ආණ්ඩු පක්ෂයේ ගෙවිඳු - ප්‍රේමනාත් - සරත්, 20ට එරෙහි මතයක
දේශපාලන කරළිය ඉකුත් සතියේ ගිනියම් වූයේ ප්‍රධාන මාතෘකා දෙකක් හේතුවෙනි. එකක් 19 වැනි සංශෝධනය අහෝසි කර 20 වැනි සංශෝධනය ගෙන ඒමය. දෙවැන්න ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණ දිවුරුම් දීමය. 19 අහෝසි කර 20 ගෙන ඒම ගැන විපක්ෂය කීවේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර ඒකාධිපති ගමනක් යාමට උත්සාහ කරන බවය.
සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් සෝභිත හිමියන්ගේ පිළිරුව අබියසට ගොස් ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක් ද පැවැත්වූවේ එ් බව කියමිනි. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට මරණ දඬුවම් නියමවූයේ 2015 ජනාධිපතිවරණය සමයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙනි. එම තීන්දුවට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා අධිකරණයට අභියාචනයක් ද ඉදිරිපත් කර ඇත. මේ අතර ගිය සතියේ අභියාචනාධිකරණය දුන් අවසරය මත ඔහු පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මැදය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පසුගිය අඟහරුවාදා උදේ 11.00 ට පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1 හිදී රැස්වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ දිනවල පවතින පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූයේ මැති ඇමැතිවරුන් ගණනාවක්ම එ් ගැන විමසීම් කළ බැවිණි. සමහර මන්ත්‍රීවරුන් කීවේ පොහොර හිඟය නිසා තමන්ට ගම්වලට යාමටවත් නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවය. ඒ නිසා පොහොර ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ. මොහාන් පී. ද සිල්වා රාජ්‍ය ඇමැතිවරයා කීවේ, පොහොර භාවිතය වැඩි වී ඇති නිසා ඒ ගැන ද සොයා බැලිය යුතු බවය. පොහොර ප්‍රශ්නයක් තියෙන බව අපි දන්නවා. ඒකට අපි හෙට ඉඳලා වැඩපිළිවෙළක් හදලයි තියෙන්නේ යැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කීවේ, මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. අනතුරුව කතා කළේ අගමැති මහින්දය. අගමැතිවරයා කීවේ පසුගිය ආණ්ඩු කාලෙ පොහොර සමාගම්වලට මුදල් ගෙවල නැති එකත් මේකට බලපා තිබෙන බවය.
ඊළඟට මතුවුණේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඇති අදහස්ය. ඒ පිළිබඳව මුලින්ම ප්‍රශ්නයක් මතුකළේ ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයාය. ‘මේ 20 වැනි සංශෝධනය ගැන අපෙන් අහලත් නැහැ. අපිත් එක්ක කතා කරලත් නැහැ. ඒ ගැන කිසිවක් සාකච්ඡා නොකර කැබිනට් එකටත් දාලා, ඒ නිසා අපිට මේ ගැන කතාකරන්න අවස්ථාව ඕනෑ යැයි කීවේය. ඒ සමගම ඔහු කීවේ ඇමැතිවරුන් ගණන වැඩි කරන එකටත් තමන් විරුද්ධ බවය. ඊළඟට කතා කළේ සරත් වීරසේකර රාජ්‍ය ඇමැතිවරයා සහ ප්‍රේමනාත් දොළවත්ත මන්ත්‍රීවරයාය. මේ ව්‍යවස්ථා සංශෝධනයේ එ්කීයභාවය ආරක්ෂා කරන දිවුරුම සඳහන් වී නැති එක ප්‍රශ්නයක් යැයි සරත් වීරසේකර කීවේය. ඔහු කතාව පටන්ගත්තේ මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන කතාකරන්න විශාරදයෙක් නැද්දයි අසමිනි. ‘මට මේ ගැන උත්තර ටිකක් ඕනෑ’ යැයි ඔහු කීවේය. ප්‍රේමනාත් දොළවත්ත ද ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති ද උපුටා දක්වමින් මේ ගැන කතාකළේය. ඔහු කීවේ ද මන්ත්‍රීවරුන්ගේ දිවුරුම ගැන එහි සඳහන් නොවීම ගැටලුවක් බවය. අනතුරුව එම ප්‍රශ්නවලට උත්තර දුන්නේ අගමැති මහින්දය. ‘මේක කෙටුම්පතක් විතරයි. මේකෙ මොනව හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒවා සංශෝධනය කරන්න පුළුවන්.’ යැයි මහින්ද කීවේය.
