- මම ලිඛිත පොරොන්දු කවදාවත් දීලා නෑ - අගමැති
කොළඹ වරායේ නැගෙනහිර ජැටිෙය් අර්බුදය ගෙවී ගිය සතියේ දේශපාලන කරළිය ගිනියම් කළේය. රටම මුහුණ දී සිටින කොරෝනා ප්‍රශ්නයටත් වඩා නැගෙනහිර ජැටිෙය් ප්‍රශ්නය දේශපාලන කරළිය උණුසුම් කළ බව පැහැදිළිය. එය වඩාත් තීව්‍ර වූයේ විපක්ෂයේ දේශපාලන පක්ෂවලටත් වඩා අාණ්ඩුවේම පිරිසක් නැගෙනහිර ජැටිය ඉන්දියාවට හා ජපානයට දීමට එරෙහිව සටන් වැදීම හේතුවෙනි. එය ආණ්ඩුවද අපේක්ෂා නොකළ සිද්ධියක් බව පෙනෙන්නේ ආණ්ඩුවේම පිරිස් ඒ සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාර කෙබඳු දැයි විග්‍රහ කර බැලීමෙනි.
වරාය වෘත්තීය සමිති 23ක නියෝජිතයන් සඳුදා දහවල් විජේරාම නිල නිවසේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූයේ නැගෙනහිර ජැටිය සම්බන්ධ අර්බුදය විසඳා ගැනීමේ අපේක්ෂාවෙනි. එම සාකච්ඡාව කැඳවනු ලැබුවේ අගමැති මහින්ද විසිනි. අගමැතිවරයා වෘත්තිය සමිතිවලට පොරොන්දු වූයේ නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය යටතේම තබාගෙන සංවර්ධනය කරන බවටය.
රටම බලා සිටි කැබිනට් රැස්වීම සඳුදා හවස 5.00ට ආරම්භ විය. කලින් සතියේ මෙන් මෙවරද කැබිනට් රැස්වීම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පවත්වන්නට සිදුවූයේ කොරෝනා අර්බුදය හේතුවෙනි. ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ සිටද අගමැති විජේරාම නිල නිවසේ සිටද සෙසු ඇමැතිවරු සිය අමාත්‍යාංශවල සිටද ඔන්ලයින් තාක්ෂණයෙන් ඊට සම්බන්ධ වූහ.
කැබිනට් පත්‍රිකා කිහිපයක් සාකච්ඡාවට ගැනීමෙන් අනතුරුව අවසන් කැබිනට් පත්‍රිකාව ලෙස නැගෙනහිර ජැටිය පිළිබඳ කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ලක්විය. එය ඉදිරිපත් කරනු ලැබුවේ වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන විසිනි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සියයට සියයක්ම වරාය අධිකාරිය යටතේ තබාගෙන සංවර්ධනය කිරීමටත් වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය රජය හා ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්ව සහ වරාය අධිකාරිය එක්ව පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කර වසර 35කින් පසුව වරාය අධිකාරියට නැවත බාරදීමටත් අදාළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබිණි. රෝහිත කැබිනට් පත්‍රිකාව ගැන ඇමැතිමණ්ඩලයට පැහැදිලි කළේ විෂය භාර ඇමැතිවරයා වශයෙනි. පසුගිය වසරේ ඔක්තෝබර් 20 මම මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ මේ ගැන සාකච්ඡා කරන්න කමිටුවක් පත් කරන්නයි. කමිටු සාකච්ඡාවේදී රටට වාසි වන කොන්දේසි අපි ඉදිරිපත් කළා. රජයේ කොන්දේසිවලට අදාළ සමාගම එකඟ වුණේ නැහැ කියලා කමිටුව මට ඊයෙ වාර්තා කළා. ඒ අය කොන්දේසිවලට එකඟ නොවීම අපට වාසිදායක නැහැ. ජනාධිපතිතුමා, අගමැතිතුමා සමගත් සාකච්ඡා කරලා මේ තත්ත්වය තුළ නැගෙනහිර ජැටිය සියයට 100ක්ම වරාය අධිකාරිය යටතේම පවත්වාගෙන යමින් සංවර්ධනය කරන්න අපි තීරණය කළා යැයි රෝහිත කීවේ දීර්ඝ පැහැදිලි කිරීමක් කරමිනි.
