මැතිවරණ නීතියද ? සාමාන්‍ය නීතියද ?


ඉකුත් සතියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම් දෙකක් පැවැත්විණි. එකක් සඳුදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේ සාමාන්‍ය පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීමයි. දෙවැන්න ගිය බදාදා පැවැති විශේෂ කැබිනට් රැස්වීමයි.


සඳුදා පැවති කැබිනට් රැස්වීමේදී ටිරාන් අලස් ඇමතිවරයා ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ රටේ ක්‍රියාත්මක වන්නේ මැතිවරණ නීතිය ද නැතිනම් සාමාන්‍ය නීතිය දැයි කියාය. ජනාධිපතිවරයා කීවේ දැන් මැතිවරණයන් නෑනෙ, ඒ නිසා ක්‍රියාත්මක වෙන්නෙ සාමාන්‍ය නීතිය කියාය. ටිරාන් එසේ විමසා සිටියේ පළවෙනිදා රටපුරා උද්ඝෝෂණ සහ විරෝධතා රැල්ලක් පැවැත්වෙන බැවින් කෙසේ කටයුතු කළ යුතු ද යන්න සම්බන්ධයෙන් අදහසක් ගැනීම වෙනුවෙනි.


රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව හා විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් රජයේ ආයතන රැසක වෘත්තීය සමිති ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් බදාදා දිනයේ රට පුරා ක්‍රියාත්මක කළේය . මේ හේතුවෙන් එදින රටේ සාමාන්‍ය කටයුතු අඩපණ වී තිබිණි. රටේ ඇතිවී තිබුණු තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා එදින පස්වරුවේ ම විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවීය. කැබිනට් රැස්වීම කැඳවීමට තවත් හේතුවක් තිබිණි. ඒ අපොස් උසස පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර බැලීම ගුරුවරුන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පිළිතුරු පරික්ෂා කිරීමේ කටයුතු දිගින් දිගටම කල් යාම ය. ගුරුවරුන් එසේ ප්‍රතික්ෂේප කර තිබුණේ පිළිතුරු පරීක්ෂාව වෙනුවෙන් ඔවුන්ට ගෙවන දීමනාව වැඩි කරන ලෙස ඉල්ලමිනි. එම කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් එදින විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වුණු අතර, එහිදී තීරණය වූයේ ගුරුවරුන් ප්‍රශ්න පත්‍ර බැලීම වෙනුවෙන් ගෙවනු ලබන දෛනික දීමනාව රුපියල් නවසීයේ සිට රුපියල් 2000 දක්වා වැඩි කිරීමට ය


මේ අතර එදින ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡාවට ලක්විය. රාජ්‍ය බැංකුවල සේවකයින් ලෙඩ නිවාඩු දැමීම හේතුවෙන් එදින බැංකු කටයුතු අඩාළ වී තිබූ අතර, ඒ හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව, ගෑස් සමාගම, සෞඛ්‍ය සේවය ආදී කටයුතුවලදී බරපතළ ගැටලු‍වක් වූ බව ඇමතිවරු ගණනාවක් ම සඳහන් කළහ. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ රජයේ ආයතනවල ගිණුම් පෞද්ගලික වාණිජ බැංකුවල ද පවත්වාගෙන යාමට අවසර දෙන ලෙසය. එම ඉල්ලීමට එකඟ වෙමින් ජනාධිපතිවරයා ඊට අවසර දුන්නේය. කැබිනට් මණ්ඩලය තීන්දු කළේ මුදල් ඇමතිවරයාගේ පූර්ව අනුමැතිය ඇතිව රාජ්‍ය ආයතනවල ගිණුම් පෞද්ගලික බැංකුවල ආරම්භ කිරීමට අවසර දීමට ය.

