හතළිහකට ආසන්න ගුවන් විදුලි නාලිකා අතරට මෑත භාගයේ එක්වූ අලුත්ම නාලිකාව සිත FM නාලිකාවයි. සිත අනෙකුත් ගුවන් විදුලි නාලිකාවන්ගෙන් වෙන් වෙන්නේ කෙසේද යන්නත් එහි අන්තර්ගත වැඩසටහන් ක්‍රියා පටිපාටිය පිළිබඳවත් කතා කරන්නට සිත FM ප්‍රධානි වසන්ත කරැණාරත්න මහතා හදසර හා එක්විය.
සිත කියලා නාලිකාවක් පටන් ගන්න හිතුණෙ ඇයි?
අපිට නම පිළිබඳව විවිධ යෝජනා තිබුණා. අදහස් තිබුණා. පහසුවෙන් හිට් වෙන නමක් යොදාගන්න. එත් අපේ සභාපතිතුමාට ඕන කළේ මානවයා මුලික කරගත් නාමයකට. අපි දන්නවා සිත කියන්නේ මේ ලෝකයේ වටිනාම උසස්ම තැන. එය අභිබවන්නට සමත් දෙයක් තැනක් හෝ කෙනෙක් නැහැ. හැම සාර්ථකත්වයකටම මුල්වන්නේ සිත. පාලනය කරන ලද හික්මවන ලද සිතට කරන්නට අපහසු හෝ දරන්න අපහසු අභියෝගයක් නැහැ. අපට ඕන කළෙත් ඔහේ ගලා ගෙන යන radio සිත ප්රශස්ත මඟකට ගන්න.
දැන් නාලිකාව ආරම්භ කරලා කොච්චර කල්ද?
නාලිකාව අරම්භ කරලා මේ වෙනකොට මාස 6ක් වෙනවා. අපි නාලිකාව අරම්භ කළේ පෙබරවාරි 13. මේ ගැන විවිධ මත තියෙනවා. අපි කියනවනේ 13 නපුරැයි කියලා. අපිට ඕන වුණේ එ්ක නොවෙයි. පැහැදිලි වෙනස් ගමනකට මුල පුරන්න. ඒ නිසා අපි ඒ දිනය ගන්න හිතුවා. මොකද අපිට බොහොම පහසුවෙන් 14 අරගන්න තිබුණත් අපි 13 තෝරගත්තා ඒ "ලෝක ගුවන් විදුලි දිනය" ඒ දවස නිසා. අපේ කණ්ඩායම තීරණය කළා ලෝක ගුවන් විදුලි දිනයේදී අපි ගුවන් විදුලි කලාවේ වෙනසක් නිර්මාණය කරන්න. එය ඉලක්ක කරගෙන සියල්ල සැලසුම් කරලා අපි සිත නාලිකාව ආරම්භ කළා.
ඉලක්ක ගත ශ්‍රාවක පිරිස?
කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි එක්තරා තැනකට කොටු වෙලා කියලා. ඇත්ත අපි යහපත් ගුවන් විදුලි කලාවක් මිනිසුන්ට දෙන්න ඇප කැප වුණ නාලිකාවක්. අන්න එතනටයි අපි කොටු වෙලා ඉන්නේ. එය ප්‍රිය කරන එය හොයන විමසන උසස් රසිකත්වයට අපේ නාලිකාව රස ආකරයක්.
කණ්ඩායමේ සහයෝගය?
අපි හැමෝම එකම පවුලක අය වගේ එකම අරමුණකට වැඩ කරන අය. ඒ වගේම බොහෝ දෙනෙක් මෙරට මාධ්‍ය ක්ෂේත්රයේ බොහෝ අත්දැකීම් තියෙන අය, ඒ වගේම අප නිරන්තරයෙන් ආධුනිකයින්ට මාධ්‍යයට පිවිසෙන්න අත දෙන නාලිකාවක්. අපි ඒ අයට නාලිකාව තුළ පුහුණු වෙන්න අවස්ථාවක් දෙනවා.
දැන් වැඩිපුර තියෙන්නේ මුදල් දීලා බලෙන් අස්සවන ගුවන්විදුලි නාලිකා. ඒ අතරින් සිත අනුගමනය කරන ක්‍රියා පටිපාටිය මොකක්ද?
ගුවන් විදුලි නාලිකාවකට ප්‍රචාරණය අත්‍යවශ්‍යයි. දැන් තියෙන්නේ ලොකු තරගයක්. මේ තරගයෙන් ජය ගන්න විවිධ අය විවිධ උපක්‍රම භාවිත කරනවා. අපිට අවශ්‍ය නැහැ සල්ලි දීලා අසන්නන් එකතු කරගන්න. අපි අසන්නන් දැනුම්වත් කරනවා. අපේ වැඩසටහන් ගැන අපේ වැඩසටහන්වල ගුණාත්මකභාවය ගැන දැන ගත්තම අසන්නන් අපි ළඟ රුඳෙනවා.
