අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගිය අඟහරුවාදා උදේ පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවිය. සෑම මාසයකටම වරක්, පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වී කතාබහ කිරීම අගමැතිවරයාගේ පුරුද්දක් වන නමුත් මෙවර හමුව කැඳවා තිබුණේ විශේෂ හේතුකාරණා කීපයක් මුල්කර ගනිමිනි.
ඉන් ප්‍රධාන තැනක් ගත්තේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මතු වී ඇති සංවාදයයි. 20 ගැන මතුව ඇති ගැටලු ගැන පැහැදිලි කිරීමත් රජයේ ඉදිරි සැලසුම් ගැන දැනුවත් කිරීමත් මේ හමුවේ අරමුණ විය. අරලියගහ මන්දිරයේ පැවැති හමුවට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත, ඩග්ලස් දේවානන්ද, ප්‍රේමනාත් දොළවත්ත යන මැති ඇමැතිවරු ද අගමැති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද සහභාගි වූහ. විසිවැනි සංශෝධනයේ ඇතුළත් ඇතැම් කාරණා සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවේචනාත්මක අදහස් දැක්වූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන ඇමැතිවරුන් දෙදෙනා ද මේ හමුවට කැඳවා සිටීම විශේෂත්වයක් විය.
අගමැතිවරයා මුලින් අදහස් දැක්වීමට නොගිය අතර පුවත්පත් කතුවරුන්ට හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ඇති ප්‍රශ්න ඉදිරිපත් කරන්නැයි ඔහු ඉල්ලා සිටියේය. විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ මතය කුමක්දැයි මාධ්‍ය ප්‍රධානියෙක් ප්‍රශ්න කළේය. ‘ආණ්ඩුව ගන්න මතය තමයි මගේ මතය. විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. අපි ඒක සම්මත කරගන්නවා.’ අගමැතිවරයා කීවේය.
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කරනු ලැබුවේ මීට සති දෙකකට පමණ ඉහතදීය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ගිය සතියේ 20 ගැන අධ්‍යයනය කිරීමට කමිටුවක් පත්කළේය. අගමැතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවේදී ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු විය. 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ විසිනුත් කමිටු පත්කර තිබෙනවා නේදැයි පුවත්පත් කතුවරයෙක් ප්‍රශ්න කළේය.
ඒ සම්බන්ධයෙන් කමිටු පත්කරන්න හැම පක්ෂයකටම අයිතියක් තියෙනවා. නමුත් අවසානයේදී අපි එක මතයකට එනවා. විසිවැනි සංශෝධනය ගැන කැබිනට් රැස්වීමේදී කතා කළා. ඒ නිසා ඒක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. යැයි කියමින් පිළිතුරු දුන් අගමැතිවරයා මම දැක්කා විපක්ෂයත්, කමිටුවක් පත්කරලා තිබුණා යැයි කීවේය. එ් සමගම පුවත්පත් කතුවරයකු පෙරළා ප්‍රශ්න කළේ 20 න් පසුව අගමැතිතුමා නාමික වෙනවා ද යනුවෙනි. නෑ. නාමික වෙන්නේ නැහැ. අග්‍රාමාත්‍යතුමා අතේ තමයි ඒක තියෙන්නේ.’ යැයි අගමැති මහින්ද උත්තර දුන්නේය.
අගමැති මහින්ද තවත් වසර දෙකකින් විශ්‍රාම යන බවට ඉකුත්දා ඇතැම් මාධ්‍යවල පළවිය. එම ප්‍රවෘත්තිය වැරදි බව අගමැතිවරයාම මාධ්‍යවලට කියා තිබිණි. ඒ ගැන ද පුවත්පත් කතුවරයෙක් අගමැතිවරයාගෙන් විමසීය.