ව්‍යවස්ථා ප්‍රශ්නයෙන් පසුව කතා කළ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා කීවේ ෙම්ක ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරණයක් නොව ඩ්‍රයිවර්ලාගේ වැටුප සම්බන්ධ ප්‍රශ්නයකි. පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්ට අද ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න බැරිවෙලා.’ යැයි චාමර කීවේ කතාබහකට මුල පුරමිනි.
‘ඒ මොකද මන්ත්‍රීතුමා’ යයි අගමැති මහින්ද විමසුවේ හයියෙන් හිනාවෙමිනි. ඇයි සර් අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ ඩ්‍රයිවර් කෙනෙක්ගේ වැටුප කීය ද? රුපියල් 32,000 යි. බදුල්ලේ එකෙක් කොළඹ ඇවිත් මේ ගානට වාහන එළවන්නේ නැහැ. බස් ඩ්‍රයිවර කෙනක් දවසට රුපියල් 5,000 ක් හොයනවා. ඉතින් කවුරුවත් එයි ද අපේ වාහන එළවන්න. මන්ත්‍රී කෙනෙක්ගේ ඩ්‍රයිවර් වෙන්න කිව්වම ඩ්‍රයිවර්ලා දුවනවා යැයි චාමර කියද්දී හැමෝටම හිනාය. ඔහු ඒ සමගම තවත් ප්‍රශ්නයක් මතුකළේය. ‘අපි ආණ්ඩුව විදියට උපාධිධාරින් රැකියාවලට ගත්තා. හැබැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වාඩිවෙන්න ඉඩක් නැහැ. උපාධිධාරීන් දෙන්නෙක්වත් අපට අනුයුක්ත කරල දෙන්න.’ යැයි චාමර ඉල්ලා සිටියේය. අගමැති මහින්ද ඒ ගැන සොයාබලන්නැයි රාජ්‍ය සේවා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ට කීවේය. ‘විපක්ෂයේ අයටත් පොදුවේ දෙන්න බලන්න. මේ ගැන කැබිනට් පත්‍රිකාවක්වත් දාන්න වෙයි, යැයි අගමැති මහින්ද කීවේය. මේ අතර පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු චාමරගෙන් ඇහුවේ ඔබතුමාට ඕනෑ නිලධාරිනියක්ද නිලධාරියෙක් ද කියාය. ඒකට චාමරට තරමක් කේන්ති ගියේය. මේ එක එක්කෙනා විහිළු කරන්න එපා. මම මේ ප්‍රශ්නය මතුකළේ හැමෝම වෙනුවෙනුයි චාමර කීවේය.
මේ කතාබහ අතරේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ආවේය. ඔහු පැමිණියේ එදින පස්වරුවේ පාරලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දෙන්නටය. ආණ්ඩු පක්ෂ රැස්වීමට ආ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පිළිගත්තේ මන්ත්‍රීවරුන් අත්පුඩි ගසමිනි.
