විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති විය. එය ආණ්ඩුවේ යෝජනාවක් ලෙස ඉදිරිපත් වුවද එය මුලින් ඉදිරිපත් වූයේ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙනි. 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ බෙදීමක් දිගින් දිගටම පෙන්නුම් කළ අතර, ඉකුත් සතිය වන විට එය එළියට පැමිණ තිබිණි. ඒ නිසාම ආණ්ඩු පක්ෂ රැස්වීම්වල පමණක් නොව, එළියේදී ද 22 ට එරෙහිව පොහොට්ටුවේ මන්ත්‍රීවරු පහර දෙන්නට වූහ.
පොහොට්ටු මන්ත්‍රීන්ගේ හිත සැනසූ ජනපතිගේ පිළිතුර
පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඉකුත් සුඳුදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ නමුත් එය තනිකරම විසි දෙවැනි සංශෝධනය සම්බන්ධ සාකච්ඡාවක් බවට පත්ව තිබිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ද ඊට සහභාගී වී සිටි අතර, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට තිබූ ගැටලු ප්‍රශ්න කීපයක් නිරාකරණය කරගන්නට ද එය අවස්ථාවක් විය. විසිදෙකට එරෙහිව මුලින්ම අදහස් දක්වන්නට ඉදිරිපත් වූයේ පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම්ය. ඔහු කතාව පටන් ගත්තේ විසිවැනි සංශෝධනයටත් පක්ෂ වෙලා, දැන් 22 ට එකඟ වෙන්නේ කොහොමද කියාය. ‘‘ජනාධිපතිතුමා මේකට නං අපට එකඟ වෙන්න බෑ. පොහොට්ටු ලේකම්වරයා පක්ෂයේ ස්ථාවරය කෙළින්ම කීවේය. සාගරගේ අදහසට තල්ලුවක් දෙමින් සරත් වීරසේකර ද සුපුරුදු ලෙසම කීවේ ජනපති බලතල ඉවත් කිරීමට එකඟ වෙන්න බැහැ කියාය. විධායක බලතල ගැනත්, පළාත් සභාවල කටයුතු ගැනත්, දහතුන්වෙනි සංශෝධනය ගැනත් සරත් වීරසේකර දිගින් දිගටම අදහස් දක්වන්නට විය. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය වන්නේ, පාර්ලිමේන්තුව අවුරුදු දෙක හමාරකින් පසුව විසුරුවා හරීද යන ගැටලුවයි. ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ, පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් විසුරුවා නොහැර දිගටම පවත්වාගෙන යන ලෙසය. සාකච්ඡාව වෙනතකට යොමු කරමින් බොහෝ දෙනාට තිබූ මේ ප්‍රශ්න නැඟුවේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රී වරයාය.
“අවුරුදු දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් වෙනවා. ඒ කොහොම වුණත් පාර්ලිමේන්තුව විසුරුවනවද නැද්ද කියලා ඔබතුමා සහතිකයක් දුන්නොත් අපේ අය සෑහීමකට පත්වේවි යැයි මහින්දානන්ද ජනාධිපතිවරයාගෙන් කෙළින්ම විමසුවේ බොහෝ දෙනා හිතේ තදකර ගෙන හිටි ප්‍රශ්නයකි.
ජනාධිපතිවරයා ඊට දුන්නේ සැහැල්ලු පිළිතුරකි. ඔබතුමා බුලත් අතක් අරගෙන වැඳලා ඉල්ලුවත් මම අවුරුදු දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ ”ජනාධිපතිවරයා දුන් පිළිතුරට හැමෝටම හිනාය.
ලොකුගේ ගේ ප්‍රශ්නය ජනපති මගහරී
සාකච්ඡාව යන අතරේ නැගී සිටි ගාමිණී ලොකුගේ කෙළින් පිළිතුරක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් යොමු කළේය. “ජනාධිපතිතුමනි, ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව අපට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන ඔබතුමාගේ ස්ථාවරය අපට පැහැදිලි කරන්න” යැයි ලොකුගේ කීවේය. ඍජු පිළිතුරක් දෙනවා වෙනුවට ජනාධිපතිවරයා ඊට වෙන කතාවක් කීවේය ”මේක මම ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනයක් නෙවෙයි. ඒත් මගෙන් අහපු නිසා මම උත්තර දෙන්නම්. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ යෝජනාව මම ගෙනාපු එකක් නොවේ. මේ යෝජනාව ගෙනාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා” යැයි ජනාධිපතිවරයා කීවේය.
