සතිපතා රැස්වන කැබිනට් මණ්ඩලය මෙවර රැස්වූයේ සති දෙකකට පමණ පසුවය. කැබිනට් මණ්ඩලය සතියේ අඟහරුවාදා පෙරවරුවේ රැස්වීම සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාදාමයවේ. එහෙත් අප්‍රේල් 21 වැනිදා එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ක්‍රියා කලාපය පිළිබඳව ඇතිවූ මත ගැටුමක් මත කැබිනට් රැස්වීම් අත්හිටුවන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 7වැනිදා රාත්‍රි ජනාධිපති කාර්යාලයෙ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදි තීරණය කළේය. ඉකුත් 7 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලය පසුගිය අඟහරුවාදා උදේ රැස්වුණේ හරියටම බැලුවොත් දින 11 කට පසුවය. ඒ ජනාධිපතිවරයාත් එජාපයේ ප්‍රබල ඇමැතිවරුන් කිහිප දෙනකුත් අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි.
ඒ අනුව සතියේ කැබිනට් රැස්වීම ගිය අහරුවාදා උදේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි. දින 11 කට පමණ පසුව රැස්වූ කැබිනට් රැස්වීම නිසා සාකච්ඡාවට ගැනීමට කැබිනට් පත්‍රිකා සියයට වැඩි ගණනක් තිබිණි. රජයේ පාසල්වල උසස් පෙළ සිසුන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් එදින යළිත් වරක් ඉදිරිපත් කර තිබිණි. ඊට ජනාධිපතිවරයා විරෝධය පළ කළේ කරුණු දෙකක් ගැන සඳහන් කරමිනි. ටැබ් දීම, නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන්නට අනුමැතිය දී තිබියදී පාසල් 370ක සිසුන් 1,89,000කට ටැබ් දෙන්නට යාමට තමා විරුද්ධ බව ජනාධිපතිවරයා කීවේය. මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන 2275ක අමතර වියදමක් දරන්නට සිදුව ඇති බවද ජනාධිපතිවරයා කීවේ අමාත්‍යංශවල ප්‍රාග්ධන වියදම් සියයට 15කින් කපා දමා තිබියදී මෙතරම් මුදලක් වැය කිරීම ගැටලුවක් බව සඳහන් කරමිනි. ජනාධිපතිවරයා කීවේ ටැබ් දීමට වඩා ස්මාර්ට් පන්ති කාමර හැදීම වඩාත් සුදුසු බවය. සමහර පාසල්වල වැසිකිළි කැසිකිළි පහසුකම් පවා නැතිව තිබියදී ටැබ් දෙන්නේ කෙසේ දැයි ජනාධිපතිවරයා විමසීය. අගමැතිවරයාත් අකිල විරාජ් අධ්‍යාපන ඇමැතිවරයාත් කීවේ ඊට වෙනස් අදහසකි. ඔවුන් කීවේ මෙය 2015 දී දුන් ඡන්ද පොරොන්දුවක් බවය. අපි මේ කටයුතු ආරම්භ කළේ 2017 දි. දැන් ඒක ආපසු හරවන්න බැහැ යැයි අකිල කීවේය. රාජිත සේනාරත්න, වජිර අබේවර්ධන හා බුද්ධික පතිරණ යන ඇමැතිවරුන්ද කතා කළේ අකිලගේ අදහසට සහාය පළ කරමිනි. අවසානයෙ මේ ගැන තීන්දුවක් ගැනීම ජනාධිපතිවරයා විසින් සතියකින් කල් දමනු ලැබීය.
වතුකරයෙ ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීමේ යෝජනාව අනතුරුව සාකච්ඡාවට ගැනුණි. නවීන් දිසානායක ඇමැතිවරයා කීවේ මේ ඔප්පු දීම හරහා ඉඩම් විකුණා දැමීමටද හැකියාවක් ලැබෙන බැවින් විකිණිය නොහැකි වන සේ නියෝගයක් සඳහන් කළ යුතු බවය. එහෙත් ඊට මනෝ ගනේෂන් ඇමැතිවරයා විරෝධය පළ කළේය. ඔහු කීවේ සිංහල අයට සින්නක්කර ඔප්පු දිය හැකි නම් වතුකරයෙ දෙමළ ජනතාවට සින්නක්කර ඔප්පු දීමේ ඇති වරද කුමක්ද කියාය.
