ගෙවීගිය සතිය තුළ රට පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම අගමැතිවරයා අතින් සිදු කෙරිණ. එහිදී හංවැල්ල ප්‍රදේශයේ කඩ කාමර 50ක් හා පොදු වෙෙළඳ සංකීර්ණය, ක්‍රීඩාපිටිය මෙන්ම අලුතින් කාපට් කළ මාර්ග ජනතා අයිතියට පැවරිණ.
සාලාව පිපුරුමට අදාළ ඉතිරි වැඩ කටයුතු නිම කිරීමේ පදනම ද එහිදී දැමිණ. ඒ කටයුතු නිම කිරීමට ඇමැති චම්පික රණවක විශාල වගකීම් ප්‍රමාණයක් ඉටුකර තිබිණ.
අනතුරුව බදාදා අනුරාධපුරයට ගිය අගමැතිවරයා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දෙවැනි ප්‍රදර්ශනය විවෘත කළ අතර ප්‍රදර්ශන කුටි 360කට අධික ප්‍රමාණයක් ඊට අන්තර්ගත විණ.
අනතුරුව මෙරට නිපදවෙන එළවළු සහ පලතුරු ඇතුළු බෝග ආරක්ෂිත ගබඩා පහසුකම් නැතිකමින් විනාශ වී යාම වැළැක්වීම සඳහා නවීන තාක්ෂණයට අනුව සැකසූ බෝග සුරැකීමේ අපනයන මධ්‍යස්ථානවල පළමුවැන්න ද එහිදී විවෘත විය. ඇමති දයා ගමගේ යටතේ එය ඉදිවූ අතර ලක්ෂ 300ක් ඒ සඳහා වැය කර තිබිණ.
උත්සව සඳහා මංගල, කබීර්, මලික්, හැරිසන්, චන්ද්‍රානි, රුවන්, ඉරාන් ඇතුළු මැති ඇමැතිවරු රැසක් එක්වූහ.
එදින එකී සියලු මැති ඇමැතිවරුන් අනුරාධපුරයේ රාත්‍රිය ගත කළ අතර අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදයේම ගුවනින් කොළඹට පැමිණියේ මාධ්‍යකරුවන් ඇතුළු මැති ඇමතිවරුන් හමුවීමට හා වජිර අබේවර්ධන රුපියල් දස ලක්ෂ 5583ක වියදමින් ඉදිකළ තට්ටු විස්සකින් යුත් නව අමාත්‍යංශ හා කොළඹ දිසා පරිපාලන මධ්‍යස්ථානය විවෘත කිරීමට යාමටය.
“කෝ, අපේ ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකතුමා තාම රට ද?” අරලියගහ මැදුරට ඇතුළු වෙන ගමන් අගමැතිවරයා විමසීය.
“ආ.. සභානායකතුමාගේ පුතා බැරිස්ටර් විභාගය පාස් වෙච්ච උපාධි ප්‍රදානෝත්සවයට මුළු පවුලම එංගලන්තේ ගිහිල්ලා. පාර්ලිමේන්තු කටයුතුත් ඔක්කොම මට පවරා ගියාට එහේ ඉඳගෙනත් ඇමතුම් දිදී පාර්ලිමේන්තු කටයුතු කිරිඇල්ල මැතිතුමා අධීක්ෂණය කළා.”, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක පිළිතුරු දුන්නේය.
“එදා එජාපෙ කණ්ඩායම් රැස්වීමේදී මොකද වුණේ? මට එන්න බැරි වුණා කියලත් කිරිඇල්ල ඇමැතිතුමා කිව්වා.”, ගයන්ත වැඩිදුරටත් කීවේය.
“එදා පූර්ව සැලසුමක් මත යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කළ බව පැහැදිලියි. පාර්ශ්වවලට බෙදෙන්නේ නැතිව, ගැටුම් ඇති කර නොගෙන තත්ත්වය පාලනය කර ගන්න අගමැතිතුමා වගේම සජිත් ඇමැතිතුමාත් ක්‍රියා කිරීම ඉතා වටිනවා.
“එදා එක් කෙනෙකු කතා කර වාඩි වෙන විට තව එක් කෙනෙකු නැගිට රැල්ලක් හැටියට යවන්න හැදුවත් ඒක දෙපැත්තටම සමබර විදියටයි ගියේ. අන්තිමට ජයවික්‍රම ඇමැතිතුමා හොඳ දෙයක් කිව්වා.
“එජාප එකඟතාවෙන් පසු එජාපෙ නායකයින් එක්කත් කතා කර අවසන් තීන්දුව ගන්න යෝජනා වීම නායකතුමා වගේම සජිත් පාර්ශ්වයත් පිළිගැනීම ඉතා වටිනවා. පක්ෂ සභාපති හැටියට ඇමැති කබීර් පක්ෂ එකඟත්වයකින් තොරව පූර්ව නිගමනයකට ඇවිත් සියලු පාර්ශ්ව එක්ක කතා කරන්නෙත් නැතුව නම් යෝජනා කිරීම නිසයි මේ සුළු ප්‍රශ්නය හරි ඇති වුණේ. ඒක ගැටුමක් නොවී අවසන් වීම ජනාධිපතිවරණ ජයග්‍රහණයේ මූලික පදනම වුණා.”, එජාප උපදේශකයෙක් විග්‍රහ කළේය.
“සංධානය ඕනැද? නැද්ද? එජාපෙට තනියම දිනන්න පුළුවන්ද? කියා මා ඇහුවම හැමදෙනාම පිළිගත්තා සන්ධානය අවශ්‍යයි කියලා”, අගමැතිවරයා කීය.
“සංධානය හැදුවම එජාප බලය හෑල්ලු වේවි කියා සමහරුන්ට තිබෙන භය සාධාරණයි”, චමින්ද විජේසිරි ප්‍රශ්න කළේ අගමැතිගෙනි.
“සන්ධානය හැදුනම සියයට 50 යි, + 1 බලය එජාපයට ලැබෙනවා. අනික නායකත්වය තිබෙන්නෙ අපට නම් අනවශ්‍ය බිය ඇති කර ගන්න ඕනැ නැහැ.” අගමැතිවරයා පැහැදිලි කළේය.
“දැන් ඔය සන්ධානේ ලේකම්කම කාටද යන්නේ? රාජිත ඇමතිතුමාද?” හේෂා විතානගේ ප්‍රශ්න කළේ ද අගමැතිගෙනි.
“සන්ධානේ හදන්න මූලික වුණේ රාජිතයි. ලේකම්කම ගැන මට ප්‍රශ්නයක් නැහැ. බහුතර පක්ෂ නායකයින් කැමති කෙනාට ලේකම් වෙන්න පුළුවනි. ඒක රාජිතද, වෙන කෙනෙකුද අප ප්‍රශ්නයක් කර ගන්න ඕන නැහැ. මොකද මේ ඔක්කොම එජාපෙ අපේම අයයි.”, අගමැතිවරයා තවදුරටත් පැහැදිලි කළේය.
“අනුරාධපුරයේදි අගමැතිතුමයි, මංගල-මලික්-කබීර්-ඉරාන්-රුවන් ඇතුළු කට්ටිය එකටයි හිටියේ කියා ආරංචියි. එතන්දි මොනවා කතා කර ගත්තද? දන්නේ නැහැනේ?” ගයන්ත කරුණාතිලක විමසුවේ දැඩි සිනහවක් ද පාමිනි.
“නැහැ. අප රෑ හම්බ වෙලා ඩිනර් ගත්තා. එච්චරයි. කෑම කනවිට කෑමවලට අවධානය යොමු කරනවා මිසක් කතා කරනවා හෝ වෙන දෙයක් හෝ නොකළ යුතුයි කියා බෞද්ධ දර්ශනයේ තිබෙන පිළිවෙත අප හැමෝම ඊයේ අනුගමනය කළා”, අගමැතිතුමා එසේ කී විට සියලු දෙනාම සිනාසුනහ.
