පසුගිය බ්‍රහස්පතින්දා උදේම අගමැති රනිල් අරලියගහ මැදුරේ සිය කාර්යාලයට පැමිණියේ එදින වැඩ අධිකම දිනයක් වූ බැවිනි.
සමෘද්ධි දීමනාව පවුල් ලක්ෂ හයකට අලුතින් දීමේ නිල උත්සවය අම්පාරේදී එදින පස්වරුවේ පැවැත්වීමට තිබූ හෙයින් දිනක වැඩ කටයුතු උදේ වරුවේ සම්පූර්ණ කිරීමට අගමැතිවරයා කටයුතු සැළසුම් කර තිබිණි.
ඇමැති දයා ගමගේ ගේ අමාත්‍යංශය යටතේ සමෘද්ධි පවතින හෙයින් නිල උත්සවය අම්පාරේදී පැවැත්වීමට සැළසුම් කෙරිණ.
“එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා නැති බැරි අයට ජනසවිය දුන්නේ පක්ෂ-පාට බලා නොවෙයි. ඒත් 1994 ඉඳලා 2015 දක්වා තිබූ ආණ්ඩු සමෘද්ධි දුන්නේ එයාලගේ පක්ෂවල අයට විතරයි. එජාප අයට සමෘද්ධි දුන්නේම නැහැ. ඒත් මේ පාර අප එජාපය ප්‍රමුඛව දුගී සියළු දෙනාට සමෘද්ධි දෙනවා.”
පසුගිය ආණ්ඩුව සමෘද්ධිය දේශපාලනයටත් යොදා ගත්තා. අප ඒ පහත් වැඩෙත් නැවැත්තුවා. එදා දුප්පත් මිනිස්සුන්ට සමෘද්ධි දී බය කරලා දේශපාලන වාසි ගැනීමේ ක්‍රමය අප නැවැත්තුවා. දින 52ක කුමන්ත්‍රණය හා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වගේ දැවැන්ත ජනතා මෙහෙවරක් කරන ලෝකයේ එකම ආණ්ඩුව අප විතරයි.” අගමැතිවරයා සමෘද්ධි ගැන දීර්ඝ විග්‍රහයක් කළේය.
“ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පළමු දිනේම ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුණා”, ලක්ෂ්මන් කිරිඇල්ල සුපුරුදු ලෙස කතාවට මුල පිරුවේය.
“ජාතික ආරක්ෂාවට අදාළ හා ඉදිරි ආරක්ෂක සැළසුම් ගැන තේරීම් කාරක සභාවේදී කිසිම දෙයක් එළි නොකරන ලෙස කාරක සභාව හමුවේ උත්තර දෙන සියළු දෙනාට දන්වලයි, තිබෙන්නේ.” අගමැතිවරයා කීය.
“ඒත් තේරීම කාරක සභාව ජාතික ආරක්ෂක තත්ත්වයට අභියෝගයක් බව සමහර ජනමාධ්‍ය රටට කීම තුළම ඔවුන්ගේ නොමඟ යැවීම පැහැදිලි වෙනවා”, නවීන් දිසානායක කළ විග්‍රහයට කාගේත් අනුමැතිය පළ විය.
“මේ කාරක සභාවේදී එළිවෙන බොහෝ දේවල් මිනිස්සු අහලා පුරුදු තොරතුරුයි. ඒවා මාධ්‍යවල පළවූ දේවල්මයි. ඒ තොරතුරු නිල වශයෙන් තහවුරු කර ගැනීම මෙතනදී වෙනවා. ඒකයි වැදගත් වෙන්නේ” කාරක සභා නියෝජිතයෙක් වන රවි කරුණානායක කීවේය.
“එදා ශිරාණි බණ්ඩාරනායක ගැන පත් කළ කාරක සභාවේ හිටියේ අට පාස් අයයි. ඒත් මේ කාරක සභාවේ ලංකාවේ ඉන්න හොඳම ආරක්ෂක විශේෂඥයා වන ෆීල්ඩ් මාෂල් ෆෝන්සේකා හා ඉතා උගත් පිරිසක් සිටීම ඉතා වටිනවා. මිනිස්සු එහි සංයුතිය හා මේ ක්‍රියාවලිය ගැන ඉතා සුබවාදී තැනක දැන් ඉන්නේ.” චමින්ද විජේසිරි කී දේ කාගේත් අවධානයට යොමු විය.
