කැබිනට් රැස්වීමත් රත් කළ ​හකීම් - රිෂාද් ගැටුම


යටයමින් තිබූ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ කතාව ගිය සතියේ යළි කරළිය ගිනියම් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ කථාවට ඈඳී තිබූ ප්‍රධාන චරිතය වූයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාය. දින පහක් තිස්සේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු ඉකුත් බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගනු ලැබුවේ දේශපාලන කරළියද ගිනියම් කරමිනි. නාලක සිල්වා ලබන 7 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ පසුවෙයි. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ කතාවට විවිධ නම්ද ඈ​ෙඳමින් තිබෙන අතර එය දේශපාලන වේදිකාවේද කටගැස්මක් බවට පත්ව තිබේ. එහෙත් මෙහි විශේෂත්වය ඇත්තේ ජනපති මෛත්‍රී තවමත් ඒ සම්බන්ධයෙන් කිසිවක්ම ප්‍රකාශ නොකිරීමය.


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මෙන්ම සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන් ද යහපාලන ආණ්ඩුවේ එකට සිටින ඇමැතිවරයෙකි. කොච්චර එකට සිටියද හකීම්-රිෂාද් අතර විරසකය දිනෙන් දින අලුත් වෙනවා හැරෙන්නට අඩුවෙන බවක් පෙනෙන්නට නැත. මේ දෙන්නා ගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදීද ජනාධිපතිවරයා ඉදිරියේ එකිනෙකාට චෝදනා කර ගත්තේ කැබිනට්ටුවද උණුසුම් කරමිනි.


දෙන්නාගේ වාදයට මුලපිරුවේ රාවුෆ් හකීම් ජල ගාස්තු වැඩි කිරීමට අවසර ඉල්ලා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකි. හකීම්ගේ යෝජනාව වූයේ ජල සම්පාදන මණ්ඩලය දවසින් දවස පාඩුවන නිසා ජල ගාස්තු වැඩි කිරීමය. සාමාන්‍ය වශයෙන් ගත් කල ජල බිල සියයට 65කින් වැඩි කිරීමය. සමහර ක්ෂේත්‍ර සඳහා ජල බිල සියයට සියයකින් වැඩි කරන්නට යෝජනා කර තිබූ අතර සමෘද්ධි ලාභීන්ගේ ජලගාස්තු වැඩි නොකිරීමට යෝජනා කර තිබිණි. ජල සම්පාදන මණ්ඩලය 2011න් පසු මේ දක්වා වතුර බිල වැඩි කරලා නැහැ. මේ නිසා මණ්ඩලය පාඩුපිට කටයුතු කරන්නෙ. ජල ගාස්තු වැඩි කිරීම අත්‍යවශ්‍යයි. හකීම් කීවේ ගාස්තු වැඩි වීම ගැන පැහැදිලි කිරීමක්ද කරමිනි. හකීම්ගේ යෝජනාවට ඇමැතිවරු කිහිප දෙනෙක්ම වි​ෙරා්ධය පළ කළහ. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ ආචාර්ය සරත් අමුණුගමය. ජල සම්පාදන මණ්ඩලයට ගාස්තු වැඩිවීමක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒත් මේ වෙලාවෙ තෙල් මිල වැඩි කරලා බදු වැඩි කරලා තියෙද්දි ජල බිලත් වැඩි කළොත් ජනතාවට අමාරුයි. අනෙක ළඟදි තියෙන මැතිවරණවලටත් මෙය බලපානවා. දේශපාලන වශයෙනුත් මේ වැඩිවීම මාරාන්තිකයි යැයි අමුණුගම කීවේය.