“ලංකාවේ නිපදවෙන එළවළු - පලතුරු හා වෙනත් බෝගවලින් සියයට 35ක් නිසි ගබඩා පහසුකම් නැතිකමින් විනාශ වෙනවා. ඒකට පිළියම හැටියට නවීන තාක්ෂණික පහසුකම් හා ශීතාගාර එක්ක බෝග සුරැකීමේ අපනයන මධ්‍යස්ථානවල පළමුවැන්න අනුරාධපුරයේ දී විවෘත කිරීම ඉතා වටිනවා. ඊළඟට දඹුල්ලෙයි, වැලිමඩයි ඇතුළුව රජයේ වගේම පුද්ගලික අංශය හරහාත් තවත් එවැනි මධ්‍යස්ථාන 100 කට ආසන්න ප්‍රමාණයක් ඉදිකරනවා. මේක අපේ ගොවියාගේ අතමිට පමණක් නොව, රටේ ආර්ථිකය වගේම ආහාර සුරක්ෂිතතාවය හා එළවළු-පලතුරු අපනයනය කිරීමෙන් විශාල විදෙස් ආදායමකුත් රටට ලැබේවි.
“මේක මෙරට ආර්ථිකයේ දියුණුවට ආණ්ඩුව ගත්ත දැවැන්ත පිම්මක්. මේවා හැම ආණ්ඩුම කතා කළාට ක්‍රියාත්මක කළේ නැහැ.” එජාප ආර්ථික උපදේශකයෙකු වන දිනේෂ් වීරක්කොඩි කළ විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළවිය.
“ගෝඨාභය ලංකාවට ආවා. වෙනදා වගේ ලොකු ෂෝ තිබුණේ නැහැ. ගෝඨට කඩේ යන කට්ටිය ඒකෙන් හොඳටම අවුල් වෙලා. ගිය සතියේ ගෝඨගේ හමුදාකාරයෝ ටික මහින්ද මහත්තය හමුවෙලා ගෝඨා ලංකාවට එනවිටම අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කර ලොකු පිකප් එකක් ගනිමුයි යෝජනා කළාම මට දේශපාලනය උගන්නන්න එන්න එපා කියා තද වෙලා නැගිටලා ගියා කියලත් ආරංචියි”, චමින්ද විජේසිරි කීවේය.
“ඇත්තටම ගෝඨාභයට වෛද්‍ය උපදෙස් නිසා තාම සාමාන්‍ය ජීවිතයට එන්න ටිකක් අමාරුයි කියලත් ආරංචියි. ඒ නිසා අපේක්ෂකත්වය දීම ගැනත් ඇතුළේ ලොකු දෙගිඩියාවක් තිබෙනවලු. ඒ වගේම ඇමරිකන් පුරවැසිකමේ ගැටලුවත් තාම විසඳීලා නැහැ. ඒ නිසයි, ඔහු ලංකාවට ආපු වෙලාවේ ලොකු ෂෝ නැත්තේ” හේෂා විතානගේ කී දේ සියලු දෙනා අනුමත කළහ.
“කම්බ හොරුන් කියා පිටිපස්සෙන් බෝඩ් එකක් ගහගෙන පොහොට්ටුවේ කම්බ හොරුන් දෙන්නෙකු අගමැතිතුමාටයි-මල්ලිටයි ලොකු මඩක් ගැහුවා. මීට කලින් එජාපෙන් පන්නපු කාන්තාවකුත් මේ විදියෙම මඩක් ගහන්න ගිහින් ඉල්ලන් කෑවා.”, මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.
“අපේ මල්ලිට මොකද්ද ඒජන්සියක් තිබෙනවා. ඒකට බිස්නස් ලැබුණත් එකයි, මට නැතත් එකයි. ඕවට මගේ සම්බන්ධයක් නැහැ. අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩක් නිසා අකිලලා ඕවට උත්තර බඳීවි” අගමැතිවරයා කීවේ ඉතා සැහැල්ලුවෙනි.
“අර කුණු කන්ටේනර් ප්‍රශ්නේ හරි ලෙඩක් නේ? 2013 මහින්දලා ගහපු ගැසට් එක අනුවයි මේවා ගෙනත් තිබෙන්නේ. එතකොට සිංගප්පූරු ගිවිසුම ගහලත් නැහැ. ඒත් සිංගප්පූරු ගිවිසුම අනුව ඒ රටෙන් කුණු ගෙනාවා කියා පොහොට්ටුවේ අය රට නොමග යවන්න හදනවා.”