විපක්ෂයත් ආණ්ඩුවත් කතානායකවරයා වෙන වෙනම හමුවේ

ගින් දිගටම කල් යවමින් තිබෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගිය සතියේ ද දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක් විය. විපක්ෂය ඉල්ලා සිටින්නේ මේ මොහොතේ මැතිවරණය ලබාදෙන ලෙසය. ආණ්ඩුව දිගින් දිගටම උත්සාහ කරන්නේ මැතිවරණය ලබා නොදී එය කල් දැමීමටය. ආණ්ඩුව පැත්තෙන් කළ කී දෑ මෙන්ම ගන්න උත්සාහයන්වලින් වෙනස හොඳින් පැහැදිලිය. විපක්ෂයේ පක්ෂ නායකයෝ පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවට ගොස් කතානායකවරයා හමු වූහ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, නිදහස් ජනතා සන්ධානයේ නායක ඩලස් අලහපෙරුම, මහාචාර්ය ජී එල් පීරිස්, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ. කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරමින් පළාත් පාලන මැතිවරණය සඳහා අයවැයෙන් මුදල් වෙන් කර ඇති බැවින්, එම මුදල් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන බවය . ඔවුන් ඉල්ලා සිටියේ, ඡන්දය ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස ය. ඡන්දය කල් දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවද ඔවුහු කියා සිටියහ. කතානායකවරයා කීවේ මේ සම්බන්ධයෙන් තමාට ආණ්ඩුවේ පක්ෂ නායකයින් ද හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍ය බවය. ඒ අතර අයවැයෙන් වෙන්කර ඇති මුදල් ඡන්දයට ලබා නොදීම සම්බන්ධයෙන් කරුණු විමසීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.
”‍පාර්ලිමේන්තුව සතු බලය හෑල්ලු‍ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ. කතානායකවරයා මේ තත්ත්වය වෙනස් කිරීමේ බලය සතු නියෝජිතයා”‍ එහෙම කීවේ මහාචාර්ය ජී.එල් පීරිස් ය.


”‍කථානායකතුමනි, පළාත් සභා මේ වනවිට නිෂ්ක්‍රීයයි. ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු අතේ එහි බලය තියෙන්නෙ. ඉදිරියේදි පළාත් පාලන ආයතනත් ජනාධිපති නියෝජිතයෙකු අතට පත්වෙනවා. ඒ හරහා මහජන නියෝජිතයින් ජනාධිපතිවරයාගේ අත් අඩංගුවට ලක්වෙයි.’’ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.
”‍මේ තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට පක්ෂ නායක හමුවක් කැඳවා තියෙනවා. ඉදිරි කටයුතු පිළිබඳව එහිදී තීන්දු කළ හැකියි”‍ කතානායකවරයා පැවසීය.
”‍ඒ පක්ෂ නායක රැස්වීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන්නන්න”‍ සජිත් ඉල්ලා සිටියේය.


ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද එකඟතාවයක් මත එම තීරණය ගත හැකි බව කතානායකවරයා පැවසීය. නමුත් එහිදී විපක්ෂ නායකතුමා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත් මුදල් හරියට යෙදවීම උල්ලංඝනය වන්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡාවකට කැඳවීමේ අයිතිය කතානායකවරයා සතුව ඇති බව ය.


ඒ අනුව කතානායකවරයා ආණ්ඩුවේ පක්ෂ නායකයන් හමු වන්නට අවශ්‍ය බව ආණ්ඩුවේ නායකයන්ට දැනුම් දුන්නේය. කතානායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාට දුරකථනයෙන් දැනුම් දුන්නේ විපක්ෂය කරන ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පක්ෂ නායකයන් කැඳවන ලෙස ය. ප්‍රසන්න මේ ගැන දිනේෂ් ගුණවර්ධන මහතාට ද කීවේය. දිනේෂ් ද කීවේ කතානායකවරයා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වැදගත් බව ය. ඒ අනුව ආණ්ඩුවේ පක්ෂ නායකයෝ ඉකුත් බදාදා පාර්ලිමේන්තුවට ගොස් කතානායකවරයා හමු වූහ. විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් කතානායකවරයා ඔවුන්ට පැහැදිලි කළ අතර, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කීවේ කතානායකවරයාට ව්‍යවස්ථානුකූලව ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩකඩ තිබෙන බවය. පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස හා මුදල් අමාත්‍යංශයේ ලේකම් පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂය කරන ඉල්ලීම් තමාට ඉටු කළ නොහැකි බවද කතානායකවරයා පැවසීය. අගමැති දිනේෂ් ගුණවර්ධන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, සී.බී. රත්නායක, මහින්ද අමරවීර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම්, සිරිපාල ද සිල්වා ඇතුළු ආණ්ඩුවේ පක්ෂ නායකයෝ පිරිසක් ඊට සහභාගි වූහ.