හකීම් කීවේ සමහරු මේකට විරුද්ධ වුණාට වැඩි නොකර මණ්ඩලය පවත්වගෙන යන්න අමාරුයි. ඒ නිසා වැඩි කරන්නට ඕන කියාය. අනතුරුව කතා කළේ මංගල සමරවීර ඇමැතිවරයාය. මංගල කීවේ වැඩි කරන්න ඕනම නම් කරන්න. හැබැයි පියවර දෙකකින්වත් කරන්න වේවි කියාය. චම්පික රණවක ඇමැතිවරයා ද ජල ගාස්තු වැඩි කිරීමට විරුද්ධව කතා කළේය. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ජල සම්පාදන මණ්ඩලය එක්කො ව්‍යාපාරයක් විදියට කරන්න ඕන නැත්නම් එහි පාඩුව මහා භාණ්ඩාගාරය දරන්න ඕන. මණ්ඩලයට සේවකයින් විශාල ලෙස බඳවා ගැනීම නිසා වියදම වැඩිවෙලා. දේශපාලන හේතු මත ජල ව්‍යාපෘති කිරීමෙනුත් වියදම වැඩිවෙලා. ජලය දීමත් විනිවිද භාවයෙන් කළ යුතු යැයි චම්පික කීවේය. රිෂාද් බදියුදීන් කතා කළේ ඉන් අනතුරුවය. ඔහු කීවේ ජල සම්පාදන මණ්ඩලයට හකීම් ඇමැතිවරයා 800ක් පමණ බඳවා ගෙන ඇති නිසා පාඩු සිදුවන බවය. හකීම් රිෂාද්ගේ චෝදනාව ප්‍රතික්ෂේප කළේ එය බොරු බව කියමිනි. හකීම් මාධ්‍ය ඒකකයට 30ක් විතර අරගෙන මට මඩ ගහනවා. ඒව නිසාත් පාඩු සිදුවෙනවා යැයි රිෂාද් කීවේය. අපි කාටවත් මඩ ගහන්නෙ නෑ. 2016න් පස්සෙ කවුරුවත් බඳවාගෙනත් නැහැ යැයි හකීම් කීවේ රිෂාද්ගෙ චෝදනාවලට පිළිතුරු දෙමිනි. මම නම් මඩ ගහන්නෙ නැහැ. ඔයානම් කණ්ඩායමක් දාලා මට මඩ ගහනවා යැයි හකීම් චෝදනා කළේ රිෂාද්ටය. ගාස්තු වැඩි කරන්නෙ නැතිනම් මට මේක කරන්න බැහැ. මේ ඇමැතිකම කවුරු හරි භාරගන්න යැයි හකීම් කීවේය. දෙදෙනා අතර වාදය යද්දී ජනාධිපතිවරයා හැමෝම හිනස්සමින් කීවේ එහෙමනම් අපි ඇමැතිකම රිෂාද්ටම දෙමු කියාය.


මේ අතර ගංවතුර හා නායයාම් හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේ යෝජනාවක් ඉදිරිපත් විය. එය සාකච්ඡාවන අතරේ තැපැල් ඇමැති හලීම් කීවේ ඉකුත්දා අකුරණ ප්‍රදේශයෙ ඇතිවූ ගංවතුරින් විපතට පත්වූ ව්‍යාපාරිකයින්ටද වන්දි ගෙවිය යුතු බවය. “අකුරණ ව්‍යාපාරිකයින්ට වන්දි ගෙවන්න ඕන ආණ්ඩුව නෙවෙයි. ඇළ ගොඩකරල ඒ උඩ කඩවල් හදපු ව්‍යාපාරිකයොයි වන්දි ගෙවන්න ඕන යැයි ජනාධිපතිවරයා කීවේය. හකීම් කීවේ ඔවුන්ට එම කඩවල් හදන්නට බලපත්‍ර දී ඇති බවය. එහෙම නම් ඇළ මාර්ග හරස් කරලා කඩවල් හදන්න බලපත්‍ර දීපු අය හිරේ යන්න ඕන යැයි ජනාධිපතිවරයා කීවේය. ඒ සමගම ජනාධිපතිවරයා කීවේ අකුරණ ඇළවල් හරස් කරපු නිසා පසුගිය කාලේ ඩෙංගු උවදුර බරපතළ ලෙස ඇතිවී එහි සෑහෙන පිරිසක් මිය ගිය බවය.


සත්‍ය හා සංහිඳියා කොමිසමක් පිහිටුවීමට අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් අංශයට යොමු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි. ඒ ගැන දිගු විස්තරයක් ඉදිරිපත් කළේ චම්පික රණවක ඇමැතිවරයාය. ආණ්ඩුව පසුගිය කාලය පුරාම මේ ප්‍රශ්නය විසඳන්නට විවිධ ආයතන පිහිටෙව්වා. විවිධ පියවරත් ගත්තා. සංහිඳියාව ඇති කිරීමට පියවර රැසක් අරගෙන තියෙනවා. හානි පූර්ණ කාර්යාල ඇති කළා. උතුරු නැගෙනහිර විශාල සංවර්ධනයක් ඇති කළා. ආණ්ඩුව එහෙම මානුෂීයව සහ යුක්ති සහගතව කටයුතු කළත් ඇතැම් කණ්ඩායම් ඒවා වැරදි විදියට රට ඇතුළෙ කතාබහට ලක් කරලා රජයට විරුද්ධව උතුරේත් දකුණේත් ජනකොටස් අතරේ අදහස් දක්වනවා. අවසානයෙ මොකද වෙලා තියෙන්නෙ. රට තුළත් ජාත්‍යන්තරය තුළත් ආණ්ඩුවේ මානුෂීය බව සහ යුක්ති සහගත බව තහවුරු කරන්න රජයක් හැටියට අපි අපොහොසත් වෙලා තියෙනවා. අපට දැන් මොකක් හරි අවසානයක් තියෙන්න ඕන යැයි චම්පික කීවේය.