“මේ කාරක සභාවට ජනාධිපතියි ගෝඨාභයයි මරන්න කුමන්ත්‍රණ කළා කියා මාස ගණනක් ඇතුළේ ඉඳලා ඇප ලබපු ඩී.අයි.ජී. නාලක සිල්වාත් ගෙන්නන එක වටිනවා නේද?” හේෂා විතානගේ ප්‍රශ්න කළේය.
“ඔව්. එයා ගේන එක වටිනවා.මොකද 2018 ජුලිවල නාලක සිල්වා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී ලෙස සහරාන් ගැන හොඳට සොයා ඔහු කොටු කරන්න වරෙන්තුවකුත් ගෙන තිබෙනවා. ඊට පස්සෙයි, ඒ ඩී.අයි.ජී. හිර කර තිබෙන්නෙ කියා ආරංචියි. ඒ නිසා සහරාන් ඇල්ලීම යටපත් වූ බවටත් තොරතුරු තිබෙනවා. ෆොන්සේකාත් ඒක තහවුරු කළා.”, රවි කරුණානායක කීවේය.
“නාලක සිල්වා රාජකාරී මට්ටමින් බී වාර්තාවකින් සහරාන් රට පැනීම වළක්වන “නිල් වරෙන්තුවක්”ගන්නත් උත්සහ කර තිබෙනවලු. ඒත් එයා රිමාන්ඩ් එකට ගත්ත නිසා ඒ ඔක්කොම නතර වුණාලු. ඒ අතරෙයි, සහරාන් සිරියාවට ගිහින් පුහුණු වෙලා ඇවිත් අමානුෂික ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ කියලත් ආරංචියි.”, නවීන් දිසානායක කීවේ තමාට ලැබුණු තොරතුරු මත පදනම්වය.
“සමහරුන් කතානායකතුමා පත් කළ තේරීම් කාරක සභාව ගැන ප්‍රශ්න කරනවා. එංගලන්තේ 2013 නීතිය හා ආරක්ෂක පනත යටතේ බුද්ධි තොරතුරුවලට අදාළව පාර්ලිමේන්තු කමිටුව පත්කර තිබෙනවා.”
“ඇමෙරිකාවේ සී.අයි.ඒ. වගේ බුද්ධි අංශ ඇවිත් සෙනෙට් හා කොංග්‍රස් එක ඉදිරියේ සාක්කි දෙනවා. උත්තර බඳිනවා. ඉතිං තව මොන කතාද?” අගමැතිවරයා කීවේ ඔහු සතු ජාත්‍යන්තර දේශපාලන දැනුම ඔස්සේය.
“මේ තේරීම් කාරක සභාව පත්කර කතානායකතුමා තමන්ගේ එඩිතර බව යළිත් සනාථ කළා. දින 52 කුමන්ත්‍රණයේදී එතුමාට තිබූ එඩිතර බව දැන් තවත් වැඩිවෙලා වගෙයි.”, රවි කරුණානායක කීවේ එවැන්නකි.
“තේරීම් කාරක සභාවට මහින්ද හා ගෝඨලත් යටින් කැමතියි කියලා ආරංචියි. මොකද, මේකෙන් එළිවෙන්නේ තොරතුරු ලැබිලත් රට රකින්න බැරි වෙච්ච ආරක්ෂාව භාරව හිටපු අය ගැනනේ?” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාසෙමිනි.
“ජනාධිපතිතුමා හීනෙන් බයවෙලා වගේ ඇමැතිකම් තුනක් දුන්නා. ඇයිද දන්නෙ නැහැ නේද?” චමින්ද විජේසිරි විමසුවේ අගමැතිගෙනි.
“අප ලිස්ට් එක අප්‍රේල්වල යැව්වේ. ඒත් ෆොන්සේකාට, රංගෙට හා ස්වාමිනාදන්ටයි, ශ්‍රීලනිප 06 දෙනාටයි මේ පාරත් ඇමැතිකම් දී නැහැ?” අගමැති කීය.
“නීතිය හා සාමය ෆොන්සේකාට දෙන්න බැරි නම් හිටපු කෙනා මද්දුම බණ්ඩාරට දෙන්න වෙන නිසා එයාට තව වගකීමක් පවරල දැන් ඔයාට වැඩ වැඩි නිසා නීතිය සාමය වගකීම් දරන්න අමාරුයි කියන පණිවිඩය මෙතැනදි දුන්නා කියලයි, හිතෙන්නේ” එජාප නීති නිලධාරියෙක් කළ විග්‍රහයට කාගෙත් එකඟත්වය පළවිය.