මේ අතර යාන්ත්‍රික කියත් පිටරටින් ආනයනය කිරීම තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ පරිසර ඇමැති ලෙස ජනාධිපතිවරයා විසිනි. ජනාධිපතිවරයා කීවේ පරිසරය ආරක්ෂා කර ගැනීම් සඳහා මෙම පියවර ගන්නා බවය. ඔහු කීවේ චේන් ෂෝ 82,000ක් පමණ දැනටමත් ලියාපදිංචි වී ඇති බවය. ඒ නිසා පිටරටින් චේන් ෂෝ ගෙන්වීම තහනම් කරන බව ජනාධිපතිවරයා කීවේය. ‘අඩුම තරමින් චේන් ෂෝ’ ආනයනය කිරීම සඳහා මහනගර සභා නගර සභා සහ ප්‍රාදේශීය සභාවලටවත් අවසර දෙන්නැයි චම්පික රණවක ඇමැතිවරයා ඉල්ලීමක් කළේය. එහෙත් ජනාධිපතිවරයා ඊට එකඟ නොවිය. ඒ අනුව චේන් ෂෝ ආනයනය තහනම් කෙරිිණි.
තුර්කි විදුලි බලාගාර ප්‍රශ්නයක් මුල් කර ගනිමින්, රවි කරුණානායක හා සාගල රත්නායක යන ඇමැතිවරුන් දෙදෙනා අතර මත ගැටුමක් ඇතිවිය. රවිත් සාගලත් එජාප ආණ්ඩුවේ ප්‍රබලයෝ වෙති. රවි ඉල්ලීමක් කෙළ් තුර්කි බලාගාරය කොළඹ වරායෙ ස්ථාපිත කිරීමට අවසර දෙන ලෙසය. එහෙත් සාගල කිවේ ඊට ඉඩදිය නොහැකි බව පෙන්වාදෙමිනි. මේ ගැන කිසිම තොරතුරක් අපට ලැබිලත් නැහැ සාගල කීවේය. මේක කඩිනම් කළේ හදිසියෙ විදුලිය ගැනීමට අවශ්‍ය නිසයි. මම මේක මාස තුනක් තිස්සෙ කරන්න උත්සාහ කරනවා. නමුත් අපට තවම තැනක් ලැබිල නැහැ” හැබැයි ලයිට් කපන්න වුණොත් මට දොස් කියන්න එපා. රවි කීවේ සාගලට පිළිතුරු දෙමිනි. විධිමත් ටෙන්ඩර් එකක්වත් නැතිව අපි කොහොමද මේකට ඉඩ දෙන්නෙ සාගල කීවේය.