ලංකා රජය කරපු වරදක් තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ අපට එරෙහිව තිබූ යෝජනාවට සම අනුග්‍රාහකයෙක් වීම. ඒ සම අනුග්‍රාහකත්වයෙන් අයින් වෙලා අපේ රාජ්‍ය තාන්ත්‍රික සේවාවන් ඉක්මනින් කාර්යක්ෂමව කරලා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කාලය ඇවිල්ලා. රටේ සැබෑ තත්ත්වය ලෝකයට පැහැදිලි කරන්න රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් අරඹන්න අවශ්‍යයි. ඒ හරහා මාර්තු මාසයේදී එන මේ යෝජනාව සම්පූර්ණයෙන්ම මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් කරගෙන නව පක්ෂපාතී යෝජනාවක් ගේන්න කටයුතු කරන්න ඕන යැයි චම්පික යෝජනා කළේය. ජනාධිපතිවරයාද චම්පිකගේ අදහස අනුමත කළේය. අපි තනි අතින් අත්පුඩි ගහන වැඩක් මේ කරන්නෙ. අපි කොච්චර දේවල් කළත්, හරි හොඳයි කියල ප්‍රසාදයක් ඇතිවෙලා නෑ. ඉල්ලීම් එන්න එන්නම වැඩිවුණා විතරයි යැයි ජනාධිපතිවරයා කීවේය. අගමැතිවරයා කීවේ අපි මේ ගැන දේශපාලන පක්ෂ එක්ක කතා කරල බලමු කියාය.


ඉඩම් අයිතිය ජනතාවට ලබාදීම සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ගැනද කැබිනට්ටුවේ දිගු වාදයක් ඇතිවිය. එය ඉදිරිපත් කර තිබුණේ ගයන්ත කරුණාතිලක අැමැතිවරයාය. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ඊට විරෝධය පළ කර තිබිණි. මහවැලි ඉඩම්වල අයිතිය ලබාදීමෙන් පස්සෙ සමහර ගොවීන් ඉඩම් විකුණා දමනවා. ජනාධිපතිවරයා සිය නිරීක්ෂණ මගින් පෙන්වාදී තිබිණි. එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළේ ඊට වෙනස් අදහසකි. අගමැතිවරයා කීවේ 2003 දී රාජිත ඉඩම් ඇමැති වශයෙන් ගෙනා පනතක් නිසා එසේ කළ නොහැකි බවය. අනතුරුව කතා කළේ රාජිතය. “ඉඩම් විකුණනවා කියන කතාව කතාවක් විතරයි. මොකද මම ඉඩම් ඇමැති කාලෙ සමීක්ෂණයක් කළා. ඉඩම් පිට අයට විකුණනවා කියලා ලැබුණ පැමිණිලි අනුවයි මම එහෙම කළේ. නමුත් සියයට 95ක් ඉඩම් වෙනත් කිසිවකුට පවරලා තිබුණෙ නැහැ. සියයට 4ක් පමණ පවරලා තිබුණ. අපි ඉඩම්වල අයිතිය ජනතාවට දිය යුතුයි. ඉඩම්වල පූර්ණ අයිතිය ලැබෙන්නේ නැත්නම් පුද්ගලයකුට ණයක්වත් ගන්න බැහැ. කුඹුරුවලත් එහෙමයි. සමහර අය පගා දීලා ඉඩම් පවරාගෙන තිබුණා යැයි රාජිත කීවේ මේ ගැන පැහැදිලි කිරීමක්ද කරමිනි. දුමින්ද දිසානායක ද සිටියේ ජනාධිපතිවරයාගේ අදහසේය. ඉඩම් බහුතරය ගන්නේ පොලීකාරයින් බව දුමින්ද කීවේ අනුරාධපුරයේ මහවැලි ඉඩම් ගැනද සඳහන් කරමිනි.  


අකිල විරාජ් කතා කරමින් කීවේ මේක අපි දීපු ඡන්ද පොරොන්දුවක්, ඉඩම් අයිතිය දුන්න කියල ගොවීන් ඉඩම් විකුණන්නෙ නැහැ කියාය. රාජිත කීවේ 2003 දී තමා මේ පිළිබඳ පනතක් ඉදිරිපත් කළ අවස්ථාවේ හිටපු ජනාධිපතිනිය විරුද්ධ වුණා. ඉන් පස්සෙ කමිටුවකින් කළ නිර්දේශයකින් පසුව එතුමිය කැමැති වුණා කියාය. ඒ පනතට විරුද්ධව එදා පළාත් සභාවකින් නඩුවක් ගොනු කළා යැයි විජයදාස රාජපක්ෂ කීවේය. රාජිත කීවේ එය පළාත් සභා බලතල ඉල්ලා දැමූ නඩුවක් බවය. ෆයිසර් මුස්තාපා නොසිටි නිසා මෙවර කැබිනට් රැස්වීමට පැමිණ සිටියේ ශ්‍රියානි විජේවික්‍රම රාජ්‍ය ඇමැතිනියයි. ඉඩම් අයිතිය ලබාදීමෙන් ගොවීන්ගේ ඉඩම් නැතිවන බව ඇය කීවාය. රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිවරයා ඊට විරෝධය පළ කළේ අපිත් ගම්වලින් ආපු ඇමැතිවරු, අපේ ගම්වලත් ඉඩම් ඔප්පු නැතිවුණාට ඇතැම් අය ඉඩම් විකුණන බව කියමිනි. ඔහු කීවේ ඉඩම් අයිතිය ලබාදිය යුතු බවය. ඉදිරිපත් වූ තර්ක විතර්ක හමුවේ ජනාධිපතිවරයා කීවේ මේ ගැන සෙවීමට කමිටුවක් පත්කළ යුතු බවය.  


පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පැවැත්වීමට අදාළ පනතේ සිදුකළ යුතු තාක්ෂණික සංශෝධන කිහිපයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබු​ෙණ් අනුමැතිය ලබා ගැනීම වෙනුවෙනි. ඒ ගැන රාවුෆ් හකීම් වි​ෙරා්ධය පළ කරමින් කීවේ සුළු පක්ෂ අලුත් ඡන්ද ක්‍රමයට විරුද්ධ බවය. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ​ෙහාත් විරුද්ධව ඡන්දය දෙන බවද හකීම් කීවේය.   


එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට ගොස් සිටින ලුතිනන් කර්නල් කලණ අමුණුපුර රණවිරුවා නැවත ගෙන්වා ගන්නා ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට කර ඇති දැනුම් දීම ගැනද කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්විය. ජනාධිපතිවරයා කීවේ මේ යෝජනාවට කිසිසේත් එකඟවිය නොහැකි බවය. ශ්‍රී ලංකා හමුදාවේ රණවිරුවන් මානව හිමිකම් කඩවන අයුරින් කටයුතු කර නොමැති බවද ජනාධිපතිවරයා කීවේය.  


රාජිතට ජනපතිගෙන් හදිසි කැඳවීමක්  


ගිය අඟහරුවාදා හවස මිනුවන්ගොඩ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට රාජිත සේනාරත්න ඇමැතිවරයා ගොස් සිටියේ චතුර සේනාරත්න මන්ත්‍රීවරයාද සමඟය. හදිසියේ ඇමතුමක් ගත් ජනපති මෛත්‍රි රාජිතට කීවේ හවස 5.30ට නිවසට පැමිණ හමුවන ලෙසය. ගම්පහ රෝහලේ කටයුත්තකටද යාමට නියමිතව සිටියද එයද අවලංගු කළ රාජිත හදිසියේම කොළඹ මහගම සේකර මාවතේ පිහිටි නිල නිවසට පැමිණ ජනාධිපතිවරයා හමුවිය.  
ජනාධිපතිවරයාත් රාජිතත් අතර දේශපාලන සාකච්ඡාවක් පැවැත්වුවද එහි තොරතුරු කිසිවක් මාධ්‍යයට අනාවරණය නොවීය.