“හිටපු පොලිස්පතිත් උසාවි ගිහිල්ලා. ඒ අස්සේ රතන හාමුදුරුවෝ ක්ෂණිකව නින්දෙන් ඇහැරිලා. ඇයිද දන්නේ නැහැ නේද?” හේෂා විතානගේ විමසුවේ සිනාසෙමිනි.
“ගලගොඩ හිමි ඇතුළේ හිටපු කාලේ රතන හිමි නිහඬව හිටියා. උන්නාන්සේ එළියට ආපු ගමන් දෙන්නගේ තරගෙටයි රතන හිමි නින්දෙන් ඇහැරුණේ කියලයි, මට හිතෙන්නේ” මුජිබර් රහුමාන් කළ විග්‍රහය කාගෙත් සිත් ගත්තේය.
“රටේ ආරක්ෂාව ආරක්ෂක අංශ තහවුරු කර තිබෙනවා. දැන් ආර්ථිකය ගොඩනැගීම, ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ගම් උදාව, සමෘද්ධි ඇතුළු රට ගොඩනගන ජනතාවට ප්‍රතිලාභ ලැබෙන වැඩවලට දැන් උපරිම කැපවීම කාගෙත් වගකීමයි.”, අගමැතිවරයා පැවසුවේ කාගෙත් අනුමැතිය ඊට හිමිවන අතරේය.
“දින 52 ක හොර ආණ්ඩු හැදුවා. ත්‍රස්ත ප්‍රහාරවලට පාරත් කැපුවා. ජාතිවාදී කෝලාහල කරන්නත් උත්සහ කළා. බැරිම තැන අසරණ දරුවන් භීතියට පත් කරන්න පාසල්වල බෝම්බ මලු තියා තිරිසන් ගතිද පළ කළා. ඒත් ආණ්ඩුව සියළු දේශද්‍රෝහී ක්‍රියා පාලනය කර රට තුළ සාමය ඇති කළා. විශ්වාසභංගෙන්වත් ආණ්ඩුව වැටේවිද කියලයි, දැන් බලන් ඉන්නේ.?” මුජිබර් රහුමාන් කීවේය.
“ආණ්ඩුව වට්ටන්න විශ්වාසභංග කීයක් මෙයාලා ගෙනාවද? රිෂාඩ්ගේ විශ්වාසභංගයේදී දෙන සාක්කි අනුව එයාගේ අනාගතය තීන්දු වේවි. අප විනිවිදවයි, වැඩ කරන්නේ. දින 52 කුමන්ත්‍රණයේදී ඒක අල්ලන් ඉඳලා දිනපු අපව වට්ටන්න බැහැ. සමහරු බලන් ඉන්නේ ආණ්ඩුව වැටෙනකනුයි. ඒක වෙන්නෙත් නැහැ. ඒකට මා ඉඩ තියන්නෙත් නැහැ.” අගමැතිවරයා කීවේ දැඩි ස්වරයෙනි.
ඉකුත් සති අන්තයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට මුල පිරූ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට නැවතත් ගැමියන් අතර මුසුවෙමින් ඔවුන්ගේ දුක-සැප විමසමින් කාලය ගත කිරීමට අවස්ථාවක් උදා විය. මීට සති කීපයකට ඉහතදී මෙවැනිම අවස්ථාවකදී ලද අත්දැකීමක් සජිත්ට හදිසියේම සිහිපත් වූයේ ඒ අතරය. ත්‍රිරෝද රථයකින් බැස හැරමිටි වාරුවෙන් ඇවිද ආ වයසක කාන්තාවක් දැක සජිත් ඇසුවේ ‘කොහේද ආච්චි අම්මේ මේ ගිහින් එන්නේ’ කියා සජිත් අසද්දි අැය කෙඳිරි ගාමින් කීවේ ‘ඇඟට වාරු නෑ පුතේ. බේත් ටිකක් ගන්ඩ ටවුමට ගියා. බේත්වලට වැඩිය මඟට වියදං වුණා’ කියාය.
