පුංචි ඡන්දය තියයිද නැද්ද
රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය පුංචි ඡන්දය සම්බන්ධයෙන්ද බරපතළ ලෙස බලපා තිබේ. මේ තත්වය හමුවේ මැතිවරණය පැවැත්වේද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් ඇත්තේ දෙගිඩියාවකි. ආණ්ඩුවට ද දැඩි වුවමනාවක් ඇත්තේ මැතිවරණය කල් දමා ගැනීමට බව පැහැදිලිය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව නොගන්නා උත්සාහයක් නැති බවද බොහෝ දෙනා දනිති. ආණ්ඩුව පසුගිය කාලය පුරාම කටයුතු කළේ ඡන්දය පැවැත්වීමට වඩා එය නොපැවැත්වීමටය. එහෙත් ඒ වෙනුවෙන් ගත් උත්සාහයන් සියල්ල මේ වන විට අසාර්ථක වී ඇත.
මැතිවරණය කල් දැමීම වළක්වන ලෙස හා මැතිවරණ කල් දමන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සම් දෙක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනෙන්නේ ලබන දහ වැනිදාය. මැතිවරණය පවත්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය වන්නේ එදින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව අනුවය. මැතිවරණය පැවැත්වීමට මුදල් ලබාදීමට තරම් හැකියාවක් නොමැති බව ආණ්ඩුව පාර්ශ්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ඇතැයි පැවසේ. කෙසේ වුවද මැතිවරණය තබනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය වනු ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව අනුවය.
පළාත් පාලන මැතිවරණය සඳහා තාමත් සක්‍රීය ලෙස කරළියට පැමිණ ඇත්තේ සමගි ජන බලවේගයත් ජාතික ජන බලවේගයත් පමණය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, නිදහස් ජනතා සන්ධානය හෝ අනෙකුත් පක්ෂ තවමත් සක්‍රීය ලෙස මැතිවරණ සටනට ඉදිරිපත් වී ඇති බවක් පෙනෙන්නට නැත. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව කෙරෙහි ඔවුන් අවධානයෙන් සිටින බව පැහැදිලිය.
මෛත්‍රී යළි කරළියට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සතියේ දී මාධ්‍ය හමුවක් කැඳවා කළ ප්‍රකාශ දේශපාලන කරළිය තරමක් ගිනියම් කළේය. ඔහු ප්‍රධාන කාරණා දෙකක් සඳහන් කළේය. එකක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික ජනතාවගෙන් සමාව ගැනීම ය. දෙවැන්න මීළඟ ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් වන බව කීමය. හිටපු ජනාධිපතිවරයා කතෝලික ජනතාවගෙන් සමාව ඉල්ලීම කතෝලික සභාව පසුදිනම මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රතික්ෂේප කළේය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට කළ ප්‍රකාශය ද මේ දවස්වල දේශපාලන කරළියේ ද කතාබහට ලක් වී ඇත. මීළග ජනාධිපතිවරණය පැවැත්වීමට ඇත්තේ 2024 වසර අගදී ය. එතරම් කාලයක් තිබියදී හිටපු ජනාධිපතිවරයා හදිසියේම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීම බොහෝ දෙනාට ගැටලුවකි. සමහරුන් කියන්නේ පක්ෂය තුළ පවතින මත ගැටුම් සැලකිල්ලට ගනිමින් හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කළ බවකි.
මේ අතර උත්තර ලංකා සභාගය ගිය සඳුදා හැන්දෑවේ බොරැල්ලේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී රැස් විය. වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, අතුරලියේ රතන හිමි, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ. එහිදී කතාබහට ලක්වුණේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යාම සම්බන්ධයෙනි.
