ඡන්දයට කොමිසම කොළ එළිය දල්වයි


කොරෝනා හේතුවෙන් මාස දෙකක් පමණ තිස්සේ නිහැඬියාවක තිබුණු දේශපාලන කරළිය යළිත් ක්‍රමයෙන් ගිනියම් වෙමින් තිබේ. ජුනි 20 ට කල්ගිය මහමැතිවරණය එදිනට නොපැවැත්වෙන බව ස්ථිරය. එහෙත් මැතිවරණය ජූලි අග හෝ අගෝස්තු මුල පවත්වන්නට තියෙන ඉඩකඩ වැඩිය. 


මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ගිය බ්‍රහස්පතින්දා (28) රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මියට දැනුම් දී තිබුණේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සූදානමින් සිටින ලෙසය. මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ තීන්දුව ලැබුණු විගස මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බැවින් ඒ සමගම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කරන ලෙස රජයේ මුද්‍රණාලයට දන්වා තිබිණි. වෙනදාට වඩා මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සංකීර්ණ වනු ඇත්තේ කොරෝනා හේතුවෙනි. කොරෝනා වසංගතයත් සමඟ ඇතිව තිබෙන තත්ත්වයට මුහුණ දීමට හැකිවන ලෙස මෙවර ඡන්දය පැවැත්වීම සිදුකළයුතු වේ. ඒ නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය බෙදාහැරීම පමණක් නොව අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන තෙක්ම වෙනම සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම අනුගමනය කිරීමට සිදුවනු ඇත.


තොණ්ඩමන්ගේ සමුගැනීම


ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයා මෙන්ම ආණ්ඩුවේ ඇමැතිවරයෙකුද වූ ආරුමුගම් කොණ්ඩමන් මහතා ගිය බදාදා රාත්‍රියේ දිවියෙන් සමුගත්තේ දේශපාලන කරළියම කම්පනයට පත් කරමිනි. වතුකරයේ නායකයකු වූ තොණ්ඩමන් මියයන විට පසුවූයේ 55 වැනි වියේය. 


අවසන්වතාවට තොණ්ඩමන් මහින්දට කීදේ


වතුකරයේ ජනතාවගේ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආරුමුගම් තොණ්ඩමන් ඇමැතිවරයා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ පිරිසකට අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට අවශ්‍ය බව ගිය 25 වැනිදා දැනුම් දී තිබිණි. ඒ වනවිට අගමැති මහින්ද සිටියේ මැදමුලන නිවසේය. අගමැතිවරයාගේ පෞද්ගලික ලේකම් ශානිකා ගොපල්ලව අගමැතිවරයාට දුරකථනයෙන් දැනුම් දුන්නේ තොණ්ඩමන් ඇමැතිවරයාට අගමැතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටින බවය. මම හෙට කොළඹ එනවා. දිනපොත බලලා වෙලාවක් වෙන්කරන්න යැයි අගමැතිවරයා කීවේය. ශානිකා ගොපල්ලව කීවේ තොණ්ඩමන් ඇමැතිතුමයි සෙන්දිල් තොණ්ඩමන් හා ජීවන් තොණ්ඩමන්ද එන බවය. කමක්නෑ හෙට හවස එන්න කියන්න. යැයි මහින්ද කීවේය. 