අනතුරුව කතා කළේ විදෙස් ඇමැති අලි සබ්‍රිය. ‘‘මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්න බැරිවුනොත් අපිට අයි එම් එෆ් එකත් එක්ක සාකච්ඡාවලට යන්න බැරි වෙනවා. ව්‍යවස්ථා සංශෝධනයකින් තමයි දේශපාලන ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වෙන්නේ. එතනින් පස්සේ අපට ආර්ථික ප්‍රතිසංස්කරණවලට යන්න පුළුවන්. යැයි’’ සබ්‍රි ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය ගැන පැහැදිලි කළේය
‘මේක නිකම් මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී’ වගේ වැඩක් යැයි ජනාධිපතිවරයා කීවේ හිනාවෙමිනි. මොනව වුණත් මේ ව්‍යවස්ථා සංශෝධනයට අපිට මුහුණ දෙන්න වෙනවා. මේක අපිට මග හරින්න බැහැ යැයි ජනාධිපතිවරයා යළිත් අවධාරණය කළේය.
බැසිල් වෙනුවෙන් ‘කුට්ටි’ බෙල්ල දෙයි
මේ අතර, විසිදෙවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ තවත් විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී බදාදා හවස පැවැත්විණි. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීම තරමක් උණුසුම්කාරී විය. විසිදෙවැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මුලින්ම අදහස් දක්වන්නට ඉදිරිපත් වුණේ සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයාය. විසිදෙවැනි සංශෝධනයට මම ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕනැ රාජ්‍යයක් මුල් කරගෙන මිස පුද්ගලයෙක් ඉලක්ක කරගෙන නෙමෙයි. මේ සංශෝධනයට ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ යෝජනා ඇතුළත් වෙන්නේ පුද්ගලයන් ඉලක්ක කරගෙන. ඒ නිසා මම මේකට විරුද්ධයි යැයි සංජීව නැගිට මුලින්ම විරෝධය පළ කෙළේය. එදිරිමාන්නගේ හයියට සාගර ද ඉදිරිපත් විය. මන්ත්‍රීවරුන් කියන කාරණාවලට අමතරව තවත් ලොකු අවදානමක් තියෙනවා. මොකද මේකට විපක්ෂයත් උදව් කරනවා කියලා තියෙනවා. ව්‍යවස්ථාව සම්මත වුණොත් විධායක බලය පාර්ලිමේන්තුවට ලැබෙනවා. එහෙම වුණොත් අයවැයට අපේ කවුරුවත් සහාය දෙන එකක් නෑ’ යැයි සාගර කාරියවසම් කීවේය.
මේ සාකච්ඡාවට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ පැමිණ නොසිටියේය. ඒ නිසා මන්ත්‍රීවරුන්ට එයද ගැටලුවක් විය.” අපි මේ කරුණු ගැන නිකම් මෙතන කතා කරලා වැඩක් නෑ. අපි මේක කතා කරන්න ඕනෑ අධිකරණ ඇමැතිතුමා එක්කයි. එතුමා මෙතනට එන්නෙ නැත්තෙ මොකද’ උඩුකුඹුර ප්‍රශ්න කළේය. අගමැති දිනේෂ් කිව්වේ ඔහු වෙනත් මීටිමකට සහභාගි වී ඇති බවය.
එතෙක් නිහඬව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීවේ ‘අපි මේ ගැන ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා තීරණයක් ගමු’ කියාය. ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් මහාචාර්ය ආශු මාරසිංහ පිටුපස සිට කීවේ සර් ජනාධිපතිතුමා උඩ ඉන්නවා කියාය. හිටපු ජනාධිපතිවරයා කීවේ අපි එහෙනම් ජනාධිපතිතුමාට මෙතනට එන්න කියමු කියාය. මහින්දගේ පණිවුඩය අරගෙන ආශු ජනාධිපතිවරයා හමුවන්නට පාර්ලිමේන්තුවේ කාර්යාලයට ගියේය. විනාඩි කිහිපයකින් ජනාධිපතිවරයා සාකච්ඡාවට පැමිණියේය.
ජනාධිපතිවරයා පැමිණි පසු මුලින්ම කතා කළේ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාය.
‘විධායක ජනාධිපති බලතල ඉවත් කරනවට මම විරුද්ධයි. ආර්ථික වශයෙන් වැටිලා ඉන්න වෙලාවක රට ගොඩගන්න විධායක බලය තියෙන්න ඕන. දියුණුවෙන රටකට ඕන ආඥාදායකයෙක් වගේ පාලකයෙක්’ යැයි එස්.බී. කියද්දී ජනාධිපතිවරයා එකහෙළා ඊට විරෝධය පළ කළේය. “මම හිට්ලර් කෙනෙක් නෙමෙයි. මම ආවෙ ඔළුව පාවිච්චි කරල ගේමක් ගහන්නයි. ඒක නිසා මම ඔය වචනෙට කැමති නෑ” යැයි ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපතිවරයා කීවේ මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලතල නැති වෙන්නේ නැති බවය. අපි හිටියේ ප්‍රජාතන්ත්‍රවාදය නැති රාමුවක. මිනිස්සු එළියේ මහජන පාර්ලිමේන්තු හදන්න හැදුවා. දැන් ඒ තත්ත්වය පාලනය වෙලා. ඒ සංශෝධනය හරහා අපි මෙය සංශෝධනය කරන්න ඕන. රටේ දේශපාලන ප්‍රතිසංස්කරණයක් කරලා කියලා ජාත්‍යන්තරයට පෙන්නන්නයි. එතකොට තමයි ආධාර වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ, වගේම අයි එම් එෆ් වගේ ආයතන අපට උදව් කරන්නේ. එහෙම නැති වුණොත් අනිවාර්යයෙන්ම රටේ ආහාර අර්බුදයක් ඇතිවෙනවා. ඔබතුමාලා ඒක තේරුම් ගන්න. මහජන මතය බලන්න ඕන. ජනමතය තියෙන්නෙ ව්‍යවස්ථා සංශෝධනයකට. මහජන මතය නැතුව අපිට ඉස්සරහට යන්න බෑ.’ ජනාධිපතිවරයා කීවේ දීර්ඝ විස්තරයක් කරමිනි.
කොමිෂන් සභා සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා විවේචනයක් ඉදිරිපත් කළේය. මේ කොමිෂන් සභා එක්ක දිගට යන්න බෑ. ‘මේ කොමසාරිස්වරු වැඩ කරන්නේ අපට නෙවෙයි. මානව හිමිකම් කොමිසමේ සභාපතිත් වැඩ කරන්නෙ අපට විරුද්ධව. මැතිවරණ කොමිසමේ සභාපතිත් එහෙමයි’. ජනාධිපතිවරයා කීවේය.
පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුට තිබූ ප්‍රශ්නයක් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉදිරිපත් කළේ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රිවරයාය. ඔහු බැසිල් වෙනුවෙන් කොන්දේසි විරහිතව ප්‍රශ්න කළේය. සර් කවුරුවත් මෙතන ඇත්ත කියන්නේ නෑ. මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණොත් බැසිල් රාජපක්ෂ මහත්තයාට නැවත දේශපාලනයට එන්න පුළුවන්ද කියන ප්‍රශ්නයයි මෙතන තියෙන්නෙ” කුට්ටි ප්‍රශ්න කළේය. කුට්ටිගේ ප්‍රශ්නයට උත්තර දුන්නේ බදුල්ලේ නිමල් සිරිපාල ඇමැතිවරයාය.
‘පුද්ගලයකු ඉලක්ක කරල ව්‍යවස්ථා හදන්න බෑ. ද්විත්ව පුරවැසිභාව තියාගන්නවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි විරුද්ධයි. ඒක අයින් නොකළොත් අපි සහාය දෙන්නෙ නෑ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දෙවෙනි වර කියැවීමේදී සංශෝධනයක් ගේන්න. එතකොට ඡන්දයකට යන්න පුළුවන්” නිමල් සිරිපාල කීවේය.
ජනාධිපතිවරයා සාකච්ඡාව හමාර කළේ ඔයාලා කණ්ඩායම ගිහිල්ලා අධිකරණ ඇමතිතුමා එක්ක කතා කරලා තීරණයක් ගන්න යැයි කියමිනි.