ඒ අතර රෝහිත නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ආණ්ඩුව අපහසුතාවට පත්වන අන්දමින් කටයුතු කළ ඇමැතිවරුන්ටද වහෙන් ඔරෝ භාෂාවෙන් චෝදනා කරන්නටද අමතක නොකළේය. ඔහුගේ ප්‍රධාන චෝදනාවක් වූයේ කැබිනට් සාමූහිකත්වය කඩකර ඇමැතිවරුන් පිරිසක් කටයුතු කිරීමය. ඔහු මුලින් එය කෙළින්ම කීවේද නැත. මම සාමූහිකව වැඩ කරන ඇමැතිවරයෙක්. ඉදිරියටත් කැබිනට් මණ්ඩලයේදී ගන්න තීන්දුව කැබිනට් මණ්ඩලය තුළ පමණක් සාකච්ඡා කරමු යැයි රෝහිත කීවේ එහෙයිනි.
මේ අතර කතාබහට මහාචාර්ය ජී.එල්. පීරිස් ද සම්බන්ධ විය. මේක රටවල් තුනකට අදාළ ප්‍රශ්නයක්. ලංකාවත්, ඉන්දියාව හා ජපානයත් මේකට සම්බන්ධයි. අපි මේ ගිවිසුමට සංශෝධන ඉදිරිපත් කළා. හැබැයි අදාළ පාර්ශ්වය ඊට අනුමැතිය දුන්නේ නැහැ යැයි ජී.එල්. කීවේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමට පසුගිය ආණ්ඩුව සමයේ ඉන්දියාව සමග අත්සන් කරන ලද ව්‍යාපෘථි 17 කට අදාළ ගිවිසුම්ද රැගෙනවිත් තිබිණි. මේ ගැන මුල්ම ගිවිසුම අත්සන් කරල තියෙන්නේ 2017 දී. ඒ මලික් සමරවික්‍රමයි. ඉන්දියා විදේශ ඇමැතිවරියයි. ඉන්දියාවත් එක්ක ව්‍යාපෘති 17ක් කරන්නයි. ඒ ගිවිසුම අත්සන් කරල තියෙන්නෙ වරායේ ජැටිය ඉන් එක් ව්‍යාපෘතියක්. හැබැයි මේ ව්‍යාපෘති එකක්වත් ක්‍රියාත්මක වෙලා නැහැ. මත්තල ව්‍යාපෘතියත් එකක්. අපි මත්තල ව්‍යාපෘතියෙන් අයින් වුණා. නැගෙනහිර පර්යන්තය අපි කරනවා කියලත්, බටහිර පර්යන්තය ආයෝජකයන් සමග එක්ව දියුණු කරනව කියලත් අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පැහැදිලිව කියල තියෙනවා’ යැයි ජනාධිපතිවරයා කීවේ ගිවිසුම් ගැන පැහැදිලි කරමිනි.
විමල් වීරවංශ ඇමැතිවරයාද අනතුරුව මේ කතාබහට එක්විය. යහපාලන ආණ්ඩුව 2017 දී ඉන්දියාවත් එක්ක අත්සන් කරපු ගිවිසුමේ වරායේ පර්යන්තයක් ගැන කිව්වට නැගෙනහිර පර්යන්තය කියල විශේෂයෙන් කියන්නේ නෑ නේ දැයි විමල් ඇසුවේ ප්‍රශ්නයක් මතු කරමිනි. ඊට උත්තර දුන්නේ ජනාධිපතිවරයාය. නෑ. 2017 එකේ එහෙම නැති වුණාට 2019 මැයි මාසෙ සාගල රත්නායක අත්සන් කරපු එකේ තියෙන්නෙ වරායෙ නැගෙනහිර ජැටිය කියලයි. ජනාධිපතිවරයා කීවේය. අනතුරුව රෝහිත අබේගුණවර්ධන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැගෙනහිර ජැටිය සම්බන්ධ කොටස කියෙව්වේ ඇමැතිවරුන්ගේද දැන ගැනීම පිණිසය. බන්දුල ගුණවර්ධන අනතුරුව ඊට මැදිහත්විය. 2017 දී 2019 දී අත්සන් කරපු ගිවිසුම් දෙක ඇයි එළියට නොදාන්නෙ කියලයි මම අහන්නෙ. සජිත්ලා හරියට කෑගහන්නෙ කිසිම වැරැද්දක් නොකරපු ගිවිසුමක් අත්සන් නොකරපු ශුද්ධවන්තයෝ විදියටයි. ෆේස්බුක්වල ගහන්නෙ මේක අපි හදාගෙන අපිම විකුණලා රටම පාවා දෙනව වගේ යැයි බන්දුල කීවේ දිගු දේශනයක්ද කරමිනි. එම්.