හර්ෂ උඩකන්ද නම් වූ තරුණ අධ්‍යක්ෂවරයාගේ පළමු චිත්‍රපටය වන "උලත් එකයි පිලත් එකයි" චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතය. එම චිත්‍රපටය සහ ඔහුගේ අධ්‍යක්ෂණ කටයුතු පිළිබඳ කතාබහ කිරීමට අපත් සමග එකතු වූ මොහොතකි මේ.
මේක පවුලේ සැමට නරඹන්න පුළුවන් කොමඩි තියෙන, සටන් තියෙන චිත්‍රපටයක්. අපි වුණත් ආස බටහිර සිනාමාපට වලට නේ. මේක හින්දි සහ දමිළ සිනමා හා සමාන කරන්න උත්සාහ කරපු නිර්මාණයක්. මේක දමිළ චිත්‍රපටයක් ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
තරුණ අධ්‍යක්ෂකවරයෙක් ලෙස ලාංකික සිනමාවට වෙනස් දෙයක් කරන්නද මෙවැනි චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ?
ඔව් අනිවාර්යයෙන්ම. අපි තරුණයෝ විදිහට ඒක අනිවාර්යයනේම කරන්න ඕනේ. තරුණයෙක් විදිහට කිසිම Update එකක් නැතිව නිර්මාණය කරන්න ගියොත් සිනමාව එක තැන පල්වේවි. ඒක නිසාම අපි යමක් කරන කොට අනිත් අයත් නැවුම් දෙයක් කරන්න උත්සාහ කරනවා.
අධ්‍යක්ෂවරයෙක් ලෙස ලංකාවේ බිහිවන සිනමා නිර්මාණ පිළිබඳව ඔබ කොහොමද දකින්නේ?
සිනමාව පැත්තකට තියමුකෝ. ප්‍රේක්ෂකයා ගැන කතා කරමුකෝ. ප්‍රේක්ෂකයා ඉන්නෙ රූප සිනමාවත් එක්ක. අද කැමරාව කියන දේ සරල දෙයක් වෙලානේ. සිනමාව කියන්නේ මැජික් එකක්නෙ. ඒ මැජික් එක ලාංකික නිර්මාණකරුවෝ, ප්‍රේක්ෂකයන්ට දුන්නෙ නැහැ. හොඳම උදාහරණය තමයි මේ වෙනකොට ලංකාවේ විශාල මුදල් යොදලා කරපු නිර්මාණ තිරගත වෙනවා. ඒත් එක්කම "ජන්ගල් බුක්" සහ "ෆෑන්" වැනි විදෙස් චිත්‍රපටත් තිරගත වෙනවා. නමුත් මේ අතරින් සාපේක්ෂව ගත්තොත් ලංකාවේ සිනමාව තුළ වැඩම දෛනික ආදායම තියෙන්නේ විදෙස් චිත්‍රපට සඳහායි. ලංකාව සිනමාව ගැන මම දකින්නේ ඒක එක තැන පල් වෙච්ච සිනමාවක් විදිහටයි. ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක් දුන්නොත් තමයි ඔවුන් ඒ ගැන කතා කරන්නේ. "ඇවටර්" වගේ චිත්‍රපටයක් ගැන සාමාන්‍ය කෙනෙක්ට හිතන්න පුළුවන් නිර්මාණයක් නෙමෙයිනේ. එහිදී එම නිර්මාණකරුවාට ඉහළ තැනක් ලැබෙනවා. මම කියන්නේ නිර්මාණකරුවා කියන කෙනා ඉන්න ඕනේ එතන. දැන් ඕන කෙනෙකුට තියෙනවා කැමරා ෆෝන් එකක්. මේ අයට කැමරාව ගැන හරි යම් කිසි දැනුමක් එන කොට ඒ අයට කැමරා ෂොට්ස් ගැනත් දැනුමක් එනවා. නිර්මාණකරුවා කියන කෙනා එතනින් එහාට දෙයක් කරන්න ඕනේ කියන තැනයි මම ඉන්නේ.
ලංකාවේ බොහෝදුරට පැරණි රජකතා අභාසයෙන් චිත්‍රපට නිෂ්පාදනයට ලොකු නැඹුරුවක් තියෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස?
අපි කතා කරන්නෙත් ඔය රැල්ල ගැනයි. මොකක් හරි ආවාම රැල්ලක් හැදෙනවා. හොඳම උදාහරණය තමයි 70 - 80 දශක වල අපේ සිනමාවයි, ඉන්දියානු සිනමාවයි එක හා සමාන තලයක තමයි තිබුණේ. තාක්ෂණික පැත්තෙනුත් ඔවුන්ගේ හා අපේ නිර්මාණත් එක වගෙයි. නමුත් 80න් පස්සේ අපි රැල්ලකට කොටුවුණා. කොමඩි චිත්‍රපටයක් ආවොත් අපි එතන කොටුවෙනවා. ඇක්ෂන් චිත්‍රපටයක් ආවත් අපි එනනට කොටුවෙනවා. ප්‍රේක්ෂකයෝ ප්‍රතික්ෂේප කරනකන්ම ඒවගේ නිර්මාණ තමයි කරන්නේ. ඉතිං එතනින් වුණේ මොකක්ද අපි එක තැන පල්වෙච්ච ගතියක් තමයි වුණේ. දැනුත් වෙලා තියෙන්නේ ඒකයි. ඉතිහාස කතා රැල්ලක් ආවොත් හැම නිර්මාණකරුවාම බලන්නේ ඉතිහාස කතා රැල්ලට යන්න. ඊට පස්සේ ප්‍රේක්ෂකයන්ට ඒක එපාවෙනවා. ඉතිහාස කතා වුණත් එකපාරට නැවුම් විදිහට දෙන කොට ප්‍රේක්ෂකයෝ බලනවා මොකක්ද මේ වෙනස කියලා. නමුත් ඒදේ නිතර නිතර වෙන්න ගියහම ප්‍රේක්ෂකයෝ සිනමාහල්වලට එන එක අඩුවෙනවා. මොකද ඉතිහාස කතා ඔක්කෝම එකවගේනේ. අමුතුවෙන් ගිහිල්ල බලන්න දෙයක් නැහැ. අර රජ කතාව බැලුවත් එකයි, මේ රජ කතාව බැලුවත් එකයි කියලා. අපි අපි අතරේ තරගකාරිත්වයක් තියා ගත්තේ නැත්නම් නිර්මාණකරුවෝ හැටියට සිනමාව කියන දේ ඔහොම්මම යටපත් වෙලා යනවා. කවුරු හරි ඉතිහාස කතාවක් කළොත්, ඒකට ඇටෑක් එකට වෙන දෙයක් කරන්න ඕනා. ඒකයි මම දකින්නේ සිනමාව පැත්තෙන් නිර්මාණකරුවෙක්ගෙන් වියයුතු කාර්ය හැටියට.
ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳව කතා කළොත්?
"උලත් එකයි පිලත් එකයි" චිත්‍රපටය ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා.ඊට අමතරව මේ දවස්වල අපි අලුත් චිත්‍රපටයකටත් පෙර සූදානම් වෙනවා. ඒකෙනුත් ලංකාවට නැවුම් අත්දැකීමක් දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. හොල්මන් සම්බන්ධ කතා තේමාවක් එහි අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ නිර්මාණය හරහා ලොකු තාක්ෂණික පෙරළියක් කරන්නත් අපි ලොකු උත්සාහයක යෙදෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත