කොරෝනා අස්සේ හිඳුණු ආණ්ඩුවේ පසුම්බිය


කොවිඩ් අර්බුදයත් සමග රට තුළ අර්බුද රැසක් මේ වනවිට නිර්මාණය වී තිබේ. එක් පැත්තකින් ආර්ථික අර්බුදය ඔඩු දුවන තැනට පත්ව තිබෙන බව පෙනෙන්නට තිබේ. අනෙක් පැත්තෙන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමේ ගැටලුවයි. තවත් අතෙකින් අසන්නට ලැබෙන්නේ විදේශ සංචිත ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවය. මේ සියලු‍ අර්බුද හමුවේ ආණ්ඩුව ද සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා නොගන්නා උත්සාහයක් නැත. කොරෝනා වසංගතය හමුවේ ඇති කරන ලද බලපෑම පාලනය කිරීම ආණ්ඩුවකට පහසු නැත. ආනයනය විශාල වශයෙන් තහනම් කර තිබියදී වුවද විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4 පමණ දක්වා අඩු වී ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ආර්ථික අර්බුදයේ බරපතළකම කොතරම්ද යන්න එයින්ම පැහැදිලිය.


සති කිහිපයක් තිස්සේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් රැස්වීම මෙවර ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණේ ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාද සෙසු ඇමැතිවරු ද සහභාගි වූහ. සංචරණ සීමා හේතුවෙන් ගොවීන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවි කර ගැනීමට ඇති ගැටලු ගැන කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. එම නිෂ්පාදන අලෙවි කර ගැනීමට සංචරණ සීමා මැද ඇතිකර තිබෙන පහසුකම් ගැන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලු‍ත්ගමගේ පැහැදිලි කළේය. ජනාධිපතිවරයා කීවේ ගොවීන්ගේ නිෂ්පාදන ආණ්ඩුවෙන් මිලදීගෙන ඒවා රජයේ රෝහල්වලට, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට, හමුදා කඳවුරුවලට ආදියට නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවය.

 

මේ අතර ගෑස් මිල සම්බන්ධ ප්‍රශ්නය ද කැබිනට් රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. ලාෆ් ගෑස් සමාගමේ හම්බන්තොට වරායේ පිහිටි පර්යන්තය ලිට්රෝ ගෑස් සමාගම සමග ඒකාබද්ධ කර හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට ආණ්ඩුවෙන්ම යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ මීට සතියකට පමණ ඉහතදීය. එය ඉදිරිපත් කරනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන විසිනි. කෙසේ හෝ එය පසුව ඉල්ලා අස් කරගනු ලැබීය. ගිය සඳුද‌ා පැවති කැබිනට් රැස්වීමේදී එය නැවත සාකච්ඡාවට ලක්විය. ඒ ගැන මුලින්ම කතා කළේ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාය. ගෑස් මිල වැඩිකිරීමට ඉඩ නොදීමෙන් ගෑස් සමාගම් බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව බන්දුල කීවේය. ඔහු කීවේ එක්කෝ ගෑස් මිල වැඩි කිරීමට ඉඩ දිය යුතු බවය. ලාෆ් ගෑස් සමාගම බැංකුවලට විශාල ලෙස ණය වී ඇති බව ද බන්දුල කීවේය. ඔහු කීවේ ගෑස් මිල වැඩි කිරීමට ඉඩ නොදෙන්නේ නම්, ලාෆ් සමාගම සතු හම්බන්තොට පර්යන්තය ලිට්රෝ සමාගම සමඟ සම්බන්ධ කර හවුල් ව්‍යාපාරයක් ලෙස කරගෙන යාමට ඉඩ දිය යුතු බවය. මේ ප්‍රශ්නය ගැන උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර ඇතුළු ඇමැතිවරු කිහිප දෙනෙක් ද අදහස් දැක්වූහ. ජනාධිපතිවරයා කියා සිටියේ ගෑස් මිල වැඩි කිරීමට ඉඩ දිය නොහැකි බව ය. ගෑස් සමාගම් දෙක ගැන ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට ඇමැති බන්දුලගේ ප්‍රධානත්වයෙන් හා කෙහෙළිය රඹුක්වැල්ල, උදය ගම්මන්පිල ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනකුගේ සහභාගීත්වයෙන් ඇමැති අනු කමිටුවක් ද පත් කරනු ලැබීය.