“ආණ්ඩුව අලුතින් ඇති කරන්නට යන ජාතික පාසල් ගැන ද ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය. අපි ජාතික පාසල් 1000ක් හදනවා කියලයි පොරොන්දු වුණේ, එක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකට ජාතික පාසල් තුන බැගින්. දැන් හැබැයි හදන්න යන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එකයි” යැයි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ප්‍රශ්නයක් මතු කළේය. ඊට පිළිතුරු දුන්නේ විෂය භාර ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ය. “අපි දැන් ජාතික පාසල් එකක්වත් නැති ප්‍රදේශ හඳුනාගෙන තියෙනවා. ඒ ප්‍රදේශවලට ප්‍රමුඛතාව දීලයි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ” ජී.එල්. කීවේය. බන්දුලගෙයි, ජී.එල්.ගෙයි සංවාදය අතරේ මන්ත්‍රීවරයකු කීවේ ඇමැති තනතුරු දෙක මාරුකර ගත්ත නම් ඉවරයිනේ කියාය. මේ අතර අගමැති මහින්ද යෝජනාවක් ගෙනාවේ රට තුළ ගව ඝාතනය තහනම් කළ යුතු බව කියමිනි. “ගව ඝාතනය නවත්වන්න කියල හැම තැනින්ම වගේ ඉල්ලීම් ඇවිත් තියෙනවා. මාත් මේ ගැන හුඟ දෙනෙක් එක්ක කතා කළා. ඔවුන් හැමෝම කියන්නෙත් ගව ඝාතනය නවත්වන්න කියලයි. ඒ හින්දා ගව ඝාතනය නවත්වන්න කියල මම යෝජනාවක් ගේනවා” අගමැතිවරයා කීවේය. අගමැතිවරයාගේ යෝජනාව මන්ත්‍රී කණ්ඩායමේ හැමෝම ඒකමතිකව අනුමත කළේ අත්පුඩි ගසමිනි. ඇතැම් ප්‍රදේශවල සිදුවන වන විනාශය ගැන ද අගමැතිවරයා පැහැදිලි කළේය. “වන විනාශය ලොකු ප්‍රශ්නයක්. වගා කරන්න කියලා රක්ෂිත කපන්න කාටවත් ඉඩ දෙන්න බැහැ. සමහරුන් හිතාගෙන ඉන්නවා ආණ්ඩුව කැලෑ කපනවා කියලා. මේ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න කියලා අපි උපදෙස් දීලයි තියෙන්නෙ” යැයි කී අගමැතිවරයා සී.බී. රත්නායකට ද කීවේ මේ පිළිබඳව සොයා බලන ලෙසය.
සතියේ කැබිනට් රැස්වීම
සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි බදාදා සවස 4.00ට පැවැත්වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය. එහිදී ජනාධිපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇමැතිවරුන්ගේ මහජන දිනය සතියේ සඳුදා දිනයට යොදා ගන්නා ලෙසය. ඇමැතිවරුන්ගේ මහජන දිනය දැනට පැවැත්වෙන්නේ සතියේ බදාදා දිනයේය. එහෙත් සතිය පටන් ගන්නා සඳුදා දිනයේ දී මහජන දින පැවැත්වීම වඩාත් සුදුසු බව ජනාධිපතිවරයා කීවේය. ඊට ඇමැතිවරු සියලු දෙනා එකඟතාව පළ කළහ. ගව ඝාතනය නතර කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. එය කලින් දිනයේ ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ද අනුමත වූ යෝජනාවකි. එහෙත් එම යෝජනාව මාස තුනකින් කල් දමන්නට තීන්දු කළේ ඊට අවශ්‍ය විකල්ප ක්‍රියාමාර්ග තැනීමට යම් කාලයක් අවශ්‍ය වන බැවිනි.
දැන් වැඩ කරන්න:
ජනපතිගෙන් රාජ්‍ය ඇමැතින්ට උපදෙස්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාසයකට වරක් රාජ්‍ය ඇමැතිවරුන් හමුවී ඔවුන්ගේ අමාත්‍යාංශවල වැඩ කටයුතුවල ප්‍රගතිය හා අඩුපාඩු සොයා බැලීම සිදු කරයි. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා සියලු රාජ්‍ය ඇමැතිවරුන් ජනාධිපති මන්දිරයට කැඳවූ ජනාධිපතිවරයා ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
රාජ්‍ය ඇමැතිවරුන්ට වගකීම් බාර දී තිබෙන නිසාම අවශ්‍ය මුදල් ලබා දී ඇති නිසාත් කෙටි කාලීන හා දීර්ඝ කාලීන වශයෙන් සැලසුම් කර අමාත්‍යාංශවල වැඩකටයුතු කරන ලෙස උපදෙස් දුන්නේය.