ඒ අතර නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව ද අඟහරුවාදා හැන්දෑවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී රැස් විය. දයාසිරි ජයසේකර, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, වෛද්‍ය ජී. වීරසිංහ, වීරසුමන වීරසිංහ, මහාචාර්ය තිස්ස විතාරණ, අතුරලියේ රතන හිමි, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ. පළාත් පාලන මැතිවරණයට හෙලිකොප්ටරය ලකුණෙන් තරග කරන අපේක්ෂකයන් සඳහා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීම සහ රට පුරා රැස්වීම් මාලාවක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද මැතිවරණයට සූදානම් වෙමින් සිටී. පොදුජන පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවේ මැති ඇමතිවරු ඉකුත් බ්‍රහස්පතින්දා හැන්දෑවේ බත්තරමුල්ල, නෙලුම්මාවත කාර්යාලයට කැඳවනු ලැබුවේ, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසිනි. මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයේ යම් අඩුවක් පැවති නමුත්, බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණයට සූදානම් වීම සම්බන්ධයෙන් එහිදී අදහස් පළ කළේය. ඔහු කීවේ මැතිවරණය පැවැත්වෙන බැවින්, ඒ සඳහා සූදානම් විය යුතු බවය.
එස්.බීගෙන් කංචනට දෝස්මුරයක්
එම සාකච්ඡාවට සහභාගි වූ මැති ඇමැතිවරුන් රැස්වීම ආරම්භ කරන තෙක් ශාලාවේ අසුන්ගෙන සිටි අතර, එස්.බී. දිසානායක හිටපු ඇමැතිවරයා කංචන විජේසේකර ඇමතිවරයාට දෝස්මුරයක් එල්ල කළේ ඔහුගේ දුරකතන ඇමතුමට පිළිතුරු නොදුන් බව කියමිනි.” මමත් ඔයිට වැඩිය ලොකු ඇමතිකම් කරලා තියෙනවා. හැබැයි මං කෝල්වලට උත්තර දුන්නා. ඔයා කෝල් එකට උත්තර දෙන්න යැයි එස්.බී. කීවේය. කංචන ඒ සම්බන්ධයෙන් එතරම් අවධානයක් යොමු කළ බවක් පෙනෙන්නට නොතිබිණි. ඔහු ඒ කතාවට කිසිදු පිළිතුරක් නොදුන්නේ එබැවිනි.
දහතුනෙන් යළි අර්බුදයක්
දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල දීමට ආණ්ඩුවේ පවතින සූදානම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් ආණ්ඩුවට එරෙහිව කඳවුර බඳිමින් සිටී. විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම, මහා සංඝරත්නය ද ඊට විරුද්ධ බවක් පෙනෙන්නට තිබේ. එය හොඳින්ම පෙනුණේ මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් සිව්දෙනාගේ අත්සනින් ජනාධිපතිවරයාට ලිපියක් භාර දීමෙනි. උන්වහන්සේලාගේ ඉල්ලීම වන්නේ රට බෙදන දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් වහාම වළකින ලෙසය. ආණ්ඩුවේ මේ සූදානම දකුණේ දේශපාලන පක්ෂවලට ද මාතෘකාවක් වී ඇති බව පැහැදිලිය.
මේ අතර මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයා ඉකුත්දා උත්සවයකට සහභාගි වී එළියට එද්දී හිතවතුන් සමග අපූරු කතාවක් කීවේය. විපක්ෂයේ පක්ෂ ඔක්කොම එකතුවෙලා ආණ්ඩුව කියන අඹ ගහට පොලු ගහනවා. හැබැයි ජේ.වී.පී. එක විතරක් සරම අල්ලලා අඹ ටික ඔඩොක්කුවට දාගන්නවා ඔහු කීවේය.
රාජ්‍ය වියදම් සීමා කරන්න ජනපති ගෙනා යෝජනාව
නිදහස් දිනය අභිමානවත්ව සැමරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතිය පුරාම වෙහෙසෙමින් පෞද්ගලිකවම එම කටයුතු සොයා බැලුවේය. ඒ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලබාගැනීමේ කටයුතු ගැන මෙන්ම ආර්ථික කළමනාකරණය ගැනද අවධානය යොමු කළේය. එසේම පෙබරවාරි 08 වැනි දින පාර්ලිමෙන්තු සැසිවාරය ආරම්භ කරමින් ඉදිරිපත් කරන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැනද උනන්දු වූවේය.
සඳුදා ජනපති සුපුරුදු ලෙස කැබිනට් හමුවට ගියද ආර්ථිකයට වැදගත් යෝජනා කිහිපයක් ද එදින රැගෙන ගොස් තිබුණි. එහිදි ඔහු ඉදිරිපත් කරනු ලැබුවේ රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමේ යෝජනාවකි. එමගින් ණය පදනම මත වියදම් කිරීම අත්හිටුවීමට යෝජනා කර තිබුණි.