22 විවාදයට ගනිද්දී ප්‍රසන්න ප්‍රංශයට
ව්‍යවස්ථා සංශෝධනය බ්‍රහස්පතින්දාත් සිකුරාදාත් විවාදයට ගත් අතර ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ඒ වන විට සිටියේ ප්‍රංශයේ ය. වැදගත් පනතක් ගෙනෙන විට ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා පමණක් නොව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ද රට තුළ රැඳී සිටිය යුතුය. ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කලින් යොදාගත් පරිදි පෞද්ගලික සංචාරයක් සඳහා ප්‍රංශය බලා පිටත්ව ගිය අතර, තවත් මන්ත්‍රීවරු පිරිසක් විදේශගතව සිටියහ.
ඡන්ද කල් දැමීමට එරෙහිව විපක්ෂය කඳවුරු බඳී
පළාත්පාලන මැතිවරණය කල් දැමීමේ සූදානමට එරෙහිව විපක්ෂයේ පක්ෂ බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කළේය. ඒ සඳහා සම්බන්ධීකරණ කටයුතු කරමින් මූලිකත්වය ගත්තේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවය. පක්ෂ නායකයන් සම්බන්ධ කර ගැනීමේ වගකීම පැවරී තිබුණේ මහාචාර්ය චරිත හේරත්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා සහ අනුරාධපුරයේ කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ට ය. අනෙකුත් පක්ෂ වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතුවලට වාසුදේව නානායක්කාර සහ සමගි ජන බලවේගයේ අශෝක අබේසිංහ යන මන්ත්‍රීවරු සම්බන්ධ වූහ.
ඒ අනුව විපක්ෂයේ පක්ෂ නායකයෝ බ්‍රහස්පතින්දා උදේ 11 ට පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක හතේ දී රැස් වූහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම, එම්.ඒ. සුමන්තිරන්, පාඨලී චම්පික රණවක, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, උදය ගම්මන්පිල, ජයන්ත සමරවීර, ශාන් විජයලාල් ද සිල්වා, මනෝ ගනේෂන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඊට සහභාගි වූහ. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අනෙකුත් නායකයන්ගෙන් සහභාගි වූයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුවය. පළාත් පාලන ඡන්දය කල් නොදැමිය යුතු බවට සිංහලෙන්, ඉංග්‍රීසියෙන් සහ දෙමළෙන් ප්‍රකාශ තුනක් නිකුත් විය. සිංහල ප්‍රකාශය කියවූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. එය කියවීමට කලින් නියමව සිටියේ ඩලස් ය. එහෙත් ඩලස් කීවේ එය මෛත්‍රීට දිය යුතු බවය. ඉංග්‍රීසි ප්‍රකාශය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර, එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා දෙමළ ප්‍රකාශය කියවීය. වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ඩිලාන් පෙරේරා ය. ඔහු පිළිගැනීමේ කතාව කිරීමට නියමිතව සිටියද අවසාන මොහොතේ එය වාසුදේවට භාර දුන්නේය. ජනතා විමුක්ති පෙරමුණ මෙයට සම්බන්ධ නොවූ නමුත්, මෙම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කරන බව සහ උපරිම සහාය ලබා දෙන බව අනුර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇතැයි ඩලස් සභාවට දැනුම් දුන්නේය. විපක්ෂයේ පක්ෂ නායකයන් රැසක් එහිදී ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කළ අතර, එය ඉදිරි දිනෙකදී ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතය.
විපක්ෂය එක මතයකට
සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් මෙවර පැවැත්වුණේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී ය.
එහිදී විශේෂ කරුණු දෙකක් පිළිබඳව මූලික අවධානය යොමු විය. එකක් ආණ්ඩුව ගෙන එන්නට නියමිත විසිදෙවැනි සංශෝධනයයි. අනෙක මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින උත්සාහයයි.
“අවස්ථාවාදී විදිහට, එක එක්කෙනාගේ දේශපාලන වුවමනාවන්වලට අනුව ව්‍යවස්ථා සංශෝධන කරන්න ඉඩ දෙන්න බැහැ. මේක වැරදි පූර්වාදර්ශයක් වෙලා තියෙනවා. ව්‍යවස්ථාවක් කියලා කියන්නේ රටක සුවිශේෂීම ලියවිල්ල. ඒක මේ වාර ප්‍රකාශනයක් නෙවේ”
විපක්ෂ නායක සජිත් අදහස් දැක්වීම ආරම්භ කළේ එහෙමය.