දැන් අපට හිත හිත ඉන්න කාලයක් නැහැ. වැඩ කරන්න. වැඩ කරල පෙන්වන්න. තමන්ගෙ හැකියාව, දක්ෂකම් පෙන්වන්න. හැමෝටම වැඩ කරන්න නිදහස දීලා තියෙනවා. කවුරුත් බලපෑම් කරල නැහැ. ඒ නිසා වැඩ කරන්න. මේ රාජ්‍ය ඇමැතිවරු හැමෝම වැඩ කරන්න පුළුවන් අය. ඒනිසා වැඩ කරන්න. ප්‍රශ්න තියෙනවා නම් කියන්න. මොනවද තව කරන්න තියෙන්නෙ. ජනපති කීවේය.
මෙහිදී සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය සම්පත් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා කරුණු දක්වමින් අලි මිනිස් ගැටලුවට කඩිනම් විසඳුමක් දීමේ අවශ්‍යතාව පෙන්නුම් කළේය.
සමෘද්ධිලාභීන්ට සහන ලබාදීමේ වැඩ කටයුතු හොඳින් සිදුවන බව මෙහිදී පෙන්වා දුන් සේමසිංහ ඇමැතිවරයා ස්වයං රැකියා අංශයට ජනතාව පෙළඹවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ද පෙන්වා දුන්නේය.
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා කතා කරමින්, දේශීය ඇඟලුම් නිෂ්පාදන අංශයෙන් කාන්තාවන් 10,000ක් පුහුණු කිරීමටත් පුහුණු මධ්‍යස්ථාන 1000ක් පිහිටුවීමටත් පියවර ගන්නා බව පෙන්වා දුන්නේය.
පේෂකර්මාන්ත ක්ෂේත්‍රය පළාත් සභාවට පැවරීම සිදුවීමෙන් එම අංශය සඳහා වියදම් කිරීමට මුදල් නොමැතිවීමත් එම අංශය ගැන උනන්දුවක් නොවීමත් නිසා දේශීය පේෂකර්ම අංශය නැත්තටම නැතිවී ගිය බව ද දයාසිරි ජයසේකර මහතා පෙන්වා දුන්නේය.
ප්‍රාථමික පන්තිවලට ඉගැන්වීම සඳහා උපධිධාරීන් යෙදවීමෙන් එම ගුරුවරුන් දැඩි කලකිරීමට පත්වී සිටින බවත් ප්‍රාථමික අංශය සඳහා හොඳ පුහුණු ගුරුවරුන් යෙදවීම අවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය.
එහිදී ජනාධිපතිවරයා කීවේ සරල තැනින් පටන් ගන්න කියාය. ජනාධිපතිවරයා ඊට උදාහරණයක් ද ගත්තේ තමා ආරක්ෂක ලේකම් ලෙස සිටි අවධියේ කළ වෙනස්කම් කිහිපයක් පෙන්වා දෙමිනි. “අපි 2005 දී බලයට එනකොට හැම තැනම කුණු. එළියට බහින්නත් බැහැ. එදා මගේ නිල නිවස ළඟ ඉඳලා මීටර් 100ක් ඇතුළත කුණු ගොඩවල් තුනක් තිබුණා. කුණු ඉවත් කිරීම පහසු දෙයක්. අපි එතනින් පටන් ගත්තා” ජනාධිපතිවරයා කීවේය.
“නිලධාරීන් ඇවිල්ල ‘හරි සර්. සියල්ල හරි’ කියන්න පුළුවන්. ඒ සැලසුම් තියෙන්නෙ ෆයිල්වලයි. ඒවා ෆයිල්වල තිබිල වැඩක් නෑ. ෆයිල්වල තියෙන සැලසුම් මහ පොළොවට ගේන එක රාජ්‍ය ඇමැතිවරුන්ගේ වගකීමක්” යැයි ජනාධිපතිවරයා කීවේය.
