පොහොට්ටුවෙන් පූට්ටුවක්


පොහොට්ටුව රනිල්ට


එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කර ඇති නමුත් පොහොට්ටුව දිගින් දිගටම සිටියේ කල්මරණ ප්‍රතිපත්තියකය. ඔවුන් කීවේ තම අපේක්ෂකයා නියමිත වේලාවට ඉදිරිපත් කරන බවය. 
එහෙත් බොහෝ දෙනා කියන්නේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවය. ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකකම දෙන බව ප්‍රකාශ කරමින් පසුගිය කාලය පුරා ඔහු රට වටේ ගෙන ගියේය. ධම්මිකද කියා තිබුණේ පොහොට්ටුව තමන්ට එම වගකීම පවරන්නේ නම් තමන් ඒ සඳහා සූදානම් බවය. එහෙත් පොහොට්ටුවේ නායකයන් දැන් තැන් තැන්වල කරන කතාබහ අනුව නම් පැහැදිලි වන්නේ අවසානයේදී රනිල් වික්‍රමසිංහ මහතාටම සහාය දෙනු ඇති බවය. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව පොහොට්ටුවේ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් පොහොට්ටුව ස්ථිර වශයෙන්ම දෙකඩ වීමය. ආණ්ඩුවේ මැති ඇමතිකම් දරන පොහොට්ටුවේ වැඩි දෙනා සිටින්නේ ජනාධිපතිවරයා සමගය. ඔවුන් දිගින් දිගටම කියන්නේ රනිල් වික්‍රමසිංහට සහාය දිය 
යුතු බවය.
රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කෙරෙන මහජන රැලි මාලාවේ දෙවැනි මහජන රැලිය ‘එක්ව ජයගමු’ මැයෙන් ගිය සතියේ පැවැත්වුණේ මහනුවරය. එහි පළමුවැන්න මාතර දී පැවති අතර එය සංවිධානය කළේ කංචන විජේසේකර ඇමතිවරයාය. මහනුවර පැවති දෙවැනි රැලිය සංවිධානය කළේ මහින්දානන්ද අළුත්ගමගේය. මහින්දානන්ද ද පොහොට්ටුවේ ප්‍රබලයෙකි. එහෙත් ඔහු දැන් තනිකරම සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟය. මහින්දානන්ද අලු‍ත්ගමගේ පමණක් නොව ලොහාන් රත්වත්තේලා ද දැන් සිටින්නේ රනිල් සමගය. පොහොට්ටුවේ කිහිප දෙනෙකු හැරෙන්නට වැඩි පිරිස රනිල්ට එකතු වී සිටින අතර පොහොට්ටුවේ අනෙක් පිරිසටද රනිල්ට සහාය දක්වනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරි වී නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ගිය සතියේ ප්‍රකාශ කළේ වික්‍රමසිංහ මහතා පොහොට්ටුව සමග එක්ව කටයුතු කරන්නේ නම් පොහොට්ටුවේ සහාය ඔහුට ලබාදෙන බවය. ඉන් කියවෙන්නේ පොහොට්ටුව වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම ය . මේ අතර  එක්ව ජයගමු රැලි මාලාවේ තුන්වැන්න අද කඩවත නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහි සංවිධාන කටයුතු භාරව ඇත්තේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයාටය.


ඉන්දික ප්‍රසන්න එකට 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිවුලපිටිය ආසන සමුළුව ඉකුත් සති අන්තයේ පැවති අතර එහි ප්‍රධානත්වය ගත්තේ පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂය. ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු, තිස්ස කුට්ටිආරච්චි ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ඊට සහභාගි වූහ. දිවුලපිටිය ආසනයේ පොහොට්ටුවේ සංවිධායක ඉන්ද්‍රික අනුරුද්ධ රාජ්‍ය ඇමැතිවරයාය. ඉන්දික අනුරුද්ධ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ නායක ප්‍රසන්න රණතුංග අතර කාලයක පටන් දේශපාලන විරසකයක් පවතී. ඒ නිසා ඉන්දික අනුරුද්ධත්  ප්‍රසන්න රණතුංගත් එකම වේදිකාවේ දැකීම දුලබ දසුනකි. එහෙත් එදින රැස්වීමට ප්‍රසන්නත් ඉන්දික අනුරුද්ධත් යන දෙදෙනාම පැමිණ සිටියහ. ප්‍රසන්නට මේ රැස්වීමට එන්නැයි ඉන්දික අනුරුද්ධ ආරාධනා කර තිබූ අතර පොහොට්ටු පක්ෂ කාර්යාලයෙන් ද ප්‍රසන්නට ඒ සඳහා දැනුම් දී තිබිණ.     ප්‍රසන්න සුපුරුදු ලෙස එදින රැස්වීමේ දී ද කීවේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ද රනිල් වික්‍රමසිංහ මහතා බව ය.