තොන්ඩමන් අැමැතිවරයා තම එකම පුතු ජීවන් තොන්ඩමන් ද කැටුව පසුදා විජේරාම නිල නිවසට පැමිණියේය. සේන්දිල් තොන්ඩමන් සහ කම්කරු කොංග්‍රසයෙ නියෝජිතයෝ කිහිප දෙනෙක්ද මේ හමුවට එක්ව සිටියහ. එළියට වී විනාඩි 10 ක් පමණ එහි සිටි පිරිස සමග කතාබහ කරමින් සිටි තොන්ඩමන් හවස 4.50 ට පමණ අගමැතිවරයා හමුවිය. ​තොන්ඩමන් පැමිණ සිටියේ වතුකම්කරු ජනතාවට බලපාන ප්‍රධාන ප්‍රශ්න තුනකට අදාළ ලිපිගොනුවක්ද රැගෙනය. ඉන් පළමු ප්‍රශ්නය වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1000ක් කිරීමය. ‘‘සර් වතුකම්කරු වැටුප රුපියල් 1000ක් කරන්න කියන ඉල්ලීම කාලයක් තිස්සේ තියෙනවා. ඔබතුමා ඒක ඉටුකරලා දෙන්න ඕනෑ. තොන්ඩමන් කිවේ ලිපි ගොනුව අගමැතිවරයා අතට බාර දෙමිනි. අගමැතිතුමා ‘‘අපි ඒක අනිවාර්යයෙන්ම ඉටු කරනවා. ඒක ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේදී දුන්න පොරොන්දුවක් නේ. අපි එ්ක කරනවා’’. අගමැතිවරයා කිවේය. තොන්ඩමන්ගේ ඊළඟ ප්‍රශ්න දෙක වතුකම්කරුවන්ට සමහර වතුවලින් ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ් නොගෙවීම හා වතු ජනතාවගේ නිවාස ඉදිකිරීමය. සර් සමහර වතුවල ඊ.ටී.එෆ්, ඊ.පී.එෆ් ගෙවන්නේ නෑ. ඔබතුමා ඒකත් විසඳලා දෙන්න මැදිහත් වෙන්න. වතුජනතාවගේ නිවාස ප්‍රශ්නයත් බරපතළයි. ඔවුන්ට අලුත් නිවාස හදලා දෙන්න අවශ්‍යයි. මම මේ නිවාස සංවර්ධනය වෙනුවෙන් කැබිනට් පේපර් එකකුත් ලෑස්ති කරල තියෙන්නේ. හෙට ඒකත් දාන්න. තොන්ඩමන් කීවේ වතු ජනතාවගේ ප්‍රශ්න ගැටලු ගැන දිර්ඝ පැහැදිලි කිරීමක්ද කරමිනි. හෙට මේක දාමු ඔබතුමාත් ඉන්නවානෙ අපි දෙන්නට මේක කතා කරලා කැබිනට් අනුමැතිය ගනිමු. අගමැතිවරයා කිවේ තොන්ඩමන් දුන් ලිපිගොනුවද හොඳින් පරික්‍ෂා කරමිනි.


විනාඩි 40 කට පමණ පසුව තොන්ඩමන් අමැතිවරයා අගමැතිවරයාට සමුදී විජේරාම නිල නිවසින් පිටව ගියේ පසුදින දහවල් පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මේ ප්‍රශ්න ටික සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීමේ අපේක්‍ෂාවෙනි. එහෙත් එය අගමැතිවරයා හමුවීමේ අවසන් අවස්ථාව බව තොන්ඩමන් ඇමැතිවරයා නොදැන සිටියේය. එදින උදේ ඔහු ඉන්දිය මහකොමසාරිස්වරයාද හමුවී සාකච්ඡා කර තිබුණේ වතු කම්කරු ප්‍රශ්න සම්බන්ධයෙනි. විජේරාම නිල නිවසින් පිටව ගොස් පැය දෙකකට තුනකට පමණ පසුව ලැබුණ දුරකථන ඇමතුමින් අගමැතිවරයාද මවිතයට පත්විය. ‘‘සර් තොන්ඩමන් ඇමැතිතුමා මේ දැන් අන්ත්‍රා වුණා.’’ සෙන්දිල් තොන්ඩමන් අගමැතිවරයාට ඇමතුමක් දෙමින් කිවේය. එය අදහා ගැනීමට ද අපහසු විය. ‘‘මොනවා මේ දැන් ටිකකට කලින් මාව හමුවෙලා ගිය මනුස්සයානේ’’ අගමැතිවරයාට එක්වරම කියැවුණේ එබැවිනි. තොන්ඩමන්ගේ දේහය තලංගම රෝහලට රැගෙන ගොස් ඇති බවද සෙන්දිල් කිවේය. මම මේ දැන්ම එනවා අගමැතිවරයා කිවේ තලංගම රෝහලට යාමට සුදානම් වෙමිනි.


ඒ අනුව අගමැතිවරයා රාත්‍රියේම තලංගම රෝහලට ගියේය. අගමැතිවරයා යනවිටත් මැති අමතිවරු රැසක්ම තොන්ඩමන්ගේ හදිසි අභාවය ආරංචි වී රෝහලට පැමිණ සිටියහ. තොන්ඩමන්ට බත්තරමුල්ල නිවසෙදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මියගොස් සිටියේය. ආරංචිය ලැබුණ විගස. පක්‍ෂ විපක්‍ෂ මැති අමැතිවරුන් විශාල පිරිසක් රෝහලට පැමිණියේ තම දේශපාලන මිතුරාගේ හදිසි අභාවය අදහාගත නොහැකිවය. එතන සිට ජනාධිපතිවරයාද දැනුවත් කළ අගමැතිවරයා තොන්ඩමන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට තීරණය කර ඇතැයි පවුලේ ඥාතින්ට දැන්විය. දේහය එවලේම මල්ශාලාවට යැවීමටද කටයුතු සැලැස්වීමෙන් අනතුරුව අගමැතිවරයා රෝහලින් පිටව ගියේය.


​තොන්ඩමන්ගේ අවසන් කැබිනට් පත්‍රිකාව සහිත කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි බදාදා දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. තොන්ඩමන් අමැතිවරයාගේ අවසන් කටයුතු පිළිබඳව සාකච්ඡාවක් තිබූ බැවින් ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමට පැමිණියේ තරමක් ප්‍රමාද වෙලාය. වෙනදා කැබිනට් රැස්වීමට එන තොන්ඩමන් එදින නොසිටියේය එහෙත් ඔහු විසින් ඉදිරිපත් කරන ලද අවසන් කැබිනට් පත්‍රිකාව රැස්වීමට රැගෙනවිත් තිබිණි. ආගම සිහිපත් කිරීමෙන් අනතුරුව පළමුවෙන්ම සිදුවූයේ තොන්ඩමන් ඇමැතිවරයා සිහිකර විනාඩියක නිහඬතාව පළකිරීමය. කැබිනට් පත්‍රිකා ගැන සාකච්ඡා කිරීමට මත්තෙන් කතාබහට ලක්වුනේද තොන්ඩමන් ඇමැතිවරයාගේ හදිසි අභාවය ගැනය. ඊයේ හැන්දෑවෙත් තොන්ඩමන් ඇමැතිතුමා ඇවිත් මාව හමුවුවා. හමුවෙලා වතුකරයේ ජනතාවගේ ගැටලු ගැන කතා කළා. මම කිව්වා අද කැබිනට් එකේදී අපි දෙන්නම ඒ ගැන කතා කරමු කියලා, එහෙම කියලා ගිහින් පැය දෙක තුනක්වත් ගියේ නෑ ඔහු නැතිවෙලා කියලා පණිවිඩය ආවා. අගමැතිවරයා කීවේ කතාවට ආරම්භයක් දෙමිනි. ඔහු වතුකරයේ ජනතාව වෙනුවෙන් පෙනි සිටියා විතරක් නෙමෙයි. අපටත් හැමදාම හයියක් වුණා. උතුරේ ත්‍රස්තවාදයට වතුකරයේ තරුණ තරුණියන් යොමු වෙන්න ඔහු ඉඩදුන්නේ නැහැ. ඔහු ත්‍රස්තවාදයට එරෙහිව අපිත් එක්ක හිටගත්තා අගමැති මහින්ද කිවේ තොන්ඩමන්ගේ සේවය අගය කරමිනි. අනතුරුව ඇමැතිවරු කිහිප දෙනෙක්ම තොන්ඩමන් ගැන අදහස් ඉදිරිපත් කරන්නට වූහ. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කීවේ තමා මීට සති කිහිපයකට පෙර තොන්ඩමන් සමග කොටගලට ගොස් නුවරඑළියට අලුතින් හදන්න යන විශ්ව විද්‍යාලය සඳහා ඉඩමක් බැලූ බවය. එහිදී තොන්ඩමන් ඉඩමක්ද පෙන්වා ඔහු යටතේ පවතින ආයතනයක්ද ඊට ලබාදීමට පොරොන්දු වූ බව බන්දුල කිවේය.


ඊළගට සාකච්ඡාවට ගැනුණේ හාල් ප්‍රශ්නය ගැනය. ඇතැම් හාල්වර්ගවල වෙළෙඳපොළේ පවතින හිඟය හා මිල ගණන් පිළිබඳව පවතින අර්බුදයද එහිදී සාකච්ඡාවට ලක්විය. ජනාධිපතිවරයා කීවේ වී මොල් හිමියන් සමගද එදින සාකච්ඡාවක් පැවැත්වෙන බැවින් සහල් මිල සම්බන්ධයෙන් එහිදී තිරණයක් ගත හැකි බවය.


මහින්ද මැති සභයට පැමිණ වසර 50 යි.


අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ගිය බදාදාට (27) වසර 50 ක් සම්පුර්ණ විය. 1970 මැයි මස 26 වැනිදා පැවැති මහමැතිවරණයේදී බෙලිඅත්ත ආසනයට සමගි පෙරමුණෙන් තරග කළ මහින්ද පාර්ලිමේන්තුවට තේරීපත් වුයේ ළා බාලම මන්ත්‍රීවරයා වශයෙනි. ජව සම්පන්න තරුණයකු වූ මහින්ද සමග දේශපාලන පොරපිටියේ විප්ලව කාරී තවත් චරිත දෙකක් එම මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ආවේය. එක්කෙනෙක් පසුව අගමැතිවූ දිමු ජයරත්නය අනෙක් කෙනා අදට දේශපාලනයේ සිටින වාසුදේව නානායක්කාරය. මහින්ද, දිමූ, වාසූ තිදෙනාම එකල පාර්ලිමේන්තුව තුළ විප්ලවකාරී මන්ත්‍රිවරුන් වුවා පමණක් නොව පසුකාලීනවද දේශපාලන පොරපිටියේ දස්කම් දැක්වූ චරිත බවට පත්වූහ. 70 මැතිවරණයෙන් ළාබාලම මන්ත්‍රිවරයා ලෙස පාර්ලිමේන්තුවට ආ මහින්ද ඇමැති විපක්‍ෂ නායක අගමැති ජනාධිපති යන ප්‍රධාන තනතුරු සියල්ලම හෙබවූ නායකයකු පමණක් නොව තිස්වසරක් පවැති ත්‍රස්තවාදය අවසන් කිරීමේ සටනට නායකත්වය දුන් දේශපාලන නායකයා ලෙසද ජනතාව සිත්සතන් තුළ පැළපදියම් වී ඇත.