පොහොට්ටුව සිව්වන සංවත්සරයට සැරසෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වන සංවත්සරය ලබන නොවැම්බර් 1 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පවත්වන්නට ආණ්‍ඩුව සැරසෙයි. පොදුජන පෙරමුණ මෙවර සංවත්සරය පවත්වන්නේ රටේ විධායක ජනාධිපති ධුරයත් ආණ්‍ඩු බලය සහ පුංචි ආණ්‍ඩුවල බලයත් ඇතිවය. පක්ෂයක් පිහිටුවා ඉතාම කෙටි කාලයක් තුළ ජනාධිපති බලයත් ආණ්‍ඩු බලයත් ගත් මෙරට එකම දේශපාලන පක්ෂය පොදුජන පෙරමුණ ය. එහි පෙරගමන්කරුවා පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ය. ඔහු මෙවර සංවත්සරය සඳහා දැන් සිටම සූදානම් වෙමින් සිටී. ගිය සතියේ බැසිල් පාර්ලිමේන්තු හා පළාත් පාලන නියෝජිතයන් මෙන්ම පළාත් සභාවල හිටපු නියෝජිතයන් ද නෙළුම් මාවත කාර්යාලයට දිස්ත්‍රික් මට්ටමින් කැඳවා මේ ගැන සාකච්ඡා කළේය. සංවත්සර සමුළුව සංවිධානය කිරීමේ වගකීම බැසිල් විසින් පවරනු ලැබුවේ ප්‍රසන්න රණතුංග හා රෝහිත අබේගුණවර්ධන යන ඇමැතිවරුන් දෙදෙනා ප්‍රධාන පිරිසකටය. පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධානවල සමුළු සහ ආසන හා දිස්ත්‍රික් බලමණ්‍ඩල මුලින් පවත්වා සංවත්සර සමුළුව පැවැත්වීමට අපේක්ෂාවය. ඒ සමගම පක්ෂයට අලුතින් සාමාජිකයන් ලක්ෂ 25 ක් බඳවා ගැනීමට ද බැසිල් සැලසුම් කරමින් සිටී.
පසමිතුරු මෛත්‍රී - රොෂාන් හමුව
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතාත් දේශපාලන කරළියේ පසමිතුරන් බව නොදන්නා කෙනෙකු නැත. එය පසුගිය මහ මැතිවරණයේ දී ද එළිපිටම දැක ගන්නට හැකි විය. එය දෙදෙනා අතර පෞද්ගලික ගැටුමකටත් වඩා තිබුෙණ් ශ්‍රීලනිප පොහොට්ටු ගැටුමක් ලෙස ය. මහ මැතිවරණයේ දී එය මනාප සටනක් දක්වා ඇදී ගියේය. අවසානයේ මෛත්‍රී මනාපවලින් පළමුවැන්නා විය. රොෂාන් මනාප ලැයිස්තුවේ දෙවැනි තැනට පත්විය. මේ දෙදෙනාම ගිය සතියෙ මුහුණට මුහුණ හමුවී සුහද කතාබහක යෙදී සිටිනු දක්නට ලැබුණේ පොළොන්නරුවේ දී ය. මෛත්‍රීගේ සහෝදරයා වන ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන වැඩිහිටි නිවාසයක් සිය ධන පරිත්‍යාගයෙන් ඉදිකර විවෘත කළේ ගිය සතියේය. ඊට පොලොන්නරුවේ ආණ්‍ඩුවේ මෙන්ම විපක්ෂයේ ද දේශපාලනඥයන්ට ඩඩ්ලි ආරාධනා කර තිබුණේ එය පොදු කටයුත්තක් බැවිනි. ඩඩ්ලිගේ ආරාධනයෙන් රොෂාන් පැමිණියේ සිය බිරිය ද සමඟ ය. ඔහු බිරිඳ සමග පැමිණ ඉඳගත්තේ මෛත්‍රී ළඟම අසුනේය. දෙදෙනා බොහොම සුහදව සිනාමුසු මුහුණින් කාතාබහ කරනු දක්නට ලැබුණේ එහි දී ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දඹුල්ල ආසන බල මණ්ඩලය ගිය සති අන්තයේ පැවැත්වුණේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයාගේ දඹුල්ලේ පිහිටි නිවසේය. එය සංවිධානය කරනු ලැබුවේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා විසිනි. ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ අධාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. පක්ෂයේ වැඩපිළිවෙළත් ආණ්ඩුවේ වැඩපිළිවෙළත් ගැන ජී.එල්. සහ ජනක යන දෙදෙනාම පැහැදිලි කළහ. ජනක කීවේ තමා හමුවීමට එන අයගෙන් වැඩි දෙනා රස්සා ඉල්ලාගෙන එන අය බව ය. ජී.එල්. කීවේ තමා හමුවීමට එන වැඩි දෙනා ළමයින් පාසල්වලට දමා ගැනීමට එන අය බව ය. බල මණ්ඩල රැස්වීමට ගිය ජී.එල්. ජනකගේ නිවසින් පිටවූයේ දිවා භෝජනය ද ගැනීමෙන් අනතුරුවය.
ප්‍රේමලාල්ට එරෙහිව විපක්ෂය හඬ නගයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා සවස පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදීය. පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ආරම්භ ෙවන්නේ ආගම සිහිකිරීමෙන් පසුවය.
මෙවර පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ වැඩි අවධානයක් යොමුවූයේ මරණ දඬුවම ලැබී සිටි ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දීමට ආණ්ඩුව අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන්ය. මීට පෙර සරත් ෆොන්සේකාට වසර තුනක සාමාන්‍ය සිර දඬුවමක් ලැබුණ විට ඔහුට පාර්ලිමේන්තුවටවත් පැමිණීමට අවස්ථාව ලබා නොදීමත්, මරණ දඬුවම ලැබූ අයෙකුට දිවුරුම් දීමට අවස්ථාව ලබාදීමත් අතර තත්ත්වය ගැන මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුවිය.
‘මරණ දඬුවම ලැබූ කෙනකුට මන්ත්‍රීවරයෙක් විදියට දිවුරුම්දීමට අවස්ථාව ලබාදීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනියි. මේක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්”
සජිත් අදහස් දැක්වීම ආරම්භ කළේය.
‘‘මොන තත්ත්වයක් යටතේවත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ”
මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
‘‘මේ වෙනුවෙන් විපක්ෂය හඬ නැගිය යුතුයි” මන්ත්‍රීවරුන්ගේ ඒකමතික යෝජනාව විය.
සජිත් මෙහිදී විශේෂ අවවාදයක් කළේය.
‘‘අපි හැම සටනක්ම කළ යුතු වන්නේ අධිකරණයට බලපෑමක් නොවන ආකාරයටයි. රටේ නීතියට ගරු කරමින්, නීතියට අනුව යමින් අපි සියලුම විරෝධතාවන් දැක්විය යුතුයි. පාර්ලිමේන්තුවේදී අපි මේකට විරෝධය දක්වමු. අපිට දැනෙන දෙයක් කරන්න අවශ්‍යයයි” සජිත් කීවේ පාර්ලිමේන්තුවේ විරෝධය දැක්වීමේ සටනේ වගකීම හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට පවරමිනි.
සජිත් පුවත්පත් කර්තෘවරුන් හමුවේ
පසුගිය අඟහරුවාදා උදෑසන සජිත් සියලුම ජාතික පුවත්පත්වල කර්තෘවරු හමුවූයේ විපක්ෂනායක කාර්යාලයේදීය. සජිත් සමග රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, මනුෂ නානායක්කාර, ඉරාන් වික්‍රමරත්න මරික්කාර් සහ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරු එක්ව සිටියහ.