සී.සී. ගිවිසුම ගැනද ජනාධිපතිවරයා සිහිපත් කළේය. දැන් බලන්න අපි එම්.සී.සී. ගිවිසුමෙන් අයින් වුණා. මේවා රටවල් දෙකක් අතර ඇතිවුණු ගිවිසුම්. ඒ ගිවිසුම්වලින් ඉවත්වෙන ක්‍රම තියෙනවා. හැමෝම ඒ දවස්වල එම්.සී.සී. ගිවිසුම ගැන කෑගැහුවත් අපි ඒකෙන් ඉවත්වුණාම ඒ ගැන කිසි කතාවක් නැහැ. යහපාලන ආණ්ඩුව වෙන රටවල් එක්කත් ගිවිසුම් ගොඩක් අත්සන් කරල තියෙනවා. රජය වෙනස් වුණත් ඊළඟ රජයට ඒ වගකීමෙන් මිදෙන්න බැහැ. යහපාලන ආණ්ඩුව ගෙනාපු රටට අහිතකර ගිවිසුම් ගණනාවකින් අපි අයින් වුණත් කවුරුවත් ඒ ගැන කියන්නෙත් නැහැ යැයි ජනාධිපතිවරයා කියද්දී මලික් එකඟ වුණු ව්‍යාපෘති 17 ගැන විස්තර අපට දෙන්න යැයි විමල් කීවේය.
ජනාධිපතිවරයා එම ගිවිසුමේ ඇති ව්‍යාපෘති ගැන පැහැදිලි කරන්නට විය. මේකෙ ව්‍යාපෘති 17ක් තියෙනවා. අත්සන් කළේ මලික් සමරවික්‍රමයි ඉන්දියාවේ හිටපු විදේශ ඇමැතිවරියයි. එල්.එන්.ජී. බලාගාර, සාම්පූර් සෝලා පවර් ප්ලාන්ට්, ත්‍රිකුණාමලයෙ තෙල් ටැංකි, වරාය ජැටිය මේ වගේ හුඟක් දේවල් තියෙනවා’ යැයි ජනපති කීවේය.
සාගල රත්නායක නැගෙනහිර ජැටියට අදාළව අත්සන් කරපු ගිවිසුමේ තියෙන්නෙ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ, ඉන්දීය අගමැති මෝදි සහ ජපන් අගමැති සමග ඇතිවූ සාකච්ඡාවලට අනුව කියලයි යැයි ජනාධිපතිවරයා කීවේ ගිවිසුම ගැන තවදුරටත් පැහැදිලි කරමිනි.
රෝහිත අබේගුණවර්ධන කීවේ අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් ඇසූ විටද අගමැතිවරයා මේ ගැන පැහැදිලිව කියා සිටි බවය. පාර්ලිමේන්තුවේදීත් කැබිනට් මණ්ඩලයත්, මන්ත්‍රීවරුනුත් දැනුවත් කළා. වෙන වෙන මත තියෙනව නම් අපි ඒවා මේ කැබිනට් එකේ දී සාකච්ඡා කරල විසඳගමු. සාමූහික වගකීම නැති වුණාම ඒක ලොකු ප්‍රශ්නයක් යැයි රෝහිත කීවේ කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනකු නැගෙනහිර ජැටිය ගැන එළියෙ වෙනත් මත ඉදිරිපත් කිරීම හේතුවෙනි. අනතුරුව විමල් කතාව පටන් ගත්තේය. සංකල්පීය කැබිනට් පේපර් එක අනුමත වුණාට පස්සෙ අදයි මේක ආවේ. ඒක එනකම් මේ ගැන වැඩිදුර කරුණු දැක්වීම අපි කවුරුත් නොකර හිටිය නම් හොඳයි. හැබැයි එක රාජ්‍ය ඇමැති කෙනෙක් කිව්වා මොන බල්ල බිරුවත් අපි මේක කරනවා කියලා. මේකෙ වැඩිපුර හිටියෙ අපට සහාය දුන්න පොහොට්ටුවේ බලවේගයි. කමිටු තීන්දුව ආවම තමයි අවසන් තීන්දුවක් ගන්නෙ කියල කිව්වා නම් ඔය ප්‍රශ්නය එන්නෙ නෑ. අපි අවසන් තීන්දුවක් ගත්තා කියන අදහසින් ක්‍රියාත්මක වෙන්න ගත්තා. විරෝධතාව අවුළුවන්න බලන් ඉන්න අයට ඒක පිටිවහලක් වුණා යැයි විමල් රෝහිතට පිළිතුරු දෙමින් කීවේය.