අග්‍රාමාත්‍යතුමා විශ්‍රාම යනවා කියල ප්‍රවෘත්තියක් පළවෙලා තිබුණා.’ යැයි පුවත්පත් කතුවරයා අහද්දී මහින්ද උත්තර දුන්නේ හයියෙන් හිනාවෙමිනි.‘දේශපාලනඥයො කවුද විශ්‍රාම ගියේ. මම විශ්‍රාම යන්නේ නෑ.’ අගමැතිවරයා කීවේය. ඇතැම් ප්‍රශ්නවලට විමල් වීරවංශත් උදය ගම්මන්පිල හා කෙහෙළිය රඹුක්වැල්ලත් පැහැදිලි කිරීම් කළහ. අලුත් ව්‍යවස්ථාවක් ගේනවාදැයි ඇසූ ප්‍රශ්නයට ගම්මන්පිල උත්තර දුන්නේය. ඔහු කීවේ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වෙයන් කමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත්කරනු ලැබූ බවය. ‘ඒ ගැන කෙහෙළිය ද පැහැදිලි කළේය. අපට ජනවරම ලැබුණේ 19 අහෝසි කරන්න කියලයි. ඒක කෙටිකාලීන විසඳුමක් දිගුකාලීන විසඳුම තමයි අලුත් ව්‍යවස්ථාවක් ගේන එක.’ කෙහෙළිය කීවේය.
විසි වැනි සංශෝධනය අධ්‍යයනයට පත්කළ කමිටුවේ වාර්තාව සමාජ ගත නොකළේ මන්දැයි ප්‍රශ්නයක් ඉදිරිපත් විය. අගමැතිවරයා හිනාවෙමින් කීවේ ‘ ඒක මට බලාගන්න දීපු එකක් විතරයි. අවශ්‍ය සංශෝධන කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරනවා.’ යනුවෙනි. විමල් වීරවංශ ඇමැතිවරයා ද ඒකට ඌන පූරණයක් එක්කළේය. කමිටුවේ නිර්දේශ ලැබුණා. ඒවා සාකච්ඡා කරලා අගමැතිවරයාගේ සංශෝධනයි, කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කරන සංශෝධන ගැනයි ජනාධිපතිතුමා සමගත් සාකච්ඡා කරලා එකඟතාවකට ඇවිල්ලයි තියෙන්නේ. විමල් කීවේය. මේ සාකච්ඡාව පැයකට අධික කාලයක් ඇදී ගියේය. සාකච්ඡාව හමාර කළේ අගමැතිවරයා සියලු දෙනාට උදේ කෑමට ආරාධනය කරමිනි.
ආණ්ඩුව මේ දිනවල ප්‍රධාන කාරණා දෙකකට වැඩි බරක් තබා ඇත. එකක් විසිවැනි සංශෝධනයයි. දෙවැන්න ලබන නොවැම්බර් 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත ලබන වසර සඳහා වන අයවැය ලේඛනයයි. විසිවැනි සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බොහෝදුරට මේ සතිය වන විට ලැබෙනු ඇත. ඒ අනුව 20 වැනි සංශෝධනය දෙවැනි වර කියවීම සඳහා ලබන සතිය වන විට අවස්ථාව හිමිවනු ඇත. විසිවැනි සංශෝධනය සඳහා කාරක සභා අවස්ථාවේ දී තවත් සංශෝධන ගණනාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව දැනටමත් තීරණය කර ඇත. නීතිපතිවරයා ගිය සතියේ ශ්‍රෙෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ආණ්ඩුව සංශෝධන 28 ක් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවය. එම සංශෝධන 28 ද නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ලැබෙන බලතල ගැනය. දැනට තිබෙන 19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව ඇත්තේ පාර්ලිමේන්තුව පත්වී වසර හතර හමාරකට පසුවය. 19 එන්නට කලින් එය තිබුණේ වසරකින් පසුව විසුරුවා හැරීමට හැකිවන ලෙසය. එහෙත් එය 20 න් වසර දෙකහමාරක් යනුවෙන් වෙනස් කෙරෙනු ඇත.