ඇස්ට්‍රාසෙනිකා අර්බුදය විසඳන්න ජපානයෙන් තල්ලු‍වක්


ඉන්දියාවේ ඇතිව තිබෙන අර්බුදයත් සමග ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලබාගැනීම ගැටලු‍වක් විය. මේ හේතුවෙන් ලංකාවේ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් ලක්ෂ හයකට දෙවැනි මාත්‍රාව ලබාගැනීමට නොහැකි වී ඇත. මේ සඳහා සහාය දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගේ මහතාගෙන් ඉල්ලීමක් කර තිබිණි. ජපාන තානාපති සුගියාමා අකිරා මහතා ඉකුත් බද‌ාද‌ා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවූයේ මේ අතරවාරයේය. ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව සඳහා එන්නත් ලක්ෂ හයක් ලබාදීමට ජපන් අගමැතිවරයාගේ සුබදායී ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ජපන් තානාපතිවරයා දන්වා සිටියේය. එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් කටයුතු කරන ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු ද ඊට සහභාගි වූහ.


පොහොර අර්බුදය


රසායනික පොහොර ආනයනය කිරීම තහනම් කිරීමට ආණ්ඩුව ගත් තීරණයත් සමග පොහොර හිඟයක් සම්බන්ධයෙන් රට තුළ කතාබහක් ඇතිවී තිබේ. ගොවීන් කියන්නේ පොහොර හිඟයක් තිබෙන බවය. එහෙත් ආණ්ඩුව පාර්ශ්වයෙන් පුන පුනා කියන්නේ පොහොර හිඟයක් නොමැති බවය. ඉදිරි කන්නයට අවශ්‍ය තරම් පොහොර තොග රට තුළ තිබෙන බව ය. මේ අතර ජනාධිපතිවරයා කාබනික පොහොර ව්‍යාප්ත කිරීමේ වැඩසටහන වෙනුවෙන් දැඩිව පෙනී සිටී. කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ප්‍රධානින් ගිය අඟහරුවාදා ජනාධිපති කාර්යාලට කැඳවීය. ඇමැති ඩග්ලස් දේවානන්ද හා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරුද, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් ද එම සාකච්ඡාවට සහභාගී වූහ. ජනාධිපතිවරයා කීවේ රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණය හදිසි තීරණය ක් නොවන බවය. සමහරුන් පොහොර හිඟයක් මැවීමට උත්සාහ කළද, ලබන කන්නයට ඇති තරම් පොහොර රට තුළ තිබෙන බව ජනාධිපතිවරයා කීවේය.”‍ අපි මේක කරද්දි අභියෝග එනවා. ඒවා කාගෙන අපි ඉස්සරහට යන්න ඕන. සමහර වෙලාවට මේවා කරන්න යනකොට ගුටි කන්නත් වේවි. හැබැයි ගුටි කාගෙන හරි මේවා කරන්න ඕනෑ.”‍ ජනාධිපතිවරයා කිව්වේ කාබනික පොහොර භාවිතය කෙසේ හෝ කළ යුතු ය, යන දැඩි අධිෂ්ඨානයෙනි .


හාල්වලට එන අලු‍ත් ගැසට්ටුව


වෙළඳපොළේ  හාල් මිල මේ වන විට විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. රතු කැකුළු හා සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 130 කි. නාඩු කිලෝවක මිල රුපියල් 130 කි. සම්බා කිලෝවක් රුපියල් එකසිය අසූවකටත්, කීරි සම්බා දෙසියකටත් මෙරට අලෙවි වන බවට පාරිභෝගිකයෝ මැසිවිලි නගති. රුපියල් 100ට අඩුවෙන් හාල් කිලෝවක් ගත හැකි නම් ඒ ගත හැක්කේ බන්දුලගේ සතොසෙන් පමණි. හාල් මිල පාලනයට ආණ්ඩුව පහුගිය කාලයේ ගැසට් ගණනාවක් ගැසුවේය. ඒත් හාල් මිල අඩු වුණේ නැත. ආණ්ඩුවේ නිලධාරීහු ඇතැම් විට සහල් මෝල්වලට කඩා පැන්නහ. විපක්ෂය කීවේ ආණ්ඩුව ගැසට් ගහන වේගෙට අනුව ජෝතිපාලවත් කැසට් නොගැසූ බවය. කෙසේ හෝ සහල් මිල ප්‍රශ්නය නැවත වරක් මතුව තිබේ.


