ජනපතිවරණයේ ඡන්ද හැසිරීම


ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායකගේ විග්‍රහයක්

 

මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දදායක හැසිරීම හා ඊට බලපා ඇති සමාජ, ආර්ථික, දේශපාලන තත්ත්ව ගැන ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා කරන විග්‍රහයක් මෙසේය.  

2019 ජනාධිපතිවරණයට අදාළ ඡන්දදායක හැසිරීම ප්‍රවේශ කීපයකින් සාකච්ඡා කළ හැකිය. එකක් නම් මෙරට ජනතාවගෙන් බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිශ්චිත පැහැදිලි ජනවරමක් ලබා දී තිබීමය. මෙවර ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතා ලබා ගත් සියයට 52.25ක් වූ ඡන්ද ප්‍රතිශතය අභිබවා ජනාධිපතිවරණවලදී ඡන්ද ප්‍රතිශත ලබාගැනීමට සමත්ව ඇත්තේ 1982 මුල්ම ජනපතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධන හා 1994 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. එයින් පැහැදිලි වෙන්නේ මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව රාජපක්ෂ මහතාට පැහැදිලි බහුතර බලයක් ලබාදී ඇති බවය.   


දෙවනුව මේ ජයග්‍රහණය ගැන විශේෂලේෂණය ඉදිරිපත් කරන අය විශේෂයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හා බටහිර මාධ්‍යවල ඒ ආකාරයේ විග්‍රහ මතු කරන පිරිස් උත්සාහ ගන්නේ මෙම ජයග්‍රහණය හුදු සිංහල බෞද්ධ ජාතිකවාදය මත පදනම් වූ එකක් බව උලුප්පා දැක්වීමටය. එය අසත්‍යයකි. ඡන්දදායක හැසිරීම විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ මේ ජයග්‍රහණය පසුපස තිබෙන තීරණාත්මක සාධකය එය නොවන බවය. 2018 වසරේ පැවති පළාත් පාලන ආයතන මැතිවරණයේදී එවක අභිනවයෙන් පිහිට වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සියයට 44ක ඡන්ද ප්‍රතිශතයක් හිමි විය. පාලන බලයේ සිටි එක්සත් ජාතික පෙරමුණට සියයට 30ක ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට සියයට 13ක ද ඡන්ද ප්‍රතිශතයක් හිමි විණි. එම මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ස්ථිරසාර ආකාරයේ ජයග්‍රහණයක් මෙම ජනාධිපතිවරණයේදී ද ලබාගෙන තිබෙයි. මා සිතන හැටියට ශ්‍රී.පො.ජ.පෙට ඒ ආකාරයෙන් ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වූයේ 2015 බලයට පත් යහපාලන ආණ්ඩුව ජනතාව වෙත ලබා දුන් පොරොන්දු ඉටු නොකර රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීත්වයට, ආර්ථික සංවර්ධනයට හා ජනවාර්ගික සමගියට හානිකර ක්‍රියාදාමයක් අනුගමනය කළ නිසාය. එ​සේනම් එම අාණ්ඩුව විදේශ ප්‍රතිපත්තිය හැසිරවූවේ මේ රට විදේශ බලවතුන්ගේ ගොදුරක් බවට පත් කරමිනි. මෙරට ආර්ථිකය ලෝක බලවතුන්ගේ වෙළෙඳපොළක් බවට පත් කළේය. 2018 පළාත් පාලන ආයතන මැතිවරණයේදී මෙන්ම මෙවර ජනාධිපතිවරණයේදී ද යහපාලන ආණ්ඩුවේ සමස්ත ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමට ජනතාව කටයුතු කර ඇත. මා දකින හැටියට එම තත්ත්වය යහපාලන ආණ්ඩුවේ සමාජ, ආර්ථික, දේශපාලනික දර්ශනය ප්‍රතික්ෂේප කිරීමක් ද වෙයි. 