“ඔබතුමා හරියටම හරි. 17 ට, 18ට, 19 ට, විස්සට මේ සේරටම අත උස්සපු අය පාර්ලිමේන්තුවේ ඉන්නවා.”
හර්ෂ කීවේය.
“පාර්ලිමේන්තුව විසුරුවන කාලය වසර දෙක හමාරයි.
ව්‍යවස්ථාදායක සභාව ගැන සංශෝධනය පිළිගත යුතුයි.
ද්විත්ව පුරවැසි තහනම ක්‍රියාත්මක කළ යුතුයි. මේ කොන්දේසි මත තමයි අපි 22 ගැන තීන්දුවක් ගන්න ඕනෑ” කිරිඇල්ල කීවේය.
“ගයන්ත මොකද කියන්නේ?” සජිත් ගයන්ත දෙසට හැරුණේය.
“සංවිධායක තුමා කීව තුනට මූලික එකඟත්වය දෙනවනම් අපි එකඟ වෙමු. එහෙම නැත්නම් අපි විරුද්ධ වෙමු”
ගයන්ත කීවේය.
මේ අතර සමගි ජන බලවේගයෙන් හුස්මක් 53 වැනි අදියර ලෙස රුපියල් 550,000ක් වටිනා දන්ත ශල්‍ය වෛද්‍ය උපකරණ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයට පරිත්‍යාග කිරීමේ අවස්ථාව සිදුවිය. ඒ විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙනි.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහන් 53ක් තුළ රුපියල් 160, 266, 900ක රෝහල් උපකරණ සහ ඖෂධ පරිත්‍යාග කොට තිබේ.
“බල න්‍යාය පත්‍රය අතේ තියා ගත්ත ආණ්ඩුවකට බෙහෙත් නැතුව රෝගීන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනවා කියන එක පේන්නේ නෑ. ජනතාවට තියෙන්නේ ජීවත් වීම පිළිබඳ සටනක්.
ආණ්ඩුවට තියෙන්නේ බලය රැක ගැනීම පිළිබඳ සටනක්.
දෙමව්පියන්ට තියෙන්නෙ තමන්ගෙ දරුවට හරිහමන් කෑම වේලක් දීලා අධ්‍යාපනයක් ලබාදීම පිළිබඳ සටනක්.
ආණ්ඩුවට තියෙන්නේ ඇමැතිවරුන් ටික පත් කිරීම ගැන සටනක්. මේ රටේ තරුණ පරම්පරාවට තියෙන්නෙ රස්සාවක් කරලා ඔළුව උස්සා ගැනීමේ සටනක්.
ආණ්ඩුවට තියෙන්නෙ තරුණයන් මර්දනය කිරීම පිළිබඳ සටනක්. මේ රටේ දූ දරුවන්ට තියෙන්නෙ ලස්සන රටක් නිර්මාණය කිරීමේ සටනක්. ආණ්ඩුවට තියෙන්නේ ඩීල් එකක් දාලා කීයක් හරි හම්බ කර ගැනීමේ සටනක්.
අපෙයි ආණ්ඩුවෙයි වෙනස මොකක්ද? අපි ඉන්නේ කොන්දේසි විරහිතව ජනතාවගේ සටනත් එක්ක. ආණ්ඩුව ඉන්නේ ඕනම දෙකයි පනහේ වැඩක් කරලා බලය තහවුරු කර ගැනීමේ සටනක් එක්ක.” සජිත් වැඩසටහනෙන් අනතුරුව මාධ්‍ය අමතා එහෙම කීවේය.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල්දමමින් මැතිවරණ සිතියම හැකිලීමේ රජයේ උත්සාහයට එරෙහි විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකාබද්ධව ප්‍රකාශයට අත්සන් තැබීම ඊයේ 20 වැනි දින සිදු කරනු ලැබීය. එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් සහභාගි වුණේ බලවත් උනන්දුවකිනි.
විපක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂ රැසකම නායකයන් ඊට එක්ව සිටීම විශේෂත්වයක් විය.
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතාන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ, 43 සේනාංකය, දෙමළ ජාතික සංධානය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, නව ලංකා නිදහස් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, විජය ධරණී ජනතා සභාව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ උත්තර සභාව ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නායකයන් සහ නියෝජිතයන්ගේ හමුවක් පසුගිය 12 වැනි දින ජයවර්ධනපුර MONARCH IMPERIAL හිදි පැවැත්වුන අතර, එයට සහභාගි වූ පක්ෂ නායකයන් හා නියෝජිතයන්ගේ ඒකමතික තීරණයට අනුව මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරනු ලැබීය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ගිය සතියේදී ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්වරයා හා ජපාන තානාපතිවරයා හමුවිය. ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්වරයා හමුවීම පක්ෂ මූලස්ථානයේදී පැවැති අතර ජපාන තානාපතිවරයා හමුවූයේ එම තානාපති කාර්යාලයේදීය.
