‘මහ ඡන්දය’ උසාවි යයිද?


ඉකුත් මාර්තු මස 19 වැනිදා මෙරට පළමු කොරෝනා රෝගියා වාර්තාවීමත් සමඟ ඇති වූ අනාරක්‍ෂිත තත්ත්වය තවමත් පහව ගොස් නැත.   ර​ටේ සාමාන්‍ය ජනජීවිතය අඩාළ වී ඇතත් කොරෝනා ව්‍යාපෘතිය පාලනය කිරීම සඳහා ආණ්ඩුවද දැඩි වෙහෙසක් දරමින් සිටී. මාසයකට ආසන්න කාලයක් තිස්සේ පනවා තිබූ ඇඳිරි නීතියද ගිය සඳුදා වන විට ලිහිල් කරන්නට ආණ්ඩුව තීරණය කළේ කොරෝනා ව්‍යාපෘතිය යම් පාලනයක් සිදුව ඇති බව කල්පනා කරමිනි. ලෝකයේ සෙසු රටවල් හා සැසඳීමේදී කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවමත් ඉදිරියෙන්ම සිටින බව අවිවාදිතය.
ඒ අනුව ගිය සඳුදා සිට ඇඳිරි නීතිය ලිහිල් කරන්නට ආණ්ඩුව සති අන්තයේ තීරණය කළේය. එහෙත් සඳුදා වන විට තත්ත්වය වෙනස් වෙමින් තිබිණි. ඒ නිසා ඇඳීරි නීතිය ඉවත් කරන්නට ගෙන තිබූ තීරණවල සංශෝධනයක්ද රජය සිදු කළේය. කොළඹ, ගම්පහ, කළුතර, සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලබන සඳුදා (27) තෙක් දීර්ඝ කළේ ඒ අනුවය.


කොරෝනා වසංගතය නොආවේ නම්, මහමැතිවරණය පවත්වන්නට නියමිතව තිබුණේ ඊයේ (25) දිනයේය. එසේ ඡන්දය පැවැත්වී නම්, අද (26) උදේ වන විට ඡන්ද ප්‍රතිඵලද නිකුත් වී හමාරය. එසේ වූවද, ඒ සියලු තීන්දු තීරණ කණපිට පෙරළුණේ කොරෝනා හේතුවෙනි. කොරෝනා වසංගතය රටට, සාමාන්‍ය ජන ජීවිතයට, රටේ ආර්ථිකයට කර ඇති විනාශය කොතරම්ද යන්න ගණනය කළ නොහැකිය.


අප්‍රේල් 25 ඡන්දය පවත්වන්නට නොහැකි නම්, ඊළඟට ඡන්දය පවත්වන්නේ කවදාද යන්න හැමෝටම තිබූ ගැටලුවකි. කොරෝනා වසංගතය හමුවේ ඡන්දය කල් දමන්නැයි බොහෝ දෙනා ඉල්ලා සිටියහ. ඒ අතරේ විපක්‍ෂයේ ඇතැමුන් ඉල්ලා සිටියේ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසය. එහෙත් ආණ්ඩුව ඊට සූදානම් නැත. ඔවුන් කීවේ පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බවය. මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් නීතිමය ගැටලු කිහිපයක් මතු කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉකුත් මාර්තු මස 31 වැනිදා සහ අප්‍රේල් මස 1 වැනිදා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට ලිපි දෙකක් යොමුකර තිබිණි. ඉන් එකකින් මතුකර තිබු​ෙණ් ව්‍යවස්ථාමය අර්බුදයක් ගැනය. ඒ ගැන නීතිපති උපදෙස් ගන්නැයි ඉල්ලා තිබිණි. දෙවැන්න යොමුකර තිබුණේ මැතිවරණය කල් දැමීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමේ අවශ්‍යතාව මතු කරමිනි. එම ලිපි දෙකට ජනාධිපති ලේකම්වරයා ඉකුත් 9 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට යවා තිබුණේ සැර පිළිතුරකි. මැතිවරණයට දින නියම කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් බව ජනාධිපති ලේකම්වරයා ලිපියෙන් දන්වා තිබිණි.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ගිය සඳුදා රැස්වූයේ මහ මැතිවරණයට දිනයක් නියම කිරීම වෙනුවෙනි. එම රැස්වීමට පෙර, මැතිවරණ කොමිෂන් සභාව රැස්වීම් දෙකක් කැඳවා තිබිණි. එක රැස්වීමකට කැඳවා තිබුණේ සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ය. ඔවුන් කියා තිබුණේ දැනට පවතින තත්ත්වය අනුව, මැතිවරණයේ කුඩා රැස්වීම් පවා පැවැත්වීමේ හැකියාවක් තවමත් නැති බවය. සමාජ දුරස්ථභාවය තවදුරටත් තබා ගත යුතු බව ඔවුන්ගේ අදහස විය. අනතුරුව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, දිසාපතිවරුන් කැඳවීය. එහිදී ද ඇතිවී තිබෙන තත්ත්වය ගැන සාකච්ඡාවට ලක්විය. එම සාකච්ඡා වට දෙකෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාව වෙනම රැස්විය. යාපනයට ගොස් සිටි මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හුල්ද එම රැස්වීමට පැමිණ සිටියේය. මැතිවරණ දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් ඔහු ඊට කලින් සතියේ කොමිෂන් සභාවද වි​වේචනය කරමින් දීර්ඝ ලිපියක් ප්‍රසිද්ධ කර තිබිණි. කොමිෂන් සභාව ගිය සඳුදා හැන්ඳෑවේ රැස්වූයේ මේ සියලු කරුණු කාරණ මැදය, එහිදි තීරණය වූයේ දින නියමයක් නොමැතිව කල්දමන ලද මහමැතිවරණය ලබන ජූනි මස 20 වැනිදා පැවැත්වීමටය. එම දිනය තීරණය කළේද හෙට (27) දිනයෙ ඇඳිරි නීතිය ඉවත් කළ හොත්, සතියකින් රට සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි යන උපකල්පනයෙනි. එසේ වුවහොත් දින 49කින් ඡන්දය පැවැත්විය හැකි බව කොමිසමේ අදහස විය. දින 49ක් යන ඡන්දය සඳහා දිනයක් නියම කළ හැකි අවසන් දිනය වේ. එදිනටද ඡන්දය පැවැත්විය නොහැකි නම් වෙනත් දිනයක් තීරණය කිරීමේ බලය කොමිසමට පැවරෙනු ඇත. දැනට තියෙන තත්ත්වය කවදා නිමාවනු අැතැයි පූර්ව නිගමනයකට පැමිණිය නොහැකි බැවින්, මැතිවරණය සඳහා දිනයක් නියම කිරීම කොමිෂන් සභාවේ වගකීමක් බවත්, ගැටලුවක් තිබේනම් ඒ ගැන පසුව සාකච්ඡා කර තීරණය කළ හැකි බවත්, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාද ගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. කෙසේ හෝ ගිය සඳුදා රාත්‍රියේ රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණයට දිනයක් තීරණය කළේය.