අපට දොස් කිව්වට අපි මහජන මතයට කන්දෙනවා. හැබැයි යහපාලනය කවුරු විරුද්ධ වුණත් හම්බන්තොට චීනයට වික්කා. ඒක වෙනස් වුණේ නැහැ යැයි ජනාධිපතිවරයා කියද්දි රෝහිත ද හම්බන්තොට වරාය දීමට එරෙහිව පැවැති විරෝධය ගැන සිහිපත් කළේය.
යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය වික්කෙ කවුරුවත් දැනුවත් කරල නෙවෙයි. පාර්ලිමේන්තුව දැනුවත් කළෙත් නැහැ. අඩුම තරමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ නැහැ. පොලිසියෙන් ගහනකොට අපි ගිහින් හැංගුණේ වැසිකිළි වළක. වැසිකිළිය ඇතුළටත් ටියර් ගෑස් ගැහුවා. එහෙමයි යහපාලනය වැඩ කළේ රෝහිත කීවේය.
විමල් ඊට උත්තර දුන්නේ ‘ඒකනෙ යහපාලන ආණ්ඩුවට අවුරුදු හතර හමාරෙන් යන්න වුණේ’ යනුවෙනි.
වාසු හරස් ප්‍රශ්නයක් යොමු කරමින් රෝහිතගෙන් ඇසුවේ ඇයි ඔබතුමා විතරද හිටියෙ. අපි හිටියෙ නැද්ද?’ කියාය.
රෝහිත කීවේ ‘අපි හැමෝම ඒ අරගලයේ හිටියා’ යනුවෙනි. අපි ඇහුම්කන් දෙන ආණ්ඩුවක්. අපි මහජන මතයට ගරු කරනවා. ඒ නිසයි මම කියන්නෙ ඒ අය එක්ක වගේම තමා අපිත් එක්කත් වැඩ කරන්නෙ ඒක හරි නෑ කියලයි.’ ජනාධිපතිවරයා කීවේය.
වරාය ජැටිය සම්බන්ධයෙන් සෞභාග්‍යයෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ සඳහන් කාරණාව ක්‍රියාත්මක කිරීමට වෘත්තිය සමිති 23ක් කැමැති වී ඇති බව ජනාධිපතිවරයා කීවේය. රෝහිත නැවත පැහැදිලි කරමින් කීවේ මේ වෙච්ච සිද්ධි දාමය තුළ වෙනම තත්ත්වයක් ක්‍රියාත්මක වූ බවය. ‘මම විෂය බාර ඇමැති විදියට ඉන්නෙ රජය ආරක්ෂා කරන්න. එක වෙලාවකට උරුමය වෙනුවෙන් කතා කරන්නයි තව වෙලාවකට කරුමෙ උරුමය කරගන්නයි හදන සමහර සංවිධාන තමයි මේක පිටිපස්සෙ හිටියෙ යැයි රෝහිත කියද්දි ආණ්ඩු පක්ෂ සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ද රෝහිතගේ අදහස අනුමත කළේය. කැබිනට් එක විදියට අපි එක මතයක ඉන්න ඕන. එහෙම නැතිව කැබිනට් එකේ අය විවිධ මත කියවන්න ගත්තම අපි බෙදෙනවා. දැන් මෙතන රාජ්‍ය ඇමැතිවරයෙක් කියපු ප්‍රකාශයක් ගැන කිව්වා. ඒ රාජ්‍ය ඇමැතිවරයා කතා කළේ ඔබතුමා වෙනුවෙන්. අපි මේ ආණ්ඩුව රකින්න ඕන විපක්ෂයට