මේ වසර මුල් කාලයේ පැවැති දේශපාලන වෙනස්කම්වලින් පසු තානාපතිවරුන් ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුව ඇත. චීනය, නවසීලන්තය, ඇමෙරිකාව යන රටවල තානාපතිවරු පසුගිය කාලය තුළ ඔහු හමුවී සාකච්ඡා කර තිබුණි.
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා හා ජපාන තානාපතිවරයා අනුර කුමාර දිසානායක මහතා සමග දේශපාලන වාතාවරණය ගැන සාකච්ඡාකර ඇත.
එහිදී ඔවුහු අනුර කුමාර දිසානායක මහතාගේ අදහස් විමසා බැලූහ.
මීට අමතරව ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ පිළිබඳව ද ජාතික ජන බලවේගයේ සාකච්ඡාවට භාජනය වී තිබුණි. මෙහිදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ ඡන්දය කල් දැමීමට රජය උත්සාහයක් දරමින් සිටියත් එයට ඉඩ ලබා නොදිය යුතු බවයි. පවතින වාතාවරණය මත මේ අවස්ථාවේ අවශ්‍යව වන්නේ මහ මැතිවරණයක් බවද පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය.
මේ අවස්ථාවේ ලබන මාර්තු මාසයට පෙර පළාත් පාලන ඡන්ද පවත්වන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙන නිසා එම මැතිවරණයට සූදානම් වීම අවශ්‍ය බව අනුර කුමාර දිසානායක මහතා කීවේය.
මැතිවරණ කලට වෙලාවට පැවැත්වීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ආසන මට්ටමේ රැස්වීම් පැවැත්වීමටද ගිය සතියේදී තීරණය කර ඇත. ‘‘ඡන්දයට බය මාමයි බෑණයි අතීතයෙන් නුගත් පාඩම’’ යන්න මෙම රැස්වීමේ තේමාව වී ඇත. ජේ.ආර්. ජයවර්ධනගේ සිට එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට බියක් දැක්වීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට එහිදී තීරණය කරනු ලැබීය. ඒ අනුව අනුරාධපුර රැස්වීම ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්ද මැදිරිගිරිය රැස්වීම සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්ද පැවැත්වීමට දැනට සැලසුම් කර ඇත.
කෝච්චියෙන් ගිය කරුගේ යාපනයේ ගමන
පසුගිය සති අන්තය කරු ජයසූරිය ගත කළේ යාපනයෙහි ය. කොළඹ සිට දුම්රියෙන් යාපනයට ගිය කරු දින දෙකකට පසු ආපසු කොළඹට පැමිණියේ ද දුම්රියෙනි. ඔහු මෙවර යාපනයට ගියේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය හා සූර්ය පදනම මගින් සංවිධානය කළ විශේෂ කටයුතු දෙකකට සහභාගී වීමටය.
සාධාරණ සමාජයක් සංවිධානය ‘‘සෞභාග්‍යමත් රටකට මග සංහිඳියාවයි’’ මැයෙන් යාපනයේ සංවිධානය කර තිබූ ජනතා සම්මන්ත්‍රණයට උතුරු පළාතේ හින්දු, බෞද්ධ, ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමික නායකයෝ රැසක්ද එම ප්‍රදේශය නියෝජනය කරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් රැසකම නායකයෝ පිරිසක් ද සහභාගී වී සිටියහ. ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා මෙන්ම මාවෛයි සේනාධිරාජා, ඒ. සුමන්දිරන්, ඩී. සිද්ධාර්ථන්, විජයකලා මහේෂ්වරන් ඇතුළු පිරිසක් ඒ අතර වූහ. එයට අමතරව උතුරු පළාතේ දේශපාලන හා සිවිල් ක්‍රියාධරයන් හා වෘත්තීයවේදීන් රැසක් ද යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන තරුණ තරුණියෝ පිරිසක් ද ඒ අතර සිටියහ.
ගජබා