොවූහ. රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් එජාපයෙ හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 117 කගේ ඡන්දයෙන් සම්මත වූ යෝජනාව කතානායක කරු ජයසූරිය මහතා විසින් බද‌ාදා පස්වරුවේම ජනාධිපතිවරයා වෙත යවනු ලැබුවේද මේ අතරවාරයේය. එහෙත් සන්ධාන මන්ත්‍රීවරුන් දිගින් දිගටම කියා සිටියේ කතානායකවරයාගේ අත්තනෝමතික තීරණයකට අනුව කැඳවන ලද පාර්ලිමේන්තුවේ දී සම්මත වූ එම යෝජනාව නොපිළිගන්නා බවය. කරුණු එසේ තිබියදී සන්ධාන මන්ත්‍රී කණ්ඩායම බද‌ාද‌ා රාත්‍රියේ ද ජනාධිපති කාර්යාලයේදී රැස්වූවේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. වත්මන් දේශපාලන අර්බුදය සහ අධිකරණ තීන්දුව කුමක් වේද යන්න ගැන එහිදී සාකච්ඡාවට ලක් විය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බ්‍රහස්පතින්ද‌ා සවස ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි කිසිවකුත් දැන සිටියේ නැත.


පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව බ්‍රහස්පතින්ද‌ා සවස 4.00 ට ප්‍රකාශයට පත්කෙරෙන බවට එදින පෙරවරුවේ ආරංචි ලැබෙමින් තිබිණි. එදින සවස 5.00 ට සන්ධාන මන්ත්‍රී කණ්ඩායම කැඳවා තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේය. ඒ අනුව එදින හවස 5.00 ට ජනාධිපති කාර්යාලයට එන්නැයි සන්ධාන මන්ත්‍රීවරුන් සියලු දෙනාට දුරකථන මගින් දැනුම් දී තිබිණි.


ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූවේ ශ්‍ර්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාරව ගතයුතු ඉදිරි ක්‍රියාමර්ග පිළිබඳව තීන්දු තීරණවලට එළැඹීමටය. සවස 5.00 ට සාකච්ඡාව කැඳවා තිබුණ ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම තරමක් ප්‍රමාද වූ බැවින් රැස්වීම ආරම්භ වන විට 6.00 පමණ විය.


මහින්ද රාජපක්ෂ මහතා විජේරාම මාවතේ නිල නිවසේ සිට සාකච්ඡාවට පැමිණියේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද සමගය. අනුර යාපා, ලක්ෂ්මන් යාපා, සී.බී. රත්නායක, එස්.එම්. චන්ද්‍රසේන, නිමල් ලන්සා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම සවස තුනේ පමණ සිට විජේරාම නිල නිවසට වී මහින්ද සමඟ සාකච්ඡාවක සිටියහ. අනතුරුව පිරිස කෙළින්ම ජනාධිපති කාර්යාලයට පැමිණියේ ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වීම සඳහාය.


ප්‍රධාන මේසයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මහින්ද රාජපක්ෂ මහතා සහ දිනේෂ් ගුණවර්ධන හා නිමල් සිරිපාල යන මන්ත්‍රීවරු දෙදෙනාත් අසුන් ගෙන සිටියහ. ‘ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මේ වන විට තමුන්නාන්සේලා දන්නවා. පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වූ යෝජනාවත් ඔබතුමාලා දන්නවා. දැන් මේ ගැන තමුන්නාන්සේලාගේ ස්වාධීන අදහස් කියන්න.’ යැයි ජනාධිපතිවරයා සාකච්ඡාව විවෘත කරමින් මන්ත්‍රී කණ්ඩායමට කීවේය. ජනාධිපතිවරයා කළ දැනුම් දීම පිළිගනිමින් උදය ගම්මන්පිල, ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහින්ද‌ානන්ද අලුත්ගමගේ, ඩිලාන් පෙරේරා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම අදහස් දක්වන්නට වූහ.


මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡාවට පැමිණීමට පෙර ජනාධිපතිවරයා සමඟ වෙනම සාකච්ඡාවක් ද කර තිබිණි. එහිදී මහින්ද කියා තිබුණේ තමා ජනාධිපතිවරයා අපහසුතාවට පත් නොකරන බවත් අධිකරණ තීන්දුව අනුව තමා ඉල්ලා අස්වීමට වුවද සූද‌ානම් බවත්ය. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ද අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් වැඩි දෙනෙකු කියා තිබුණේ ජනාධිපතිවරයා දේශපාලන තීන්දුවක් ගතයුතුව ඇති බවය. ‘සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට හැකියාවකුත් නැතිනම් හා එජාපය හා දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නේ නම් අලි කොටි හවුලට ඉඩදී අපි විපක්ෂයට යමු.’ රෝහිත අබේගුණවර්ධන කීවේය.


අතුරලියේ රතන හිමියන් යෝජනා කළේ භාරකාර ආණ්ඩුවකට ගොස් ඡන්දයකට යා යුතු බවය. ත්‍රිකුණාමලයේ අක්කර 30,000 ක් ඇමෙරිකාවට දෙන්න යනවා. මේ විනාශය නතර කරන්න ඕන. රතන හිමියන් කියද්දී ජනාධිපතිවරයා ද කීවේ තමා මෙවැනි තීන්දුවක් ගත්තේ ද එජාපයේ එම ක්‍රියාද‌ාමය නතර කළ යුතු නිසා බවයි.