යෝජිත 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කර ගැනීම අනිවාර්ය වේ. පොදුජන පෙරමුණට හා ඊට සහාය දෙන පක්ෂවලට ලැබුණ මන්ත්‍රී ධුර ගණන ද සමඟ ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරු 150ක් සිටිති. එහෙත් මහින්දයාපා කතානායක ධුරයට පත්කර ගැනීම නිසා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගණන 149ක් වී ඇත. ඒ අනුව 20 සම්මත කර ගැනීමට තවත් මන්ත්‍රීවරයකුගේ සහාය ගැනීම අනිවාර්ය වේ. එය ගත යුත්තේ විපක්ෂයෙනි. එහෙත් එක් මන්ත්‍රීවරයකු නොව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනකුගේ පමණ සහාය ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇත. එම මෙහෙයුම බාර වී ඇත්තේ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාටය. බැසිල් එවැනි මෙහෙයුම්වලට හපනෙකු බව දේශපාලනය ගැන උනන්දුවන ඕනෑම අයකු දන්නා කරුණකි. පැරදිලා ගෙදර ගිය මහින්ද අගමැති පුටුවට යළි ගෙනාවේ බැසිල්ගේ මෙහෙයුමේ සාර්ථකත්වයෙනි. කවදාවත් දේශපාලනය නොකළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට ගෙනාවේ බැසිල්ගේ සංවිධාන ශක්තිය හේතුවෙනි. එපමණක් නොව අලුතින්ම පක්ෂයක් හදා වසර හතරක් යන්නටත් පෙර පළාත් පාලන ආයතනවල බලයත් ආණ්ඩුවේ බලය සහ විධායක ජනාධිපති ධුරයත් හිමිකර ගත්තේ බැසිල්ගේ මෙහෙයුම්වල සහ සංවිධායකත්වයේ ඇති දක්ෂකම නිසා බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ නිසා 20 ට තුනෙන් දෙක ගැනීමේ මෙහෙයුම ද ඔහුට බාර දී ඇත. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග ඔහු ගිය සතිය වන විට ද සාකච්ඡා කර ඇති බව දැනගන්නට තිබේ. විපක්ෂයේ සිටින සුළු පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකු ද එසේ සාකච්ඡා කළ පිරිස අතර සිටින බව ද වාර්තා විය.
කැබිනට් රැස්වීම
සතියේ කැබිනට් රැස්වීම පසුගිය සඳුදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වූවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කලින් බදාදා හවස පැවැත්වුණු කැබිනට් රැස්වීම් දැන් පැවැත්වෙන්නේ සඳුදා දිනයේය. ඒ අනුව ගිය සඳුදා හැන්දෑවේ ද කැබිනට් මණ්ඩලය රැස්විය. මේ දිනවල දේශපාලන කරළියේ කතාබහ වන 20 ගැන කැබිනට් මණ්ඩලයේ කතාබහ නොවූවේ එය මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ද ගොස් තිබෙන බැවිනි. මේ අතර ගව ඝාතනය මේ රට තුළ තහනම් කිරීමේ යෝජනාවක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබීය. එය කැබිනට් මණ්ඩලයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ඇතැම් ඇමැතිවරුන් ඇසුවේ වයසට යන ගවයන්ට කුමක් කරන්නේ ද කියාය. ඒකට උත්තර දෙමින් ඇමැතිවරයකු සඳහන් කළේ ‘ඔය ගෙවල්වල හදන සුරතල් සතුන් වයසට ගියාමත් හොඳට රැකබලා ගන්නෙ. ඒ විදියට වයසක ගවයනුත් බලාගන්න පුළුවන්නේ යනුවෙනි. අනෙක ඒ සතා බර ඇදල වයසට ගියාම ඌ මස්කඩේට දක්කන්නේ නැතිව බලාගන්න එක කොච්චර පිනක් ද? තවත් ඇමැතිවරයෙක් කීවේය.
ළමා දිනයට ජනපති පොත් බෙදයි
ලෝක ළමා දිනයත් වැඩිහිටි දිනයත් දෙකම යෙදී තිබුණේ ඉකුත් 1 වැනිදාටය. එදින ඒ නිමිත්තෙන් උත්සව වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එදින කළේ පාසල් කිහිපයක දරුවන් ජනාධිපති කාර්යාලයට කැඳවා පොත් පරිත්‍යාග කිරීමය. පොත් පමණක් නොව, ජංගම පුස්තකාල කිහිපයක් ද පරිත්‍යාග කළේය. එම ජංගම පුස්තකාල සඳහා යොදාගෙන තිබුණේ ලංගමයට අයත් පැරැණි බස්රථ කිහිපයකි. ඒවා ඉතා අලංකාර ලෙස අලුත්වැඩියා කර ජංගම පුස්තකාල ලෙස අලංකාර ලෙස සකස් කර තිබුණේ ජනාධිපතිවරයාගේ උපදෙසිනි.
