සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා උදේ පැවැත්වුණේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. මෙවරද උණුසුම් ලෙසම කතාබහට ලක්වුණේ පොහොර ප්රශ්නයයි. ඊට හේතුව වූයේ කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක පොහොර සහනාධාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකි. මංගල සමරවීර මුදල් ඇමැතිවරයා කීවේ කැබිනට් අනුකමිටුවේ තීන්දුවලට වෙනස් තීන්දුවක් කැබිනට් පත්‍රිකාවෙන් ඉදිරිපත් කර ඇති බවය. ‘‘අපට ගොවි ජනතාව ඡන්දෙදි පාඩමක් ඉගැන්නුවා. අපි පොහොර පහුගිය ආණ්ඩු කාලෙ ලබාදුන් විදියටම දෙමු. දේශපාලන තීන්දු ගන්න ඕන’’ යැයි කීවේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාය. අනතුරුව කතා කළේ එස්.බී. දිසානායක ඇමැතිවරයාය. එහිදී ඔහු කීවේ මුදල් ලබා දුන්නට පස්සෙ ඒවා වියදම් කරලා පස්සේ කියනවා පොහොර ලැබුණේ නැහැ කියලා එවිට බනින්නෙ ආණ්ඩුවට. සමහර අය ඒ මුදල් මත්පැන් බොන්නත් යොදා ගෙන තියෙනවා” යැයි එස්.බී. කියද්දි, ජනාධිපතිවරයාද එම ප්‍රකාශය තහවුරු කළේය. ජනතාව ඡන්දෙදි ලුණු ඇඹුල් ඇතිව කනේ පාරක් දුන්නා. දැන් මේ පොහොර ප්රශ්නය කැබිනට් එකේදිම හත්වතාවක් කතා කළා. අපි කියන්නෙ 350ට පොහොර දෙන්න කියලයි සජිත් කීවේය. මංගල කීවේ පොහොර දෙන්න බිලියන 36ක් වැය වෙනවා. සල්ලි දීම නිසා ආණ්ඩුවට රුපියල් බිලියන 15ක් ඉතිරි වුණා” කියාය. මංගලගේ කතාවට දුමින්ද විරුද්ධ විය. ඔහු කීවේ බිලියන 15ක් ඉතිරි වුණා කියන කතාව බොරු බවය.
අනතුරුව චම්පික රණවක ඇමැතිවරයා අදහස් දැක්වීය. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීන්දු තීරණ මත ගොවි ජනතාවට පොහොර දෙන එක නතර කරන්න බැහැ. ඒ කොන්දේසි අපට හරියන්නෙ නෑ. අපි රටට ගැළපෙන තීන්දු තීරණ ගත යුතුයි. චම්පික කියද්දි රාජිත සේනාරත්න ඇමැතිවරයාද චම්පිකගේ අදහස අනුමත කරමින් කීවේ පොහොර දීමේ විධිමත් වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බවය. ඒ අනුව වී සඳහා පොහොර මිටිය රුපියල් 500ටත් අනෙකුත් වගාවන් සඳහා පොහොර මිටිය රුපියල් 1500ටත් දීමට තීරණය විය. ජනාධිපතිවරයා කීවේ අප්‍රේල් වනවිට පොහොර අවශ්‍ය වෙනවා. ඕකට කඹ අදින්නෙ නැතිව වහාම වැඩේ ඉවර කරලා දාන්න කියාය.
අලුත් බදු ප්‍රතිපත්තිය යටතේ ලබන අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත මහල් නිවාස සඳහා සියයට 15ක වැට් බද්දක් හා සියයට 4ක මුද්දර බද්දක් පැනවීමේ තීරණයට චම්පික රණවක ඇමැතිවරයා දැඩි විරෝධය පළ කළේය. “මේ බදු ප්‍රතිපත්තිය මත කවුරුවත් මහල් නිවාස හදන ඒවා ගන්න එකක් නෑ. මෙය ඉදිකිරීම් ක්ෂේත්රයට දැඩි බාධාවක්. පසුගිය අවුරුදු දෙකේ වැඩිම වර්ධනයක් පෙන්නුම් කළේ ඉදිකිරීම් ක්ෂේත්රයේ. මේක ආයෝජකයින්ට මරු පහරක් වෙන්න පුළුවනි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් ඉදිකිරීම් ක්ෂේත්රයට මේ විදියට බදු පැනෙව්වෙ නැහැ. ආයෝජකයින්ට ඉදිකිරීම් කරන්න නිකන් ඉඩම් පවා දුන්නා” යැයි චම්පික කීවේය.
මේ අතර චම්පික රණවක ආණ්ඩුවේ ගමන් මඟ වෙනස් විය යුතු බවට ආන්දෝලනාත්මක කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.
යෝජනා 45කින් සමන්විත එම යෝජනාවලිය ඇතුළත් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් ඔහු කීවේ මේ කැබිනට් පත්‍රිකාවෙන් සමහරු අවුල් වෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුව විනාශ කරන්න රට අස්ථාවර භාවයට පත් කරන්න කාටවත් ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ. මේ විදියට ගියොත් අපේ ඡන්ද ප්‍රමාණය තව වැටෙනවා. යහපාලන පොරොන්දු ඉටු කිරීමට නොහැකි වුණත් වෙනම දේශපාලන ව්‍යාපෘතියක් දියත් කරන්න අපි සූදානම් යැයි කියාය. චම්පිකගේ අදහස රාජිත ද අනුමත කළේය. ඔහු කීවේ චම්පිකගෙ කතාව මම සියයට සියයක්ම අනුමත කරනවා කියාය. යහපාලන රජය බිහි කරන්න අපි බෙල්ල තියලා වැඩ කළේ. ඒ නිසා දේශපාලන තීන්දු තීරණ නිවැරැදිව ගමු. මේ යන විදියට ගිහින් අපට විනාශ වෙන්න බැහැ. යැයි රාජිත කීවේය.
ජල සම්පාදන මණ්ඩලයේ සේවක වැටුප් සියයට 25කින් වැඩි කළ යුතු බවට රාවුෆ් හකීම් ගෙනා යෝජනාවට මංගල විරුද්ධ විය. ඇමැතිතුමා වෝටර් බෝඩ් එකට සේවකයින් දානවා ඒකයි බෝඩ් එක පාඩු ලබන්නේ යැයි මංගල කියද්දි හකීම් කීවේ මම පහුගිය අවුරුදු දෙකේ එක් කෙනෙක් හරි දාලා තියෙනවා නම් පෙන්වන්න කියාය. රිෂාද් බදියුදින් ද මේ කතාවට හවුල් වූයේ හකීම් සමග තිබෙන දේශපාලන ආරවුලද ඉදිරියට දමමිනි. ඔහු කීවේ මේ ඇමැතිතුමා වෝටර් බෝඩ් එකට සේවකයින් 600ක් එක පාර දැම්මා. මට එක රස්සාවක් දුන්නෙ නෑ” කියාය. අනතුරුව ජනාධිපතිවරයා කීවේ රජයේ ආයතන බංකොළොත් වෙන්නෙ ඇමැතිවරුන් ඒවා පුරවන නිසයි කියාය.