‘මෙතන වෙනමම ව්‍යාපාරයක් යන්නේ. බඩු බෙදද්දි සැලකිල්ලෙන් බෙදන්න.’ යැයි කීවේ අරනායක දෙබත්ගම විහාරස්ථානයේ සහන කඳවුරේ සිටි නිලධාරිනියකි. ඇය එලෙස කියා පැත්තකට යද්දී එතැන සිටි පිරිමියෙක් මෙසේ කීවේය. ‘මේ පැත්තේ කඩවල මේ දවස්වල බඩු නෑ. නාය ගියේ නැති වුණාට අපිත් ජීවත් වෙන්න එපායෑ. ඒ නිසා අපිටත් ආධාර ඕනෑ.‘
වෙසන් පොහොය දා විශාල පිරිසක් ආධාර බෙදා දීමට අරනායක දෙබත්ගම විහාරස්ථානයට ආහ. ඔවුන් ආධාර බෙදද්දී පිරිසක් පොර කකා ඒවා ගත්හ. නිලධාරිනියට එලෙස කීමට හැකියාව තිබුණ ද ආධාර රැගෙන නොනවත්වා එන පිරිස නැවැත්වීමට හැයට හැකියාවක් තිබුණේ නැත.
සහන කදවුරු අසල බඩු බාර ගැනීමට රජයේ නිලධාරීන් සිටියද ආධාර රැගෙන යන ඇතැමෙක් ඒවා අවතැන්වූවන්ගේ අතටම දීමට කැමැත්ත පළ කළහ.
සම්බන්ධීකරණයේ තිබූ දුර්වලතා නිසා පසුගිය දින කිහිපයේ ආධාර කොල්ල කෑම වැනි තවත් ගැටළු සහගත අවස්ථා කිහිපයක් සිදු වූ බව සහන සේවකයෝ කියති.
අරනායක නාය යෑමෙන් පසු සහන සැලසීමේ කාර්යයේ වැඩි කොටසක් සිදුකරනු ලැබුවේ ස්වේච්ඡා සේවකයන් විසිනි. අරණායක අවධානම් කළාප වලින් ඉවත්වී තාවකාලිකව විහාරස්ථාන වල සිටි පිරිස් ගැන තොරතුරු සොයමින් ආධාර නිසි ලෙස බෙදා හැරීමට ඔවුහු ලොකු වෙහෙසක් ගත්හ.
‘අපි ගමේ නිසා මේ පැත්ත ගැන හොඳට දන්නවා. ඒ නිසා අපි තවත් තරුණ තරුණියන් රැසක් එකතු කරගෙන සහන සැලසීමේ වැඩකටයුතුවලට දායක වුණා. අවතැන් කඳවුරු බාර නිලධාරීන් සුහදව අප සමග කටයුතු කළා. කඳවුරුවලට තියෙන අඩුපාඩු ඔවුන් අපට දැන්වූවාම අපි ආධාර ගෙන එන පිරිස් හරහා අවශ්‍ය දේවල් ලැබෙන්න සැලැස්සුවා.’ යැයි ස්වේච්ඡා සහන සේවකයෙක් පැවසීය. ඔහුගේ නම හෙළි කරනවාට ඔහු අකමැති විය.
“නිලධාරීන් අතර මනා සන්නිවේදනයක් තිබුණේ නෑ. ඒ නිසා ප්‍රශ්න ඇතිවුණු හිත් රිදීම් වුණු අවස්ථා තිබෙනවා. කොළඹ ප්‍රදේශයෙන් ආපු තරුණයන් පිරිසක් සෑහෙන්න මහන්සි වෙලා වැඩ කළා. නිලධාරීන්ට සහ ගමේ යට වඩා ඔවුන් වැඩ කළා. පොලිසියත් දැක්කා ඔවුන් වැඩ කළ ආකාරය. වෙසක් පෝය දවසේ රෑ ඔවුන්ට ගිමන් හරින්න පාසලක තිබුණු කාමරයක් සකස් කර දුන්නා. ඒ කාමරේ කළින් දවසේ පොලිසියේ පිරිසක් ඉදලා තිබ්බේ. මධ්‍යම රාත්‍රී 12ට එකට විතර එතනට ගිය පොලිසියේ පිරිසක් මේ තරුණයන්ට බැණලා එළවලා. පිටස්තර ප්‍රදේශයක ඉදන් ඇවිත් මෙච්චර මහන්සි වෙලා වැඩ කළාට ලැබුණු සංග්‍රහය තමයි ඒක. පසුව අපි ඒ තරුණයන්ව වෙනත් මධ්‍යස්ථානයකට කැඳවාගෙන ගියා. සිත් රිදීම් නිසා ඔවුන් නුවර යාළුවකුගේ නිවසකට යන බව කියා යන්න ගියා.” යැයි අරණායක ප්‍රදේශයේ ජීවත් වන තරුණයෙක් කීවේය. නාය ගිය මොහොතේ සිට ඔහු ද ඉතා මහන්සි වී සහන කටයුතුවල නිරත වනු දක්නට ලැබිණි.