“මේ කුණු එංගලන්තේ ඒවායි. වහාම මේවා යළිත් ඒ රටටම යවන්න ආණ්ඩුව තීන්දු කළ එක ඉතා වටිනවා.” මහාචාර්ය ආශු මාරසිංහ කීය.
“මුස්ලිම් කොංග්‍රස් එක දෙමළ ජාතික සන්ධානයට ඇටෑක් කළා ආණ්ඩුවත් එක්ක කේවල් කරන්න එන්න හදනවා වගෙයි නේද? ” ගයන්ත කරුණාතිලක විමසීය.
“මේ ආණ්ඩුව සුළු ජාතීන්ට නිසි තැන, ගෞරවය හා රැකවරණය දෙනවා. ඒත් සුළු ජාතික පක්ෂවලට හිතෙන-හිතෙන විදියට ආණ්ඩුව බිත්තියට හේත්තු කරන්න ඉඩ නොදෙන්න ගත්ත තීන්දුව ඉතා වටිනා බව බොහෝ දෙනාගේ මතයයි”, එජාප උපදේශක දිනේෂ් වීරක්කොඩි පැවසීය.
“රටේ පාසල් දරුවන්ට කිරි වීදුරුවක් දීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීම ඉතා වටිනවා. ඒ වැඩේට එතුමාගෙත් මගෙත් මුළු ආණ්ඩුවෙත් දැඩි කැපවීම තිබුණා. ඒක අප අය-වැය යෝජනාව හැටියටත් පොරොන්දු වෙච්ච දෙයයි. මේකට මිලියන දහස් ගාණක් වැය වෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. දරු පරපුර රටේ අනාගතය නිසා ඔවුන් පෝෂණය කිරීම අපේ වගකීමයි.” අගමැතිවරයා කතා කළේ දැඩි සතුටු සිතිනි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, බටුවන්හේන ‘අභිසෙස්ගම’ 216 වැනි උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සමග ගයන්ත කරුණාතිලක, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, පියසේන ගමගේ විජයපාල හෙට්ටි ආරච්චි යන මැති ඇමැතිවරු එක්ව සිටියහ. උදාගම්මාන 20,000ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළේ ප්‍රථම ගම්මාන 2,500 ඉලක්කය මේ වනවිට ඉක්මවා ඇති නිසා එහි 2වන 3 වන සහ 4 වන පියවරවල දී තනි තට්ටුවේ නිවාස වෙනුවට අනු පවුල් සඳහා තට්ටු ගෙවල් ඉදි කිරීමට ගෙන ඇති තීරණය සජිත් එහිදී සිය මිත්‍ර මැති ඇමැතිවරුන්ට පැහැදිලි කර දුන්නේය. ගයන්ත කීවේ ‘ඒක වැදගත් තීරණයක්. මොකද, කර්මාන්ත නගර සංවර්ධනය ඇතුළු විවිධ කටයුතු වෙනුවෙන් ඉඩම් කළමනාකරණය කර ගැනීමේ ගැටලුවකට ඉදිරියේ දී මුහුණ දෙන්නට සිදුවෙන නිසා’ කියාය. අනතුරුව කළුතර දිස්ත්‍රික්කයේ ‘විමලවිකුම්ගම’ 217 වැනි උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයෙන් පසුව අජිත් පී. පෙරේරා ඇමැතිවරයා ද සමග සජිත් ගියේ රයිගම් බණ්ඩාර රජුගේ පාලන සමයට සමකාලීන බණ්ඩාරගම, පතහවත්ත රජමහා විහාරස්ථානයේ පුරා විද්‍යා කෞතුකාගාරය සඳහා මුල්ගල් තැබීමටය. ශ්‍රී පාදස්ථානය දර්ශනය වන අතිශයින්ම සුන්දර ස්ථානයක පිහිටි මෙම විහාරස්ථානයේ ඉපැරැණි ඇත් පවුර සංරක්ෂණය කර තිබුණේ ද රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා බව සජිත් දැන ගත්තේ එහි ගිය පසුවය. පසුගියදා ඇතිවූ කලබලකාරී සිද්ධීන් කීපයකින් අලාභහානියට පත් මුස්ලිම් පල්ලි කීපයක් ප්‍රතිසංස්කරණය කර ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි කීපයකට සජිත් සමග එක්වූයේ මුජිබර් රහ්මාන්, ඒ.