නිමල් සිරිපාල හා දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රීවරු ද අදහස් දක්වන්නට වූහ. ආචාර්ය බන්දුල ගුණවර්ධන කීවේ අවශ්‍ය නම් 1982 අංක 40 දරණ ණය ගැනීමේ පනත යටතේ මාස තුනක් ආණ්ඩු කරන්න පුළුවන් බවය.’ මට නම් ආණ්ඩුවට වඩා විපක්ෂය හුරුයි. ජනාධිපතිතුමාත් අපි සමග ඉන්නවා. එ් නිසා ශක්තිමත් විපක්ෂයක් විදියට කටයුතු කරලා ඉදිරි ඡන්දය ජයග්‍රහණය කරන්න අපට පුළුවන්. අපි එ්කට මුහුණ දෙමු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කීවේය. මේ අතර බන්දුලගේ අදහසට පිළිතුරු දුන්නේ ගම්මන්පිලය. ඔහු කීවේ බන්දුලගේ අදහසට වෙනස් අදහසකි. මඩගොහොරුවේ බැහැල දඟලන්න, දඟලන්න වෙන්නේ තව තවත් මඩේ එරෙන එකයි. මම නම් කියන්නෙ අපි දැන් නම්බුපිටින් යන්න ඕන කියලයි. ගම්මන්පිල කීවේය. සියලු මන්ත්‍රීවරුන්ගේ අදහස් කරුණු දැක්වීම්වලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා කීවේ මම මේ තීන්දු ගත්තේ, යූඑන්පිය ගෙන ගිය රට විනාශ කිරීමේ වැඩපිළිවෙළ නතර කිරීමේ යහපත් චේතනාවෙන්. එ්කයි මම ජනතාව අතරට යන්න තීරණය කළේ කියාය. දැන් අධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. මම රනිල් වික්‍රමසිංහ එක්ක නැවත ආණ්ඩු කරන්න ලෑස්ති නැහැ. නමුත් මට ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයේ කවුරුවත් නැවත යුඑන්පිය එක්ක හවුල් ආණ්ඩු, සම්මුති ආණ්ඩු හදන්න කතා කරන්න එපා. එහෙම එකකට මම ඉඩ දෙන්නෙත් නැහැ. කාට හරි යූඑන්පී එකත් එක්ක ගිහින් ඇමැතිකමක් ගන්න තනි තීන්දු ගන්නවා නම් මම ඒකට බාධා කරන්නෙත් නැහැ. මෙතන තියෙන්නේ ප්‍රතිපත්තිමය ගැටලුවක්. මගේ ප්‍රතිපත්තියයි රනිල්ගේ ප්‍රතිපත්තියයි ගැළපෙන්නෙ නැහැ. අපි කණ්ඩායමක් විදියට එකට ඉමු. එකට ඉඳලා සටන් කරමු. මට තනතුර නැති වූවාට ජීවිතය නැති වුණත් මම රට වෙනුවෙන් තීන්දු ගන්නවා. මට වැදගත් රට විතරයි.’ යැයි ජනාධිපතිවරයා කීවේ සාකච්ඡාව නතර කරමිනි.

 


මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කිරීම හා ඇමැති මණ්ඩලය කටයුතු කිරීම අත්හිටුවමින්, අභියාචනාධිකරණය දුන් තීරණයට එරෙහිව මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම සලකා බැලීම යෙදී තිබුණේ සිකුරාද‌ා දිනයේය. ඒ නිසා බ්‍රහස්පතින්ද‌ා ජනාධිපතිවරයාගේ සාකච්ඡාව අවසන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය සිකුරාද‌ා දිනයේ ලබා දෙන තීන්දු තීරණ සමග එදින රාත්‍රියේ සන්ධාන මන්ත්‍රී කණ්ඩායම රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කර තීන්දු තීරණ ගන්නා බව කියමිනි.


ජනාධිපතිවරයා සහ මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් ඇදී ගියේය. සාකච්ඡාව අවසන් වී මහින්ද විජේරාම මාවතේ නිල නිවසට ගිය අතර පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් ද මහින්ද හමුවන්නට ඔහුගේ නිල නිවෙසට ගොස් සිටියහ.


ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ගිය සති අන්තයේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වූයේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙනි. පොදුජන පෙරමුණේ ගම්පහ පළාත් පාලන ආයතන ප්‍රධානින්ගේ හමුවක් ගිය අඟහරුවාදා බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් මාවත කාර්යාලයේ පැවැති අතර ඊට ද ප්‍රසන්නට සහභාගි වීමට නොහැකි විය. ඒනිසා රැස්වීම කල් දැමීමට බැසිල් සූදානම් වුවද ප්‍රසන්න කීවේ රැස්වීම කරගෙන යන්නැයි කියාය.


මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද ගිය අඟහරුවාදා ප්‍රසන්නගේ සුවදුක් බැලීමට රෝහලට ගියේය. මහින්ද යද්දී සනත් නිශාන්ත ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද එහි පැමිණ සිටියහ.