 
2015 ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ගෙනාවේය. මෙරට පැවති සිවිල් යුද්ධය අතරතුර ශ්‍රී ලංකා හමුදා යුද අපරාධ කළ බවටත් ඒවාට අදාළ සාක්ෂි තිබෙන බවත් එම යුද අපරාධවලට සම්බන්ධ දේශපාලනඥයන්ට හා හමුදා නායකයන්ට එරෙහිව නඩු පවරා අන්තර්ජාතික ස්වභාවයේ අධිකරණයක් හමුවේ ඒවා විභාග කළ යුතු බවටත් එකී යෝජනාවෙන් ​යෝජනා කෙරිණි. මෙම යෝජනාව ‘තිහ එක’ යෝජනාව නමින් හැඳින්විණි. මෙම යෝජනාවෙන් ලංකාවට එරෙහිව ගොනු කර තිබුණේ ඒකපාර්ශ්විකව සනාථ නොකළ චෝදනාය. නමුත් යහපාලන ආණ්ඩුව එම යෝජනාව ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත්තේය. ඉන්පසු ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් අණපනත්වලින් බොහොමයක් එකී ‘තිහ එක’ යෝජනාවලියෙහි අඩංගු නියමයන් බලාත්මක කිරීම සඳහා ගෙනා ඒවාය. එසේම ආණ්ඩුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කාර්යය ආරම්භ කළේ ද එම ජීනිවා යෝජනාවෙහි අන්තර්ගතව තිබූ නියමයන් ක්‍රියාත්මක කිරීමට මිස මේ රටේ ජනතාව ලබා දුන් ජනවරමකට අනුව නොවෙයි. මෙවැනි කටයුතුවල අනර්ථයන් මේ රටේ ඡන්දදායකයෝ තේරුම් ගත්හ.   
යහපාලන ආණ්ඩුව යටතේ ආර්ථික වර්ධනය ද පැවතියේ අසතුටුදායක මට්ටමේය. 2014 වසරාවසානය වනවිට ශ්‍රී ලංකාවේ වාර්ෂික ආර්ථික වර්ධන අනුපාතය සියයට 06ක අගයක පැවතිණි. නමුත් 2019 වර්ෂයේ දෙවැනි කාර්තුව වනවිට ආර්ථික වර්ධන වේග අනුපාතය සියයට 1.6ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රකාශ කළේය. මේ ආකාරයට ආර්ථිකය කඩා වැටීමකට අමතරව මේ රටේ සම්පත් විදේශීය බහුජාතික සමාගම් සඳහා පැවරීමට ද ක්‍රියා කළේය. එමෙන්ම 2015 අගෝස්තු මහා මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය නමැති ප්‍රතිපත්ති ප්‍රකාශයනයෙහි පළමු පරිච්ඡේදයෙහි සැවොම ධනවත් සමාජයක් නිර්මාණය කරන බව සඳහන්ව තිබිණි. එවැනි සමාජයක් හදනවා තබා තිබුණු ආර්ථික වර්ධන වේගයවත් තබා ගැනීමට ආණ්ඩුව සමත් වූයේ නැත. ඊට අමතරව එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි රටේ ආර්ථිකය පිළිබඳව දක්වා තිබූ අරමුණු කරා ළඟා වෙන්නට ද රජයට හැකි වූයේ නැත. තවද දිනපතා ‘ලංකාදීප’ පුවත්පතේ සතිපතා පළ වූ දේශීය ව්‍යාපාරිකයන්ගේ සාකච්ඡා ඇතුළත් ලිපි පෙළෙන් එම ව්‍යවසායකයන් ආණ්ඩුවට චෝදනා කර තිබුණේ රජය දේශීය ව්‍යාපාර සේවා හා කර්මාන්තවලට නැගී සිටීම සඳහා ඉඩ ලබා නොදෙන බවය. මේ සියලු දුර්වලතා ඡන්දදායකයෝ හඳුනා ගත්හ.   


එම නිසා ආණ්ඩුව ප්‍රතික්ෂේප කළහ. එසේ නොමැතිව එක් පුද්ගලයකු දේවත්වයෙන් සලකා ඡන්දය ප්‍රකාශ කිරීමක් මේ ජනාධිපතිවරණයේදී සිදු නොවුණි.   
මේ ආණ්ඩුව 2015 දී බලයට පැමිණෙන විට ආගමික ස්ථාන හා පාසල් අසල අවි ගත් සෙබළුන් හා පොලිස් නිලධාරීන් ආරක්ෂාවට සිටියේ නැත. නමුත් මේ වසරේ අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එවැනි ස්ථානවලට ද හමුදා හා පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවන්නට සිදු වුණි. එම ප්‍රහාරය සිදුවූ පසුවත් එහි බරපතළකම ආණ්ඩුව වටහා ගත්තේ නැත. මීගමුව ප්‍රදේශයේ පැවති රැස්වීමකදී අගමැතිවරයා එ් ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ සුළු අතපසුවීමක් සිදු වූ බවය. එවැනි බියකරු ප්‍රහාරයක් සුළු අතපසුවීමක් හැටියට ලඝු කරන්නේ කෙසේ ද?  