සජිත් වැඩි අවධානය යොමු කළේ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහිය.
‘‘විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපි විරුද්ධයි. පක්ෂයක් විදියට අපේ ස්ථාවරය වෙන්නේ 19 ප්ලස් කියන එකයි. මේ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන, ස්වෛරීත්වය සුරක්ෂිත වෙන ඒකීයත්වය තහවුරු වෙන ආකාරයේ වැඩපිළිවෙළක් අපි යෝජනා කරන්නේ” සජිත් පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කළේය.
අනතුරුව 20 වැනි සංශෝධනය ගැන සජිත් පැහැදිලි කළේය.
‘‘අපගේ මාතෘ භූමිය තීරණාත්මක අවස්ථාවකට එළඹ තිබෙනවා. මේ මොහොතේ අප සියලු දෙනාම සියළු මතවාදයන් පසෙකලා එක පෙරමුණකට පැමිණිය යුතු වෙනවා. දහනව වැනි සංශෝධනයෙන් ශක්තිමත් කළ පුරවැසියන්ගේ අයිතිවාසිකම් අනතුරට ලක් කරමින් ගෙන එනු ලබන විසිවැනි සංශෝධනය කියන්නේ ඇත්තෙන්ම පුරවැසියන් යටත් වැසියන් බවට පත්කරන අධිපතිවාදී වැඩපිළිවෙළක පළමු පියවර වෙනවා. මේකෙන් වෙන්නේ රටේ ජනතාව යටත් වැසියන් බවට පත් කිරීම. ඒ නිසා 20 වැනි සංශෝධනය තීරණාත්මක ලෙස පරාජයට පත් කරන්නට ජනතාව අතර එමෙන්ම අධිකරණය හමුවේත් පාර්ලිමේන්තුව තුළත් උපරිම කැප කිරීම සඳහා පෙරමුණ ගන්නවා.”
සජිත් දීර්ඝ ලෙස පැහැදිලි කළේය.
‘අනෙක් පාර්ශ්වවලටත් ආරාධනා කරනවා ද?”
කර්තෘවරයෙක් ඇසුවේය.
‘ඔව්,
මේ තීරණාත්මක අවස්ථාවේ අප අතර තිබෙන විවිධ මතවාද වෙනස්කම් පසෙකලා මේ මොහොතේ රටේ පුරවැසියන්ගේ මූලික අයිතිය වෙනුවෙන් කැපවෙමු කියලා මම ඉල්ලා සිටිනවා.
ද්විත්ව පුරවැසිකම ඉවත් කරනවාට ඔබතුමන්ලා පක්ෂ ද?
තවත් කර්තෘවරයෙක් විමසීය.
පුද්ගල සාධක අදාළ නෑ. අපි සමස්තයක් ලෙස බලලයි තීරණ ගන්නේ. විසිවැනි සංශෝධනයේ ඡේදයෙන් ඡේදය නෙවේ සමස්තය සැලකිල්ලට ගනිමින් එය පරාජය කරනවා” සජිත් කීවේය .
කළු සාටක පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන්වූ වහාම හරින් තරුණ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග සාකච්ඡා කළේ පාර්ලිමේන්තුවේදී දක්වන විරෝධතාවයේ ස්වභාවය කෙබඳු විය යුතුදැයි කියාය.
‘‘අපි මේකට ලොකු විරෝධයක් දක්වන්න ඕනෑ. ආණ්ඩුව හෙල්ලිලා යන වැඩක් කරමු” නලින් බණ්ඩාර කීවේය.
ඒ අනුව මන්ත්‍රීවරු තීරණය කළේ කළු සාටක පැළඳ පාර්ලිමේන්තුවේ විරෝධය දැක්වීමටය. එයට මූලිකත්වය ගත් හරින් කළු රෙදි ගෙන්වාගෙන තමන්ගේම අතින් එ්වා කපා සාටක මැසීමට යැව්වේය. ඒ අනුව සාටක අසූවක් පමණ මසා හරීන් ගෙන්වා ගත්තේය. අඟහරුවාදා උදෑසන වන විට සාටක තමන්ගේ අතට ගත් හරින් පාර්ලිමේන්තුව රැස්වීමට පෙර ඒවා පාර්ලිමේන්තු සභා ගර්භයට රැගෙන යාමේ මෙහෙයුම ආරම්භ කළේය. ඒ කොළඹ කාර්යාලයක සිටය.