ආයුධ දෙන්න හොඳ නැහැ. විකුණන මතයේ අපි කවුරුවත් හිටියෙත් නැහැ යැයි ජොනී කියද්දී වාසු කීවේ තීන්දුවක් ගත්ත වගේ ක්‍රියා කිරීම නිසයි මේ ප්‍රශ්නය මතු වුණේ’ කියාය. ‘වාසු ඇමැතිතුමා අපි තීරණයක් අරන් තිබුණෙ නැහැනෙ’ ජොනී යළි කීවේය. ඔය කතාව කවුරුවත් අපිට පාර්ලිමේන්තුවේ කමිටුවේදීවත් කිව්වෙ නැහැනෙ’ යැයි වාසු කීවේ තරමක නොරුස්නා ස්වරයෙනි. එතෙක් නිහඬව සිටි ප්‍රසන්න රණතුංග ද කතාබහට එක්විය. ඔහු කීවේ ජනාධිපතිතුමා එතුමාගේ ස්ථාවරය මාධ්‍ය ප්‍රකාශයක් කරමින් පැහැදිලිව කිව්වා. අපි බෙදෙන්න හොඳ නැහැ. එකම ස්ථාවරයක ඉඳන් කටයුතු කරමු’ යැයි ප්‍රසන්න යෝජනා කළේය. මේ ගිවිසුම් දෙක ගැනම මම පාර්ලිමේන්තුවේ දී කිව්වා. ඔබතුමාට කිව්වෙ නැහැ කියනවා නම් මම ඔප්පු කරන්නම් යැයි රෝහිත යළිත් උත්තර දුන්නේ වාසුටය. විෂය භාර ඇමැති විදියට මගෙන් ඇහුව නම් මම මෙහෙම තීන්දුවක් ගත්තෙ නෑ කියලා පැහැදිලිව කියනවා. මම මේ කැබිනට් එක ඇතුළෙයි. රජය ඇතුළෙයි ඉන්නෙ උරුමයටයි කරුමයටයි දෙකටම. සමහර අය වගේ උරුමයම කර ගහන්නයි, කරුමයෙන් මග හරින්නයි නෙවෙයි. මොකද අපි අමාරුවෙන් හදා ගත්ත මේ ආණ්ඩුව වට්ටන්න දෙන්න බැහැ යැයි රෝහිත දැඩි ස්වරයෙන් කියා සිටියේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් විරෝධය පළකළ සෙසු ඇමැතිවරුන්ට ද අතුල් පහරක් එල්ල කරමිනි. ඒකට වාසුට තරහ ගියේය. මම නම් කරුම රකින්නෙ නෑ. මම උරුමය වෙනුවෙන් පෙනී සිටිනවා. කරුමය වෙනුවෙන් පෙනී ඉන්න මම ලෑස්ති නැහැ යැයි වාසු උත්තර දුන්නේ දැඩි ස්වරයෙනි. ඒක ඔබතුමාගේ මතය. මේක මගේ මතය රෝහිත කීවේ වාසුගේ අදහසට උත්තර දෙමිනි. වාසු ද නිකන් හිටියෙ නැත. ඔයාගේ මතය වගේම මගේ මතය කියන්නත් මට අයිතියක් තියෙනවා’ යැයි වාසු කීවේය. මම ආණ්ඩුව වෙනුවෙන් උරුමෙයි කරුමෙයි දෙකම රකිනවා’ යැයි රෝහිත යළිත් කීවේ වාසුගේ අදහසට විරුද්ධ වෙමිනි.
කොහොම වුණත් අපි දැන් තීන්දුවක් ගත්තනෙ. සාකච්ඡාව මෙතනින් නතර කරමු.’ ජනාධිපති කීවේය.
වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව ගැන ඉන්දියාවත් ජපානයත් සිටියේ කනස්සල්ලෙනි.