නගරයෙන් බැහැර ග්‍රාමීය ප්‍රදේශවල මධ්‍යම බෙහෙත් ශාලා පද්ධතියක් ඇති කිරීමට හැකි වුවහොත් සාමාන්‍ය අසනීප තත්ත්වයකදී ගැමියන්ට නගරයේ වෛද්‍ය මධ්‍යස්ථාන සොයා පැමිණ අසීරුවට පත්වන්නට සිදු නොවනු ඇතැයි සජිත්ට සිතුණි. එවැනි මධ්‍යම බෙහෙත් ශාලා පද්ධතියක් සැකසීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන්ගෙන් විමසූ විට ලැබුණු පිළිතුරු වූයේ ‘දැනට තිබෙන මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නෑ’ කියාය. ‘ගොඩනැගිලි අපි ඉදිකර දුන්නොත් වෛද්‍යවරු, බෙහෙත්, කාර්ය මණ්ඩලය ලබා දෙන්න පුළුවන්ද’ සජිත්ගේ දෙවැනි ප්‍රශ්නයට නම් ලැබුණේ ධනාත්මක පිළිතුරකි. ඒ අනුව ප්‍රධාන නගරවලින් බැහැරව සුමිහිරිගම, උස්වැව, සිරියාගම, අග්බෝපුර ඇතුළු ග්‍රාමීය ප්‍රදේශවල මධ්‍යම බෙහෙත් ශාලා 15-20ක් අතර ගණනක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට සජිත් මුලපිරුවේ දානපති පරිත්‍යාගශීලීන් පිරිසකගේ නොමසුරු ආධාර උපකාර ලබමිනි. එක මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා වැයවන මුදල රුපියල් ලක්ෂ 74කි. ඒවා ඉදිකරනු ලබන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසිනි. එක් පරිත්‍යාගශීලියකු සිය වියදමින් මෙවැනි මධ්‍යස්ථාන දෙක බැගින් රුපියල් ලක්ෂ 296ක වියදමින් බෙහෙත් ශාලා 4ක් ඉදිකරදීමට දානපතියන් දෙදෙනකු ඉදිරිපත්වීම නිසා ඉදිකිරීම් කටයුතු මේ වනවිටත් ආරම්භ වී ඇත. පවුල් 3000ක් පමණ වෙසෙන ප්‍රදේශයක් එක් මධ්‍යම බෙහෙත් ශාලාවකින් ආවරණය වෙයි. සිරියාගම බෙහෙත් ශාලාවට මුල්ගල් තැබීම වෙනුවෙන් සංවිධානය කර තිබූ චාම් උත්සවයට පැමිණි සජිත් එක්වරම දුටුවේ සති කීපයකට පෙර අසනීප වී බෙහෙත් ගැනීමට නගරයට ගොස් හැරමිටි වාරුවෙන් ආපසු එමින් සිටි ආච්චි අම්මාය. ‘අාච්චි අම්මට මතකද දවසක් බෙහෙත් ගන්ඩ ගිහින් ආපහු එද්දි මට මුණ ගැහුණා. එදා තමයි මම හිතා ගත්තේ මේ වගේ බෙහෙත් ශාලා ගම්වල අරින්න ඕනෑ කියලා’ සජිත් කියද්දී ඇය කීවේ ‘අනේ බොහොම හොඳ වැඩක් පුතේ. මට ආරංචි වෙලා සංතෝසෙටයි බලන්ඩ ආවේ. දැන් ඉතිං වයසක අපිට ලෙඩක් දුකක් වුණාම පිහිටක් තියෙනවා. පුතාට බොහෝම පිං’ කියාය.
ආරක්ෂාව පිළිබඳ කාගේත් අවධානය ඉහළ ගොස් ඇති මේ දිනවල ප්‍රභූවරුන්ගේ වෙඩි නොවදින වාහන පිළිබඳ කතා බහද කරළියට පැමිණ තිබේ. රටේ තුන්වැනි පුරවැසියා වූ කථානායකවරයාටද අවශ්‍යනම් වෙඩි නොවදින වාහනයක් ලබා ගැනීමේ ඉඩ ප්‍රස්තා පවතින බව ගෙවුණු සතියේ දැනුම් දෙනු ලැබීය. එමෙන්ම හිතමිතුරු විදෙස් රටවල් දෙකකින්ද යෝජනා කෙරුණේ කථානායකවරයාට අවශ්‍ය නම් නොමිලේම වෙඩි නොවදින වාහන ලබාදීමට තමන් සූදානම් බවයි. නමුත් එම අවස්ථා තුනම ප්‍රතික්ෂේප කළ කරු ජයසූරිය මහතා සඳහන් කළේ “නායකයන් යනු ජනතාවගේ ආරක්ෂකයන් බැවින්, අවදානම දරා ගැනීමට තමා සූදානම් බවයි. කවර ආරක්ෂක පවුරු මැද සිටියද දෛවයේ කැඳවීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව” වෙඩි නොවදින කතාව ගැන ඇසූ මාධ්‍යවේදීන් සමග හෙතෙම කියා සිටියේය.
