'ආදරණීය කතාවක්' නිර්මාණය කළේ ගිලිහී යන මානවවාදී බැඳීම් යළි අවදි කිරීමටයි


 

2016-06-09-ent-50

"ආදරණීය කතාවක්" අධ්‍යෂක ප්‍රියන්ත කොළඹගේ

 

සිනමා නිර්මාණකරුවෙකු සේම වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ප්‍රියන්ත කොළඹගේ විසින් සිදුකළ නවතම සිනමා නිර්මාණය වන "ආදරණීය කතාවක්" අද (10දා) සිට CEL මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරේ. සිය තෙවන සිනමා නිර්මාණය වූ  "අරුමෝසම් වැහි" සිනමාපටයෙන් වසර දහ හතරකට පසු කළ එළිදකින "ආදරණීය කතාවක්" සිනමා නිර්මාණය පිළිබඳ ප්‍රියන්ත කොළඹගේ සමග කළ සංවාද සටහනකි මේ.

 

2016-06-09-ent-58ආදරණීය කතාවක් චිත්‍රපටිය ගැන මුලින්ම කතා කළොත්?

"ආදරණීය කතාවක්" කියන්නෙ මගේ හතරවෙනි චිත්‍රපටිය. මම චිත්‍රපටියක් කරන්නේ අරුමෝසම් වැහි චිත්‍රපටියෙන් අවුරුදු 14කට පස්සෙ. ඊට පෙර මම "දැහැන", "විමුක්ති", "අරුමෝසම් වැහි" තමයි කරපු චිත්‍රපටි තුන. ඒ සියල්ලටම වඩා වෙනස් තේමාවක් තමයි "ආදරණීය කතාවක්" සඳහා තෝරගෙන තිබෙන්නේ. තේමාවන් තුනක් තමයි මගේ කලින් චිත්‍රපටි තුනේම ගමන් කරන්නේ. නමුත් ආදරණීය කතාවක් සම්පූර්ණ වෙනස් චිත්‍රපටියක්. පසුගිය දශක තුනක් පුරා තිබුණු යුද්ධය අවසන් වීමත් සමග නිර්මාණය වූ සමාජ තත්ත්වයන් හා ඩිජිටල් මීඩියා පැත්තෙන් අපේ සමාජයට සිදුව තිබෙන බලපෑමත් එක්ක මිනිස්සු අතර තිබුණ සුන්දර මානව බැඳීම් වෙනස් සංකල්ප බවට පත්වෙලා තිබෙනවා. මම කතා කරන්නෙ එම කාරණය සහ කොච්චර මානව බැඳීමක් ඇඟ ඇතුළෙ තිබෙනවාද? ඒවා එළියට එන්නෙ නැත්තෙ ඇයි? එහෙම තිබුණා නම් ජීවිතය කොච්චර සුන්දරද කියලයි.

මේ චිත්‍රපටිය චමින්ද ගමගේ සහ මම තමයි සම නිෂ්පාදනය කරන්නෙ. චමින්ද ගමගේ මගේ පොඩි කාලෙ ඉඳල මගේ ළඟින්ම ඉඳපු මිත්‍රයෙක්. මගේ මිත්‍රයෙක්ම මේ චිත්‍රපටිය කරන්න සම නිෂ්පාදකවරයෙක් විදියට එකතුවීම මේ චිත්‍රපටිය සාර්ථක වෙන්න එක් හේතුවක්.

 

ලංකාවෙත් ජනප්‍රිය වෙච්ච හින්දි චිත්‍රපටියක ආකෘතියක් මීට භාවිත කර තිබෙන බවට චෝදනා නැගෙනවා නේද?

ආශිකි 2 කියන චිත්‍රපටිය ගැනනේ බොහෝදෙනෙක් ඔය කියන්නේ. චිත්‍රපටි හැමතිස්සෙම දකින ප්‍රේක්ෂකයන් සහ විචාරකයො හින්දි චිත්‍රපටි විතරයිනෙ දැකල තියෙන්නෙ. ආශිකී 2 වගේය කියන්නෙ මෙහි ගායකයෙක් හා ගායිකාවක් ඉන්න නිසානෙ. ආශිකී 2 වලට කලින් අභිමාන් ගත්තත් ඕකමයි කතාව. හැබැයි බටහිර චිත්‍රපටි වන Walk to remember, Sweet November නැතිනම් Notebook යන චිත්‍රපටිවලත් මං මේ ආදරණීය කතාවක් චිත්‍රපටියට යොදාගත් තේමාව ගොඩක් දුරට කතාකරල තිබෙනවා. නමුත් හුඟ දෙනෙක් දැකල තියෙන්නෙ ආශිකී 2 විතරයි. ඒ නිසයි ආශිකී 2 වගේය කියල කියන්නෙ. හැබැයි ඇත්තටම සමස්ත චිත්‍රපටිය පුරාම දිව යන ආදරය සහ පරිත්‍යාගය ඇතුළෙදි ආශිකී 2 වලට වඩා ප්‍රබල පිටපතක් අපිට තිබුණා සහ නිර්මාණය බොලිවුඩ් හා හොලිවුඩ් වලට වුවත් ගැළපෙන විදිහට නිර්මාණය කළා.

 

මෙම චිත්‍රපටිය වෙළඳ පොළ ඉලක්ක කරගෙනම නිර්මාණය කළ එකක් නේද?

සිනමා නිර්මාණය විදියට ගත්තොත් එය හැදෙන්නෙ නිර්මාණය කරන තාක් පමණයි. චිත්‍රපටිය ප්‍රදර්ශනයට මුදාහරින්නෙ සිනමාව කර්මාන්තයක් කියන පදනමේ තියාගෙන. ඕනම නිර්මාණයක් ගත්තොත් වෙළෙඳ පොළේ තත්ත්වයන්ට ගැළපෙන්න නිර්මාණය කළ යුතුමයි. ඕනම භාණ්ඩයක් වෙළෙඳ පොළේ තත්ත්වයන්ට සමානුපාතික භාණ්ඩයක් විය යුතුයි. එසේ නොවුණහොත් එම වෙළෙඳ භාණ්ඩය වෙළෙඳ පොළෙන් විසි වී යනවා. චිත්‍රපටියට බොහෝ දේවල් භාවිත කරන්නේ වෙළෙඳ පොළ ගැන හිතල තමයි. මේ චිත්‍රපටියේ පේන්න තිබෙන තත්ත්වන් ගත්තොත් හොලිවුඩ් සහ බොලිවුඩ් චිත්‍රපටිවලට සමාන වෙන තත්ත්වයනුයි හදලා තියෙන්නෙ. එහෙම නැත්තම් ලෝකයේ අනිත් චිත්‍රපටිත් එක්ක ලංකාවෙ සිනමාව පල්ලෙහා මට්ටමෙයි තියෙන්නෙ. ඒ නිසා කෙලින්ම ඩිජිටල් තාක්ෂණය මේ චිත්‍රපටියට නොබියවම භාවිත කළා. එහි එකම අරමුණු වෙළෙඳ පොළ ජයග්‍රහණය කිරීමමයි. චිත්‍රපටියේ කතා ශෛලියට මම තෝරගෙන තිබෙන තාක්ෂණය ඉතා මැනවින් යෝග්‍ය වෙනවා.

 

2016-06-09-ent-53ඔය කාරණය තේරුම් ගන්න චිත්‍රපටි හතරක් කරන්න සහ අවුරුදු 14 ක් ගත කරන්න සිද්ධ වුණාද? මොකද ඔබ කලින් නිර්මාණය කළ චිත්‍රපටි තුනම ප්‍රේක්ෂක අවධානය තදින් දිනාගත්තෙ නැහැ කියා මම යෝජනා කරනවා.

මම "දැහැන" කරන්නෙ මට අවුරුදු 19 ක් 20 විතර කාලෙදි. ඒ දැහැන චිත්‍රපටියෙන් මං යොදවපු මුදල් මට ආපහු ලැබුණු නිසා තමයි මම ආපහු සිනමා කර්මාන්තයේ රැඳී ඉන්නෙ. අනිත් කාරණය තමයි %අරුමෝසම්^ වැහි චිත්‍රපටියක් කරල අවුරුදු 14 ක් යනකම් යළි චිත්‍රපටියක් නිර්මාණය නොකළ කාලය සිනමාවේ තත්ත්වයන් හොඳින්ම අවබෝධ කරගත් අවුරුදු 14. එම කාලය තුළ වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණයෙහි නිරත වී සිටියා සහ වෙළෙඳ දැන්වීම් 400 ක් පමණ නිර්මාණය කරල තිබෙනවා. එයින් ලද පරිචය නිසා තමයි ආදරණීය කතාවක් ඉතාම පිළිවෙළට හොඳ නිමාවක් සහිත සිනමාපටයක් බවට පත්වුණේ. මේ චිත්‍රපටියත් පෙර නිර්මාණය කළ චිත්‍රපටි වගේම සෞන්දර්යාත්මක චිත්‍රපටියක්. ඒ පැත්තෙන් වෙනසක් නෑ. කතා තේමාව පමණයි වෙනස් කළේ. ඉහත සිනමා නිර්මාණ එකිනෙකට වෙනස් වුණත් සිනමාත්මක ගුණය රඳවාගන්න සමත් වුණා කීවොත් නිවැරදියි. එහි හොඳම ප්‍රතිඵලය තමයි ආදරණීය කතාවක්.

 

අපි වෙනද දකින උදාරි, අරුණි හෝ හේමාල්, බිමල් වෙනුවට ඔවුන්ව වෙනස් මානයකින් මෙම චිත්‍රපටිය තුළ ඔබ මෙහෙයවලා තිබෙනවා. ඔවුන්ව මේ තැනට අරන් ගියේ කොහොමද?

හේමාල් රණසිංහ ගත්තොත් ඔහුගේ මතක හිටින චරිතයක් අපි දැකල තියෙන්නේ ප්‍රවේගය චිත්‍රපටියේ. හේමාල්ගේ රංගනයට වැඩිය එහි තිබුණේ ඔහුගේ සටන් ජවනිකා. සටන් නළුවෙක් විදියට තමයි අපි ඔහුව දන්නෙ. මගේ පොදු ලක්ෂණය තමයි මම කැමති හදවත්වලට කතාකරන චරිත ගොඩනගන්න. මම උත්සාහ කළේ ප්‍රවේගය චිත්‍රපටියට වැඩිය සියයට සියයක්ම අභිමානගේ චරිතය බවට පත්කරන්න. හේමාල්ව මෙහෙයවූවා කියන්නෙ මම හේමාල් එක්ක මේක බෙදාගත්තා. හේමාල් මට ඕන විදියට අභිමානගේ චරිතයට මෙහෙයවන්න නම්‍යශීලී වෙලා හිටියා. මම කරන්නෙ රඟපාන ශිල්පීන් අරගෙන ඔවුන්ගේ තිබෙන දක්ෂතා හෙමින් හෙමින් උකහා ගැනීමයි. එය තමයි හේමාල්ගෙන් අරගත්තෙ. උදාරිගේ ටෙලි නාට්‍ය රංගනය හෝ එක චිත්‍රපටියක ඇය කළ චරිතවලට හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි පියවිගේ චරිතය. එයත් එලෙසමයි සිදුවුණේ. අරුණි ගත්තත් එහෙමයි. බිමල් දක්ෂ නළුවෙක්. ඒ වගේම ඉතා සංයමයෙන් අඩු රංගන ශෛලියක් භාවිත කරල තමයි බිමල්ගේ චරිතය ගොඩනැගුවේ. චරිත හතරම මගේ මගේ ශෛලියත් එක්ක චිත්‍රපටියට ගොඩාක් ඉවහල් කරගත්තා කියල හිතනවා.

 

මේ චිත්‍රපටිය ගත්තොත් මෑතකාලීනව අධ්‍යක්ෂණය, රංගනය, කැමරා කෝණ හැමදෙයක් පැත්තෙන්ම සාර්ථක නිර්මාණයක්. එහෙම නිර්මාණයක් ඔබට කරන්න ලැබුණේ කොහොමද?

