තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබඳව තීන්දුවක් ගැනීම උදෙසා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පැවැත්විණි. ඊට සමගි ජන ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් ද නිල වශයෙන් ම සහභාගි වූහ.
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ වීමට නියමිතව තිබුණේ සවස පහට වුව ද ඊට විනාඩි විස්සකට පමණ පෙර විශේෂ අමුත්තෙක් විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ ය. ඒ දෙවසරකට ආසන්න කාලයක් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගි නො වී සිටි සුජීව සේනසිංහය.
ඉකුත් මැතිවරණයේ පසුබෑමත් සමග දේශපාලන කටයුතුවලින් මඳක් ඈත් වී සිටි සුජීව නැවත මීට මාස එකහමාරකට පමණ පෙර සිට සමගි ජන බලවේගය මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලට සහභාගි විය. ඒ විශේෂ කථිකයකු ලෙස ය.
එහෙත් ඔහු කෘත්‍යාධිකාරී මණ්ඩල රුස්වීමට සහභාගි වූයේ නැත. නමුත් මෙවර රුස්වීමට ඔහුගේ සහභාගීත්වය විශේෂ විය. කෙසේ වෙතත් විපක්ෂ නායක කාර්යාලයට පැමිණි සුජීව මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර තබා පක්ෂ නායක සජිත් ප්‍රේමදාසවත් මුණ ගැසුණේ නැත.
ඔහු කෙළින්ම පැමිණ වාඩිවුණේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන ශාලාවට යාබ ද අමුත්තන්ගේ කාමරයේ ය. එක් අතකින් ඔහුගේ පැමිණීමත්, අනෙක් අතින් ඔහුගේ හැසිරීමත් බොහෝ දෙනෙකුගේ කුතුහලයට හේතු විය.
හරියටම සවස 5 වන විට කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ආරම්භ වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙනි. රැස්වීම් කාමරයට පැමිණෙන විටම සජිත් සුජීව දුටුවේ ය. මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පසුගිය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සජිත් සභාව ඇමතී ය.
“විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කරන්නයි ඒ පිළිබඳව අනුමැතිය ගන්නයි තමයි අද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කැඳෙව්වේ. එක පැත්තකින් අපි ආණ්ඩුව ගෙන යන මේ දුර්දාන්ත වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය හැටියට විපක්ෂයේ සියලු පක්ෂ එකතු කර ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා.
අනෙක් පැත්තෙන් අපි අපේ දර්ශනය වැඩපිළිවෙළ එක්ක එකට හිට ගන්න පුළුවන් කණ්ඩායම් එකතු කර ගනිමින් දැවැන්ත සංධානයක් හදන්න අවශ්‍ය කරන පසුබිම සකස් කරමින් ඉන්නවා. හැබැයි මම ඔබට කියන්න ඕන, සන්ධානයක් හදනවා නම් එක එක න්‍යය පත්‍ර තියෙන්න බැහැ. තැන් තැන්වල පක්ෂයේ සහ සන්ධානයේ මතයට පරිබාහිර අදහස් ප්‍රකාශ කරන්නත් බැහැ. ගමන තීන්දු කරනවා නං වෙන වෙන කරුණු පස්සේ දුවන්නේ නැතිව අපි ජයගන්න සන්ධානයක් නිර්මාණය කරමු. ඒ වගේම අපි විනය සම්බන්ධව තදින් ක්‍රියාත්මක වෙන්න ඕන. සන්ධානයක් ගොඩ නගන්න ඕන කරන අභ්‍යන්තර සහ බාහිර ක්‍රියා මාර්ග ටික මම ගන්නම්. ඒ වගේම විනය සම්බන්ධව තීරණාත්මකව තීන්දු ගන්න මහලේකම්තුමායි, ජාතික සංවිධායක තුමායි, විපක්ෂ ප්‍රධාන සංවිධායක තුමායි ඉන්න කමිටුවක් මං පත් කරනවා.
ඒ වගේම විශේෂ කාරණාවක් කියන්න ඕන. අද සෑහෙන කාලෙකට පස්සේ මෙතනට සුජීව සේනසිංහ මහත්මයා ඇවිත් ඉන්නවා. මේ පක්ෂය ගොඩනගන්න අප්‍රමාණ කැපවීම් කරපු අයගෙන් එක්කෙනෙක් එතුමා. මං එතුමා ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා”
අපේ අපේක්ෂකයා ඔබයි
සජිත් එහෙම කියන විට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සියලු දෙනාම අත්පොළසන් නැගීය. හිටිහැටියේම අනුරාද විමලරත්න නැගී සිටියේ ය.
“සර්, ගිය සතියේ කෘත්‍යාධිකාරිය සම්මත කරගත්තා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ සමගි ජනබලවේගය අපේක්ෂකයෙක් කියලා. එක එක අපේක්ෂකයෝ ඉදිරිපත් වෙන්න විදිහක් නැහැ. ඔබතුමා තමයි අපේ අපේක්ෂකයා” යැයි පැවසීය. මේ අවස්ථාවේ නැගී සිටි හර්ෂණ රාජකරුණා වඩාත් විධිමත්ව සජිත් ජනාධිපති අපේක්ෂකයා යන යෝජනාව ඉදිරිපත් කළේ ය.
එයින් පසුව සුජීව සේනසිංහ, රෙහාන් ජයවික්‍රම, අජිත් පී. පෙරේරා ඇතුළු බොහෝ දෙනෙක් එම අදහසට පුළුල් අර්ථකතන දුන්හ. මෙහි දී සුජීවගේ කතාව බොහෝ දෙනා සාවධානව අසා සිටියහ.
සුජීවගේ කතාව
“නායකතුමනි, සෑහෙන කාලෙකට පස්සේ මම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ආවේ. අද මේකට නෑවිත් හිටිය නම් මට මගේ හෘද සාක්ෂියත් එක්ක ලොකු ෆයිට් එකක් කරන්න වෙනවා.
නායකතුමනි මහා සටනක් කරලයි අපි මේ පක්ෂය හැදුවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂය සින්නක්කරව ලියාගෙන ජනමතයට පයින් ගහලා වැඩ කරනකොට මේ රටේ අභිමානවත් එක්සත් ජාතික පක්ෂයේ අතීත ශ්‍රී විභූතිය අරගෙන අපිට අලුත් බලවේගයක් නිර්මාණය කරන්න වුණා. ඒක තමයි සමගි ජන බලවේගය.
මේ පක්ෂය අපි හැදුවේ අපිට තිබිච්චි අනතුරු පැත්තකට දාලා. 2019 ඔබතුමා ජනාධිපති අපේක්ෂකයා කරලා භාරදුන්නේ යකාටවත් දිනන්න බැරි මැතිවරණයක්. හැබැයි ඔබතුමා ලක්ෂ 58ක් ගත්තා. ගිය මැතිවරණය තමයි ඔබතුමා මුහුණ දුන්න මුල්ම මැතිවරණය.
මේ පක්ෂය හදලා මාස තුනක් ඇතුළත වාර්තාගත ආසන පනස් දෙකක් ගත්තා. ඔබතුමා ඇර වෙන නායකයෙක් ආයේ පේන තෙක් මානයක නැහැ. ඔබතුමා ප්‍රමෝට් කරන්න ඕනේ ඔබතුමා නෙමේ. ඔබතුමාව ප්‍රමෝට් කරන්න ඕනේ මේ ඉන්න අනික් අය.
අපිට පිරිසිදු කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම ඔබතුමා වටේ පෙළ ගැහුණම මේ රට හදන්න පුළුවන්. අන්න ඒකට අපි කැපවෙමු. පිස්සු හැදුණා වගේ සමහරු කියන මේ බොරු කතාවලට උත්තරයක් දෙමු. තැන් තැන්වල එක එක කතා කතා කරලා වැඩක් නෑ මේ අලුත් පක්ෂය අපි හැදුවේ ඔබතුමා එක්ක ගමනක් යන්න. වේළි වේළි ඉඳල වැඩක් නැහැ. කියව කියව ඉඳලා වැඩකුත් නැහැ.”
“මං ආවේ මේ ටික කියලා යන්න. මේ රට බංකොලොත් කරපු කල්ලිත් එක්ක එකතු වෙලා, ජල්ලි අල්ලන කණ්ඩායම් එක්ක එකතු වෙන්න තියා එකතු වෙන්න හිතන්නවත් එපා. එහෙම කළොත් එදාට මේ රටේ මිනිස්සු අපිටත් සාප කරයි. සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ඔබතුමා. වෙන අපේක්ෂකයෝ නැහැ. සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා විදිහට ඔබතුමාව යෝජනා කරනවා” සුජීව වාඩි වුණේ එහෙම කියමිනි.
“අපි ප්‍රාදේශීය මන්ත්‍රීවරු හැටියට ඔබතුමාට පක්ෂ නායකත්වය දීලා ජනාධිපති අපේක්ෂකයා කරන්න ඕන කියලා පළවෙනි වතාවට රනිල් වික්‍රමසිංහ මහත්තයට ලියුමක් ලියල තනතුරු නැති කර ගත්ත උදවිය. එනිසා මේ පක්ෂය ගොඩනැඟීම වෙනුවෙන් අපි අපිට පුළුවන් විදිහට දායක වුණා. අනිවාර්යයෙන්ම ඔබතුමා ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතුයි” රෙහාන් ජයවික්‍රම එසේ කීවේය.