ප්‍රසන්න උඩුගම්පොළ රැස්වීම මගහරී

පොහොට්ටුවේ  ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව උඩුගම්පොළ පක්ෂ කාර්යාලට කැඳවනු ලැබුවේ බත්තරමුල්ල නෙළුම් මාවත පොහොට්ටු පක්ෂ කාර්යාලය විසිනි . වෙනදා මෙම රැස්වීම කැඳවනු ලබන්නේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා විසිනි. එහෙත් එම රැස්වීම මෙවර පක්ෂ කාර්යාලයෙන්ම කැඳවා තිබුණේ ප්‍රසන්න රණතුංගට රිදවීමට බව ප්‍රසන්නගේ හිතවාදීන්ගේ අදහසය. කැඳවන අයගේ නාම ලේඛනයක් පවා ප්‍රසන්නට ලබා නොදී තිබූ අතර එම රැස්වීමට ජෝන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද සහභාගි විය . එහෙත් ජොන්ස්ටන් එම රැස්වීමට පැමිණෙන බවක් ප්‍රසන්න දැන නොසිටි අතර කලින් දිනයේ ජොන්ස්ටන්ම කියා තිබුණේ තමන් එම රැස්වීමට සහභාගී වන බවය.
මේ රැස්වීම තමාට නොදන්වා කැඳවීම ගැන ප්‍රසන්න තරමක් උරණව සිටියේය. පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයා මෙන්ම මිනුවන්ගොඩ ආසනයේ සංවිධායකවරයා ද වන ප්‍රසන්න මේ සිද්ධිය ගැන සිටියේ තරමක කලකිරීමෙනි. ”‍මේක මගේ තැන වුණාට මේ රැස්වීම කැඳෙව්වේ මම නෙවෙයි. කවුරුත් නැති කාලේ ගමක් ගමක් ගානෙ ගිහින්  පක්ෂය හදන්න  මිනිස්සු එකතු කළේ අපි. දැන් මේ පක්ෂ කාර්යාලට රිංගලා ඉන්න බහිරවයෝ මේක කන්න හදනවා. ඒ හින්දා මට මෙතන ඉන්න බෑ. කියමින් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා රැස්වීමෙන් පිටව ගියේය


නිමල් - චාමර අලු‍ත් හවුල

ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල කණ්ඩායමේ තුන්වැනි ජනරැලිය ඉකුත්දා බදුල්ල නගරයේ දී පැවැත්වුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි. මේ රැස්වීමට මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, අනුර පියදර්ශන යාපා සහ නිමල් ලංසා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද සහභාගි වී සිටියහ. නිමල් සිරිපාල සහ චාමර සම්පත් දසනායක රාජ්‍ය ඇමතිවරයා කාලයක පටන් සිටියේ දේශපාලන විරසකයක බව බොහෝ දෙනා දන්නා කරුණකි.  එහෙත් මේ රැස්වීමට එම දෙදෙනා එක්ව  සෙනග ගෙන්වා ගැනීමට කටයුතු යොදා තිබිණ. ඔවුන් දෙදෙනාම කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිය දී සමහර දේශපාලන කාරණා සම්බන්ධයෙන් දැඩි විවේචන ද එකිනෙකාට එල්ල කර ගත්හ. එහෙත් ඒ කටයුතු දැන් පසෙකට දමා මේ දෙන්නා අලු‍ත් ගමනකට සැරසී සිටින බව පැහැදිලිය.