ගුවන්විදුලි නාට්‍ය ආරම්භ කරන්න අදහසක් තිබෙනවාද?
ගුවන් විදුලි නාට්‍ය කියන්නේ ගුවන් විදුලි සන්නිවේදනයේ හොඳ ප්‍රවේශයක්. ඉස්සර ගුවන් විදුලි නාට්‍ය තුළින් දැනුම වගේම සමාජ සබඳතා පිළිබඳ හොඳ පණිවිඩයක් දුන්නා. සමහර විට අපිත් සිතා බලාවි ගුවන් විදුලි නාට්‍යයක් කරන්න. හැබැයි හොඳ එකක්.
දැන් තියෙන වැඩසටහන් සහ ඉදිරියේදී මොනවගේ වෙනස්කම්ද නාලිකාවෙ සිද්ධ වෙන්නෙ?
තාම පටන් අරන් මාස 6යි. කොටින්ම කිව්වොත් අපි ඉන්නෙ කන්ද පාමුල. අපිට ආදරය කරන අසන්නන් එක්ක පියවරෙන් පියවර ඉහළට යන්න පුළුවන් හැම දෙයක්ම අපි කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපේ ගුවන් විදුලියේ ප්‍රමිතිය ආරක්ෂා කරගෙන. අපේ වැඩසටහන් වෙනස්. එහෙම කිව්වේ අපි අමුතු දෙයක් කරනවා කියලා නෙවෙයි. දැන් පවතින ඒවාට වඩා වෙනස්. දවස පටන් ගන්නේ අනාගතය ගැන හිතලා ගෙදර ගැන හිතලා. මුලින්ම අවදි වන ඔබට පණිවිඩයක් දෙනවා. අපි ආගමික වැඩසටහන් පටන් ගන්නේ පාන්දර 4ට.
ඊට පස්සේ අපේ අනාගත දරැවෝ වෙනුවෙන් ගුරැ ගෙදර වැඩසටහන පටන් ගන්නවා උදේ 5.30ට. අපේ අරමුණ විභාගවලට බය නැති ඉගෙන ගන්න බය නැති දරැ පරපුරක් හදන්න. ආයුබෝවන් සිත උදේ 6.15ට පටන් ගන්නවා. එහිදී එදිනෙදා ජීවිතේට වැදගත් බොහෝ දේ දැනගන්න පුළුවන්. ඒ වගේම අලුත් කඩේ ප්‍රවර්ධන වැඩසටහනට සවන් දෙන ඔබට ගෙදරට අවශ්‍ය කරන බඩුමල්ලක් දිනාගන්න පුළුවන්. පෙරවරැ 10-12 අතර සිත ගිය තැන ගෙදර විවේකීව ඉන්න කාන්තාවන්ට හරියන තැන. 1-4 කාලය තුළ සිත අද්දරට අාවොත් ඔබ කැමති ගීතයක් අහන්න පුළුවන්. සවස 4-6 කියන්නේ ඔබේ බුද්ධිය මනින වේලාව IQ මීටරේ. සවස 6.15 කියන්නේ දවස අවසන් කරන ඔබට ආශිර්වාද පූජාවකට සවන්දෙන්න පුළුවන් වෙලාව. රූ 7ට ගීතයෙන් චිත්‍ර අඳින සිත්තම් රූ. රූ 10ටත් ඔබ අවධියෙන් නම් නිදි නැති සිතට සවන් දෙන්න පුළුවන් පාන්දර 4 වෙනකම් කැමතිම ගීත අහන්න, මීට අමතරව සෙනසුරාදා උදේ 8-10 මේ දවස්වල මං ආදරණීය කලාකරැවෙක් සමඟ 12-4 සිත ගත් ගී 40. ඉරිදා උදේ 10-12 සිනේ සිත සිනමාවට ඉඩක්. රූ 7-9 වයර්ලස් රේඩියෝව - පැරුණි තැටි සුද්ද කරන වෙලාව.
මේ ඔක්කොම කරන්නේ අපේ කට්ටිය ගිහාන්, චන්දිමාල්, උදාර, ධනංජය, නාත්, අනිල්, ඉෂාන්, ගයාන් තීක්ෂණ, සචිත්, කෞෂි, අනූෂා, දේශානි, ශාලිකා.
තනූ සේයාරෑ | සුමුදු