“මාස දෙකක් ඇතුළත අලුත් පක්ෂයක් හදලා ප්‍රධාන පක්ෂ බිංදුවට දාලා ආසන පනස් දෙකක් ඔබතුමාගේ නායකත්වයෙන් ගත්තා. වෙන වෙන නායකයෝ නෑ. ඔබතුමා තමයි සමගි ජන බලවේගය අපේක්ෂකයා” ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය පැවසී ය.
“මටත් කියන්න තියෙන්නෙ නායක තුමනි මේ චමින්ද විජේසිරිලා ගාව ඩබල් ගෙම් නැහැ. ආණ්ඩුවට එකතු වෙනවා නම් කවුරුහරි එකතු වෙන්නේ සල්ලිවලට. ඒ අපරාධය කරලා එළියට බහින්න කිසි කෙනෙකුට බැහැ” චමින් ද විජේසිරි කීවේ ය.
මේ අවස්ථාවේ දී කතා කළ එස්.එම්. මරික්කාර් තවත් අදහසක් ඉදිරිපත් කළේය. නායකතුමාව ජනාධිපති අපේක්ෂකයා කරන එක හරි. ඒත් අපි 2019 පක්ෂයක් හදන් එළියට ආවේ සාර්ථක වුණේ සජිත් ප්‍රේමදාසව විකුණලා. තවදුරටත් එතුමාවම විකුණමින් පක්ෂයක් ලෙස ඉදිරියට යන්න අපට බෑ. අපි අපේ අයිඩියෝලොජික එක හදන්න ඕනෑ. පක්ෂයේ ශාඛා සමිති හදන්න ඕනෑ. ගිහින් ජනතාව එක්ක වැඩ කරන්න ඕනෑ. අපේ වැඩකට මිනිස්සු අරන් එන්නේ සංවිධායකයෝ කිහිප දෙනයි. එහෙම බෑ. නායකතුමාවත් පක්ෂයත් දිනවන්න සියලු දෙනා එකතු වෙන්න ඕනෑ.
මරික්කාර් කී අදහස නායකත්වය ද අනුමත කරන බව පෙනුණි.
සජිත් වැඩ පටන් ගනී
ඉදිරි ජනාධිපතිවරණයක දී ජයග්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමට සජිත් පසුදාම ක්‍රියාත්මක විය. පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු තිදෙනෙකු ගෙන්වා ඔවුන්ට වගකීම් තුනක් පැවරුවේ ය. මේ තිදෙනාගේ කටයුතු තමන් අධීක්ෂණය කරන බව ද නායකයා පැවසුවේ පක්ෂයේ අනාගතයට මේ තිදෙනාගෙන් විශාල දායකත්වයක් අවශ්‍ය බව නොකියා කියමිනි. මේ අතර දුර්වල ආසන සංවිධායකවරු ඉවත් කර නව ආසන සංවිධායකවරු පත් කිරීමට රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක සහ ලක්ෂමන් කිරිඇල්ලගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට සජිත් කටයුතු කර තිබේ.
ජනාධිපතිවරණය විපක්ෂයට දුන් ලණුවක් ද?
ඉකුත් සතියේ දේශපාලන කරළියේ කතාබහට ලක්වූ ප්‍රධාන මාතෘකා අතර ප්‍රධාන තැනක් ගත්තේ හදිසි ජනාධිපතිවරණයක් පිළිබඳ කතාබහ සහ ආණ්ඩුකාරවරුන් තිදෙනකු හදිසියේ ඉවත් කර අලුතින් තිදෙනකු පත් කිරීම ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ නොවැම්බර් මාසයේ ය. ඒ අනුව ලබන වසරේ නොවැම්බර්වලට පෙර ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු ය. වසර පහකට පත්වන ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූල ව වසර හතර සම්පූර්ණයෙන් පසුව ජනාධිපතිවරණයක් කලින් කැඳවිය හැකි ය. ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු ජනවරමේ ඉතිරි කාලය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් වී සිටින රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණය කලින් කැඳවීමේ හැකියාවක් තිබේ ද යන්න සම්බන්ධයෙන් ගිය සතියේ ද දැඩි කතාබහට ලක් විය.
නීති විශාරදයන්ගේ තර්කය වූයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට එවැනි අභිමතයක් ව්‍යවස්ථානුකූලව නැති බව ය. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් වන වගන්තිය සංශෝධනය කළ යුතු බවට ද යෝජනා ඉදිරිපත් විය. ආණ්ඩුව ඒ සඳහා සූදානම් වන බවට ද ආරංචි පැතිර ගියේ ය.