රජයේ ජීවන වියදම් කමිටුව ගිය බදාදා රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ දී රැස්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද මැති ඇමැතිවරු ද රජයේ නිලධාරීහු පිරිසක් ද ඊට සහභාගි වූහ. ජීවන වියදම් කමිටුවේ දී ද හාල් මිල ප්‍රශ්නය මතු විය. ඒ ගැන කතා කළේ ඇමැති බන්දුල ගුණවර්ධන ය. ඔහු සතොස ගැන ලොකු වර්ණනාවක් කළේය. වෙළඳපොළේ හාල් මිල ගණන් ගැන කී ඔහු රුපියල් සීයට අඩුවෙන් හාල් කිලෝවක් ගත හැක්කේ සතොසෙන් පමණක් බව ද සඳහන් කළේය. ඔහු ඉල්ලා සිටියේ වෙළඳපොළේ හාල් මිල පාලනය සඳහා පොන්නි සම්බා ටොන් ලක්ෂයක් ආනයනය කර සතොස මගින් අලෙවි කිරීමට අවස්ථාව දෙන ලෙසය. එහෙත් බන්දුලගේ යෝජනාවට ජනාධිපතිවරයා විරුද්ධ විය. ජනාධිපතිවරයා කීවේ සහල් ආනයනය කිරීම රජයේ මූලික ප්‍රතිපත්තියට විරුද්ධ බවය .”‍රට තුළ සහල් හිඟයක් නෑ ,අවශ්‍ය තරම් සහල් තියෙනවා. ඒවා වෙළඳපොළට⁣ නොදාන එකයි ප්‍රශ්නය.”‍

ජනාධිපතිවරයා කීවේය. ‘‘මෝල් හිමියන්ට තොග රැස්කරන්නන්ට ඕන විදියට ආණ්ඩුව නටවන්න දෙන්න බෑ, අපි මේකට පියවරක් ගන්න ඕන”‍ ජනාධිපතිවරයා දැඩිව කීවේය. බන්දුල ද කිවේ ජනාධිපතිවරයාගේ අදහස නිවැරදි බව ය. ඒ අනුව ජනාධිපතිවරයා බන්දුලට කිව්වේ මෝල් හිමියන් සතුව වී රැස්කරන්නන් සතුව තිබෙන සහල් හා වී තොග සතියක් තුළ පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි කරන ලෙස දන්වා ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙසය.


මුරුත්තෙට්ටුවේ හිමියෝ අගමැති හමුවෙති


මුරුත්තෙට්ටුවේ හිමියන් ආණ්ඩුව ගෙන එන්නට විශාල කාර්යභාරයක් කළ හිමි නමකි. එසේ වුවද උන් වහන්සේගේ පසුගිය කාලය පුරා ආණ්ඩුවටද තදබල විවේචන එල්ල කරන්නට පසුබට නොවූහ. මේ අතරේ මුරුත්තෙට්ටුවේ හිමියෝ ගිය බදාදා අරලියගහ මන්දිරයට ගොස් හෝ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ. ඒ වෘත්තීය සමිති කාරණයක් සම්බන්ධයෙනි. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපතිවරයාද වන උන්වහන්සේ අගමැතිවරයා හමුවූයේ හෙද හෙදියන්ට බලපාන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. සාකච්ඡාවට සෞඛ්‍ය ඇමැතිනිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද සහභාගි වූවාය. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් එස්.එච්. මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වූහ. එහිදී හෙද හෙදියන්ට ඇති ප්‍රශ්න ගැන කරුණු ඉදිරිපත් කළ මුරුත්තෙට්ටුවේ හිමියෝ රෝහල්වල පවතින හෙද හිඟයක් ගැන ද සඳහන් කළහ. අගමැතිවරයා සෞඛ්‍ය ඇමැතිවරියට උපදෙස් දුන්නේ විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නා ලෙසය.


මේ අතර රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවක් ගිය සදුදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණේ රජයේ සංවර්ධන වැඩ ගැන රජයේ මාධ්‍ය හරහා වැඩි ප්‍රචාරයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. ආණ්ඩුවේ මොරාල් එක නැග්ගීමද එහි එක් අරමුණක් විය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ආණ්ඩුවේ ඉහල පුටුවලට පත්වූ කීපදෙනෙක්ද ආණ්ඩුවේ මාධ්‍ය ආයතනවල ප්‍රධානීහු පිරිසක්ද ඊට සහභාගි වී සිටියහ. එහිදී ඇතිවූ කතාබහ හේතුවෙන් ආණ්ඩුවේ මොරාල් නැග්ගීම ගැන කතා කළ සමහරුන්ට මොරාල් බස්සාගෙන පිටව යන්නට සිදු වූ බවට ද වාර්තා වේ.
නගර අලංකරණයට වඩා කරන්න වැඩ තියෙනවා


කොරෝනා ආසාදනය වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවමත් සිටින්නේ රෝහල්ගතවය. ඇතැම් විට වෛද්‍යවරුන්ගේ උපදෙස් ද නොතකමින් සජිත් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සමග සාකච්ඡා කරමින් දේශපාලන කටයුතු ගැන අවධානය යොමු කළේය.