අනුර යාපලා පුටුවට


මේ අතරේ අනුර ප්‍රියදර්ශන යාපා නිමල් ලංසා ඇතුළු කණ්ඩායම ජාතික පුවත්පත්වල කර්තෘවරුන් හමුවිය. ඒ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකය. අනුර යාපා නිමල් ලන්සාට අමතරව නලින් ප්‍රනාන්දු සහ සුදත් මංජුල යන මැති ඇමතිවරු ද ඊට  එක්ව සිටියහ. අනුර යාපලා අලු‍තින් හදන නව සන්ධානය ගැන මෙන්ම ඉදිරි දේශපාලන කටයුතු ගැන ද පැහැදිලි කළ අතර ඔහු කීවේ ඉදිරි ජනාධිපතිවරණයේ දී එම කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බවය. ඊට බලපෑ හේතු ගැන ද අනුර යාපා පැහැදිලි කළ අතර, නිමල් ලංසා ද ඒ ගැන දීර්ඝ විස්තරයක් කළේය. ඔහු කීවේ පොහොට්ටුවේ අතිබහුතරය සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග  බවය . නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම එක්ව  ධම්මික පෙරේරා ඉදිරිපත් කරන්නේ නම් එය වඩාත් සුදුසු බව ඔහු කීවේය. එය පොහොට්ටුවේ මැතිවරණ වියදම අඩු කරන්නක් බවද ඔහුගේ අදහස විය. 
ඒ සමගම ඉදිරි මැතිවරණවල දී කටයුතු කරන්නේ කෙසේදැයි පුවත්පත් කතුවරයකු විමසූ විට නිමල් ලංසා කීවේ ඉතා ඉක්මනින්ම පොදු ජන එක්සත් පෙරමුණේ පුටුව ලකුණ යටතේ සන්ධානගත වීමට කටයුතු කරගෙන යන බවය. ඒ හදන සන්ධානය වඩාත් පුළුල් එකක් බවද ලංසාගේ අදහස විය. 


නාමල් අම්බානිගේ මඟුල් ගෙදර

ඉන්දියාවේ ප්‍රධානම පෙළේ ව්‍යාපාරිකයකු වන අම්බානිගේ  පුත්‍රයාගේ විවාහ මංගල උත්සවය ලෝකයේ ම අවධානය දිනාගත් මංගල උත්සවයක් විය .ඒ සඳහා ලොව ප්‍රධාන පෙළේ නායකයන් මෙන්ම ප්‍රකට පුද්ගලයෝද සහභාගි වූහ. ලංකාවෙන්  ඒ සඳහා ඇරයුම් ලබා තිබුණේ නාමල් රාජපක්ෂ සහ මහේල ජයවර්ධන යන දෙදෙනාය. නාමල්  බිරිය ලිමනි ද සමග මෙම විවාහ මංගල උත්සවයට සහභාගි වූවාය. නාමල් අම්බානි පවුලට මීට වසර පහළොවකට පමණ පෙර හඳුන්වා දෙනු ලැබුවේ සල්මන් විසිනි .


22 කල් ගියේ ඡන්ද මදි නිසා ද? 

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් හදිසියේ ගෙන ඒමට ආණ්ඩුව තීරණය කළ ද එය වහාම හකුළා ගැනීමට ද ආණ්ඩුව කටයුතු කළේය. 22 වැනි සංශෝධනය හරහා ජනාධිපතිවරණය කල් දැමීමට සැලසුමක් ඇතැයි පළමුව කියවුණි. එහෙත් පසුගිය බදාදා විජේදාස රාජපක්ෂ ඇමතිවරයා දැනුම් දුන්නේ 22 ජනාධිපතිවරණයෙන් පසුව ගෙනෙන බවයි. මේ සම්බන්ධයෙන් විවිධ කතා පැතිරෙද්දී විපක්ෂය චෝදනා කරන්නට වූයේ මෙය හකුළා ගත්තේ සංශෝධනය සම්මත කර ගැනීමට අවශ්‍ය තරම් ඡන්ද ආණ්ඩුව සතු නොවීම නිසා බවය. ඒ නිසා ආණ්ඩුව සංශෝධනය කල් දැමූ බවය. එය ආණ්ඩුව පැත්තෙන් ප්‍රතික්ෂේප වුවද විපක්ෂය දිගින් දිගටම කියන්නේ ඒ කතාවයි. 