මහින්ද පාර්ලිමේන්තුවට පැමිණ 50 වසරක් පිරුණු ගිය බදාදා උදේ පාන්දර මහින්දට සුභ පතමින් ඉන්දිය අගමැති නරේද්‍ර මෝදි දුරකථනයෙන් කතා කළේය. දුරකථන සංවාදය විනාඩි 20 ක් තිස්සේ පැවතියේ කොවිඩ් වසංගතය හා වත්මන් දේශපාලන තත්ත්වය ගැනද කතාබහට ලක්කරමිනි. ආරුමුගම් තොන්ඩමන් ඇමැතිවරයාගේ හදිසි අභාවය ගැනද අගමැතිවරයා වෙත සිය ශෝකය පළකරන්නට ඉන්දිය අගමැතිවරයා අමතක නොකළේය. බංගලාදේශ අගමැතිනි ෂෙයික් හෂිනා ඇතුළු තවත් රාජ්‍ය නායකයන් කිහිපදෙනකුද එදින මහින්දට කතා කළේ සුභ පතමිනි.


​සංචාරක කර්මාන්තයට පණ දීමේ සුදානම.


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගිය අඟහරුවාදා සාකච්ඡාවක් කැදවා තිබුණේ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවිම පිලිබඳව සාකච්ඡා කිරීමේ අරමුණෙනි. කොරෝනා වසංගතය නිසා අනෙකුත් ක්ෂේත්‍රවලට මෙන්ම සංචාරක ක්ෂේත්‍රයටද සිදුව ඇති පාඩුව මෙතෙක් ගණන් බලා නැත. ඒ තත්ත්වය තුළ සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සඳහා ගත යුතු තීන්දු තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එම හමුවේ අරමුණ විය. ඊට ප්‍රසන්න රනතුංග ඇමැතිවරයා ද ඔහු යටතේ ඇති ආයතනවල ප්‍රධානීහු ඇතුළු නිලධාරීද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහද සහභාගි වූහ. ප්‍රසන්න පැමිණ සිටියෙ සංචාරක කේ‍ෂත්‍රය සම්බන්ධයෙන් සංචාරක කර්මාන්තයට සම්බන්ධ පාර්ශව ගෙන තිබූ යෝජනා ඇතුළත් ලිපි ගොනුවක්ද රැගෙනය. ‘‘කොරෝනා’’ වලින් ලොකුම හානියක් වෙච්ච ක්ෂේත්‍රය තමයි සංචාරක කර්මාන්තය. අපි මේ වෙලාවේ අලුතින් පටන් ගන්න ඕන. ජනාධිපතිවරයා කීවේ සාකච්ඡාවට ආරම්භයක් දෙමිනි. පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණා. ඔබතුමා ජනාධිපති විදියට පත්වුණාම යන්තම් ඒක ඔළුව උස්සගෙන එනකොට තමයි කොරෝනා ඇවිත් ඒක විනාශ කළේ. ප්‍රසන්න රනතුංග කිවේය. අපි දැන් රට විවෘත කරන්න යන්නේ හැබැයි අපි එ්ක හරි පරිස්සමින් කරන්න ඕන. ජනාධිපතිවරයා කීවේ දිගු පැහැදිලි කිරීමක්ද කරමිනි. අනතුරුව කතා කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහය. ඒක ඇත්ත සර් දැන් සමාජයෙන් කොවිඩ් අය හම්බ වෙන්නේ නෑ. වෙන්ව හඳුනාගත් කණ්ඩායම්වලින් තමයි දැන් රෝගීන් හමු වෙන්නේ. මේ විදිහට සති දෙක තුනක් පරිස්සම් වුණොත් අපට අගෝස්තු 1 වැනිදා විතර වෙනකොට එයාර්පෝට් එක අරින්න පුළුවන් වෙයි. අනිල් ජාසිංහ කීවේ අලුත් බලාපොරොත්තුවක් ඇති කරමිනි.