එක වරම රටේ නගර දෙසීයක් අලංකරණය කිරීම සඳහා ආණ්ඩුව තීරණය කර ඇති වගට පළ වූ මාධ්‍ය වාර්තා ගැන අවධානය යොමු කළ සජිත්, මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් තමන්ගේ දුරකතනයට සම්න්ධ කරගත්තේය.


“ආණ්ඩුව රට වටේම නගර දෙසීයක් අලංකාර කරන්න හදනවා කියලා මාධ්‍ය වාර්තා පළවෙනවා. මේකට රුපියල් මිලියන දෙදහසක් වියදම් කරන්න හදනවා. මේවා කරන්නේ ජනතාවගේ අනෙක් ප‍්‍රශ්න විසඳලා ඉවර කරලා ද කියන ප‍්‍රශ්නය තියෙනවා.” සජිත් කතාවට මුලපිරුවේය.


“අපි මේ අවස්ථාවේ මූලිකත්වය දෙන්න ඕන දේවල් ගැන අවධානය යොමු කරමු. ජනතාවට ඒ ගැන දැනුවත් කරමු.” තලතා අතුකෝරළ මන්ත‍්‍රීවරිය යෝජනා කළාය.


“ඔන්ලයින් අධ්‍යාපනය තවම ගමට ආගන්තුකයි. අපේ පැතිවල ළමයින්ට මේවාට සම්බන්ධ වෙන්න අන්තර්ජාල පහසුකම් නෑ. අනෙක් පැත්තෙන් ගොවි ජනතාවගේ ජීවිත අසරණ වෙලා. පොහොර නැතිව ජනතාව අමාරුවේ වැටිලා ඉන්නේ.” රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


“අපේ පැතිවල තේ වගාකරුවා අසරණයි. දැන් දලු කහ පාටට හැරිලා. තවත් ටික දවසක් ගියොත් කුඩා තේ වතු හිමියන් පාරට ඇදගෙන වැටෙනවා. මේ අය කාටවත් අත පාලා ජීවත් වුණ අය නෙමෙයි. හැබැයි කාබනික පොහොර ගැන කියලා ප‍්‍රචාරක ව්‍යාපෘති කරන්න නම් ආණ්ඩුවට මුදල් වෙන් කරන්න පුළුවන්.” මනූෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරක් අනාවරණය කළේය.


“පොහොර ප‍්‍රශ්නය ගැන නායකතුමාත් වැඩි අවධානයක් යොමු කළොත් හොඳයි.” හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා යෝජනා කළේය.


“ආණ්ඩුව කාබනික පොහොර ගේනවා කියලා චීනයේ තියෙන කුණු කන්දක් ලංකාවට ගේන්න හදනවා. කොහොම හරි ලංකාව ආසියාවේ කසළ කන්ද කරලා තමයි රාජපක්ෂ පවුල පස්ස බලන්නේ.” එස්.එම්. මරික්කාර් මන්ත‍්‍රීවරයා කීවේය.


“ගොවීන් පොහොර ඉල්ලමින් ගොවිජන මධ්‍යස්ථාන ඉස්සරහා පෝළිම් හැදිලා බලාගෙන ඉන්නවා. අනෙක් පැත්තෙන් කළු කඩ මිලට පොහොර විකුණනවා. පොහොර ගන්න ගිහිල්ලා මිනිස්සු පොහොර කොරෝනා පොකුරකුත් හදාගෙන තමයි නවතින්නේ.” නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා කීවේ සියල්ලෝම සිනා ගන්වමිනි.
“මම මේ ගැන නිවේදනයක් නිකුත් කරන්නම්. ගොවියා අනාථ කරන අතරේ සෞඛ්‍ය අංශයේ සුව විරුවන්ගේ ජීවිතත් අවදානමට ලක් කරපු ආණ්ඩුව ඒ අයගේ ඉල්ලීම්වලටත් ඇහුම්කන් නොදෙන බව තමයි අපිට ආරංචි.” සජිත් කීවේය.