මේ සාටක පාර්ලිමේන්තුවට රැගෙන යාමේ වගකීම භාරගත්තේ හරින් සහ මනුෂ නානායක්කාරය. පාර්ලිමේන්තුවට යාමට හරින් පැමිණියේ බඳ පටියක් නොමැතිවය. බඳ පටිය වෙනුවට සාටක මිටියක් එකතු කරගෙන ඉන වටා බැඳගත් ඔහු කමිසයක් ඇඳගත්තේ ඒවා නොපෙනෙන පරිදිය. මනුෂත් උපක්‍රමශීලීව ඒවා පාර්ලිමේන්තුවට රැගෙන ගියේ කාටත් හොර රහසේය. හර්ෂණ රාජකරුණා සහ බුද්ධික පතිරණත් මේ මෙහෙයුමේ සහායකයින් බවට පත්ව සිටියහ.
පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ ෙවන විටම හොර රහසේම පාර්ලිමේන්තුවට රැගෙන ආ කළු සාටක විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතට බෙදාදුන්නේය. ඔවුන් ඒවා තමන්ගේ ගෙළ පැළඳගෙන විරෝධතාව ඇරඹුවේ ක්ෂණිකවය. සරත් ෆොන්සේකා සාටකය බෙල්ලේ ගැට ගසා ගත්තේය. විපක්ෂයේ මන්ත්‍රීවරු සියලුදෙනාම රීති ප්‍රශ්නයක් යැයි කියමින් මරණ දඬුවම හිමිවූ පුද්ගලයෙක්ට මන්ත්‍රීවරයෙක් ලෙස දිව්රුම්දීමට අවස්ථාව ලබාදීම නීති විරෝධී යැයි කියමින් විරෝධය දක්වන්නට වූහ. සභාව මැදට සාටක ගලවා විසි කළ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතට පමිණියේ දැඩි විරෝධය දක්වමිනි.
අගරදගුරු හිමියන් ඇමැති විමල්ට කී දේ
පසුගිය අඟහරුවාදා ජාතික නිදහස් පෙරමුණේ නායකයෝ කොළඹ අගරදගුරු නිල නිවසේදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් බැහැදුටහ. මෙම අවස්ථාවට ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ජාතික සංවිධායක, වරාය රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර යන මහත්වරු එක්ව සිටියහ.
ජානිපෙ නායකයන් සුහදව පිළිගත් අගරදගුරු හිමිපාණෝ ඔවුන් සමග පැයකට අධික කාලයක් සාකච්ඡාවක නිරත වූහ. මෙහිදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳවත් රට තුළ කර්මාන්ත ප්‍රවර්ධනය සිදුවිය යුතු අන්දම පිළිබඳවත් මූලික වශයෙන් අදහස් හුවමාරු වී තිබිණි.
එහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ දිනවල සිදුකෙරෙන විමර්ශන ගැන අගරදගුරුතුමන් අදහස් දක්වා තිබුණේ ‘පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් පිළිබඳව සිදුකෙරෙන විමර්ශන පිළිබඳව අපි ඉතා විමසිල්ලෙන් පසුවනවා’ යනුවෙනි.
එසේම ‘වත්මන් රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව ද අපි ඉතා විමසිල්ලෙන් බලා සිටිනවා. විශේෂයෙන් මේ රටේ අනන්‍යතාවට, ඓතිහාසික පැවැත්මට උචිත ෙවන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කටයුතු සිදුවිය යුතුයි’ යනුවෙන් ද කාදිනල්තුමන් විමල් සහ ජයන්ත යන ඇමැතිවරුන්ට පවසා තිබිණි.