විපක්ෂයේ මන්ත්‍රීගේ අනඟ රැඟුම මඩක් ද?

පසුගිය සතියේ බොහෝ දෙනා කතා බහ කළේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් විපක්ෂ නායක කාර්යාලයේ කාමරයක අනඟ රැඟුමක යෙදෙද්දී හසුවූයේ යැයි කියා පැතිර ගිය කටකතාව ගැනය. මේ කටකතාවට හේතු වූ මන්ත්‍රීවරයා ගැන තතු දන්නා සමීප මන්ත්‍රීවරු කියන්නේ මෙය කිසිසේත්ම විය නොහැකි එකක් බවය. එසේම මේ කියන කතාවට හේතු වූ අතිශය සරල සිදුවීමක් හෝ සිදුවී ඇත්නම් එය අවම වශයෙන් මාසයක්වත් පරණ එකක් බවත්, මේ මන්ත්‍රීවරයාට එරෙහිව සංවිධානාත්මක මඩ ව්‍යාපාරයක් ගෙන යන බවට සැකයක් ඇති බවත් ඔහුගේ සමීපතමයන්ගේ අදහස වී තිබේ. 

මේ රේස් එකේ මම ජනාධිපති

මේ අතර ජනපති රනිල් නීතිඥවරුන් පිරිසක් මුණගැසුණේ රටේ වත්මන් තත්ත්වය ගැන කතා කරන්නටය. මෙහිදි නීතිඥවරයෙකු නැගිට විමසුවේ “සර් දැන් අපේක්ෂකයෝ දෙන්නෙක් දුවනවා. සර් කවදද මේ රේස් එකට එන්නේ.” කියාය.
“නෑ මේකේ පේන්නේ අපේක්ෂකයෝ දෙන්නෙක් හා ජනාධිපතිවරයෙක් රේස් එකේ දුවනවායි.” ජනපති කියද්දි සැවොම කොක්හැඬලූහ.
“විපක්ෂ නායකතුමා අගමැතිකම බාරගන්න යන්න කලින් ඔබතුමා අරගත්තා කියලා හර්ෂ කියලා තිබුණා.” නීතිඥ දිනේෂ් විදානපතිරණ විමසා සිටියේ ජනපති ඔවුන් අසලට 
පැමිණි අවස්ථාවේදීය.
“එයා බාරගන්න බෑ කියපු නිසා තමයි මට ආරාධනා කළේ. කවුරුත් බෑ කියපු නිසා තමයි මම ගත්තේ. සාමාන්‍යයෙන් ඉන්න අගමැති ඉල්ලා අස්වුණාම ඒක බාරගන්නේ විපක්ෂ නායකයා. එයා තමයි ෂැඩෝ අගමැති. නමුත් මෙයා හැංගුණා. රටක විපක්ෂ නායක කියන්නේ බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙවෙයිනේ.” ජනපති කීවේ හීන් හිනාවක් දමමිනි. 