එච්.එම්. ෆවුසි, හර්ෂණ රාජකරුණා සහ ඉඳුනිල් අමරසේනය. එකම දිනයක දී දිස්ත්‍රික්කයක් තුළ උදා ගම්මාන දෙකක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව 2ක් සංවිධානය කර සජිත්ගෙන් නිවාස අධිකාරියේ නිලධාරින් පැසසුම් ලැබුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, රත්මලේ ‘ඩී.එම්. ආරියදාසගම’ 221 වැනි උදා ගම්මානයට සහ තලාව, මොරගොඩ ‘අති පූජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමිගම’ 222 වැනි උදා ගම්මානයට අදාළ උත්සවවලින් අනතුරුවය. පදවිය, රත්මලේ ග්‍රාමය පිහිටියේ දිස්ත්‍රික්කයේ ඈත කොනක වීම නිසා ඒ කෙරෙහි යොමු වී ඇත්තේ ඉතා අඩු අවධානයකි. එය වකුගඩු රෝගය උත්සන්න ප්‍රදේශයක් ද වෙයි. ඒ ප්‍රදේශයට විශේෂ වැඩ කොටසක් කිරීමට සජිත් පොරොන්දු විය. ‘දිස්ත්‍රික් රෝහල තිබෙන්නෙත් වනජීවී ඉඩමක ප්‍රදේශයේ ජනතාවට තමන්ගේ ඉඩම්වලට ඔප්පු ගන්න විදියකුත් නෑ. ජනතාව තමන්ගේ දුක් ගැනවිලි කීහ.
ප්‍රතිසංස්කරණ කටයුතු නිමවූ මීගමුව, කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය විවෘත කිරීමේ උත්සවයට ගිය සජිත් එහිදී මහත් ඇගයීමට පාත්‍රවිය. තේ පැන් සංග්‍රහය අවස්ථාවේ දී අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සිහිපත් කළේ සෑම සතියකටම වරක් බිෂොප් මන්දිරයට පැමිණ ප්‍රගති සමාලෝචන රැස්වීම් තබමින් සජිත් දැක්වූ උනන්දුව පිළිබඳවය. කටුවපිටිය සිද්ධියෙන් විපතට පත් පවුල් අතරින් තමන්ගේම යයි කිවහැකි නිවෙස් නොමැති පවුල්වලට නිවාස ලබාදීමට උදාගමක් තැනීම සඳහාත් දේවස්ථානයේ නව දහම් පාසල් ගොඩනැගිල්ල සඳහාත් සජිත් එදිනම මුල්ගල් තැබුවේය.
කෘෂිකර්මය කෘෂිකර්මාන්තයක් බවට පරිවර්තනය වෙමින් අනාගත පරපුරට නව ලොව අභියෝග ජය ගැනීම සඳහා කෘෂි තාක්ෂණය ඔස්සේ යා යුතු ගමන් මග පිළිබඳ කතානායකවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ ගෙවුණු සතියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති “වැවිලි සවිය ජාතික සම්මාන” උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
කතානායකවරයාගේ මූලිකත්වයෙන් මෙවර “ජාතික වීර පොදු ජන” සම්මාන උළෙල සංවිධානය කළේ පාර්ලිමේන්තුවේ විශේෂ ව්‍යාපෘති කමිටුව සහ වීර පොදුජන පදනම එක්වය.
මෙහිදී විශේෂයෙන්ම පසුගිය වසරේ තායිලන්තයේ උමගක හිරවූ පාසල් පා පන්දු කණ්ඩායම බේරා ගැනීමේ මෙහෙයුමේ දී දිවිදුන් කිමිදුම්කරුවා වූ ගුණන්ගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් ද කැඳවා තිබීම කාගේත් අවධානයට ලක් විය.
