අපාය තව හොඳයි : පූන්තෝට්ටම් කඳවුරට වයස 28යි


‘‘මම පූන්තෝට්ටම් කඳවුරට එද්දි දුවට අවුරුද්දයි. දැන් දුවට අවුරුදු 24ක් වෙනවා. නමුත් අපි තවමත් කඳවුරේ. දුව පොල්ලෙලි තලලයි පවුල ජීවත් කරවන්නේ. එක දවසක් ලෙලි තලන්න ගියේ නැති නම් අපිට හාමතේ තමයි ඉන්න වෙන්නේ.‘‘   වවුනියාව පූන්තෝට්ටම් කඳවුරේ ජීවත් වන රාසිකා පාපති (69) කීවාය.

වව්නියාව නගරයේ සිට   කිලෝමීටර පහක් පමණ ගිය විට පූන්තෝට්ටම් කඳවුර හමුවෙයි. එහි පවුල් 20ක් පමණ ජීවත් වන්නේ වව්නියාව විද්‍යා පීඨයට අයත් ඉඩමක බව ප්‍රදේශවාසීහු කියති. කිලිනොච්චියේ සිට 1988 සිට මෙම කඳවුරට පැමිණි පිරිස් එහි සිටිති.   පූන්තෝට්ටම් කඳවුර අවුරුදු 28ක් තරම් පැරණිය.

රසිකා පාපතී මහත්මිය මෙම කඳවුරට පැමිණ ඇත්තේ මීට වසර 23කට පෙරය. ඊට පෙර පදිංචිය කිලිනොච්චියේය.

‘අපට කිලිනොච්චියේ ගෙවල් දොරවල් තිබුණා. යුද්දෙ කියා  පූන්තෝට්ටම් කඳවුරේ පදිංචි කළා. මගේ මනුස්සයා නෑ. දුවයි දුවගේ දුවයි සමග කඳවුරේ ජීවත් වෙන්නේ. අපට තියෙන්නේ පැල්පතක්. වහිනකොට මේක සේරම තෙමෙනවා. හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. විටින් විට විවිධ පිරිස් ඇවිත් බලලා ගියත් තවමත් අපට ගෙවල් දොරවල් ලැබුණේ නෑ. ‘ යැයි පාපතී කීවාය.

කඳවුරට විදුලිය නැති බවත්, දරු මුණුපුරන් සමග අනාරක්ෂිතව ජීවත් වන බවත් ආර් සුබ්‍රමනියම් (55) පැවසීය. 1997 වසරේ පූන්තෝට්ටම් කඳවුරට පැමිණි සුබ්‍රමනියම් කුලී වැඩ කර ජීවත් වෙයි. සුබ්‍රමනියම්ගේ නිවස කුඩා කාමරයකි. ඔහු කීවේ තමා සමග පවුලේ හය දෙනකු එහි ජීවත් වන බවයි.

‘‘යුද සමයේ අප ගෙනැවිත් මෙහි පදිංචි කළා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සමයේ එක් පුද්ගලයකුට දිනකට රුපියල් 50 බැගින් දුන්නා. ඉන් පසු එයත් නැවතුනා. අප අනාථ කඳවුරට ගෙනැවිත් දැමූ කාලයේ විවිධ පිරිස් පැමිණ ආධාර හා භාණ්ඩ දුන්නත් කාලයක් යද්දි එය නැවතුණා.

අපේ පවුලේ කුඩා ළමයින් ඉන්නවා. මෙතන හරිම අනාරක්ෂිතයි. බොන්න වතුර නෑ. පවුල් අනූ ගණනකට තියෙන්නේ එක ළිඳයි. මේ ආණ්ඩුවෙන්වත් අපට රස්සා, නිවාස ලැබෙයි කියා බලාපොරොත්තු වෙනවා.‘‘ යැයි සුබ්‍රමනියම් පැවසීය.

පූන්තෝට්ටම්   කඳවුරේ පවුල් 104ක් තවමත් සිටින බවත්, ඉන් පවුල් 18ක් පමණ වව්නියාව විද්‍යා පීඨ ඉඩමේ සිටින බවත් පූන්තෝට්ටම් කඳවුරේ සුබසාධක සමිතියේ සභාපති යූ වේලායුදන් (78) මහතා කීවේය.

කඳවුරට පැමිණි දිනවල විවිධ වරප්‍රසාද හිමි වුවත් දැන් ඒවා නොමැති බව ද ඔහු සඳහන් කළේය.

‘‘කිලිනොච්චියේ සිටි අප 1999 ජනවාරි 25 වැනි දා පූන්තෝට්ටම් අනාථ කඳවුරේ පදිංචි කළා. 2010 පමණ වන තුරු යම් යම් සහන තිබුණත් ඒ සියල්ල ඉන් පසු නැවතුණා.‘ යැයි වේලායුදන් පැවසීය.

නම හෙළි කිරීමට අකමැති වූ තරුණයකු කීවේ අනාථ කඳවුරේ ජීවිතය අපාගත ජීවිතයක් බවයි.

‘‘ළමයින් බේරා ගන්න ඕනෑ නම් කඳවුරට යන්න කිව්වා. ඒ නිසා 1997 කිලිනොච්චියේ සිට මෙම අනාථ කඳවුරට ආවා. වැසිකිළි කැසිකිළි පහසුකම් නෑ. වතුරත් නෑ. වෙනත් අනාථ කඳවුරුවල සිටි පිරිස් හොඳ ප්‍රදේශවල පදිංචි කළත් අප පදිංචි කළේ නෑ. අපට විදුලිය නෑ. හොරෙන් විදුලිය ගත්තාය කියා එක් වරක් නඩුත් දැම්මා. දේශපාලනඥයන් වව්නියාවේ තිබෙන කෝවිලට ඇවිත් යනවා. හැබැයි කඳවුර පැත්තටවත් එන්නේ නෑ. මේ ප්‍රදේශයේ රජයේ ඉඩම්වල ගෙවල් දොරවල් හදා අනාථ කඳවුරේ සිටින පිරිසට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.‘‘ යැයි එම තරුණයා කීවේය.

මේ ගැන කළ විමසීමක දී වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ නිලධාරියකු කීවේ ඉදිරියේ දී පූන්තෝට්ටම් කඳවුරේ වැසියන්ට නිවාස ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. කඳවුරේ සිටි පවුල් කිහිපයක් දැනටත් වෙනත් ස්ථානවල පදිංචි කර ඇති බවත්, නුදුරේදී ඉඩම් ලබාදීමට නියමිත නිසා සෙසු පහසුකම් ලබා දී නැති බවත් ඔහු කීවේය.

වව්නියාව දිසාපති රෝහණ පුෂ්පකුමාර මහතා කීවේ පූන්තෝට්ටම් වැසියන්ට නිවාස ලබා දීමේ වැටපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. ඒ වන තෙක් තාවකාලිකව විදුලිය ලබා දීමට විදුලිබල මණ්ඩලය සමග සාකච්ඡා කරන බව ද ඔහු කීවේය.

IMG_20160313_154052 IMG_20160313_155035 IMG_20160313_155625 IMG_20160313_160100 IMG_20160313_160434 IMG_20160313_160553

IMG_20160313_155701

DSC_0113 (Copy) DSC_0137 (Copy) DSC_0173 (Copy) DSC_0186 (Copy) DSC_0190 (Copy) DSC_0209 (Copy) DSC_0249 (Copy)