උත්තර ලංකා සභාගයේ  විරෝධය රට පුරා

මේ අතර උත්තර ලංකා සභාගයේ පක්ෂ නායකයෝ ද සඳුදා හවස කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී හමුවූහ. මැතිවරණය කල් දමා තිබෙන පසුබිමක් තුළ දේශපාලන කටයුතු ඉදිරියට කරගෙන යන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ අතර, ආණ්ඩුවේ ක්‍රියාදාමයට එරෙහිව රටපුරා විරෝධතා සහ සම්මන්ත්‍රණ පැවැත්වීමටද එහිදී තීරණය විය. උත්තර ලංකා සභාගය, නිදහස ජනතා සභාව ඇතුළු පක්ෂ එක්ව රට පුරා ඒවා ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනාවක් නිදහස ජනතා සන්ධානයේ විධායක සභාවට ඉදිරිපත් කිරීමට ද තීරණය විය. වාසුදේව නානායක්කාර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ


නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අඟහරුවාදා හවස රැස්විය. මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, ජී වීරසිංහ , තිලංග සුමතිපාල ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. කල් දමා ඇති මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට බල කරමින් රට පුරා සම්මන්ත්‍රණ රැස්වීම්, විරෝධතා උද්ඝෝෂණ ආදිය පැවැත්වීම කෙරෙහි ද එහිදී අවධානය යොමුවිය.


මේ අතර, කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නිදහස් ජනතා සන්ධානයේ නායකයෝ පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා ඉකුත් අඟහරුවාදා පෙරවරුවේ හමුවූහ. තිලංග සුමතිපාල , ආචාර්ය නාලක ගොඩහේවා සහ ජී වීරසිංහ යන මහත්වරු ඊට සහභාගි වූහ. කල් දමා ඇති මැතිවරණය නැවත පවත්වන කාල වකවානු සම්බන්ධයෙන්ද එහිදී ඔවුන් විමසා සිටි අතර, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණය කල් දමා ඇති බැවින් නැවත පවත්වන්නේ නම් පැවැත්විය යුත්තේ ඉන් දින 21 කට පසුව බවය. එසේ වුවද අලු‍ත් අවුරුද්ද සහ වෙසක් පොහොය හේතුවෙන් එම කාල වකවානුවේදී මැතිවරණය පැවැත්වීමට නොහැකි වන බව ඔහු කීවේය. නැවත මැතිවරණය පවත්වන්නට සිදු වන්නේ මැයි මස අග භාගයේ පමණ වන බවද ඔහු කීවේය.

ශ්‍රී.ල.නි.ප. දේශපාලන  ක්‍රියාවලිය ඉදිරියට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය ද ඉකුත් පළවෙනිදා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේදී රැස්විය. පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සති තුනක පමණ කාලයකට එක්සත් රාජධානිය බලා යන බැවින්, හදිසියේ මෙම රැස්වීම් පවත්වන්නට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා තීරණය කළේය.


මෛත්‍රී ද දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර සාම සමුළුවකට සහභාගි වී ලංකාවට පැමිණියේ ඊට කලින් දිනයේ ය. කොරියාවේ සෝල් නුවර පැවති ජාත්‍යන්තර සාම සමුළුවට සහභාගි වූ මෛත්‍රී එහි විශේෂ දේශනය කළේය. හිටපු ජනාධිපතිවරයා සමග ශාන් විජේලාල් ද සිල්වා මන්ත්‍රීවරයා ද සහභාගි වූ අතර ඔවුන්ට ඉහළ පිළිගැනීමක් ද හිමිවිය. කොරියාවේ බෞද්ධ විහාරස්ථාන රැසක පැවති උත්සව මාලාවකට ද හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස සහභාගි වූහ.


හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමට දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා, දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයෝ සහභාගි වූහ. පළාත්පාලන මැතිවරණය කල් දමා ඇති නමුත් දේශපාලන ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය බව එහිදී ඔවුහු කියා සිටියහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැප වූ පාක්ෂිකයන්ට ආසන මට්ටමින් උපහාර පිදීමේ උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා විය.