වික්‍රමසිංහ මහතා මේ වසර තුළ හදිසි ජනාධිපතිවරණයකට සූදානම් වන බවට පැතිර ගිය ආරංචියත් සමඟ දේශපාලන කරළිය ගිනියම් විය. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගිය සතියේ රැස්වී ඔවුන්ගේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට යෝජනා ස්ථිරත්වයෙන් තීරණය කිරීම ඊට කදිම නිදසුනකි. හදිසි ජනාධිපතිවරණයක් පිළිබඳ නිශ්චිත තීරණයක් නොමැතිව තිබිය දී සජබය ඒ ආකාරයෙන් ජනාධිපති අපේක්ෂකයකු හදිසියේ නම් කළේ ඇයි ද යන්න බොහෝ දෙනා අතර කතා බහට ලක්ව තිබේ.
මේ අතර, රටට බලපාන බරපතළ කාරණා සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීම පිළිබඳව විපක්ෂයේ පක්ෂ පොදු වැඩපිළිවෙළකට යොමු වෙමින් සිටින මේ මොහොතේ සජබය හදිසි ජනාධිපති අපේක්ෂකයකු නම් කිරීම විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් එම වැඩපිළිවෙළින් ඈත්වීමට ද හේතු වී ඇතැයි පැවසේ. විපක්ෂයේ පක්ෂ එක්ව කටයුතු කිරීමට කතාකරන අතරතුර සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම හරහා එම ජනාධිපති අපේක්ෂකයා ඔවුන් ද පිළිගන්නා අපේක්ෂකයා බවට ඒත්තු යා හැකි බව ඔවුන්ගේ තර්කය වී ඇත.
එනිසා ඇතැම් පක්ෂ හා කණ්ඩායම් විපක්ෂයේ පොදු සාකච්ඡා මග හරින ස්වරූපයක් ද දක්නට ලැබෙන බව පැහැදිලි ය. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ඉකුත් දා පැවැති විපක්ෂයේ පක්ෂවල සාකච්ඡාවට රංජිත් මද්දුම බණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉරාන් වික්‍රමරත්න, ඉමිතියාස් බාකිර් මාකර්, මනෝ ගනේෂන්, මහාචාර්ය ජී.එල්. පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත් ඇතුළු පිරිසක් සහභාගී වුවද, වෙනදා එම සාකච්ඡාවට සහභාගී වන උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග මෙන්ම අතුරලියේ රතන හිමියන් ද මෙවර ඊට සහභාගි නො වූ බව වාර්තා විය.
උත්තර ලංකාත් සාකච්ඡාවක
මේ අතර ගිය සතියේත් ඊට කලින් සතියෙත් රැස් වූ උත්තර ලංකා සභාගය ද හදිසි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇත. හදිසි ජනාධිපතිවරණයක් පැවැතුණහොත් ඊට සූදානම් වන්නේ කෙසේද? ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද? ආදිය සම්බන්ධයෙන් ඔවුන් එහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. ගිය සතියේ මේ සාකච්ඡාව පැවැත්වුණේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ය.
විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් ඊට සහභාගි නොවූ අතර, උදය ගම්මන්පිල, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග, අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක් ඊට සහභාගි වූ බව වාර්තා විය.
ආණ්ඩුකාර අවුල
උතුරු, නැගෙනහිර සහ වයඹ ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයා විසින් ගිය සතියේ හදිසියේ ඉවත් කරනු ලැබීම දේශපාලන කරළියේ ආන්දෝලනාත්මක සිද්ධියක් විය. හිටපු ආණ්ඩුකාරවරුන් වන වසන්ත කරන්නාගොඩ, අනුරාධා යහම්පත් සහ ත්‍යාගරාජා යන තිදෙනාට ඉවත් වන්නැයි ජනාධිපති කාර්යාලය කල් වේලා ඇතිවම දැනුම් දී තිබිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද මේ තිදෙනා ඉවත් වීමට අදිමදි කළ අතර, නීති විශාරදයන් ද ඔවුන්ට උපදෙස් දී තිබුණේ ඉල්ලා අස් නොවන ලෙස ය.
ඔවුන් ඉවත් කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නොමැති බවට ද එම නීති විශාරදයන් උපදෙස් දී තිබිණි. එසේ තිබිය දී ජනාධිපතිවරයා එක පෑන් පහරින් ඔවුන් තිදෙනාම ඉවත් කළේ ය. වයඹ ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උතුරේ ආණ්ඩුකාර ලෙස ජී.එස්.එම්. චාල්ස් සහ නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ ඒ අනුව ය.
ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ කිසිවකුත් ඒ සඳහා පත් නොකර වෙනත් තිදෙනකු ආණ්ඩුවකාර ධුරවලට පත් කළේ ඇයිද යන්න ද බොහෝ දෙනා අතර කතා බහට ලක්ව ඇත.