“කැබිනට් අනුමැතිය ලැබුණට පස්සේ මම මේක මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට යවනවා.” ජනපති යෝජනාව ඉදිරිපත් කරමින් ඇමැති මණ්ඩලයට කීවේය.
“සර් මේක ඉතාම අමාරු වැඩක්. හුඟක් ආයතන ණය පදනම මත තමයි වියදම් ගෙනි යන්නේ.” ඇමැති බන්දුල දැරුවේ එවැනි අදහසකි.
“ඔව් මේක අමාරු තමයි. ඒත් අපිට මුදල් නෑ. මේ මාසේ ආදායමට වඩා දෙතුන් ගුණයක් වියදම වැඩියි.” ජනපති කීවේය.
මුදල් වියදම් සීමා කිරීමේ යෝජනාවට අමතරව තවත් යෝජනා ගණනාවක් කැබිනට් අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත් කර තිබුණි. ඇමැති මණ්ඩල හමුවෙන් පසු ඇමැතිවරුන් ජනපතිගෙන් විමසන්නට වූවේ මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්. චාල්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙනි.
“මට ලිපියක් ලැබුණා. හැබැයි තවම ඒක මම පිළිගන්නව ද නැද්ද කියලා තීන්දුවක් අරගෙන නෑ.” ජනපති කීවේ ඇඟට නොදැනීය.
පසුදින මුදල් ඇමැති ලෙස ජනපති ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් සියලූම රාජ්‍ය ආයතන වෙත යොමු කර තිබුණි. එමගින් කියා තිබුණේ ණය පදනම මත භාණ්ඩ මිලදී ගැනීම මෙන්ම වෙනත් ගෙවීම් කිරීම නවතන ලෙසය. එවැනි ගෙවීම් කරන්නේ නම් එය අනුමත කරන නිලධාරියා පෞද්ගලිකව එම මුදල් ගෙවිය යුතු බවද එම නියෝගයේ දැක්විණි.
අනුරාධපුරයේදි බදු ලිපිගොනු අඩුවීම ගැන ජනපති කළ ප්‍රකාශය බොහෝ දෙනෙක් අගය කර තිබුණි. එම ප්‍රකාශය නිවැරදි ලෙස තේරුම් ගත් සැමදෙනා රට බංකොලොත් වූ ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ලද බව එම පිරිසගේ අදහසය.
“ලෝකයේ දියුණු රටවල්වල සෘජු බදු වැඩියි. වක්‍ර බදු අඩුයි. අපේ වක්‍ර බදු වැඩියි සෘජු බදු අඩුයි. දැන් 10% ක වැඩි පඩි ගන්නා කොටස රැක ගන්න අඩු වැටුප් ගන්නා 80% ක් භාවිතා කරනවා. අඩු පඩි ගන්න අයට මේක නොතේරෙන්නේ ඇයි කියලා මට නම් තේරුම් ගන්න බෑ.” ඇමැති ප්‍රසන්න කීවේය.
“මෙතන තියෙන්නේ මුලාවක්නේ. දැන් මිනිස්සුන්ට අමාරුයි. හැබැයි ජනාධිපතිතුමා මේක පැහැදිලිව කිව්වානේ මේ අමාරුව ආවේ හිටපු ජනපති ගත්ත වැරදි තීන්දු නිසා කියලා. මේ ජනාධිපතිතුමා ගත්ත තීන්දුවල ප්‍රතිඵල එන්නේ මේ අවුරුද්දේ තුන්වැනි කාර්තුවේදි. දැන් ජනතාවට තියෙන අමාරුකම්වලින් අර 10% වාසි ගන්නවා.” වජිර කීවේ එවැන්නකි.
“ඔව් තුන්වැනි කාර්තුවේදි වැටුප් වැඩි කරන්නම් කියලාත් ජනාධිපතිතුමා කිව්වානේ.” රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර ද කීය.