 විශාඛාවට පැන්න හැටි ජනපති කියයි

කොළඹ ප්‍රසිද්ධ පාසලක් වූ විශාඛා විද්‍යාලයේ තාප්පයෙන් පැන පාසල් ශිෂ්‍යයකු ලෙස එහි ගිය හැටිත්, විදුහල්පතිනිය තමන් ඇතුළු පිරිස පිටමං කළ හැටිත් ජනපති රනිල් කීවේ සිය මිතුරන් ඉදිරියේදීය. ඒ කොළඹ දී පැවැති රාජකීය විද්‍යාලයේ නීති සංගමයේ සැමරුමකට එක් වෙමිනි. කොළඹ හිල්ටන් හෝටලයේ ඉකුත් 25 වැනි සෙනසුරාදා පැවැති මෙම හමුව අතිඋත්කර්ෂවත් හමුවක් වූවේ පාසල් දිවියේ පැරණි රස මතකයන් පිටතට පැමිණි අවස්ථාවක් වූ නිසාවෙනි.


ජනපති රනිල් පාසල් අවධියේ කළ කෙළිකවටකම්වලින් සාදය විනෝදබර වූවේ රනිල් ද සාමාන්‍ය පුරවැසියෙකු බවට එහිදී පත්වීම නිසාය. පාසල් දිවියේ කළ ඇට්ටරකම් රැසක් මෙහිදී කලඑළි බැස්සේය. සුළු වේලාවකට එහි පැමිණිය ද ජනපතිවරයා සාදය නිමවන තෙක්ම එහි රැඳී සිටියේ අතීත මතක සිහිපත්වීම නිසාය.
සඳුදා ජනපති ඇමැති මණ්ඩලය වෙත ගියේ ආර්ථිකය ගැන කතා කිරීමටය. මෙහිදී ජනපති වත්මන් ආර්ථික වැඩපිළිවෙල ගැන මෙන්ම බදු සංශෝධනය ගැන ද විශේෂ ප්‍රකාශ රැසක් ඉදිරිපත් කරනු ලැබීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන මෙන්ම ලෝක බැංකු ආධාර ගැන ද මුදල් ඇමැතිවරයා ලෙස ජනපති රනිල් කරුණු ඉදිරිපත් කරනු ලැබුවේය.
ඇමති මණ්ඩල හමුවෙන් පසු ජනපති රනිල් සමඟ ඇමැතිවරුන් පිරිසක් සුහද සාකච්ඡාවක නිරතවූ අතර එහිදී පෙරදින පැවැති ජ.වි.පෙ උද්ඝෝෂණය ගැනද කතා බහක් ඇතිවිය. කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසුව ඒ අසල පැවැති කඩයක අකුලන දොරක් කඩා ජ.වි.පෙ නායකයා ඇතුළට රිංගා ගත් ආකාරය ගැන ද ඇමැතිවරු කියන්නට වූහ. මේ සියලු කතා අසා සිටි ජනපති රනිල් හැමට අපූරු කතාවක් කීවේය.
“අසූව දශකය මුල එන්. එම්. පෙරේරා ඇතුළු සම සමාජ නායකයෝ හයිඩ්පාක් පිටිය ආසන්නයේ ඔය වගේම උද්ඝෝෂණයක් කළා පාර වහගෙන. මෙතැනට පොලිසියෙන් ඇවිල්ලා කඳුළු ගෑස් ගහලා, මේ අයට හොඳටම පහර දුන්නා. කොල්වින් හොඳටම ගුටි කෑවා. කකුලට වැදුණු පහරක් නිසා කකුල ආබාධයකට ලක්වුණා. එය ඔහු මැරෙනකම්ම තිබුණා.” ජනපති අතීත කතාවක් සිහිපත් කළේය.
“ඔව්, මටත් මතකයි ඔතන සම සමාජ පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල ඉස්සරහා තමයි ඔය උද්ඝෝෂණය තිබ්බේ. එදා නායකයෝ තමන්ගේ සාමාජිකයන් එක්ක මැරෙන්න වුණත් හිටියා. කොල්වින්, පිලිප්, ජේ.ආර් එහෙම තමයි. පරණ වාමාංශික නායකයෝ තමන්ගේ පාක්ෂිකයන් දාලා දිව්වේ නෑ. ගහද්දී ගුටි කාගෙන හිටියා.” ඇමැති බන්දුල ද කතාවට ඌණපූරණයක් එක් කළේය.


