ස්විස්ටලන්ත කෞතුකාගරයක තිබු ආදීවාසී අස්ථි කොටස්-කෞතුක භාණ්ඩ යළි ලංකාවට


(ගයාන් සූරියආරච්චි සහ කාවින්දි කරුණාතිලක)

ස්වභාව දහමේ රස කොටස්වලින් ඇට, මස්, නහර හැදුණු ආදි වාසී ජනතාව මේම පොළොවට ණය ගැති වන අතර ඒ ණය ගෙවාදැමීමට මේ භූමියේ මිහිදන් කළ යුතු බවත් පරපුරේ නායකයා ලෙස ස්විස්ටර්ලන්තයේ සිට රැගෙන ආ මෙරට ආදිවාසී ජනතාවගේ අස්ථි කොටස් ඒ ණයෙන් නිදහස් කිරීම සිදුකරන බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පැවැසීය.

වන්නිලැඇත්තෝ ඒ බව පැවැසූවේ ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ සිට මෙරටට ගෙන්වන ලද මෙරට ආදිවාසී මානව අස්ථි කොටස් සහ සංස්කෘතික කෞතුක භාණ්ඩ කිලෝ 400 ක් පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එම මාධ්‍ය හමුව අද (12) කොළඹ නෙළුම්පොකුණ ලෝටස් ශාලාවේ පැවැත්විණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වන්නිලැඇත්තේ පැවැසූවේ ආදිවාසීන් විශ්වාස කරන ආකාරයට ස්විස්ටර්ලන්තයේ සිට මෙරටට රැගෙන ආ අස්ථි කොටස්  තවමත් සිර කූඩුවේ පවතින බවත් මෙම ආදිවාසීන්ගේ ණය ගෙවා දැමීමට නම් වැලිකැටයක තරමක හෝ පොළොවේ ගෑවෙන සේ මිහිතලයේ භූමිදානය කළ යුතු බවත් ය.

ස්විස්ටර්ලන්තයේ සිට රැගෙන මෙරට ආදිවාසී මානව අස්ථි කොටස් සහ සංස්කෘතික කෞතුක භාණ්ඩ කිලෝ 400 අතර සම්පූර්ණ ඇට සැකිළි 12 ක්, හිස් කබල් 30 ක් පවතින අතර සංස්කෘතික වශයෙන් වටිනාකමක් ඇති කෞතුක භාණ්ඩ ද රාශියක් රැගෙනවිත් ඇත. එම අස්ථි කොටස් සහ සංස්කෘතික කෞතුක භාණ්ඩ තොගය ඉදිරි පර්යේෂණ කටයුතු සදහා ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ අනුමැතිය මත නීත්‍යානුකූලව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට බාරදීම ද මෙහිදී සිදුකෙරිණි.

මෙරටට ආදිවාසී ජනතාවගේ අස්ථි කොටස් 19 වැනි සියවසේ මුල් භාගයේදී සැරසින් සහෝදරයන් විසින් පර්යේෂණ සදහා ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් තිබූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්විවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඔෂාන් වෙදගේ මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් 2019 වසරේ සිට ආදිවාසීන් පිළිබදව සිදුකළ පර්යේෂණයකට අනුව ස්කොට්ලන්තයේ එඩින්බරා විශ්වවිද්‍යාලයේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මිනිස් ඇට සැකිළි කීපයක් මෙරටට රැගෙන ඒමට හැකිවී තිබුණි.

පසුව ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේද මෙරට ආදි වාසීන්ගේ අස්ථි කොටස් ඇති බවට දැනගැනීමෙන් අනතුරුව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහයෝගීතාවය මත මෙම අස්ථි කොටස් සහ සංස්කෘතික කෞතුක භාණ්ඩ තොගය මෙරටට රැගෙන ඒමට කටයුතු කෙරිණි.

එහිදී බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් නීත්‍යානුකූලව එම අස්ථි කොටස් ඌරුවරිගේ වන්නිලැඇත්තන්ට බාර දුන් අතර අනතුරුව වන්නිලැඇත්තන් විසින් එම අස්ථි කොටස් ඉදිරි පර්යේෂණ කටුයතු සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට බාරදීම ද සිදුකෙරිණි.

මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, , අමාත්‍යංශ ලේකම් බුවනෙක හේරත්, අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය  එම්.එම්. පද්මලාල්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කායච්ඡේද අධ්‍යනාංශයේ මහාචාර්ය සුරංජි යසවර්ධන, ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දබර අමිල හිමි යන පූජ්‍ය පක්ෂය සහ මහත්ම මහත්මීහු පැමිණ සිටියහ.

(ඡායාරූප ළහිරු හර්ෂණ)