සියල්ල සාවධානව අසා සිටි ජනපති රනිල් වී මිල ස්ථාවරව තබා ගැනීම වෙනුවෙන් වී මිලදී ගැනීමට රුපියල් බිලියන 20 ක් ලබා දෙන ලෙස මහාභාණ්ඩාගාරයට නියම කළේය. එහිදී අමරවීර ඇමැතිවරයා කීවේ ඡන්දේ නොතිබ්බට කමක් නෑ, ගොවියාගේ වී ටික ගන්න සල්ලි දෙන්න ජනපතිතුමනි. යනුවෙනි.
මේ අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විසින් හමුදා නිලධාරීන් මුහුණ දෙන දීමනා ගැටළුවක් ද මතු කළේය. එහිදී ජනපති කීවේ මේ ගැන මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බවකි. ඇමැති මනූෂ ජනපති අවධානයට යොමු කළේ මැතිවරණ උණුසුමත් සමඟ සංචාරක කර්මාන්තකරුවන් බියට පත්ව සිටින බවකි.
“මැතිවරණය තියන්න මුදල් දීලා අන්තිමට රට යළි අරාජික වෙයි කියලා සංචාරක ක්ෂේත්‍රයේ කණ්ඩායම් බියට පත්ව සිටිනවා. ජනාධිපතිතුමනි මේ ගැනත් බලන්න.” මනුෂ කීවේ දකුණේ සංචාරක කර්මාන්තකරුවන් පිරිසක් ඔහුට කී කතාවකි..
ජනපති රනිල් වෙත මෙහිදී පැණයක් යොමු කළේ ඇමැති බන්දුලය. “අයි.එම්.එෆ් යන්නේ නෑ කියලා අනුරත් කියනවා. සජිතුත් කියනවා. මේක අපටත් ප්‍රශ්නයක් වෙයි. මොකද එයාලා කියනවා අපි ගන්න ණය ගෙවන්නේ නෑ කියලා.” ඇමැති බන්දුල කීවේ එවැන්නකි.
“අයි.එම්.එෆ් යන්නේ නැතිනම් එයාලා ලංකාවේ ණය පියවන ක්‍රමය කියන්න ඕනැ. ට්‍රිලියනයකට ආසන්න ණයක් ගෙවන්න තියෙනවා.” එහි සිටි නිලධාරියෙකු කීවේය.
ජනපති සඳුදා පෙරවරුවේ සිංහල සංස්කෘතික ආයතනයේ නිලධාරීන් මුණ ගැසී එම ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් විමසීමක් කළේය. එහි සිටි පැරණි මිතුරෙකු වූ ඩබ්ලිව්. ජයසිරි සමඟ ද ජනපති ආගිය තොරතුරු කතා කිරීමට අමතක නොකළේය.
ජනපති මෙරට ලෝක බැංකු නියෝජිතයන් හා සාකච්ඡා කිරීමේ වගකීම කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක වෙත පැවරූ අතර ඒ අනුව ඔහු අඟහරුවාදා එම නියෝජිතයන් හා සාකච්ඡා කළේය. 75 වැනි නිදහස් උළෙලට සහභාගීවීම වෙනුවෙන් ජනපතිගේ ඇරයුමෙන් මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපද දේශපාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ජනපති මුණගැසුණේ ජනපති කාර්යාලයේදී ය.
බදාදා දිනයේ ජනපති මහනුවර බලා පිටත්වීමට යොදාගෙන තිබුණේ නිදහස් දිනයට සමගාමීව ආරක්ෂක හමුදා සාමාජිකයන්ට සම්මාන ලබාදීමේ උත්සවයකට සහභාගීවීමට ය. එහි පිටත්වීමට පෙර ජනපතිට ලැබුණු ආරංචියකින් කියැවුණේ මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සිය අපේක්ෂකයන් වෙනුවෙන් තැන්පත් කළ ඇප මුදල් වියදම් කිරීමට මැතිවරණ කොමිසම සුදානම් වන බවකි.
ඊට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජිතයන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට හා මැතිවරණ කොමිසමට ගොස් පැමිණිලි කර ඊට විරෝධය පළ කර තිබුණි. ජනපති රනිල් වහාම ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත නියම කළේ මේ ගැන පරික්ෂා කර තමන්ට විස්තරයක් ලබා දෙන ලෙසටය.