“මේ ආණ්ඩුව බලයට ආපු ගමන් කැලේ කැපුවා. දැන් මුහුදත් විනාශ කරනවා.” ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා කීවේය.


“අපරාධ නීතිය යටතේ මේ නැවේ කපිතාන්වරයාට නඩු පැවරිය හැකියි. ඒත් ආණ්ඩුව ඒ ගැන කිසිම දෙයක් කරන බවක් පේන්න නැහැ.” හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා ද කතාවට එක්විය.


“සාගර පරිසරය දූෂණය සම්බන්ධයෙන් තියෙන නීති මීට වඩා තද වෙන්න ඕනෑ. මේ ආණ්ඩුව ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා කියලා කිව්වට නාවික නීති සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු කරලා නැහැ. කොමිස් හම්බ කරන්න පුළුවන් වරායන් ගැන විතරයි අවධානය යොමු කරලා තියෙන්නේ.” සජිත් කීවේ චෝදනාත්මක ස්වරයෙනි.


“මේ නීති තද කිරීම ගැන පක්ෂයක් විදියට අපි අවධානය යොමු කරමු. පාර්ලිමේන්තුවේදීත් අපි මේ ගැන කතා කරමු.” රංජිත් මද්දුමබණ්ඩාර මන්ත‍්‍රීවරයා යෝජනා කළේය.


සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුද ඇතැයි පසුගිය දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ පුවත් පළවිය.
විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප‍්‍රධානත්වයෙන් මේ සතියේ රැස් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ ගැන අවධානය යොමු විය.


“විවිධ තැන්වල බොරු ප‍්‍රවෘත්ති පළ කර තියෙනවා. හැමදාම බොරු කියන්න ගියාම මිනිස්සු සමහර දේවල් ඇත්ත කියලා හිතනවා. මේ නිසා මේවාට අපි උත්තර දෙන්න ඕනෑ.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
“ඒක හරි. මේ බොරු ප‍්‍රචාරක ව්‍යාපෘතිය හෙළාදැකීමටත්, සජිත් ප්‍රේමදාස මහතාට මන්ත‍්‍රී කණ්ඩායමේ සහාය පළ කිරීමටත් අපි යෝජනාවක් සම්මත කරමු.” මන්ත‍්‍රීවරයෙක් යෝජනා කළේය.
“එක්කෙනෙක් යෝජනා කරලා, තව එක්කෙනෙක් සම්මත කරන යෝජනාවක් ගෙනැත් වැඩක් නැහැ. මෙතැන පක්ෂ නායකයෝ හැමෝම ඉන්නවා. අපි පක්ෂ නායකයින් සියලු‍ දෙනාගේම යෝජනාවක් විදියට මේක ගෙනෙමු.” මනූෂ නානායක්කාර සහ රාජිත සේනාරත්න දෙදෙනාම කළ යෝජනාවට කාගේත් අනුමැතිය හිමි විය.


“ව්‍යාජ මාධ්‍ය ප‍්‍රචාර හෙළාදැකීමටත්, සමගි ජන බලවේගයේ අනාගත ජයග‍්‍රහණය සඳහා සජිත් ප්‍රේමදාස මැතිතුමාට පූර්ණ විශ්වාසය පළ කිරීමටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම යෝජනා කර සිටිනවා. ජනතාව අතර ප‍්‍රතික්ෂේප වෙමින් තිබෙන ආණ්ඩුව සහ ආණ්ඩුව රැක ගන්නා ඩීල් දේශපාලනය මේ පිටුපස සිටින බවත්, මේ කුමන්ත‍්‍රණය පරාජය කරන බවටත් මන්ත‍්‍රී කණ්ඩායම යෝජනා කරයි.” යනුවෙන් සඳහන් යෝජනාවක් එහිදී සම්මත විය.


සජිත්ගේ සෞඛ්‍ය තත්ත්වය


සජිත්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්වී ඇතත් වෛද්‍යවරුන් නිවසට යාමට අවසර දුන්නේ නැත.
“මට පුළුවන් ඉක්මනට යන්න අවශ්‍යයි. ජනතාව වෙනුවෙන් කැප විය යුතු අවස්ථාවක් මේ.” සජිත් වෛද්‍යවරුන්ට පැවැසුවේය.


එහෙත් වෛද්‍යවරුන් කලින් සජිත්ට නිවසට යාමට අවසර දුන්නේ නැත.