ඉතා සුළු පිරිසකගේ අන්තවාදී උවමනාවන්ට අනුව ක්‍රියාත්මක වන අතිමහත් බහුතර ඉස්ලාමිකයන් එකහෙලා ප්‍රතික්ෂේප කරන ක්‍රියාකාරකම් කිහිපයක් සම්බන්ධව අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ඒ ඒ අමාත්‍යංශවල සහ පාර්ලිමේන්තුවේ අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවන්ගේ පුළුල් සහභාගිත්වයක් යටතේය. පාර්ලිමේන්තු ගෘහය තුළ මෙම සියලු කටයුතු මෙහෙය වන ප්‍රධාන චරිතය වූ කථානායකවරයා හමුවීමට පසුගිය සතිය පුරාවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉස්ලාම් ආගමික නායකයන් මෙන්ම මුස්ලිම් විද්වතුන්ද කණ්ඩායම් රැසක් පැමිණියහ.
ඔවුන් හැමවිටම එකිනෙකට සමගාමී අදහස් නොදැරූ නමුත් පොදුවේ සියලු දෙනාම කරුණු කිහිපයක් සම්බන්ධව එකම මතයක් පළ කළහ. විශේෂයෙන්ම අවුරුදු 12,13,14 ආදී වයසේ පසුවන කුඩා දැරියන් බලහත්කාරයෙන් අධ්‍යාපන කටයුතුවලින් ඉවත් කර විවාහ කරවීම ශිෂ්ඨ සම්පන්න සමාජයකට කිසිසේත් අනුමත කළ නොහැකි බව පෙන්වා දුන් ඔවුහු බොහෝ අවස්ථාවල දුප්පත් අසරණ දෙමාපියන්ට තර්ජනය කර අන්තවාදී පිරිස් විසින් එවැනි විවාහ සිදුකරන බව හෙළි වී ඇතැයි කියා සිටියහ. විවාහ වීමේ වයස් සීමාව එක් ආගමකට හෝ ජාතියකට වෙන් වෙන් වශයෙන් සීමා නොකොට රටේ පොදු නීතියට යටත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. මෙහිදී කථානායකවරයා සඳහන් කළේ ලෝ පුරා ක්‍රියාත්මක වන ළමා අයිතිවාසිකම් පිළිබඳ සියලු ප්‍රඥප්ති උල්ලංගනය කරන මෙම ළමා විවාහ බාල අපචාරයන් ලෙස හැඳින්විය හැකි බවයි.
එබැවින් ඉදිරි නීතිවේදී සම්පාදනයේදී මෙම කරුණු දැඩිව සැලකිල්ලට ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
පෞද්ගලික තේ කර්මාන්ත ශාලා හිමියෝ 75 දෙනෙක් පසුගියදා මුදල් අමාත්‍යාංශයට ගොස් මුදල් ඇමැති මංගල හමුවුණා.
තේ කර්මාන්තයේ පැනනැගී ඇති අර්බුද හමුවේ තේ කර්මාන්ත ශාලා හිමියන් වර්තමානයේ මුහුණපාන ගැටළුවලට කඩිනම් පිළිතුරු අපේක්ෂාවෙන් පැවැත්වූ මේ සාකච්ඡාවේ මැදිහත්කරු වුණේ ඇමැති ගයන්ත කරුණාතිලකය.
රටේ ආර්ථිකයට බලපාන වැදගත් සාකච්ඡාවක් සාර්ථක වීම නිසා තේ කර්මාන්තශාලා හිමියෝ මංගල හා ගයන්ත ඇමැතිවරුන්ට කෘතඥතාව පළ කළහ.