එදින සවස මහනුවර ගිය ජනපති රනිල් හමුදා සාමාජිකයන් 77 කට විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය කරන ලදී. බ්‍රහස්පතින්දා අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන් බැහැදුටු ජනපති රනිල් නිදහස් උත්සවය සාර්ථකව පැවැත්වීමට ආශිර්වාද ලබා ගත්තේය. මෙහිදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන විමසූ උන්වහන්සේලා ජනතාවට සහන ලබා දෙන ලෙසට ද ජනපතිගෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී ජනපති රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලද පසු රටේ ආර්ථිකය තුළ ඇති වෙන වෙනස්කම් ගණනාවක් ගැන උන්වහන්සේලා දැනුම්වත් කළේය. එසේම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉඩම් හා පොලිස් බලතල ක්‍රියාත්මක නොකරන ලෙස ද උන්වහන්සේලා ඉල්ලීමක් කර තිබුණි. ජනපති ද දළදා ප්‍රදර්ශනයකට ද උන්වහන්සේලාගෙන් ඉල්ලීමක් කළේය.
සජබෙ පුංචි මන්ත්‍රීන්ට නීති මාලාවක්
සමගි ජන බලවේගය කුරුණෑගල මංගල රැළිය නිමා වුණේ එම පක්ෂයට අලුත් ජවයක් එක්කරමිනි. රැලිය ආරම්භ වීමට පෙර සිටම දහස් ගණනක ජනකායක් පැමිණෙමින් සිටි අතර විපක්ෂ නායක සජිත් පැමිණෙන විට එම ප්‍රදේශය එකම හිස් ගොඩක් බවට පත්වී තිබුණි. කුරුණෑගල පැවති දැවැන්තම රැළිය සංවිධානය කිරීමට සමගි ජන බලවේගය ට හැකි වීම පිළිබඳව සියලු දෙනා සිටියේ ඉමහත් සතුටකිනි.
රැස්වීමේ විශේෂත්වය වූයේ පොදු ජන පෙරමුණට සම්බන්ධ ව සිටී සිටි දහසකට වැඩි පිරිසක් සමගි ජන බලවේගයට එක් වීම ය.
ඒ අතර තවත් සිදුවීමක් වූයේ ආචාර්යවරුන් මහාචාර්යවරුන් 25 කට අධික පිරිසක් එම වේදිකාවට ගොඩ වීම ය.
පළාත් පාලන ආයතනවල සිටම මහජන නියෝජිතයන්ට සුවිශේෂී ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දිය යුතු බව සජිත් විශ්වාස කළේය.
වගවීම, වගකීම, විනිවිද භාවය කේන්ද්‍රීය පළාත් පාලනයක් ස්ථාපිත කිරීමට සමගි ජනබලවේගය තීන්දු කොට තිබේ. එහිදී දූෂණය, වංචාව, නාස්තියට තිත තැබීමට සමගි ජනබලවේගය බලාපොරොත්තු වෙයි.
අලුත් සංස්කෘතියක් පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කරමින් හැම පළාත් පාලන මන්ත්‍රීවරයකුට මන්ත්‍රීවරියකටම චර්යාධර්ම පද්ධතියක් සකස් කරනු ඇත. නීතිරීති මාලාවක්, ආචාරධර්ම පද්ධතියක් රෙගුලාසි මාලාවක් ද දැනටමත් සමගි ජනබලවේගය නිර්මාණය කොට ඇත.
ඒ අනුව මින් ඉදිරියට පළාත්පාලන මන්ත්‍රීවරුන් සභාපති හා උපසභාපති කොන්ත්‍රාත් කළ කාලය අවසන් වේ. ඒ බව සජිත් කුරුණෑගල මංගල රැලියේ දී කීවේය.
‘‘අපේ මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත් තහනම්, ඩීල් දාලා ඉවරයි. පාරට තාර දැමීමේ කොන්ත්‍රාත් පස් කොන්ත්‍රාත් වැලි ගොඩදැමීමේ කොන්ත්‍රාත් අවසන්. මින් ඉදිරියට එක එක්කෙනා තමතමන්ගේ පෞද්ගලික වාසි තකා ඩීල් ගහපු පොලිටිකල් ඩීල් සංස්කෘතිය අවසන් කරනවා කියලා කියන්න කැමැතියි.”
ඉතිහාසය පුරාවට එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රීලංනිප, පොදුජන පෙරමුණේ ජවිපේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු හැම පක්ෂයටම නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිටි නමුත් පළමුවැනි වතාවට අවුරුදු 3ක් වයසැති අලුත් පක්ෂය අලුත් ගමන අලුත් නායකත්වය, අලුත් දර්ශනය හා වැඩපිළිවෙළ යටතේ පළාත් පාලන මන්ත්‍රීවරු පත්වේ.
‘‘අපි බිහි කරන සභා නොනිදන සභා බවට පත් කරනවා. ප්‍රාදේශීය සභා නගර සභා ජංගම සේවා වැඩසටහන ක්‍රියාත්මක කරලා සභා රැස්වීම නොපවතින දිනවල සභාපති උපසභාපති මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් ගමේ නගරයේ කුඩා ගම්මානයේ ග්‍රාම සේවා වසමේ ජංගම සේවා හරහා ජනතා ප්‍රශ්න විසඳීමෙන්.” සජිත් කීය.
‘‘අද වෙනකොට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් 47ක් රට අතහැරල විදෙස් ගතවෙන්න බලාගෙන ඉන්නවා. විශේෂඥ හා වෛද්‍යවරුන් සිය ගණනක් මේ රට අතහැරල ගිහින් තියෙනවා. ඉන්ජිනේරුවන් සිය ගණනක් මේ රට අතහැරල ගිහින් තියෙනවා.”
එහෙම කිව්වේ ඉරාන් ය.
‘‘රටට වැඩ කරන්න පුළුවන් බුද්ධිමය සම්පත අපට අහිමි වෙමින් තියෙනවා.” ගයන්ත කීවේය.
‘‘දැන් ජනාධිපතිවරයා 13 දෙන්න සූදානම් වෙනවා. හැබැයි අපි දන්නවා වීඅයිපී සමාජවාදියෝ ටික මේවට වචනයක්වත් කියන්නේ නෑ. 13 පිළිබඳව අපිට ස්ථාවරයක් තියෙනවා. ඒ ස්ථාවරය අස්ථාවර එකක් නෙවෙයි. අපි, ජනතා විමුක්ති පෙරමුණෙන් අහනවා 13 වෙනි සංශෝධනය ගැන මොකක්ද ස්ථාවරය ?”
ගයන්ත අලුත් කතාවක් කීවේය.
සජිත් පසුගිය දිනවල නැගෙනහිර ප්‍රදේශයේ එක දිගටම රැස්වීම්වලට සහභාගි විය.
ඉන් අනතුරුව ඔහු පැමිණියේ මාතලේ රැස්වීමට ය.
මාතලේ රැස්වීමේදී සුවිශේෂී සිදුවීමක් සිදු විය. ඒ දෙවසරකට වැඩි කලක් දේශපාලනයෙන් සමුගෙන නිහඬව සිටි සුජීව සේනසිංහ එම රැස්වීමට ගොඩ වීම ය.
සුජීව සේනසිංහ නැවත දේශපාලන වේදිකාවට ගෙන ඒම උදෙසා තිරයේ පිටුපස සුවිශේෂී කටයුතු රැසක් සිදු වෙමින් තිබුණි.
ඒ කටයුතු සියල්ල අවසානයේ සාර්ථක වූයේ සුජීව මාතලේ රැලියට ගොඩවී වේගවත් කතාවක් ද සිදු කිරීමෙනි.
”ඉස්සරහට හැම රැලියකටම සුජීව එන්න ඕනෑ” සජිත් සුජීවට කීවේය.
සුජීව ඊට එකඟතාව පළ කරමින් සිනාසුනේය.
ජවිපෙ නායක මුස්ලිම් කොංග්‍රස් බල කඳවුරු අමතයි
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ බල කඳවුරු තුනක ජනතාව ආමන්ත්‍රණය කළේය. ඒ අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් ඉරෙක්කාමම් හා නින්දවුර් පළාත් පාලන ආයතනයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංගසයේ මර්මස්ථාන වශයෙන් පැවැති මෙම ප්‍රදේශ තුනේ ජනතාව ඇමතීමට අනුර කුමාර දිසානායක මහතා ගියේ ප්‍රථම වරටය. මෙම ප්‍රදේශ තුනේම ජනතාව දැඩි උනන්දුවකින් අනුර කුමාර දිසානායක මහතා පිළිගෙන ඔහුගේ කතාවට ඇහුම්කන් දුන් බව එම පක්ෂය කියයි. නැගෙනහිර ජනතාව වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සැලැස්ම මෙහිදී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළේය.
මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගුරුවරුන්ගේ හමුවක් අම්බලන්තොට නගරයේදී පැවැත්වුණි. මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් ප්‍රකාශ කර තිබුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12න් 9 කම ජයග්‍රහණය ජාතික ජන බලවේගයට හිමිවන බවයි. ඒ සමඟම සමාජ මාධ්‍යවලින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය පිළිබඳව මාධ්‍ය රැල්ලක් පවත්වාගෙන යාමද සිදුවිය. හම්බන්තොට ගුරු සමුළුවට විශාල පිරිසක් සහභාගිවී සිටි අතර එහිදී රටේ පවතින ප්‍රශ්න නිමාවට පත් කිරීමට නම් ජාතික ජන බලවේගයට වැඩි බලයක් හිමිවිය යුතු බව අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මේ අතර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඉකුත් 29, 30 හා 31 දිනවල එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවීමට එහි ගියහ. ලන්ඩන් නගරයේ පැවැති සමුළුවට ශ්‍රී ලාංකිකයෝ අතිවිශල පිරිසක් සහභාගිවී සිටියහ. රැස්වීම අවසන්වීමෙන් පසුද පැය එකහමාරකට අධික කාලයක් දෙදෙනාට ශාලාවෙන් පිටතට පැමිණීමට නොහැකි විය. රැස්ව සිටි පිරිස ඔවුන් සමඟ රටේ තත්ත්වය සාකච්ඡා කිරීමටත් සෙල්ෆි ඡායාරූප ගැනීමටත් යුහුසුළු වූහ.
කරු ගේ ඉල්ලීමට චීනයෙන් යහපත් ප්‍රතිචාරයක්
ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වේයි මහතා පසුගිය 30 වැනිදා කරු ජයසූරිය හමුවිය. එම හමුව සිදුවුණේ අමරසේකර මාවතේ පිහිටි කරු ගේ නිවසේදී ය. චීනය හැමවිටම කරුට සලකන්නේ තම රටේ ගරු කටයුතු මිතුරෙකු ලෙසටය. මෙම හමුවේදී මූලික වශයෙන් අවධානය යොමුවූවේ දෙරට අතර පවත්නා සුහද සබඳතා කෙරෙහිය. එහිදී විශේෂයෙන්ම රටක් ලෙස ශ්‍රී ලංකාව අද වන විට මුහුණ දෙමින් සිටින තත්ත්වය පිළිබඳව ද අවධානය යොමුවී තිබේ.
කරු එහිදී විශේෂ පැහැදිළි කිරීමක් කරමින් රටක් ලෙස ශ්‍රී ලංකාව අසීරුතාවට පත්වූ සෑම අවස්ථාවකදී ම චීනය අප රටට ලබා දී ඇති සහාය සිහිපත් කරමින් එය අප කිසිවිටක අමතක නොකරන බව සඳහන් කර ඇත. එමෙන්ම අප අද මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයේදී ද චීනය අප වෙත සහනදායි පිළිවෙතක සිටින බව තමන් අවබෝධ කරගෙන සිටින බව සඳහන් කර තිබේ. එහිදී කරු විශේෂ ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ අප රටක් ලෙස මුහුණ දී ඇති විදේශ ණය අර්බුදයේදි මේ වන විට චීනය එකඟත්වය පළකර ඇති වසර දෙකක ණය සහන කාලසීමාව දීර්ඝ කර අනෙකුත් කොන්දේසි අනුමත කරන්නේනම් එය මහත් සහනයක් ගෙන දෙනු ඇති බවය. ඒ පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති චීන තානාපතිවරයා තමන් ඒ පිළිබඳව බලවත් උනන්දුවකින් යුතුව අවධානය යොමු කරන බව සඳහන් කර තිබේ.
ගජබා