“මම හුස්ම වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටින විට තමයි අසනීප වුණේ. මම රෝහලට ඇතුළත් වූ දිනයට පසු දිනයේදීත් රෝහල්වලට වෛද්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන් සංවිධානය කර තිබුණා. මම සුව වී ගිය වහාම නතර කළ තැනින් වැඩ පටන් ගන්නවා.” සජිත් වෛද්‍යවරුන්ට කීවේය.


ඒ අනුව සජිත් සුව වී ආ විගසම ‘විපක්ෂයෙන් හුස්මක්’ නැවත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ද සකසා තිබේ.


කොරෝනා මැද්දේ රුසියාවට ගිය ඇමති විමල් ලංකාවට තෑගි ගෙනෙයි


පසුගිය සතියේ රුසියාවේ පීටර්ස්බර්ග් නගරයේ පැවැති ‘24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුවට‘ (SPIEF 2021) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් සහභාගී වූහ. මුදල් හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් විමලසූරිය, කර්මාන්ත අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු මෙන්ම රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා ද එම සමුළු නියෝජිත පිරිසට අයත් ය.


මෙම සිව් දින සමුළුවෙහි සමුළු සැසිවාරයන්ට සිය උපරිම දායකත්වය සැපයූ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික පිරිසට ඒහා සමගාමීව රුසියානු රජයේ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා දෙකකට ද අවස්ථාව උදාවිය. පළමුවැන්න පැවතියේ රුසියානු රජයේ කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් සමගිනි.


‘‘ඉතා උසස් තත්වයෙන් යුත් ඛනිජවැලි නිධි අප රට සතු වෙනවා. මා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සැලසුම් කර ඇත්තේ ඛනිජවැලි අමුද්‍රව්‍ය ලෙස අපනයනය නවතා, ඛනිජවැලි ආශ්‍රිත වටිනාකම් එකතු කළ කර්මාන්ත ශ්‍රි ලංකාව තුළ ඇරඹීමටයි. ලොව ඛනිජවැලි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළම තාක්ෂණය ඔබ රට සතුයි. මම කැමතියි මේ අවස්ථාවේ රුසියන් රජයට ශ්‍රී ලංකාව තුළ ඛනිජවැලි ආශ්‍රිත වටිනාකම් එකතු කළ ව්‍යාපාර ඇරඹීම සඳහා පැමිණෙන ලෙස ඇරයුම් කිරීමට.”


ඉහත සාකච්ඡාවේ දී ඇමති වීරවංශ මහතා එසේ සඳහන් කළේ මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම් පිළිබඳව ද පැහැදිලි කරමිනි.


‘‘එහි දී රුසියානු ආයෝජකයන්ට අවශ්‍ය සියලු


පහසුකම් සපුරා දීමට අපට මැදිහත් විය හැකියි”


මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ද ඉහත සාකච්ඡාවේ දී තහවුරුවක් ලබා දෙන ලද්දේ එසේය.
එම කරුණ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකාව තුළ බර යන්ත්‍රෝපකරණ නිෂ්පාදනාගාරයක් අරඹා නිදහස් වෙළඳ ගිවිසුම් ද යොදා ගනිමින් එම නිෂ්පාදන ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු රටවලට අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
තේ, රබර් වැනි අපනයනයන්ට අමතරව ශ්‍රී ලංකාවෙන් රුසියාවට සිදු කෙරෙන අපනයන ප්‍රමාණය වැඩි කර ගැනීමට ගත හැකි පියවර පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. 


ශ්‍රී ලංකාව තුළ මේ වනවිට දේශීය නිෂ්පාදකයන් බලගැන්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා‘ නමැති මෙම වැඩපිළිවෙළ යටතේ දේශීය නිෂ්පාදකයන්ගේ ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන සඳහා අපි කර්මාන්ත අමාත්‍යාංශය ලෙස ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා‘ සන්නාමය ලබා දෙනවා. එම ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන රුසියාවට අපනයනය කිරීමට අපට පියවර ගත හැකියි”


එහිදී වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


ඒ අනුව මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ රුසියානු ඉහළ පෙළේ වෙළෙඳ ව්‍යාපාරිකයන් පිරිසක් වෙත ප්‍රදර්ශනය කර ඔවුන්ගේ ඇණවුම් ලබා ගැනීම මසක් ඇතුළත සිදු කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූහ.

 

 

-ගජබා-