හැමෝම ඇමෙරිකානු නි. තානාපති නිවසේ
මෙරට සංචාරයක් සඳහා පැමිණි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රින් අක්තර් මහත්මිය වෙනුවෙන් ලින්කන් හවුස් හි පිහිටි ඇමෙරිකානු නියෝජ්‍ය තානාපතිවරයාගේ නිල නිවසේ ඉකුත් සඳුදා හැන්දෑවේ සාදයක් පැවැත්විණි. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද දේශපාලනඥයන්ට ද ඒ සඳහා ආරාධනා කර තිබූ අතර, කතානායක මහින්ද යාපා අබේවර්ධන, මහාචාර්ය චරිත හේරත්, එම්.ඒ. සුමන්තිරන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, හර්ෂණ රාජකරුණා, දයාසිරි ජයසේකර, සාගර කාරියවසම්, විජිත හේරත්, හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වූහ.
පළාත් පාලන මැතිවරණය නො පැවත්වීම ආදී දේශපාලන කාරණා සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ අතර, උතුර සහ නැගෙනහිර වයඹ යන පළාත් තුනේ ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇති ආරංචිය ද ලැබුණේ මේ අතරවාරයේය. සාගර කාරියවසම් එහි සිටි දේශපාලන හිතවතුන්ට කීවේ අලුතින් පත්වන්නට යන තුන් දෙනා ගැන ඔවුන්ට ප්‍රශ්නයක් නොමැති බව ය.
දයාසිරි - දුමින්ද ගැටුම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සහ හිටපු මහ ලේකම්වරයකු මෙන්ම වර්තමානයේ එහි ජාතික සංවිධායකවරයා ද වන දුමින්ද දිසානායක යන මහත්වරුන් අතර කාලයක් තිස්සේ පැවති සීතල යුද්ධය ගිය සතියේ කරළියට පැමිණියේ ය. දයාසිරිට එල්ල කරන චෝදනාව වන්නේ සිටින අය එළවා දමමින් වෙනම කණ්ඩායමක් ගොඩනගාගෙන පක්ෂය විනාශ කරන බවය. දයාසිරි දුමින්දට එරෙහිව නගන චෝදනාව වන්නේ ආණ්ඩුව සමඟ ඩීල් දමමින් පක්ෂය විනාශ කරන බවය.
දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ගිය සතියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් දයාසිරිට දැඩි විවේචන එල්ල කර තිබුණි.
අලුත් අය දමාගෙන පක්ෂය තුළ සිය බලය තහවුරු කර ගන්නා බවට ද චෝදනා කර තිබූ අතර ඔහුගේ පිටු 8 කින් යුත් ලිපියෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වර්ණනා කර තිබිණි. දුමින්දගේ චෝදනාවලට උත්තර දෙමින් දයාසිරි ජයසේකර මහ ලේකම්වරයා ද හිටපු ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.
හිටපු ලේකම්වරුන් කටයුතු කළ හැටි තමා හොඳින් දන්නා බව සඳහන් කරමින් දුමින්දගේ ක්‍රියා කලාපය විවේචනයට ලක් කරමින් ඔහු එම ලිපිය යවා ඇත. ලිපි දෙකම හිටපු ජනාධිපති මෛත්‍රී ළඟය. මේ ලිපි දෙක සම්බන්ධයෙන් කුමක් කරන්නේ දැයි පැහැදිලි නැත. දැනගන්නට ලැබුණේ පක්ෂ මූලස්ථානෙය් සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමු සති දෙකකට නතර කර ඇති බව ය.
නිමල්ලා අමරවීරලා පක්ෂයට යළි ගනියි ද
ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට ගොස් ඇමති රාජ්‍ය ඇමතිකම් දරන පිරිස එම තනතුරු දරමින් පක්ෂයට නැවත සම්බන්ධ වීම ගැන සාකච්ඡා පසුගිය කාලය පුරා පැවැත්වුණු අතර ගිය සතියේ ද තවත් සාකච්ඡාවක් පැවැත්විණි. හිටපු ජනපති මෛත්‍රීගේ නිල නිවසේ පැවති මෙම සාකච්ඡාවට මෛත්‍රීට අමතරව ෂාන් විජයලාල්, දයාසිරි ජයසේකර, දුෂ්මන්ත මිත්‍රපාල යන මන්ත්‍රීවරු ද, අනෙක් පාර්ශ්වය වෙනුවෙන් නිමල් සිරිපාල, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර යන ඇමතිවරු ද සහභාගි වූහ.
නිමල් සිරිපාල ඇමතිවරයා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළකාලමින් අභියාචනාධිකරණයෙන් දී ඇති තීන්දුව ද රැගෙන ඔවුන් මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිටි අතර, ඔවුන්ගේ ඉල්ලීම වී තිබුණේ ආණ්ඩුවේම සිටිමින් පක්ෂයේ තනතුරුවල ද කටයුතු කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසය. ශ්‍රීලනිප පැත්තෙන් ඒ සඳහා පැහැදිලි පිළිතුරක් නොලැබිණි.