"ආදරණීය කතාවක්" කරන්නෙ වෙළෙඳ දැන්වීම් 400ක් පමණ නිර්මාණය කළාට පසුව ලබාගත් සංයමයත්, රූප පිළිවෙළකට ගොඩනගන්න සංයමයෙන් කරන්නට පුරුදු වී සිටි නිසයි. ඒ ලක්ෂණ සියල්ලක්ම මේ චිත්‍රපටියට එකතු වෙනවා. එමෙන්ම රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන්ගේ දක්ෂතාවත් ඔවුන් මට මනාව ලබාදී තිබෙනවා. ඒව හරි ආදරණීය විදියටම සිද්ධ වෙච්ච දේවල්. මේ ඔක්කොම එකතුවුණාම තමයි මෙච්චර සුන්දර, තාක්ෂණික මට්ටමෙන් ඉහළ, ලංකාවට අලුත් අත්දැකීමක් දෙන නිර්මාණයක් බිහිවුණේ.

 

මේ චිත්‍රපටියේ ඉහළ සංගීතමය භාවිතයක් සිදුකරන්න ඔබ උත්සාහ දරා තිබෙනවා නේද?

ලංකාවේ වර්තමාන තරුණ ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය කරන සංගීතයක් හා ගීත මෙයට එක්කර තිබෙනවා. මොකද මෙය තාරුණ්‍යයේ තේමාව හරහා දිවෙන කතාවක්. මට උවමනා වුණා දැනට පරිසරයේ අපි භාවිත කරන අපේ ශ්‍රාවකයන් ආස කරන සංගීතය භාවිත කරන්න. එවැනි හැකියාවකින් යුතු අයෙක් තමයි උදාර සමරවීර. ඔහු මාත් එක්ක මාගේ ක්‍රියේටිව් ෆෝස් ආයතනයේ එකට වැඩ කළා. ඒ සමීපස්තභාවය නිසාම ඔහුත් එක්ක හැම සංගීත රටාවක්ම උඩුයටිකුරු කර නිර්මාණය කරන්න පුළුවන් වුණා. අපි දෙන්න කතා කරලා සහයෝගයෙන් හදාගත්ත සංගීත රටාවක් තමයි මේ චිත්‍රපටිය ඇතුළෙ තියෙන්නෙ. ඒ අනුව උදාර කියන තරුණ සංගීතඥයාගේ සිනමා ආගමනයත් මෙහිදී සිද්ධ වෙනවා. එමෙන්ම වෙනස්ම නැවුම් වූ සංගීත ශෛලියකුත් මේ චිත්‍රපටියට යොදාගන්නවා. මෙහි ගීත ගායනා කරන්නේ තරුණ ගායක ගායිකාවෝ කිහිපදෙනෙක්. කසුන් කල්හාර, චිත්‍රාල් සෝමපාල, අමිල පෙරේරා, කුෂානි සඳරේකා සහ උරේෂා රවිහාරි. මෙම ගීතවලට පහුගිය කාලෙ ක්ෂේත්‍රයේ නමක් තියාගෙන ඉන්න ගීපද රචකයන් වන උපුල් ශාන්ත සන්නස්ගල, නන්දන වික්‍රමගේ, චමින්ද ගමගේ සහ මම පදරචනයෙන් දායක වුණා.

 

මානවවාදය ගැන කතා කරන චිත්‍රපටියක් ලෙසින් ඔබ මෙය හැඳින්වුවා. නමුත් ඩිජිටල්කරණය වූ යුගයක තරුණ ප්‍රජාවට මේ මානවවාදී ගුණය කොතෙක් දුරට ග්‍රහණය වේවිද?

ඇත්තටම ඩිජිටල්කරණය වෙලා තියෙන්නෙ තාක්ෂණය. ඒ තාක්ෂණය එක්ක අපේ තරුණ පරපුර අල්ලගන්නෙ තාක්ෂණ කෑලි තමයි වැඩිපුරම. එවිට තමයි අපේ සමහර මානව බැඳීම් ගුණයන් අපෙන් ගිලිහිලා යන්නෙ. ඒ නිසාම තමයි මේ චිත්‍රපටිය කරන්න ඕන වෙන්නෙත්. තරුණ පරපුර හැදිල තියෙන්නෙත් අපිව නිර්මාණය වෙලා තියෙන මානව සම්බන්ධතාවල ජාන එක්කනේ. මේවා අවදි කරන්න තමයි මම මේ චිත්‍රපටිය කරන්නේ. චිත්‍රපටිය බලපු මණ්ඩල දෙකකින්ම දැනුණු දේ තමයි ඩිජිටල් ලෝකය ඇතුළෙ හිරවුණු මානව බැඳීම් එළියට ගන්න පුළුවන් කතාවක් %ආදරණීය කතාවක්^ ඇතුළෙ තියෙනවා කියන දේ. මට ලොකු විශ්වාසයක් තියෙනවා තරුණයෝ ආදරෙන් එය වැලඳ ගනීවි කියල.