ආණ්ඩුවේම නිලධාරීන් ප්‍රකාශ කළේ, මේ ප්‍රහාරය එල්ල වීමට පෙර එ් ගැන 97 වතාවක් තොරතුරු ලැබුණු බවය. මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයා විසින් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ආණ්ඩුවේ මේ අවතක්සේරුවට ද ප්‍රතිචාර දක්වා තිබෙයි.   


මෙවර ජනාධිපතිවරණ ඡන්දදායක හැසිරීම නිරීක්ෂණය කිරීමේදී හඳුනාගත හැකි තවත් ලක්ෂණයක් නම් වාර්ගික වශයෙන් ධ්‍රැවීකරණයක් සිදුව තිබීමය. උතුරු, නැගෙනහිර හා මධ්‍යම කඳුකරය හැරුණු විට අනිත් ප්‍රදේශවල ඡන්ද ප්‍රකාශ කිරීමේ දී සිංහල බෞද්ධ බහුතර ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ කර ඇති බව පැහැදිලිව හඳුනාගත හැකිය. ඒ මහතා ජනාධිපති පදවියේ දිවුරුම්දීම නිමිත්තෙන් පැවති උත්සවයේ දී කළ කතාවේදී ද එ් බව සිහිපත් කළේය. මේ තත්ත්වය විග්‍රහ කරන ඇතැම් පිරිස් පවසන්නේ එය සිංහල බෞද්ධ ජාතිකවාදය මතුවීමක් හැටියටය. එවැන්නක් සිදු වූයේ ඇයි? යහපාලන ආණ්ඩුව කළේ සංහිඳියාව යන වචනය ඉදිරියට දමා මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාව කුපිත කිරීමය. එමෙන්ම එම ආණ්ඩුව යටතේ ඇතැම් සුළු පක්ෂ ඉතාම වර්ගවාදී අන්තවාදී ඉල්ලීම් ඉදිරිපත් කරන්නට විය. ආණ්ඩුව එවැනි පක්ෂවල ඉල්ලීම් ඉටු කරන ක්‍රියා පිළිවෙතක සිටියේය. මෙවැනි තත්ත්ව හමුවේ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ කල්පනාව වුණේ ආණ්ඩුව සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිවල පිහිටා කටයුතු කරන බවය. මේ නිසා මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේදී වාර්ගික ධ්‍රැවීකරණයක් දකින්නට තිබුණි.   


එම තත්ත්වයම උතුර හා නැගෙනහිර පළාත් ඡන්දදායකයන් ඡන්ද ප්‍රකාශ කිරීමේදීත් මධ්‍යම කඳුකරයේ ඡන්දදායකයන් ඡන්ද ප්‍රකාශ කිරීමේදීත් දැකගන්නට ලැබිණි. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට උතුර නැගෙනහිර දෙපළාතෙන් ලැබුණු ඡන්ද ප්‍රමාණයටත් වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් මෙවර ජනාධිපතිවරණයේදී එම ප්‍රදේශවලින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබී තිබෙයි. අන්තවාදී සුළු පක්ෂවල නායකයන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ඒත්තු ගැන්වූයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත් වුවහොත් පමණක් තමන්ගේ ඉල්ලීම් ඉටු කරගත හැකි බවය. මේ හේතුවෙන් උතුර, නැගෙනහිර පළාත්වල ඡන්දය සජිත් ප්‍රේමදාස මහතාට ලැබිණි.   