චම්පිකගේ වැඩේට රාජපක්ෂවරුන්ට ආරාධනා නෑ
ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක් වන චම්පික රණවක මන්ත්‍රීවරයාගේ එක්සත් ජනරජ පෙරමුණ නමැති නව දේශපාලන පක්ෂය හෙට (22) කලඑළි බසී. එම උත්සවයට ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලන පක්ෂවලට හා මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර ඇති අතර, රාජපක්ෂ පවුලේ කිසිවකුටත් ආරාධනා කර නැති බව දැනගන්නට ඇත.
චම්පික අලුත් පක්ෂය ගැන කියන්නට ගිය සතියේ මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ද බැහැ දුටුවේ ය. මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණ ද, මුස්ලිම් ව්‍යාපාරිකයන් ද හමු වූ චම්පික කොළඹ දී වෘත්තීයවේදීන් හා හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් ගණනාවක් ද හමුවී පක්ෂය ගැන පැහැදිලි කළේ ය.
අගමැති වී වසරකට පස්සේ
රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා අගමැති ධුරයට පත්වී වසරක් ගෙවුණේ ඉකුත් සතියේ 12 දා ය. එවක රටේ පැවැති ආර්ථික අරාජිකත්වය හමුවේ අගමැති ධූරය බාර ගැනීම සැවොම සිතුවේ කටු ඔටුන්නක් පැලඳ ගැනීමක් ලෙස ය. එහෙත් ජනපති රනිල් පාර්ලිමේන්තුවේ සිටි එකම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා ලෙස ජනතාව වෙනුවෙන් එම කටු ඔටුන්න පැලැඳීමට පසුබට වූවේ නැත.
ජනපති රනිල් අගමැති වී වසරක් සපුරද්දී රටේ පැවැති තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හරවා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නිලධාරීහු මෙරටට පැමිණ රටේ ආර්ථිකය නිවැරදි මඟට ගැනීමට උපකාර කරමින් සිටිති.
සාගල දකුණ බලයි
රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක් ස්වාභාවික විපතින් පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරුන් ජනපති ලේකම් සමන් ඒකනායකට දැනුම් දී තිබුණි. ඔහු මේ කාරණය ගැන ජනපති රනිල් ට වාර්තා කළ විගස ජනපති වහාම කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක කැඳවා ඒ ගැන සොයා බලා පිළියම් යෙදීමට යොමු කළේ ඔහුට දකුණේ ස්වාභාවික විපත් කළමනාකරණය සම්බන්ධයෙන් ඉතා හොද අත්දැකීම් කලක සිට පවතින බැවිනි.
ක්ෂණයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ගිය සාගල ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර ඇතුළු ආරක්ෂක ප්‍රධානින් ඊට කැඳවා ජනතාව විපතින් බේරා ගැනීමට අවශ්‍ය පිළියම් යෙදුවේ ය. දිස්ත්‍රික් ලේකම්වරුන් සම්බන්ධ කර ගත් සාගල අවතැන් වූවන්ට සහන සැලසීමට අවශ්‍ය මුදල් ද කඩිනමින් වෙන් කර දුන්නේ ය.
දෙමළ ඩයස්පෝරාව සහ රංගේ
අඟහරුවාදා එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව මුණ ගැසුණු අතර එහි දී පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ගැන සාකච්ඡා ඇති විය.
පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ වාර්තාවක් මහලේකම් රංගේ බණ්ඩාර විසින් ඉදිරිපත් කරනු ලැබීය. එසේම දෙමළ ඩයස්පෝරාවේ පිරිසක් සමඟ මහලේකම් ආරම්භ කර ඇති සාකච්ඡාවකට අදාළ කරුණු ද ඉදිරිපත් කළේ ය.
“රටවල් කිහිපයක දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන පිරිස් අපට සහාය දක්වන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔවුන් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සහාය දෙන්න කැමතියි.” රංගේ කීවේ ය.
“එයාලට ලංකාවට ආයෝජන ගේන්න කියන්න.” ඒ පිළිතුර ජනපතිගෙනි.
“ඔව් සර් එයාලා දැන් රටට උදව් කරන්න කැමතියි. සාම්ප්‍රදායික දෙමළ පක්ෂවලට මේ අය දැන් කැමති නෑ. ඒ නිසා මට නැවත උතුරට එන්න කියලා තියනවා. මම ලබන 27-28 මුලතිව් යනවා. දෙමළ තරුණ ප්‍රජාවත් දැන් අපිත් එක්ක ඉන්නේ.” මහලේකම් දීර්ඝ විස්තරයක් කළේ ය.