පහුවදාම ඉන්දීය මහකොමසාරිස්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ හා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් තකහනියෙම හමුවී මේ ගැන සිය කනස්සල්ල පළ කළේය. ජපන් තානාපතිවරයා ද බදාදා දිනයේ විදේශ ඇමැති දිනේෂ් හමුවී මේ ගැන සිය කනස්සල්ල පළ කළ බව වාර්තා විය. ඉන්දීය මහ කොමසාරිස්වරයාත් ජපන් තානාපතිවරයාත් මේ සාකච්ඡාවලදී වරායෙ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් කිසිවක් කතා නොකළ බව ද වාර්තා විය.
අද ආණ්ඩුවට වටින්නෙ බඩ ගින්න නොවෙයි - සජිත්
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉකුත්දා තමන් මූලික අධ්‍යාපනය ලැබූ කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්‍යාලයට ගියේය. ඒ විද්‍යාලයේ වාර්ෂික සුහද චාරිකාවට එක්වීමටය.
විද්‍යාලයේ ගුරුවරුන් සමගත් සුහද කතාබහකට එක්වූ ඔහු ක්‍රිකට් ගසමින් සිටි ළමුන් සමග ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ද අමතක කළේ නැත.
‘සත්කාරය’ විපක්ෂනායක ජංගම සේවය පසුගිය දිනවල ක්‍රියාත්මක වූයේ මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙනය. මොණරාගලට ගිය ඔහුගේ අවධානය යොමු වූයේ රටේ සම්පත් විකිණීම කෙරෙහිය.
‘ජනාධිපතිවරණය කාලයේ දී මේ ආණ්ඩුව කිව්වේ එක බිම් අඟලක්වත් විදේශ රටවලට දෙන්නේ නෑ කියලයි. ඒත් ගජරාමෙට රටේ සමපත් දැන් විකුණනවා. ජනතාව ආර්ථික ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්නේ. ඒත් ආණ්ඩුව විදේශ රටවලින් ණය අරගෙන කුලුනු හදනවා.’ සජිත් කීවේය.
ඉන් පසුව ඔහු ගියේ තණමල්විල, කිතුල්කොටේ පැවැති ජංගම සේවයටය.
‘අද ආණ්ඩුවට වටින්නේ ධන ගින්නයි. බල ගින්නයි. එහෙම නැතිව ජනතාවගේ බඩගින්න නෙමෙයි.’ සජිත් කීවේය. මීරිගම ඉදිපරපේ ප්‍රදේශයේ ජංගම සේවය පැවැත්වුනේද පසුගිය සතියේදීය.
‘සත්කාරය විපක්ෂනායක ජංගම සේවයේ’ වැඩසටහන් 28 ක් නිමා කළ සජිත් සිය කාර්ය මණ්ඩලයේ ප්‍රධානීන් සියලු දෙනාම කැඳවා ප්‍රගති සමාලෝචනයක යෙදුණේය. මහියංගනයෙන් ආරම්භ වූ එම වැඩසටහන් මාලාව මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය දක්වාම විහිදී තිබේ.
‘මේ වැඩසටහන හරහා අපි ජනතාවගේ ගැටලු අවබෝධ කරගන්නවා වගේම අපිට හැකි විදියට ඒ ගැටලුවලට උත්තරත් හොයා දෙනවා.’
සජිත් කතාව ආරම්භ කළේ නිදසුන් ද ඉදිරිපත් කරමිනි.
මහියංගනයේ සිට සිදුකළ වැඩසටහන එකින් එක පසු විපරම් කළ සජිත් ඒ සෑම ජංගම සේවයකදීම ජනතාව නැගූ ප්‍රශ්න ද එකින් එක සාකච්ඡාවට ගත්තේය.
ඔහු විසින්ම ඒ ගැටලු සටහන් කරගන්නා නිසා මේ පිළිබඳව ඔහුට මුල, මැද, අග අවබෝධයක් තිබුණේය.
‘මේ ලිපි ගැන අනිවාර්යයෙන් මැදිහත් වෙන්න ඕන. අපිට විසඳුම් දෙන්න පුලුවන් ඒවට අපි විසඳුම් දෙන්න ඕනෑ. අනෙක් සියල්ල විසඳුම් ලබා දෙන්න පුළුවන් බලධාරීන් වෙත යොමු කරන්න ඕන. අපි ඒ අයගෙ ගැටලු ගැන ගන්න ක්‍රියාමාර්ග ඒ අයටත් දැනුම් දෙන්න ඕනැ. සජිත් දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.