මේ ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන තිස්සමහාරාම ආසනය ඔහු පරාජයට පත්විය. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ද පරාජයට පත්විණි. දකුණෙන් ප්‍රතික්ෂේප වෙන ඒ මහතාට උතුරෙන් විශාල ජයග්‍රහණයක් ලැබුණි. ඡන්දදායක හැසිරීමේදී දක්නට ලැබුණු මේ වාර්ගික ධ්‍රැවීකරණය ඉතා නරක ප්‍රවණතාවකි. එය අප මුහුණ දෙන ප්‍රශ්නයකි. යුද්ධය අවසන් වීමෙන් පසු මේ වාර්ගික ධ්‍රැවීකරණය සමනය වුවත් යහපාලන ආණ්ඩුව යටතේ එය වර්ධනය විය. මේ තත්ත්වයට ඉක්මනින් ආමන්ත්‍රණය කළ යුතුව ඇත. වාර්ගික හා ආගමික විවිධත්වයක් ශ්‍රී ලංකාව සතුව තිබෙයි. එය යථාර්ථයයි. සංස්කෘතික විවිධත්වයක් ද අපට ඇත. මේ ආකාරයේ විවිධත්වයන් තිබීම රටකට සම්පතකි. ඒ විවිධත්වය සම්පතක් බවට පත් කරගෙන සියලු ජනතාව ඒකරාශී කරගෙන ඉදිරියට යා යුතුය. එසේ නොකර මේ විවිධත්වය ජනතාව භේද භින්න සාධකයක් බවට පත් කරගැනීම වැරදිය. නමුත් පසුගිය කාලයේදී සිදු වූයේ එයයි. බටහිර බලවතුන්ට අවශ්‍ය ආකාරයේ ඉත්තකු ලෙස එජාප ආණ්ඩුව කටයුතු කළේය. ඇත්ත වශයෙන්ම එජාපය දේශපාලනික වශයෙන් මේ ගැන සිතා බැලිය යුතුය.   


මෙවර ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණට අත්වූ ඉරණම ගැන ද යමක් කිව යුතුය. 1982 ජනාධිපතිවරණයේදී රෝහණ වි​ජේවීර ලබාගත් ඡන්ද ප්‍රතිශතය හෝ ලබා ගැනීමට ජවිපෙ අපේක්ෂකයාට නොහැකි විය. මෙවර ඡන්ද ලක්ෂ හතක් හෝ අටක් ලැබෙනු ඇතැයි ඔවුන් විශ්වාස කළේය. මෙයින් පැහැදිලි වෙන්නේ ජවිපෙ කියන දේ හා භාවිතය අතර බරපතළ පරස්පරතා තිබෙන බවය. ජවිපෙ යහපාලන ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කළේය. එමෙන්ම එම ආණ්ඩුවේ කොටස්කරුවෙකු වශයෙන් ද කටයුතු කළේය. ආණ්ඩුව මැතිවරණ කල් දමන විට ඊට ජවිපෙත්, දෙමළ ජාතික සන්ධානයත් පක්ෂ විය.   


ලංකාවට අහිතකර ‘තිහ එක’ ජීනීවා යෝජනාව ගැන ජවිපේ කිසිවක් ප්‍රකාශ කර නැත. සෝෆා, එම්.සී.සී. වැනි ගිවිසුම් සම්බන්ධයෙන් ජවිපෙන් පළ වූයේ දියාරු විරෝධයකි. ජවිපෙ දේශපාලන සටන් පාඨ වෙනුවට අතට ගත්තේ එන්.ජී.ඕ. සටන් පාඨ ය. දූෂණ විරෝධය එයින් එකකි. දූෂණය ප්‍රශ්නයක් බව සැබෑය. නමුත් දූෂණය රෝග ලක්ෂණයක් මිස රෝග නිධානය නොවෙයි. රෝග නිධානය වෙන්නේ පවතින සමාජ ආර්ථික ක්‍රමයයි. ඒවා නිසා පැන නගින ප්‍රශ්නවලට උත්තර දිය හැක්කේ දේශපාලන සටන් පාඨවලින් මිස එන්.ජී.ඕ. සටන් පාඨවලින් නොවෙයි.   


මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කළ ඡන්දදායකයන්ගෙන් සවිඥානික බහුතරයක් දෙනා රට හමුවේ මතුව තිබූ මේ අභියෝග හා ප්‍රවණතා ගැන නිසි අවබෝධයෙන් යුතුව ඡන්දය භාවිත කර ඇත. ඒ ජනතා අභිලාෂ හඳුනාගෙන කටයුතු කිරීමේ දැවැන්ත අභියෝගයක් අලුත් ආණ්ඩුව හමුවේ පවතියි.

 

සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