කෝ අගමැති මහින්ද?
මහින්ද රාජපක්ෂ අගමැති ධූරයේ දිවුරුම්දීම ගැනත්, කොළඹ විශ්ව විද්‍යාලය අවට ආරක්ෂාව තර කිරීම ගැනත් පිරිස කතා කරන්නට වූහ.
“අගමැති ධුරයේ කවුරුත් දිවුරුම් දුන්නේ නෑනේ. අගමැතිතුමා ඔය ඉන්නේ.” ජනපති ඇඟට පතට නොදැනී කීවේ අහක බලාගෙන ය.
“කොළඹ විශ්ව විද්‍යාලයේ ගැටුමක් ඇති වෙන්න යන බවට තොරතුරු ආවේ ඇතුළෙන්. මෙතන ගැටලු ගණනාවක් තියෙනවා.” වජිර පිළිතුරු බැන්දේ ය.
“අන්තරේ ඇතුළේ බෙදීමක් තියෙනවා කියලාත් ආරංචියි. අලුත් කැඳවුම්කරුවෙක් අන්තරේට පත් කර ගන්නත් සාකච්ඡා යනවා. ජ.වි.පෙත් නැවත අන්තරේ බලය අල්ලන්නයි හදන්නේ.” රංගේ කීවේ ජනපති දෙස බලමිනි.
“සර් අගමැති වෙලා වසරකුත් ගෙවුණා. දැන් හැමෝටම තේරෙනවා කවුද වැඩකාරයා කියලා.” රුවන් විජයවර්ධන කීවේ සිනාසෙමිනි.
“ඔව් කිසිම උත්සවයක් නෑ. රට හොඳටම යනවා. අතීතයේ නම් වර්ෂ පූර්ණ උත්සව ජයටම තිබුණා. නායකතුමාට අගමැතිකම දෙන්න එපා කියලා එදා කියපු අයටත් අද කටඋත්තර නෑ.” සාගල රත්නායක ද කතාවට එකතුවූවේ එලෙසිනි.
“මන්ත්‍රීවරු 225 ම දියවන්නාවට දැම්මාම දියවන්නාව අපිරිසිදු වෙනවා කියපු කතාවට සමාජයේ හොඳ පිළිගැනීමක් තියෙනවා. ඇත්තටම මන්ත්‍රීවරු දියවන්නාවට දැම්මා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නෑනේ.” අකිල කී දේ සැවොම අනුමත කළහ.
ජෙරම් ගැන කතා
ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ජනපති නිලධාරීන්ට උපදෙස් දුන්නේ මේ අතරවාරයේ ය. බුදුන් වහන්සේට අපහාස කරමින් දේවගැතිවරයෙකු වන ජෙරම් ප්‍රනාන්දු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කතාව ඇදී ආවේ බදාදා මන්ත්‍රීවරු පිරිසක් ජනපති මුණ ගැසීමට පැමිණි අවස්ථාවේදීය.
“මට මේ ගැන පැමිණිල්ලක් ආවා. ඒක මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළා.” ජනපති කීවේ මන්ත්‍රීවරුන්ගේ පැනයට පිළිතුරු දෙමිනි.
“මේක රටේ ප්‍රශ්න මඟ හරින්න ගෙනාපු දෙයක් කියලා විපක්ෂය කියනවා. එක්සප්‍රස් පර්ල් නැව ගැන දැන් කතාවක්වත් නෑ කියලා තමයි ඔවුන් කියන්නේ.” මන්ත්‍රී මධුර විතානගේ කීවේ ය.
“ඒක වැරදියි. සිංගප්පූරුවේ වාණිජ අධිකරණයේ ඒ නඩුව විභාග වෙනවා. ඊළග නඩු දිනය ජුනි 01 දාට යෙදිලා තියෙනවා.” කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඊට පිළිතුරු දුන්නේ ය.
“ඔව් ඒක හරි. හැබැයි ජෙරම් ගැන වචනයක්වත් කතා නොකරපු විපක්ෂ නායකතුමා නම් පාස්ටර් ජෙරම් ගැන කතා නොකරන්නේ මන්දැයි කියලා පී. හැරිසන් කියපු ගමන් අන්න හැරෙන තැපෑලෙන් නිවේදනයක් දාලා.” ඇමති ප්‍රසන්න කීවේ සිනා සෙමිනි.
ඩොලරය පහළට එනවා
ඉකුත් බ්‍රහස්පතින්දා ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුදල් අමාත්‍යාංශයට පැමිණි අතර ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මුණ ගැසී සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී ය.