ටජිකිස්තාන සංචාරය නිමවා ගිය සතියේ සෙනසුරාදා උදේ දිවයිනට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙළින්ම පොළොන්නරුව බලා පිටත්ව ගියේ පොසොන් පොහොය වෙනුවෙන් වැඩසටහන් රැසක් යොදාගෙන තිබූ බැවිනි. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ පොළොන්නරුව වෙළෙඳ සංගමය වසර ගණනාවක් තිස්සේ පවත්වන බණ්ඩාරනායක සේනානායක පොසොන් බත් දන්සලය. එය ආරම්භ වූයේ ද මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. එදා සිට අද දක්වාම එම දන්සල නොකඩවා පවත්වන්නට මෛත්‍රී පියවර ගත්තේ පොළොන්නරුවේ වෙළෙඳ සංගමයේ මෙන්ම දානපතියන්ගේ ද පරිත්‍යාගයෙනි. ඒ අනුව ජනාධිපතිවරයා පොසොන් පොහෝ දිනත් ඊට කලින් දිනත් පොළොන්නරුවේ රැඳී සිටිමින්, දන්සලේ කටයුතුවලට සම්බන්ධවී සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ ද යන්න බොහෝ දෙනා කාලයක සිට අසන ප්‍රශ්නයකි. එහෙත් මෛත්‍රී පසුගිය කාලය පුරාම ඒ ගැන කතා නොකළේ ජනාධිපතිවරණයට තව කල් තියෙනවා යැයි කියමිනි. ගිය සතියෙ ඔහු ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කළේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඉකුත් බදාදා පැවැති ශ්‍රීලනිප ප්‍රාදේශීය සභා නගර සභා මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ හමුව අමතමිනි. ඔහු ජනාධිපතිවරණය සහ එය පැවැත්වෙන කාලවකවානු ආදිය ගැන කතා කළ ද බොහෝ දෙනා අසන ප්‍රශ්නයට නම් නිශ්චිත පිළිතුරක් නොලැබිණි. ඉදිරි ජනාධිපතිවරණයෙ තුන්කොන් සටනක් නැහැ. සටන තියෙන්නෙ කණ්ඩායම් දෙකක් අතරයි. ප්‍රධාන කණ්ඩායම් දෙකේම මේ වනවිට අභ්‍යන්තර ගැටුම් තිබෙනවා. ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු තීරණ ගන්නෙ පාක්ෂිකයාගේ ගෞරවය ආරක්ෂා කර ගනිමින්. කිසිදු පාක්ෂිකයකුට අසාධාරණයක් නොවන විදියටයි. පාක්ෂිකයා කිසි විටෙක අතරමං කරන්නෙ නැහැ. ශ්‍රීලනිපය කියන්නේ ලෝකෙ පළමුවැනි අගමැතිනිය වගේම විධායක ජනාධිපතිවරියක් බිහි කරපු පක්ෂයකි. ජනාධිපතිවරයා සිය කතාවේ දී කීවේය.
ජනාධිපතිවරයා කියන පරිදි ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් නොවනු ඇත. ඒ අනුව ඇත්තේ ද්වන්ධ සටනකි. එහෙත් ඒ දෙදෙනා කවුරුන්ද යන්න තවමත් පැහැදිලි නැත.
මුස්ලිම් ඇමැතිවරුන් ආණ්ඩුවේ තනතුරුවලින් එක්වරම ඉවත්වීම මෙන්ම ඔවුන්ගෙන් දෙදෙනකු ගිය සතියෙ හදිසියෙම යළි තනතුරු බාර ගැනීම ද දේශපාලන කරළියෙ ආන්දෝලනයට තුඩුදුන් මාතෘකාවකි. ඔවුන් ඉල්ලා අස්වන විට කීවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට සහාය පළ කරමින් තනතුරු අත්හරින බවත් පරීක්ෂණ අවසන් වීමෙන් පසුව තනතුරු බාර ගන්නා බවත්ය. එහෙත් ගිය බදාදා උදේ කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන දෙදෙනා ඔවුන් කලින් සිටි ඇමැති ධුරවලම ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දීම සිදුවූයේ බදාදා උදේ ජනාධිපති නිල නිවසේය. මේ දෙදෙනාම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන දෙදෙනෙකි. කබීර් හෂීම් එජාපයේ සභාපතිවරයා මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ එජාප මන්ත්‍රීවරයාය. අබ්දුල් හලීම්, මහනුවර දිස්ත්‍රික් එජාප මන්ත්‍රීවරයෙකි. ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයා හමුවී ඇමැති ධුරවල යළි දිවුරුම් දීම එජාප නායකයන්ගේ අනුදැනුමකින් තොරව සිදුවූ බවට ද ආරංචි පැතිර ගියේය. ඒ බව හොඳින්ම පැහැදිලි වූයේ ශ්‍රීලනිප මූලස්ථානයේ එදින දහවල් පැවැති රැස්වීමක දී ජනාධිපතිවරයා කළ කතාවෙනි. මුස්ලිම් ඇමැතිවරුන් තනතුරුවලින් අස්වුණා. දැන් එක් එක්කෙනා ඇවිත් දිවුරුම් දුන්නා. මේක ඒ පක්ෂවල අයවත් දන්නේ නැහැ. මට ආරංචි විදිහට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙත් මේ වෙලාවේ ඒ ගැන කතාවෙනවා යැයි ජනාධිපතිවරයා කියා තිබිණි. මීට පෙර වැඩ බලන ඇමතිවරුන් පත් කිරීමේ දී ද මේ හා සමාන ප්‍රශ්නයක් පැන නැගී තිබිණි. ඒ බුද්ධික පතිරණ, ලකී ජයවර්ධන හා අනෝමා ගමගේ යන තිදෙනා වැඩ බලන ඇමතිවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ හදිසියේම දිවුරුම් දීමය. එය ද එජාපයේ අනුදැනුමකින් තොරව සිදුවූ බවට ද වාර්තා විය.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා 20 වැනිදා සවස පාර්ලිමේන්තුවට පැමිණියේ ඇමැති දයා ගමගේ මහතා ඉදිරිපත් කර තිබූ ඌණ ක්‍රියාකාරී ව්‍යවසායකයන් හෝ ඌණ උපයෝපිත වත්කම් පුනරුද කිරීමේ පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය දීමටය. සභා ගර්භයට යාමට පෙර රාජපක්ෂ මහතා විපක්ෂ කාර්යාලයට එද්දී මන්ත්‍රීවරු හා මාධ්‍යවේදීහු පිරිසක් ද එහි සිටියහ. ‘සර් පැල්වත්ත සීනි සමාගම එදා අපි ආණ්ඩුවට ගත්තා කියල ඇමැති දයා ගමගේ අද ලොකු වේදනාවකින් කතා කළා. බැසිල් මහත්තයටත් දොස් කිව්වා. පැල්වත්ත ෂුගර් එකට දයා ගමගේ එදා කරපු විනාශය ගැන මම කතා කළා.’මන්ත්‍රී නිමල් ලන්සා කීවේය.
‘එයා කතා කළේ සුදන වගේ. මේ පනතින් හදන්නේ ආයෙමත් ඒක එයාට අයිති කර ගන්න. යූඇන්පී එකට කාලයක් වියදම් කරපු නිසා ඒකට හිලව් වෙන්න මොනව හරි රජයේ දේපලක් එයාට දෙන්න තමයි මේ ඩීල් එක කරන්නෙ.’ මන්ත්‍රී ජානක වක්කුඹුර කීවේය.
‘ආණ්ඩුව මොනවා කරනවද කියල හිතාගන්න බැහැ. පුංචි ළමයි කෝන් පිට්ටු සෙල්ලම කරනව වගේ මේ අය ආණ්ඩු කරන්නෙ. සර් ආණ්ඩුවේ ඉහළම තැනක කෙනෙක් මට හමුවුණා එයා මට රහසෙන් කිව්ව රට නම් ඉවරට ඉවරයි ඒ අය කියන දෙයක්වත් නායකයන් අහන්නෙත් නෑ කියලා. මේක ආයේ ගොඩ දානව නම් ඒක කරන්නත් පුළුවන් සර්ගේ නායකත්වයෙන් කියල කිව්වා’ කුමාරසිරි හෙට්ටිගේ කියද්දී ‘ආණ්ඩුවේ අයටම ඒක තේරෙන එක හොඳයි. ප්‍රශ්නය තියෙන්නෙ මේ යන විදියට රට ගොඩ ගන්න පුළුවන් තරමට ඉතුරු කරයි ද කියල. මිනිස්සුන්ට ජීවත් වෙන්න හරි අමාරුයි. දරුවන්ගේ මන්ද පෝෂණය උග්‍රවෙලා. මේවා ගැන ආණ්ඩුවට කිසි ගාණක් නෑ.’ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කීවේ මහා පරිමාණ දූෂණ කීපයක් ගැන ද තොරතුරු කියමිනි.