සෑම පොහෝ දිනකම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැදුරේ පැවැත්වෙන අමාදම් සිසිල ධර්ම දේශනය ඉකුත් බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. ශිරන්ති රාජපක්ෂ මහත්මියත්, රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරත් ඊට සහභාගි වූහ. ජගත් කුමාර මන්ත්‍රීවරයාගේ උපන් දිනය ද එදිනට යෙදී තිබිණි. ජගත් කුමාර දුටු අගමැතිවරයා ඔහුට සුබපැතුවේ සුබ උපන් දිනයක් මන්ත්‍රීතුමා කියමිනි.
20 ට පත්කළ ශ්‍රීලනිප කමිටුව
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රීලනිපය විසින් පත්කරන ලද කමිටුව ගිය සතියේ රැස්වූයේ පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිවරයාගේ නිවසේය. කමිටුවේ ප්‍රධානියා ඇමැති නිමල් සිරිපාලය. දයාසිරි ජයසේකර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, දුමින්ද දිසානායක, ෂාන් විජයලාල් ද සිල්වා, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් ද ඊට ඇතුළත් වූහ. කමිටුව රැස්වී සාකච්ඡාව ආරම්භයේදීම ඒ ගැන පැහැදිලි කිරීමක් කළේ නිමල් සිරිපාල ඇමැතිවරයාය. ඔහු කීවේ අපි 20 ගැන වැඩිය කතා කරන්න දෙයක් නෑ. සම්පූර්ණ සහාය ශ්‍රීලනිපය විදියට අපි ලබාදෙන්න ඕන කියාය. ඒ අනුව එහි ප්‍රකාශය සකස් කිරීම මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්ට බාර විය.
ඉරානය සමග භාණ්ඩ හුවමාරුවකට යෝජනා
ඉරානයේ තානාපතිවරයා වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ගිය සතියේ හමුවිය. ඒ වෙළෙඳ අමාත්‍යාංශයේ දීය. එහිදී බන්දුල යෝජනා කළේ ඉරානයෙන් ආනයනය කරන භාණ්ඩ වෙනුවට ලංකාවෙන් තේ අපනයනය කළ හැකි බවය. එය මුදල් ගෙවීමකින් තොරව භාණ්ඩ හුවමාරුවක් ලෙස කළ හැකි බව ඔහු කීවේය. තමා මේ ගැන කැබිනට් මණ්ඩලය සමඟ ද සාකච්ඡා කරන බව බන්දුල කීවේය.
මහාචාර්යය ජී.එල්. පීරිස් කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකි. ඔහු එහි උපකුලපති ධුරය හෙබවූයේ අභියෝගාත්මක කාල වකවානුවක දීය. හිටපු උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඝාතනයෙන් පසුව ජී.එල්. උපකුලපති ධුරයට පත්විය. මහාචාර්ය පිරිසට උපහාර පිරිනැමීමේ උත්සවයක් ගිය සතියෙ එම විශ්වවිද්‍යාලයේ දී පැවැත්වුණේ වර්තමාන උපකුලපතිනි චන්ද්‍රිකා විජේරත්න මහත්මියගේ මූලිකත්වයෙනි. එහිදී ජී.එල්ගේ මෙහෙවර අගයමින් කීප දෙනකුම අදහස් දැක්වූ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකු වන තිලක් කරුණාරත්න මහතා ද ජී.එල්.ගේ මෙහෙවර අගයමින් කතා කළේය.
ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන නැති බව ප්‍රසන්න කියයි
කැනඩාවේ මහ කොමසාරිස් ඩේවිඩ් වැකිනොන් ගිය සතියේ දී ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා සංචාරක අමාත්‍යාංශයේ දී හමුවිය. සංචාරක ව්‍යාපෘතිය ආදිය ගැන කතා කරන අතරේ මහ කොමසාරිස්වරයා 20 වැනි සංශෝධනය ගැන ද විමසීය. අපි හදන්නේ 19 අහෝසි කරන්න. දැන් බලන්න 19න් ගෙනාපු ස්වාධීන කොමිෂන් සභා මේ කොමිෂන් සභා ස්වාධීන කියල කිව්වට ස්වාධීන නැහැ. හොඳම උදාහරණය මැතිවරණ කොමිසම. දැන් බලන්න ස්වාධීන මැතිවරණ කොමිසමේම සමහරු ඡන්දය තියනවට විරුද්ධව උසාවි ගියා. දැන් 20 ට එරෙහිවත් උසාවි ගිහින්. මේවා ස්වාධීන කොමිෂන් වෙන්නේ කොහොමද? ප්‍රසන්න කීවේය.