විරෝධතාවට සහභාගී වී පිටත්ව යද්දී අසනීපව රෝහල්ගත කළ අයෙකු මියගොස් ඇති බවට පණිවුඩය රැගෙන ආවේ ජනපති ලේකම් සමන් ඒකනායකය. එම පුවත අසා සංවේදී වූ ජනපති රනිල් කීවේ මෙය ඉතාම ශෝකජනක පුවතක් බවයි.
ජනපති එදින පකිස්ථාන නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් මහතා මුණගැසුණු අතර එහිදී දෙරට අතර නාවුක කටයුතු හා ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා විය. එදින ජනපති විශේෂ ගැසට් පත්‍රයකට අත්සන් කරනු ලැබීය. ඒ වරාය ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ඒ ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කිරීමේ ගැසට් පත්‍රයටය.


එදින ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ගේ උපන් දිනය යෙදී තිබුණු බැවින් ඔහුට සුබපැතීමට ද ජනපති අමතක නොකළේය. එදින ඔහු කාර්ය මණ්ඩලයට කේක් පිරිනැමූ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් ඔහුට සුබපතා තිබුණි.
එදින ඔහු කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ක්‍රියාත්මක වන ප්‍රජාමූලික මුළුතැන්ගේ වැඩසටහනට සහභාගී වී අසරණ පවුල් වෙත දිවා ආහාරය ද පිරිනමනු ලැබූවේ මේ අවස්ථාවේ ජනතාව ඉතා අමරු ජීවන වටාපිටාවක සිටින බැවිනි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපනය කිරීම වෙනුවෙනි. යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඒ වෙනුවෙන් විශේෂිත රෝහල් හා සුදුසු ස්ථානයක විශේෂිත ළමා රෝහලක් පිහිටුවන ලෙස ඔහු උපදෙස් දෙනු ලැබීය.


ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ජනපති ලේකම් සමන් ඒකනායක රාජ්‍ය බැංකුවල ප්‍රධානීන් මුණගැසුණේ රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව පසුදින ක්‍රියාත්මක කිරීමට යෝජිත විරෝධතාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. එහිදී මෙම දෙපළ බැංකු ප්‍රධානීන්ට උපදෙස් දෙනු ලැබූවේ ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු කිරීමෙන් වළකින ලෙසටය.


ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උපසභාපති මාර්ටින් රේසර් ඇතුළු නියෝජිත පිරිස ජනපති මුණ ගැසුණේ ඉකුත් බදාදාය. එහිදී ඔහු ඇතුළු පිරිස මෙරට සංවර්ධනය වෙනුවෙන් දායක වන බවට ජනපතිට පොරොන්දු වූවේය.
එදින සවස ජනපතිට ලැබුණු රහස් වාර්තාවකින් කියවුණේ බදු ප්‍රතිපත්තියට එරෙහිව පැවැති වැඩවර්ජනය ප්‍රාදේශීය වශයෙන් අසාර්ථක වී ඇති බවටය. මේ අතර ජනපති රනිල් හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවනු ලැබූවේ රජයේ මූල්‍ය කටයුතු ගැන තීරණයක් ගැනීමටය.