ට්‍රෙන්ඩ් එක සජිත් 


පසුගිය දිනවල පැවැත් වූ සියලු සමීක්ෂණවලින් සජිත් ප්‍රේමදාසයේ නැගීමක් වාර්තාවන බව සජබ පැත්තෙන් ඇසෙන කතාවයි. මේ නිසාම මෙතෙක් කාලයක් සජිත් ප්‍රේමදාස ගැන හෝ සජබ ගැන කිසිදු අවධානයකින් නොසිටි බොහෝ දෙනෙකු සජිත් සමග එකතුවීමට පටන් ගෙන තිබේ. මෙසේ එකතුවන ඇතැමුන් වසර ගණනක් සජිත් සමග සිටියා සේ පක්ෂය සම්බන්ධයෙන් උපදෙස් දෙන්නටද පටන් ගෙන තිබේ. එහෙත් සජිත් සෑම විටම ආරම්භයේ සිටම තමන් ගැන විශ්වාසය තැබූ පිරිසට මූලිකත්වය දීමට අමතක කරන්නේ නැත. මෙය තමන් වෙනදා සිටි පක්ෂයේ නායකයාට වඩා වෙනස් තත්ත්වයක් බවයි සජබ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ. “කවුරු ආවත් සජිත් මුල අමතක කරන්නෙ නෑ... ට්‍රෙන්ඩ් එක සජිත්ට කියලා දන්න අය සජිත් හොයාගෙන එනවා ” යැයි සජිත් සමග ආරම්භයේ සිටම සිටි තරුණ මන්ත්‍රීවරයෙකු කීවේ අලුතින් එන අය ගැන කියමිනි. 


විපක්ෂ නායක ගේ ආරක්ෂාව 

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර එල්ල වීමෙන් පසුව ලංකාවේද ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳව කතා බහ ඇති විය. මේ කතාබහකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කීවේ “ලංකාවෙත් ඇතැම් දේශපාලන පක්ෂ ඔවුන්ගේ අරමුණු ඉටු කරගැනීමට නොහැකි වුණාම මැතිවරණ රැලි වලට වෙඩි ප්‍රහාරයක් එල්ල කරලා තිබුණා. මෙවැනි දේශපාලනයෙන් අපි ඉවත් විය යුතුයි. ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා බැලිය යුතුයි. ඔහුට අවශ්‍ය නිසි ආරක්ෂාව ලබාදීම වර්තමාන රජයේ වගකීමක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනය කරන්නේ ආයුධවලින් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදි රටක දේශපාලනය කරන්නේ ජනතාවගේ කැමැත්තෙන් සහ මැතිවරණවලින්.” 
“රටේ ඊළඟ ජනාධිපතිවරයා ලෙස පත්වීමට සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂාව තර කළ යුතුයි. රටේ සිටි දක්ෂ නායකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු නොකළ නිසා ඔවුන්ට ජිවිතය අහිමි වුණා. ඒ නිසා රටේ සංවර්ධන කටයුතු පවා ඇණ හිටියා. රටේ සියලු‍ම දේශපාලන නායකයින් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා” යැයි සුජීව 
සේනසිංහ කීවේය. 
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව කතානායකවරයා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව දැනුම්වත් කර තිබේ.


ෆොන්සේකා තනිව එයි


සමගි ජනබලවේගයේ සභාපතිවරයාව සිටි සරත් ෆොන්සේකා මෙවර ජනාධිපතිවරණයට තනිව තරග කිරීමට තීරණය කර තිබේ. ඔහු ජනාධිපතිවරණයට තමන්ගේ පැමිණීම අගෝස්තු මස 7-9 අතරදී ප්‍රකාශ කිරීමට නියමිත බවද වාර්තාවෙයි. සමගි ජනබලවේගය තමන්ට නිසි ආකාරයෙන්  නොසැලකූ බව සරත් ෆොන්සේකාගේ ප්‍රධාන චෝදනාව වෙයි. එහෙත් ෆොන්සේකා තරග කිරීම හරහා සමගි ජනබලවේගයට මැතිවරණ වේදිකාවලදී දැඩි ප්‍රහාරයක් එල්ල    කිරීමට     අපේක්ෂක​ෙයකු නිර්මාණය වීම සජබට විශාල පාඩුවක් බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ෆොන්සේකා ගේ පැමිණීම පසු පස රනිල් වික්‍රමසිංහ සිටින බවට විපක්ෂයේ චෝදනාවයි. ෆෝන්සේකා සමගි ජනබලවේගයෙන් නෙරපීම ප්‍රමාද කිරීමට ප්‍රධාන හේතුවක් වූයේද ඔහු පක්ෂයෙන් එළියට ගොස් ප්‍රහාර එල්ල කිරීමෙන් පක්ෂයට හානියක් වේ යැයි තිබූ මතයයි.
2010 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් තරග වැදුනු ෆොන්සේකා මෙවර තනිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන වරන්වර කියා තිබුණි.