 

2016-06-09-ent-51චිත්‍රපටි ප්‍රදර්ශනය හා ප්‍රචාරය පිළිබඳව විශාල ගැටලුවක් තියෙනවානේ. විශේෂයෙන් සිනමා මණ්ඩලවල අභිමතය පරිදි චිත්‍රපටිය ගැන තීන්දු ගන්නා පසුබිමක මේ අභියෝගවලට ඔබ මුහුණ දෙන්නේ කොහොමද?

ඇත්තටම ඔව්. චිත්‍රපටි ප්‍රදර්ශනය තමයි අපිට තිබෙන ලොකුම ගැටලුව. චිත්‍රපටි ප්‍රදර්ශනය පිළිබඳව නිසි ක්‍රමවේදයක් හැදිල නෑ. අනික ලංකාවෙ සිනමාහල් ඩිජිටල්කරණයත් අතරමග නතරවූ ගැටලු සහගත තැනකයි තිබෙන්නේ. මේ කාරණා දෙක එක්ක ලංකාවේ සිනමාවේ ඉදිරි ගමන ඉතාමත් මන්දගාමීවයි සිදුකෙරෙන්නේ. ඩිජිටල්කරණය නොකර චිත්‍රපටි තවදුරටත් මේ විදියට ගියොත් අපිට යන්න පුළුවන් අවුරුද්දකටත් අඩු කාලයක්. මොකද 35 MM චිත්‍රපටියක් මුද්‍රණය කරගැනීමේ ලැබ් පහසුකම තව කෙටි කලකින්න අපිට නැතිවෙනවා. මේ ඩිජිටල්කරණය කියන්නෙ මහා යකෙක් නෙවෙයි. එය සරල කාරණයක්.

මේ ගැන ජනාධිපතිතුමා, අගමැතිතුමා, චිත්‍රපටි සංස්ථාව සහ සෙසු බලධාරීන් හරියට සති දෙකක් හරි විදිහට මේ ගැන අවධානය යොමු කළොත් ලංකාවේ සිනමා ශාලා ඩිජිටල්කරණය කිරීම ගැන සංකල්පය ගොඩනැගීම එතරම් අසීරු නැහැ.රටේ මූල්‍යමය ප්‍රශ්න තිබෙනවා තමයි. නමුත් හොඳ මූල්‍ය සැලැස්මක් නිර්මාණයක් කළොත් චිත්‍රපටි කර්මාන්තය ඇතුළෙ මතුවෙන ප්‍රශ්න විසඳගන්න එච්චර අමාරු නෑ. තවමත් හරි විදියට මේ ගැටලුවට අවධානය යොමුකරල නෑ.

යළි චිත්‍රපටිය දෙසට ආවොත් මටත් පොදුවේ ඔය කාරණා ඔක්කොම බලපානවා. චිත්‍රපටියක් ප්‍රදර්ශනය ඉතාම අපහසුයි. ප්‍රචාරණ වියදම් එනවා. නමුත් ලොකු වියදම් නැතුව නිර්මාණාත්මක හැකියාව භාවිත කරලා වෙළෙඳ පොළ ජයග්‍රහණය කරන ක්‍රමවේදයක් අපි සැලසුම්කොට තිබෙනවා. හැබැයි මේ ප්‍රශ්නයට විසඳුම නම් එය නෙවෙයි. විසඳුම වෙන්න ඕන රටේ තියෙන සිනමාහල් හරියට හැදෙන්න ඕන, ඒ වගේම ඩිජිටල්කරණය වෙන්න ඕන සහ චිත්‍රපටි පෙන්නන්න සුදුසු ක්‍රමවේදයක් රට ඇතුළෙ ගොඩනැගෙන්න ඕන. විශේෂයෙන් අපේ තරුණ නිර්මාණකරුවො හදන චිත්‍රපටි පෙන්නගන්න සුදුසු ක්‍රමවේදයක් ලංකාවෙ හැදිල නෑ. ඒ නිසා ඒ ගැනත් බලධාරීන් අවධානය යොමු කළ යුතුයි.