ගැසූ ගල් සජිත් එකතු කරයි
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිවරණයෙන් පසුව පක්ෂය ගොඩනැඟීමේ කටයුතුවලට නායකත්වය දෙමින් සිටින අතරවාරයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් වෙනුවෙන් සංවිධානය කරන ස්තුති කිරීමේ රැස්වීම්වලට සහභාගි වීමට වෙලාව වෙන්කර ගැනීමට අමතක කරන්නේ නැත. පසුගිය අඟහරුවාදා සවස කොළොන්නාවේ පැවැති ස්තුති කිරීමේ රැස්වීම් අවසන් කළ සජිත් මොරටුව රාවතාවත්තට පැමිණියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් සංවිධානය කර තිබූ ස්තුති කිරීමේ රැස්වීමකට සහභාගි වීමටය.
සජිත් කතාව පටන්ගෙන විනාඩි කිහිපයක් යන විට කලබලකාරී තත්ත්වයක් ඇතිවූයේ වේදිකාව දෙසට ගල් ප්‍රහාරයක් එල්ලවීම නිසාය. කිසියම් පිරිසක් විසින් එල්ල කළ ගල් ප්‍රහාරය වේදිකාවේ වහලය මතට වැටුණේය.
එක් ගලක් පතිත වූයේ හිරුණිකා අබියසටය. ඈ ගැබ්බරව සිටින්නියකි. ඒ සමඟම ආරක්ෂක නිලධාරීහු පීඨිකාව වෙතට පැමිණියහ.
‘මම ගැන නෙමෙයි මෙතැන ඉන්න මිනිස්සු ගැන බලන්න. මිනිස්සු ටික පරිස්සම් කරන්න. එයාලාට කිසිම දෙයක් වෙන්න අරින්න එපා’ සජිත් ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
‘ගල් ගැහුවට කමක් නෑ ප්‍රශ්නයක් නෑ. මම බය වෙලා යන්නේ නෑ. කවුරුවත් බය වෙන්න එපා. මේ රත්මලානේ දේශපාලනය මෙහෙයවන්නේ කවුද කියලා අපි දන්නවා. මදාවියොන්ට බයේ මම යන්නේ නෑ. මම ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්. මම මේ ගල් ප්‍රහාරවලට බය වෙන්නේ නෑ. මම ඕනෑම උණ්ඩයකට මුහුණ දෙන්න සූදානම්. මගේ කට කාටවත් වහන්න බෑ, අද මට ගහපු ගල් එකතු කරලා ප්‍රජා ශාලාවක් ඔබලාට හදලා දෙනවා’ සජිත් සහතිකයක් දුන්නේය.
සජිත් තමන්ගේ කතාව අවසන් කර වේදිකාවට එල්ල කළ ගල් ටික එකතු කර ගත්තේය.
‘මගේ තාත්තා සුචරිතයේ වැඩ පටන් ගන්නකොට විරුද්ධවාදීන් මෙහෙම ගල් ගැහුවා. ඒ ගල් එකතු කරලා එතුමා සුචරිත මන්දිරය ගොඩ නැගුවා’ සජිත් කීවේ තමන්ට එල්ල වූ ගල්වලින් ප්‍රජාශාලාව ගොඩනගන හැටි ගැන කියමින්ය.
එතැන් සිට සජිත් ගියේ අභාවප්‍රාප්ත නළු ටෙනිසන් කුරේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටය.
සජිත් විපක්ෂ නායකත්වයට පත්වීමෙන් පසුව විපක්ෂ නායක කාර්යාලයේ සෑම පොහෝ දිනකම ධර්ම දේශනාවක් සංවිධානය කරන අතර මෙවර පස් වැනි වතාවට ධර්ම දේශනාව සංවිධානය කර තිබුණි. පෝ දින ධර්ම දේශනාව පැවැත්වූයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති, අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ විසිනි.