මැතිවරණයට ජූනි 20 පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කිරීමත් සමඟ විපක්‍ෂයේ ඇතැම් දේශපාලනඥයන් එයද විවේචනය කරන බවක් පෙනෙන්නට තිබේ. සමහරුන් කීවේ මේ තත්ත්වය තුළ පරණ පාර්ලිමේන්තුව නැවත බලාත්මක වන බවය. මේ අතර දෙමළ සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් කියා තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් යාමට මත්තෙන් නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි වීමෙන්, ව්‍යවස්ථාමය අර්බුදයක් මතු වන බවය. ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවද ඔහු කියා තිබිණි.


පැරැණි පාර්ලිමේන්තුව නොකැඳවන බව ජනපති කියයි.


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගිය අඟහරුවාදා රාත්‍රියේ රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකට එක්විය. එය මෙහෙයවනු ලැබුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක හා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසිනි. එහිදී ජනාධිපතිවරයා කොරෝනා වයිරසය හමුවේ අඩපණ වී ඇති මෙරට ආර්ථිකය යළි ගොඩනැගීමේ සැලසුම් ගැන කීවේය. පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසට කරන ඉල්ලීම් ගැනද ජනාධිපතිවරයා දුන්නේ කෙලින් උත්තරයකි. ඔහු කීවේ පැරැණි පාර්ලිමේන්තුව යළි කැඳවීමේ කිසිදු අවශ්‍යතාවක් තමාට නැති බවය. ඒ සඳහා තමාට නීතිමය වාතාවරණයක්ද නැතැයි ජනාධිපතිවරයා කීවේය.
ගොවීන්ගේ එළවළු මිලට ගන්න ආණ්ඩුව මැදිහත්වෙයි.


කොරෝනා වයිරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ පියවරක් ලෙස, දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වසා දමන්නට ආණ්ඩුව තීරණය කළේය. ඒ අනුව ගොවීන්ගේ එළවළු පලතුරු මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් සකසන්නට බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනාධිපති කාර්ය සාධක බළකාය පියවර ගත්තේය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසීමෙන්, අපහසුතාවට පත් වූ ගොවීන්ගේ නිෂ්පාදන රජ​යෙන් මිලදී ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වූයේ ජනක බණ්ඩාර තෙන්නකෝන් අැමැතිවරයාගේ මූලිකත්වයෙනි. ඇමැති ජනකත්, ඔහුගේ පුත් පළාත් සභාවේ හිටපු ඇමැති ප්‍රමිත බණ්ඩාරත් ඒ සඳහා දඹුල්ලට ගොස් කටයුතු සූදානම් කළහ. මේ අතරවාරයේ දඹුල්ලට පැමිණි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න හිටපු මන්ත්‍රීවරයා විරෝධය පළකළේ ගොවීන්ගේ එළවළු අඩුමිලට ගන්නා බව කියමිනි. එහිදී නාමල් කරුණාරත්න සහ ප්‍රමිත අතර වචන හුවමාරුවක්ද සිදුවිය. ප්‍රමිත කීවේ, ගොවීන්ගේ එළවළුවලට මේ අවස්ථාවේ දිය හැකි හොඳම මිලට ලබා දෙමින්, එළවළු මිලදී ගන්නා බවකි. අවසානයේ නාමල් කරුණාරත්නද එය පිළිගත්තේය.