 

චිත්‍රපටිය සම්බන්ධව ඔබට තිබෙන්නේ මොන වගේ බලාපොරොත්තුවක් සහ දැක්මක්ද?

චිත්‍රපටිය සම්බන්ධයෙන් නම් තියෙන්නේ සුභවාදී ආකල්පයක්. 2014 දී නිර්මාණය කරන්න පටන්ගත්ත චිත්‍රපටිය 2016 දී තමයි පෙන්වන්න ලැබෙන්නේ. ඒ සඳහා විශාල කාලයක් වගේම විශාල මුදලක් වැයවෙලා තිබෙනවා. එහි ප්‍රතිඵලය ප්‍රේක්ෂකයෝ අත්විඳියි. එහෙම දකින්න නොලැබුණු ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටිය බලන්න එන්න කියා අපි ආරාධනා කරනවා. ඒ වගේම මෙය ලංකාවේ එක්තරා සන්ධිස්ථානයක් සනිටුහන් කළ සිනමාපටයක් ලෙසිනුත් හඳුන්වාදිය හැකියි. එය හැමෝම දකියි කියලත් බලාපොරොත්තු වෙනවා.

 

ආදරණීය කතාවක් සන්ධිස්ථානයක් ලෙස ඔබ අර්ථ දක්වන්නේ ඇයි?

අපේ චිත්‍රපටි එක රටාවකට තමයි පසුගිය කාලේ ඇවිත් තිබෙන්නේ. විශේෂයෙන් ඉතිහාස කතා චිත්‍රපටි, රජ කාලෙ චිත්‍රපටි ආදියත් එක්ක ඇවිත් නවීන චිත්‍රපටියකටයි ආදරණීය කතාවක් තුළින් යන්නෙ. අපි මෙය ආදරය අහිමි වූ ලාංකික සිනමාවට ආදරණීය කතාවක් ලෙසට හඳුන්වා දෙනවා. 70 -80 දශකවල තිබුණු මානව බැඳීම් ගැන කතාකරපු ආදරණීය කතා මෑත කාලෙ බිහිවෙලා නෑ. ඒ අඩුව පුරවන සන්ධිස්ථානයක් බවට මෙම සිනමාපටය පත්වේවි. ප්‍රේක්ෂකයො මෙය තේරුම් ගනීවි සහ සෙසු අයත් එක්ක ඒ ගැන කතා කරාවි කියා මා විශ්වාස කරනවා.

 

 

"ආදරණීය කතාවක්" දායකත්වය

 

  • සම නිෂ්පාදනය - චමින්ද ගමගේ, ප්‍රියන්ත කොළඹගේ
  • අධ්‍යක්ෂණය - ප්‍රියන්ත කොළඹගේ,
  • තිර රචනය - උවනි චාමිකා, ප්‍රියන්ත කොළඹගේ, වජිර කස්තුරි,
  • සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත
  • නිෂ්පාදන කළමනාකරණය - අසෝක ආරියරත්න
  • කැමරාකරණය - රුවන් කොස්තා
  • සංස්කරණය - අකිල බුද්ධික වටරැක, මේඝ කාවින්ද කොළඹගේ
  • සංගීතය - උදාර සමරවීර
  • කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම
  • අංග රචනය - නලින් ප්‍රේමතිලක
  • ගී පද රචනා - උපුල් ශාන්ත සන්නස්ගල, නිලාර් එන්. කාසිම්, නන්දන වික්‍රමගේ, චමින්ද ගමගේ, ප්‍රියන්ත කොළඹගේ
  • රංගන දායකත්වය - හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, බිමල් ජයකොඩි, අරුණි රාජපක්ෂ

 

 
2016-06-09-ent-57
2016-06-09-ent-55
2016-06-09-ent-54