‘ඔබතුමාගේ පියාත් ආගම දහමට බොහෝ ළැදි අයෙක්. ඔබතුමත් ඒ මග යන එක ගැන අපිට සතුටක් තිබෙන්නේ. රටේ නායකයෙක් වෙන්න නම් රටේ තිබෙන සංස්කෘතිය හඳුනාගන්න ඕනෑ. ඔබතුමන් මේ රටේ තිබෙන සංස්කෘතිය මොකක්ද කියලා තේරුම් ගත්ත නායකයෙක්. සමහර දේශපාලනඥයින්ට වැරදුෙණ් රටේ සංස්කෘතිය හරිහැටි හඳුනා ගත්තේ නැති නිසා’ උන්වහන්සේ සඳහන් කළහ.
‘හාමුදුරුවෝ කිව්වේ සර්ගේ වැඩ පිළිවෙළ ගැනම තමයි. රටේ තියෙන මහා සංස්කෘතිය හඳුනාගෙන ඒක ආරක්ෂා කරන අතරම අනෙක් ජාතීන්ට, අනෙක් සංස්කෘතීන්ට ඉඩ ලබාදෙනවා කියලා කියන්නේ ඔබතුමාගේ දැක්ම තමයි. ඒ වගේම සමගි ජන බලවේගයේ දැක්ම තමයි මේ’ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා කීවේ ධර්ම දේශනාව අවසන්වීමෙන් පසුව සජිත් පැමිණ සිටි මන්ත්‍රීවරුන් සමඟ සුහද කතාබහක යෙදෙමින් සිටින අතරවාරයේ දීය.
පසුගිය සති අන්තයේ සජිත් සිටියේ අනුරාධපුරයේ සහ පොළොන්නරුවේය. එම දිස්ත්‍රික්ක දෙකේ විහාරස්ථානවලට ගොස් නායක හිමිවරු හමුවී ආශිර්වාද ලබා ගැනීමට සජිත් සති අන්තයම වෙන්කර තිබුණි.
‘මහත්තයෝ, ඔබතුමා සංස්කෘතික කටයුතු ඇමැති වෙලා කටයුතු කරපු කාලේ මේ පළාතේ හැම පන්සලකටම වගේ උදව් කරලා තියෙනවා. ඔබතුමාගේ පියාත් ඒ වගේම තමයි. යන හැම තැනකටම මොනවා හරි කරලා තියෙනවා.’ සෑම විහාරස්ථානයකම පාහේ නායක හිමිවරුන් කීවේ සජිත් විහාරස්ථාන වෙනුවෙන් කළ සේවය ගැනය.
මේ අතර සජිත් අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබාගත් අතර අනතුරුව නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි ෙචෙත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ද බැහැදුටුවේය. ඉන්පසු සජිත් රුවන්වැලි මහා සෑරදුන්ට කප්රුක් පූජා කිරීමට ද ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ අභියස උතුම් පහන් පූජාවට ද සහභාගි විය. සජිත් එයට සහභාගි වූයේ සමගි ජන බලවේගයේ අනෙකුත් මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කර ගනිමින්ය.
එජාපයේ රැඩිකල් වෙනසකට කතා
එ.ජා.ප. ය යළි ගොඩ නැගීම සඳහා නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ප්‍රමුඛ පිරිසට අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර වාර්තාව දීමේ වගකීම නායක විසින් පසුගියදා පවරන ලදී.
රුවන් සමග අකිල, සාගල, කරුණාසේන කොඩිතුවක්ක, ශමල් සෙනරත් වැනි අය ඊට ඇතුළත්ය. විශේෂයෙන් අර්ජුන, වජිර, නවීන්, සන්දීප් ඇතුලු කණ්ඩායම සමග අදහස් හුවමාරු කරන ලෙස ද නායකයා උපදෙස් දී තිබේ. රවී සම්බන්ධ කර ගැනීමේ අපහසුතාව පිළිබඳව ද එහිදී කතා බහ වූ බවට ද වාර්තා වී පවතී.
‘කමිටුවේ සියලු දෙනා සාමුහිකවයි, වගකීම ඉටුකළ යුත්තේ. සතියකින් වාර්තාව දෙන්න කියා මා කිව්වා. ඒත් තාම නැහැ. සාමුහිකත්වයෙන් මිසක් තනි - තනිව කටයුතු කිරීම මෙතනට ගැළපෙන්නේ නැහැ.’ එජාප නායක අදාළ කමිටු සාමාජිකයන්ට දුන් පණිවුඩය එයය.