පාස්කු බෝම්බ ප්‍රහාරයේ දී සිය ගණනක් ජීවිත බේරා ගැනීම වෙනුවෙන් ඥානාන්විතව ක්‍රියා කළ මඩකළපුව සියොන් දේවස්ථානයේ මුරකරු වූ රමේෂ් යන අයගේ බිරිඳ මෙන්ම දුම්මලසූරිය ප්‍රදේශයේ ඇතිවූ සිදුවීම්වල දී මුස්ලිම් ජනතාව බේරා ගැනීමට කටයුතු කළ සුජීවනී චන්දිමා මෙනවිය ද සම්මානයට පාත්‍රවීම විශේෂත්වයක් විය.
බෞද්ධ විහාරස්ථානවලට ලබා දෙන විදුලිය සඳහා ගාස්තු අය නොකිරීමට ගත් තීරණය පිළිබඳව පුණ්‍යානුමෝදනා කරමින් බෞද්ධ නාහිමිවරුන් මෙන්ම විහාරාධිපතිවරු කිහිප දෙනෙක්ම විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතාට ස්තුති කළහ. එක් නාහිමිනමක් අපූරු කථාවක් කීහ. “විදුලිබල ඇමැතිවරු කිහිප දෙනෙක්ම ආවා. ගියා. දැන් බලන්න අද බොහෝ දෙනෙක් වන්දනාමාන කිරීමට හා අපල දුරුකර ගැනීමට බෝගස පැන් කළවලින් නහවනවා. ඒවා අවසන් වෙනකම් අපි විදුලිය පත්තු කරනවා. අන්තිමට විදුලිබිල ඇවිත් ඒ අපලය අවසන් වන්නෙ විහාරස්ථානයෙන්. ඒ ගැන බලලා ඔබතුමා ගත්ත මේ තීරණය ඉතාම වටිනවා. ඒක විශාල පුණ්‍ය කර්මයක් අනික රට පුරා චෛත්‍ය හැදුවත් ඒවා නඩත්තු කරන්නෙ කොහොමද කියා දන්නෙ නැතුව චෛත්‍ය හදලා තේරුමක් නැහැ. ඒවා ශ්‍රද්ධාවෙන් හදන චෛත්‍යවලට වඩා අපි ඒවා දකින්නේ දේශපාලන චෛත්‍ය විදියටයි ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙලා බෞද්ධ ඡන්ද ටික කඩා ගන්න හදන වැඩක් නේ දැයි” විමසීය.
“ඇමැති තනතුරු තියාගෙන තමන්ගේ ආසනයවත් රැක ගන්න බැරි කෙනෙකු දාලා පක්ෂය කොහොමද දිනන්නෙ. පසුගිය ප්‍රාදේශීය සභා ඡන්දයෙන් ආසනය තුළ තියෙන ප්‍රාදේශීය සභා සියල්ලම පැරදුණා. සමස්ත ප්‍රතිඵලයෙන් තමයි කිහිප දෙනෙක් හරි ඇතුළට ගියේ. 2015 අපේ පක්ෂයට ගැම්ම තිබුණු අවස්ථාවෙත් හොඳම අමාත්‍යංශ දෙකක් තියාගෙනත් ආසනය දිනා ගන්න බැරි වුණා. අපේ පක්ෂයේ ආසනයවත් දිනා ගන්න බැරිවුණ එක දිස්ත්‍රික්ක නායකයෙක් තමයි එයා. ඒ දිස්ත්‍රික්ක නායකකම වෙනස් කරලා වෙනත් කෙනෙකුට බාර දුන්නා නම් අඩු ගණනේ ඒ දිස්ත්‍රික්කයෙන් මෙයට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න තිබුණා. එහෙම කෙනෙක්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙනවා නම් එයාට වඩා දෙන අයටයි පිස්සු. අගමැතිතුමා තරග කරන්නේ නැත්නම් ජනාධිපතිකමට හොඳම සුදුස්සා කතානායකතුමයි. දේශපාලනයෙන් මුහුකුරා ගිය උසස් අධ්‍යාපනයක් ඇති හමුදා විනයක් ඇති කලබල නැති නිධන් සම්බන්ධව හෝ හොර නෝට්ටු ගැන සම්බන්ධ නැති ආර්යාවක් නැති භාර්යාවක් ඇති කෙනෙක් තමයි පක්ෂයෙන් ඉදිරිපත් කරන්නෙ රවි කරුණානායක ඇමැතිවරයා කීවේය.