ඒ අතර අදාළ පිරිස් සම්බන්ධ වීමට නිලධාරීන් කිහිප දෙනෙක් වෙන් කළ ඔහු ඔවුන්ට වගකීම් ද පැවරීය.
‘ඔබතුමා තණමල්විල ජංගම සේවය කරන කොට ජනාධිපතිතුමත් එහේ නේද හිටියේ. එතුමා මුණගැහුණේ නැද්ද?’
‘නෑ, නෑ මම ගියේ ජනතාව මුණ ගැහෙන්නනේ.’ සජිත් සිනාසෙමින් කීවේය.
‘ජනාධිපතිවරු නම් ජංගම සේවා තියලා තියෙනවා. ඒක පටන් ගත්තේ ප්‍රේමදාස ජනාධිපතිතුමා. හැබැයි විපක්ෂනායක ජංගම සේවයක් තියන්නේ ලෝකෙම පළවෙනි වතාවට වෙන්න ඇති’ හරීන් කීවේය.
‘ඔබතුමා නිදහස් උත්සවයට සහභාගි වෙනව ද?’ මයන්ත දිසානායක ඇසුවේය.
‘අපි සහභාගි වෙන්න තීන්දු කළා. මොකද අපි යන්නේ මේ රටේ නිදහස සමරන්න මිසක් ආණ්ඩුව එක්ක ගනුදෙනු කරන්න නොවේ.’ සජිත් කීවේය.
‘ඒක මාත් අනුමත කරනවා. සමහරු කළේ නිදහස් උත්සවය වර්ජනය කරලා වෙන දේවල් වල දී ඩීල් දාන එක.’ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.
‘නිදහස් උත්සවයට යන්න කලින් ඔබතුමා ජංගම සේවයේ දී නිදහසේ අරුත ගැන රටට කියපු එක වටිනවා.’ නලින් බණ්ඩාර කීවේය. ‘ඩී.එස්. සේනානායකගේ පංචවිධ නිදහස ගැන කරපු කතාවත් හරිම අර්ථවත්.’ ජේ.සී. කීවේය.
‘ආණ්ඩුව නැගෙනහිර ජැටිය වෙනුවට දැන් බටහිර ජැටිය දෙනවලු.’ අශෝක් අබේසිංහ අලුත් මාතෘකාවක් ගෙනාවේය. ‘මේ සේරම ටෙලිඩ්‍රාමා. එතකොට නැගෙනහිර ජාතික සම්පතක්. බටහිර විජාතික ද?
සජිත් එහෙම ඇසුවා පමණක් නොව මේ විකිණීමට එරෙහිව දැඩි ප්‍රහාරයක් ආණ්ඩුවට එල්ල කළේය.
විපක්ෂනායක කාර්යාලයේ අමුත්තෙක්
බ්‍රහස්පතින් දා හවස විපක්ෂනායක කාර්යාලයේ විශේෂ චරිතයක් සිටිනු දැකිය හැකි විය. ඒ පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ය.
රටේ සිදුවන පාරිසරික විනාශය පිළිබඳව උන්වහන්සේ සජිත් සමග පැය කිහිපයක් දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු කර ගත්තේය.
‘ආණ්ඩුව පාරිසරික ඝාතනයක් කරනවා. මේ වගේ විනාශයක් ඉතිහාසයේ කවදාවත් වෙලා නෑ.’ උන්වහන්සේ පැවසූහ.
මේ තත්ත්වයට එරෙහිව පුළුල් වැඩපිළිවෙළක් දියත් කිරීමට සජිත් තීන්දු කළේය.
විපක්ෂනායකවරයා පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ති ආරාමය වෙත පසුගිය සතියේ දී පැමිණියේ එම විහාරස්ථානයේ විහාරාධිපති බණ්ඩාරවෙල විමලධම්ම හිමියන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේ සංවිධානය කර තිබූ නිදහස් සමරුවකට සහභාගි වීමටය.
අධිරාජ්‍යවාදීන් වගේ මේ රජයත් ජාතිභේදයෙන් රට පාලනය කරන්න හදනවා
- එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නිදහස් සමරු දිනය යෙදී තිබුණු ඉකුත් 4 වැනිදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරූ දෙකකට පුෂ්පෝපහාර දැක්වීය.