මුදල් ඇමැති ලෙස ඔහු ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කළ පත්‍රිකාවෙන් කියවුණේ බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කිරීමට වර්ජනය හේතුවෙන් රාජ්‍ය බැංකු පද්ධතියෙන් බාධා පැමිණුනොත් පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීමට රාජ්‍ය ආයතනවලට අවසර ලබාදීමය.
“රාජ්‍ය බැංකු සේවකයෝ මේ විදියට කටයුතු කරන්න ගියොත් අවසානයේ පෞද්ගලික බැංකු සමඟ කටයුතු කරන්න රාජ්‍ය ආයතන ක්‍රියාකරාවි. එහෙම වෙලා බැංකු කඩා වැටුණොත් මේ වර්ජනය කළ සේවකයෝ ඊට වගකියන්න ඕනෑ.” ඇමැති බන්දුල කීවේ එවැන්නකි.
“හුඟක් අය වර්ජනයට ඇවිල්ලා නෑ. වෘත්තීය සමිති ඒකාධිකාරය මේකෙන් බිඳ වැටෙනවා. රාජ්‍ය සේවයෙන් 9% ට විතරයි මේ බදු ප්‍රශ්නය බලපාන්නේ. ඉතින් තමන්ට බලනොපාන කාරණයක් වෙනුවෙන් සේවකයෝ මේ වෘත්තීය සමිති එක්ක හිට ගන්නේ නෑ.” ඇමැති ප්‍රසන්න කීවේය.
“වෘත්තිය සමිති ස්ට්‍රයික් කළා කියලා රජයට වැඩ නතර කරන්න බෑ. අපි මේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්න ඕනෑ” ජනපති කීවේ කැබිනට් පත්‍රිකාව අනුමැතියට ඉදිරිපත් කරමිනි. අවසානයේ ජනපති ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්මත වූවේය.
ජනපති ඉකුත් බ්‍රහස්පතින්දා දහවල් ත්‍රිකුණාමලය බලා පිටත්ව යන අතරතුර පොළොන්නරුවේද නතර වූවේය. ඒ මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් ආයතනය විවෘත කිරීමටය. එහිදී එකලස් කරන ලද විද්‍යුත් ට්‍රැක්ටර්, විද්‍යුත් යතුරු පැදි හා ත්‍රිරෝද රථ පරික්ෂා කිරීමට ද ජනපති පියවර ගත්තේය. ඉන් පසුව ජනපති ගියේ පොළොන්නරුව ගොවි සමිති නියෝජිතයන් මුණගැසීමටය.


එහිදී ඔවුන් ජනපතිට උපහාර තිළිණයක් පිළිගැන්වූවේ කඩා වැටීමට ගිය කෘෂි කර්මාන්තය ආරක්ෂා කිරීමට පියවර ගැනීම උදෙසාය.
“සර් අපි ගොවිතැන නවත්වන්න හිටියේ. පොහොර නැතුව ගොවිතැන් කරන්න බෑ. ඔබතුමා ඇවිල්ලා අපිට පොහොර දුන්න නිසා තමයි අපි ගොවිතැන් කරන්න පටන් ගත්තේ. නැතිනම් අපි ඉවරයි” ගොවීයෝ එක හඬින් කියන්නට වූහ.


“මම උදව් කරන්නම් ඔයාලා මට අස්වැන්න වැඩි කරලා දෙන්නකෝ.” ජනපති කීවේ සිනාසෙමිනි.
නිසැකවම එය සිදුවන බව කී ගොවීහු එදා විපක්ෂ දේශපාලන නායකයන් පසු බසිද්දී කඩා වැටුණු රට බාර ගෙන එය පිළිසකර කිරීමට පියවර ගැනීම ගැන ජනපතිට තුති පුද කළහ. පසුව ජනපති ත්‍රිකුණාමලය බලා පිටත්ව ගියේ ආරක්ෂක නිලධාරීන්ගේ විසිර යාමේ උත්සවයකට සහභාගීවීමටය.

සජබ අරගලය අඛණ්ඩව

මැතිවරණය ලබාගැනීම වෙනුවෙන් රට පුරා උද්ඝෝෂණ දියත් කිරීමට සමගි ජනබලවේගය තීන්දු කළේ පසුගිය සතියේදීය.
ඒ අනුව අදාළ මැතිවරණය ලබාගන්නා තෙක් අඛණ්ඩව අරගල කිරීමට සමගි ජන බලවේගය තීරණයක් ගනු ලැබීය.
මේ අතර පසුගියදා මාලිමාවේ විරෝධයට ආණ්ඩුව එල්ල කළ ප්‍රහාරය හෙළාදැකීමට සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළේය.
විරෝධතාවට එල්ල වූ ප්‍රහාරයෙන් කිහිප දෙනෙකු තුවාල ලැබූ බව සජිත්ට සැලවිය.
ඒ පිළිබඳව සොයා බැලූ ඔහු වහාම ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය.