“ජනාධිපතිතුමා අයි.එම්.එෆ් එකත් සමඟ සාකච්ඡා පටන් ගත්තේ ගිය සැප්තැම්බරයේ. මේ සැප්තැම්බරය වන විට රට සම්පූර්ණයෙන්ම කණපිට හැරවෙනවා.” ඇමති ශෙහාන් සේමසිංහ කීවේ මුදල් අමාත්‍යාංශයට ජනපති පැමිණි අවස්ථාවේදී ය.
“වසරක් යන්න කලින් ඩොලරය 300 සීමාවෙන් ඉවත් වුණා. එය පහළට එනවා. අයි.එම්.එෆ් සාකච්ඡා පටන් අරන් අවුරුද්දක් වෙද්දී එය තවත් වෙනස් වේවි.” ඇමති සියඹලාපිටිය ද කීවේ එවැන්නකි.
“හැබැයි විපක්ෂය නම් කියන්නේ එයාලා එක්ක පැවැති සාකච්ඡාවේදී ලංකාවේ ජනතාවට මේ ගහලා තියෙන බදු ප්‍රමාණය අයි.එම්.එෆ් නියෝජිතයෝ පුදුම වුණා කියලායි.” එහි පැමිණ සිටි නිලධාරියෙක් කීවේ ය.
“මොන බොරුවක් ද මීට වඩා බදු වැඩි රටවල් කොපමණ තියෙනවාද? එයාලා අපි යන වැඩපිළිවෙළ අගය කරනවා. අනෙක රජයේ ආදායම් තවම මදි බවයි එයාලා කියන්නේ.” ශෙහාන් පිළිතුරු දුන්නේ ය.
“ආනයන සීමා ක්‍රමක්‍රමයෙන් ලිහිල් කිරීමට සැලසුමක් හදන්නත් ඒ අය සහාය දෙනවා.” සාගල ද කතාවට පිළිතුරු බැන්දේ ය.
රණවිරු සැමරුම රණවිරුවන්ට
වසර 30 ක යුද්ධයේදී දිවි පිදු රණවිරුවන් සිහිකර පැවැත්වෙන 14 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය ඉකුත් සිකුරාදා සවස පැවැත්වුණේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල රණවිරු සැමරුම් ස්මාරකය අබියසදීය.
“හැමදාම මේක දේශපාලන සැමරුමක් වුණා මිසක රණවිරු සැමරුමක් වුණේ නෑ. ඒ නිසා මෙය රණවිරුවන්ට මුල්තැන දෙමින් කරන්න ඕනෑ.” ජනාධිපති ජාතික ආරක්ෂක උපදේශක සාගල ත්‍රිවිද හමුදා ප්‍රධානින්ට උපදෙස් දුන්නේ ය.
රණවිරු සැමරුම චාම් හා අභිමානවත් අයුරින් පැවැත්වීමට සාගල උපදෙස් දුන් අතර දේශපාලනයෙන් තොරව එම සැමරුම සංවිධානය කිරීම ගැන ජනපති සාගල පැසසුමට ලක් කළේය.
කරු මානව හිමිකම් වෙනුවෙන්
සිවිල් වැසියන් විසින් කරනු ලබන උද්ඝෝෂණ සම්බන්ධව රාජ්‍ය නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි පිළිබඳව නිර්දේශිත මාරගෝපදේශ ප්‍රකාශයට පත්කිරීම සඳහා පසුගිය 12 වෙනිදා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක දී උත්සවයක් පැවැත්වුණි.
එයට හිටපු කතානායක කරු ජයසූරිය මහතා සහභාගී වූවේ මහත් උනන්දුවෙනි. මෙම අවස්ථාවට අගවිනිසුරු තුමා ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් මෙන්ම පොලිසියේ උසස් නිලධාරීන් මෙන්ම සුවිශේෂී පිරිසක් සහභාගී වී සිටියහ.
මානව හිමිකම් කොමිසමේ එකී නිර්දේශ කරු ඉතා ඉහළින් අගය කළා පමණක් නොව එහි ඇති වැදගත්කම පෙන්වා දෙමින් පසුගියදා විශේෂ මාධ්‍ය හමුවක් ද පවත්වනු ලැබී ය. එහිදී ද කරු පෙන්වා දුන්නේ මේ රටේ ඕනෑම පුරවැසියෙකුට හෝ සංවිධානයකට උද්ඝෝෂණ කිරීමට ඇති අයිතිය තහවුරු විය යුතු බව ය. එමෙන්ම උද්ඝෝෂණකරුවන් ද එහි දී රටේ නීතියට අනුගත වෙමින් සාමකාමී ලෙස මහජනතාවට වන පීඩාවන් අවම වන ආකාරයට තම උද්ඝෝෂණ සිදු කළ යුතුව ඇති බව ද ඔහු එහිදී අවධාරණය කළේ ය.
■ ගජබා