නිදහස් දින ජාතික උත්සවය ටොරිංටන් චතුරශ්‍රයේදී ආරම්භ වීමට පෙර නිදහස් චතුරශ්‍රයේ පිහිටි ඩී.එස්. සේනානායක පිළිරුවට රුවන් විජයවර්ධන මහතා පුෂ්පෝපහාර දැක්වීය. ඒ සමග හිටපු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.
ඉන්පසු සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණි රුවන් විජයවර්ධන මහතා එහි පිහිටි ඩී.එස්. සේනානායක පිළිරුවට ද මල්මාලා පළඳවා උපහාර දැක්වීය. නායක රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු පැවැති සමරු උත්සවය අමතමින් රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික ජාතීන් අතර භේද ඇතිකරමින් එදා අධිරාජ්‍යවාදීන් රට පාලනය කළ ආකාරයටම අද මේ රජයත් ජාතීන් භේද කරමින් රට පාලනය කිරීමට වෑයම් කරන බවය.
සියලු දෙනාම එකමුතු විය යුතු බව ඩී.එස්. සේනානායක මහතාගේ සංකල්පය වී තිබූ බවත් එක්සත් ජාතික පාක්ෂිකයන් ලෙස අදත් අප ගරු කරන්නේ ඒ ප්‍රතිපත්තියට බවත් මෙහිදී රුවන් විජයවර්ධන මහතා කියා සිටියේය.
ඉකුත් සෙනසුරාදා රුවන් විජයවර්ධන මහතා හම්බන්තොට ප්‍රදේශයේ සංචාරයකට සහභාගි විය. හම්බන්තොට දිස්ත්‍රික් එජාප සංවිධායක ආනන්ද කුලරත්න මහතාගේ ආරාධනයෙන් එහි ගිය රුවන් විජයවර්ධන මහතා දිස්ත්‍රික් ක්‍රියාකාරීන් හමු විය.
ඉන්පසු පක්ෂයේ අරමුදල සඳහා කීප දෙනෙක්ම රුවන් විජයවර්ධන මහතා වෙත මුදල් පිරිනැමූහ.
සිත්තම්ගල්ගෙයි රජමහා විහාරය, නයිගල රජමහා විහාරය ඇතුළු විහාරස්ථාන ගණනාවකටම ගිය ඔහු එහි ඓතිහාසික ස්ථාන ඡායාරූප ගතකර ගත්තේය.
කටුවන පිහිටි ඕලන්ද කොටුව නැරඹීමට ගිය විජයවර්ධන මහතා මහ වැස්සේ තෙමෙමින් කොටුවේ පැරණි ස්ථාන නැරඹුවේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ජනහමුව ඉකුත් අඟහරුවාදා පැවැත්වුණි. පාක්ෂිකයන් ඒ අවස්ථාවට පැමිණ සිටි අතර රුවන් විජයවර්ධන මහතා ඔහු හමුවීමට පැමිණි සියලු දෙනා සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ගේ ගැටලුවලට හැකිතාක් දුරට සහන ලබා දීමට ක්‍රියා කළේය.
-------------------------------------------------------
ජනාධිපති කාර්යාලය සංවිධානය කරන මෙවර ‘ගම සමග පිළිසඳර’ වැඩසටහන තිබුණේ තණමල්විල, අලුත්වැව ග්‍රාමයේ කුකුල්කොටුව වැව ඉස්මත්තේය. සම්පූර්ණයෙන්ම ග්‍රාමීය ප්‍රදේශයක් වන මෙහිදී උත්සවය ගමේ හැටියට කරන්නට අදහස ආවේ එහි සංවිධාන කටයුතු භාරව සිටි කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂටය. ඔහු ඒ සඳහා නිලධාරීන් සමග එක්ව තෝරාගත්තේ වැව් ඉස්මත්තේ අතහැර දමා තිබූ හේන් ඉඩමකි. උත්සවයට ආ ජනාධිපති පිළිගනිමින් ගැමියකු කතාවක් කළේ ද හේන් ඉඩමේ ගසක ඉදිකර තිබූ පැලක සිටය. ගමේ උදවිය මඤ්ඤොක්කා තම්බා බෙලිමල් තම්බා කොළඹින් ආ අමුත්තන්ට සංග්‍රහ කළේ ද ගමේ විදිහටය.
- ගජබා -