”‍කිසිම නායකයෙක් හෝ පක්‍ෂයක් හැම විටම සහමුලින්ම නිවැරදි වී නැත., ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුත්තේ එබැවිනි.
අද ජාතික ජන බලවේගයේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලද අතර බොහෝ දෙනෙකුට බරපතළ තුවාල සිදුවිය.
මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලිය. ආණ්ඩුව කියන්නේ ජනතාවට නිශ්ශබ්දව පැත්තකට වී සිටින්න කියාය.”‍
ඉන් අනතුරුව ඔහු සිය මාධ්‍ය අංශයට උපදෙස් දුන්නේ මේ ප්‍රහාරය හෙළා දැක විශේෂ නිවේදනයක් නිකුත් කරන ලෙසය.


‘‘මේක දරුණු මර්දනයක්. සාමූහිකව මුහුණ නොදුන්නොත් ප්‍රජාතන්ත්‍රවාදය ඉවරයි.”‍ සජිත් සිය මන්ත්‍රී කණ්ඩායමට එහෙම කීවේය.
විරෝධතාවයෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ඊට පසු දින මියයෑමේ පුවත සජිත්ට සැළ වන විට ඔහු සිටියේ නලින් බණ්ඩාර සංවිධානය කළ රැළියක සභාව අමතමිනි.
”‍ආරම්භයේදීම ඉතාම කනගාටුදායක පුවතක් සිහිපත් කරන්න වෙනවා. ඊයේ ජාතික ජන බලවේගයේ විරෝධතාවයට ආණ්ඩුව එල්ල කළ ප්‍රහාරයෙන් රෝහල්ගතව සිටි පුද්ගලයෙකු මියගිහින් තිබෙනවා. එතුමා නිමල් අමරසිරි කියලා නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


අපේ බලවත් ශෝකය එතුමන්ගේ පවුලට පිරිනමනවා. අපිට දේශපාලන වශයෙන් විවිධ මත තියෙන්න පුළුවන්. අපි විවිධ කඳවුරුවල දේශපාලනය කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි වෙන්වෙලාවත්, එකටවත් දේශපාලනය කරන්න ඔය දුර්දාන්ත ආණ්ඩුව ඉඩක් ඉතිරි කරන්නේ නැහැ. මේ බියගුළු ප්‍රහාරයෙන් ආණ්ඩුව නැවත පෙන්නුම් කරන්නේ තමන්ගේ මර්දනය.


මේ බියගුලු‍ ආණ්ඩුව ලේ, කඳුළු උඩින් බලය රඳවාගෙන ඉන්න හදනවා නම් ඊට එරෙහිව අපි කොන්දේසි විරහිතව ඉදිරියට එනවා. ‘‘සජිත් කතාව ආරම්භ කළේ එහෙමය.
මේ අතර සජිත් තවමත් මැතිවරණ රැලිවලට සහභාගී වෙමින් සිටි. ඒ සියල්ලට අතිවිශාල ජනකායක් සහභාගි වීම තුළින් පෙනෙන්නට තිබුණේ ජනතාවට මැතිවරණයක් පිළිබඳව ඇති උනන්දුව ය.


මේ අතර මැතිවරණයක් උදෙසා ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට ද සමගි ජනබලවේගය කටයුතු කළේය.

මුදල් ඉල්ලූ විවාදයට ජවිපෙ පූර්ණ සහාය

පළාත් පාලන මැතිවරණයට මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක හමුවේදී විපක්ෂය ඉදිරිපත් කළ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ ගිය සතියේදී පූර්ණ සහාය දැක්වීය.


මෙම පක්ෂ නායක රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සහභාගි වූයේ පක්ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත ​හේරත් මහතාය.
ඒ වන විට අනුර කුමාර දිසානායක මහතා, අභාවප්‍රාප්ත නිමල් අමරසිරි මහතාගේ අවසන් කටයුතුවලට සහභාගි වීමට නිවිතිගලට ගොස් සිටියේය.


පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක සාකච්ඡාවේදී මුදල් ලේකම් කැඳවා මැතිවරණයට මුදල් ලබා නොදීම පිළිබඳව විමසිය යුතු බවට විජිත හේරත් මහතා ඇතුළු පිරිස කළ යෝජනාවට එකඟතාව ලබා ගත නොහැකි විය. එහිදී විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ ජනතාව ඉදිරියේ මැතිවරණය අවශ්‍ය බව ප්‍රකාශ කරන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඡන්දය පවත්වා ගැනීමට අවශ්‍ය සහාය නොදැක්වීම දෙබිඩි පිළිවෙතක් බවයි. මුදල් ලේකම්වරයා කැඳවා ප්‍රශ්න කිරීමේ යෝජනාවට එකඟතාවක් නොලැබුණු අතර මැතිවරණය කල් තැබීම පිළිබඳව දින දෙකක සභාව කල් තැබීමේ අවස්ථාවේ විවාදයක් පැවැත්වීමට මෙහිදී යෝජනා විය. විජිත හේරත් මහතාද එයට එකඟතාව දැක්වීය. එම විවාදය ලබන 9 හා 10 දිනවල දී පැවැත්වීමට එකඟ විය.


මේ අතර පසුගිය සිකුරාදා ජාතික ජනබලවේගයේ මෙහෙයවීමෙන් කොළඹ පැවැති රැලියට එල්ල වූ ප්‍රහාරයේ දී තුවාල වූ සාමාජිකයන් බැලීමට විජිත හේරත්, වසන්ත සමරසිංහ, ලාල් කාන්ත යන මහත්වරුන් ඇතුළුව පක්ෂයේ ප්‍රධානීහු රෝහලට ගියහ.


මාතලේ ජන රැලියේදී සිනමා නළු ශෂී විජේන්ද්‍ර මහතා වේදිකාවට නැග රැස්ව සිටි ජනතාව ඇමතීම විශේෂ සිදුවීමක් විය. ශෂී විජේන්ද්‍ර මහතා මාතලේ නගර සභාව සඳහා ජාතික ජනබලවේගයෙන් අපේක්ෂකයකු ලෙස ද ඉදිරිපත් වෙයි.


මීට අමතරව ලබන 8 වැනිදායින් පසු වෘත්තිකයන් ගෙනයන විරෝධතාවට සහාය දැක්වීමට ජාතික ජන බලවේගය තීරණය කළේය. කොළඹ පැවති රැලියට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳවත් රජය ගෙනයන වැඩපිළිවෙළටත් විරෝධය දක්වා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දැනුවත් කිරීමට ද ජාතික ජනබලවේගය ගිය සතියේ දී පියවර ගත්තේය.

කරු සටන් විරාමයක් ඉල්ලයි

හිටපු කථානායක කරු ජයසූරිය මහතා වත්මන් පාර්ලිමේන්තුවෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. ඒ සටන් විරාමයකට යොමුවන ලෙසටය. කරු මේ ඉල්ලීම කර ඇත්තේ හිටපු කතානායක ලෙස නොව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ වර්තමාන සභාපතිවරයා ලෙසටය. කරු එම ඉල්ලීම මගින් පෙන්වා දී ඇති වැදගත්ම කාරණය වන්නේ අද රට මුහුණ දී ඇති ප්‍රශ්න බොහොමයකටම පිළිතුරු ලබාදිය හැක්කේ පාර්ලිමේන්තුව හරහා පමණක්ම වන බවය. එමගින් ඔහු වැඩි දුරටත් කියන්නේ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සාමුහිකව එම ප්‍රශ්න විසඳාගැනීමට කටයුතු කළ යුතුව ඇති බවය.


කරු එහෙම කියන්නට හේතු වූ කරුණුද එහිදී පෙන්වා දී තිබේ. එහිදී ඔහු කියන්නේ නියමිත පරිදි තවමත් පවත්වා නැති පළාත් සභා මැතිවරණය හා මේ වන විට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව ගත යුතු මූලික තීන්දු තීරණ ගැනීමට පවා පාර්ලිමේන්තුව මේ දක්වාම අපොහොසත් වී ඇති බවය. කරු එහිදී කියන විදියට එම කටයුතු විමසා බලා තීන්දු තීරණ ගන්නට හා නිර්දේෂ ඉදිරිපත් කරන්නට පාර්ලිමේන්තුව තේරීම් කාරක සභාවක් පත්කර ඇත්තේ 2022 වසරේදීය.

ගජබා