‘අප හැකි ඉක්මනින් නිසි වාර්තාව හදා බාර දෙන්නම්. උඩින් පල්ලෙන් මේක කරලත් බැහැ. ඒකයි ටිකක් කල් යන්නේ’ කමිටු සාමාජිකයන්ගෙන් විමසූ විට නායකට ලැබුණේ එවනි පිළිතුරකි.
නියෝජ්‍ය නායක රුවන් පසුගිය සති අන්තයේ මාතර දී සිය පළමු ප්‍රාදේශීය මෙහෙයුම් කාර්යාලය විවෘත කළේය. සාගල ඇතුළු දිස්ත්‍රික් එජාප සංවිධායකයින් ඒ කටයුත්ත සංවිධානය කර තිබිණි.
කාර්යාලය විවෘත කිරීමෙන් පසුව දින දෙකක් මාතර දිස්ත්‍රික්කය පුරා සංචාරය කරමින් පාක්ෂිකයන් හමුවෙමින් වෙහෙරහේන, දෙවිනුවර විෂ්ණු දේවාලය හා සෙසු ආගමික ස්ථාන රැසක ප්‍රධාන පූජ්‍ය පක්ෂ හමු වී ආශිර්වාද ගැනීම මෙන්ම එජාප ය යළි ගොඩ නැගීමේ වැඩසටහනේ ඡායාව ඔවුන් හමුවේ විස්තර කිරීමට ද නියෝජ්‍ය නායක රුවන් කටයුතු කළේය.
පසුගිය සතියේ අධික වර්ෂාව මැද්දේ වැඩිහිටිකන්ද, කිරිවෙහෙර හා කතරගම දේවාලයට ගිය ඔහු ආශිර්වාද ලබා ගත්තේය. කතරගම අභිනවාරාමයේ විහාරාධිපති හිමියන් බැහැ දැකීමට ද රුවන් අමතක නොකළේය. බෞද්ධ පදනමින් ඈත් වී සිටි එක්සත් ජාතික පක්ෂයට දැන් බෞද්ධ පදනමක් හිමිවීම බලවත් සතුටට කරුණක් බව උන්වහන්සේ ප්‍රකාශ කළහ. ආශු මාරසිංහ. සමන් රත්නප්‍රිය, කස්තුරි අනුරාධනායක යන මහත්වරු හා ශාන්තිනී කෝංගහගේ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම පිරිසට විහාරස්ථානයේදීම රාත්‍රී ආහාරය ද සූදානම් කර තිබිණි.
සියල්ල අවසන්කර පසුදා අළුයම 3.00 ට කොළඹට පැමිණි රුවන් විජයවර්ධන මහතා පසුවදා උදේ 8.30 වන විට සිරිකොතට පැමිණි මහජන නියෝජිතයන් හමුවූයේය.
ගිය බදාදා එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව රැස්වූ අතර එයට අඛිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, මහාචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, කස්තුරි අනුරාධනායක, සමන් රත්නප්‍රිය, ශමල් සේනාරත්න යන මහත්වරු ද සහභාගි වූහ.
පක්ෂය තුළ රැඩිකල් වෙනසක් ඇතිවිය යුතු බව මෙහිදී සාකච්ඡාවට භාජනය විය. සමන් රත්නප්‍රිය මහතාගෙන් වෘත්තීය සමිති කටයුතු පිළිබඳව විමසූ රුවන් විජයවර්ධන මහතා ඉදිරි වැඩ කටයුතු පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළේය.
20 වැනි සංශෝධනයට එරෙහිව මේ වන විට පෙත්සම් 40 ට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුව තිබේ. සෙසු පක්ෂ ඒ වන විට එක් පෙත්සමක් යොමුකර තිබියදී එජාපය වෙනුවෙන් මහලේකම් අකිල එක් පෙත්සමක්ද, එජාප නියෝජ්‍ය නායක වු ද රුවන් විජයවර්ධනගේ නමින් තවත් පෙත්සමක්ද පසුගිය සඳුදා යොමු කෙරිණ.
‘කරුණු බොහෝමයක් සෙසු පක්ෂ ඉදිරිපත් කළ ද සීමිත කාලයක් තුළ එජාපය පෙත්සම් දෙකක් ඉදිරිපත් කිරීමටත්, ඒවායේ අලුත් තර්ක රාශියක් ඇතුළත් කිරීමටත් අප ක්‍රියා කළා.’ එජාප නායකයා සිරිකොතදී කීවේ එවැන්නකි.
-ගජබා-