නගරයෙන් ඈත ඇති මධ්‍යස්ථාන වලට ද ගොස් ඒවායේ අඩුපාඩු සොයා බලා සහන සැලසීමට ඔහු පියවර ගෙන තිබිණි.
වෙසක් පෝදා මධ්‍යම රාත්‍රී කොළඹ තරුණයන් පිරිස මුහුණ දුන් සිදුවීමෙන් පසු ඇතිවූ කළකිරීම් මත මෙම තරුණයා ඇතුළු බොහෝ දෙනෙක් සහන සැලසීමෙන් ඉවත්වී තිබුණු අතර ඔහු නැවත සම්බන්ධ වී තිබුණේ අද (25) දිනයේය. ඒ හෙම්මාතගම අවතැන්වූවන්ට සහන සැලසිමට සම්බන්ධ වෙමිනි.
අවතැන්වූවන්ට සහන සැලසීමට ආධාර රැගෙන එන ඇතැම් කණ්ඩායම් වල රුචිය වූයේ නාය යෑම සිදුවූ ස්ථානයට ආසන්න මධ්‍යස්ථාන වලට ආධාර සැපයීමටය. ඉන් එහා ඈත මධ්‍යස්ථානවලට ආධාර සැපයීමට ඔවුහු මැළි වූහ.
මෙසේ ආධාර රැගෙන ආ සහ නාය යෑම සිදුවූ ස්ථානය බැලීමට ආ දහස් සංඛායත පිරිස නිසා අරනායක සිට දෙබත්ගමට යන අතුරු මාර්ගයේ පසුගිය දින කිහිපයකදීම (විශේෂයෙන් වෙසක් පෝය දින) දැඩි වාහන තදබදයක් ඇති විය.
දෙබත්ගම විහාරස්ථානය අසල සිට අරනායකට කිලෝමීටර පහක් හයක් පමණ වූ දුර යෑමට වාහනයකට පැය හතරක් පහක් පමණ ගත විය. කඳවුරුවල සිටින හදිසි රෝගීන් රැගෙන යෑමට ගිලන් රථයක් යාම පවා අසීරු වූ අතර එලෙස ගිලන් රථයකට ගමන් කිරීමට මාර්ගයේ ඉඩ අරගෙන දීමට ගම්මුන්ට සහ පොලසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.
විශාල රථවාහන තදබදය අතරතුර ‘ඉස්සරයා ලොකු ට්‍රැෆික් එකක්. එහෙට ගිහින් බෙදන්න බෑ. අපි බෙදන්නම්.’ යැයි කියමින් වාහන තුනක ආධාර කොල්ල කෑ සිදුවීමක් ද අරණායකින් වාර්තා විය.
නිසි සම්බන්ධීකරණයක් නැතිව ආහාර පාන බෙදා දීම නිසා ඇතැම් ස්ථාන වල විශාල වෂයෙන් ඒවා අපතේ ගියේය. අරණායක එක් අවතැන් කඳවුරක් පවතින මධ්‍යස්ථානයකට බත් පර්සල විෂාල ප්‍රමාණයක් ලැබුණු නිසා පාර්සල 400ක් පමණ එක් වේලකට අපතේ දැමීමට සිදු විය.
‘අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි ගොඩක් අය ගෙන්නේ. කාන්තා යට ඇඳුම් වගේ දේවල් අත්‍යවශ්‍යයි කිව්වට ඒවා ලැබුණේ ඉතා අඩුවෙන්. අවතැන් කඳවුරුවල ඉන්දි කාන්තා යට ඇඳුම් හෝදලා වේලන්න තැනක් නෑ. ඒ නිසා අලුත් ඇඳුම් රැසක් ඕනෑ වෙනවා. නමුත් ලැබෙන්නේ ඉතා අඩුවෙන්.’ යැයි අවතැන්වූවන් සිටින මධ්‍යස්ථානයක් බාර නිලධාරියෙක් කීවේය.
මෙවැනි ගැටළු නිසා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත ලැයිස්තුවක් නිකුත් කිරීමටද දිසාපති කාර්යාලයයට සිදු විය.
පානීය ජල බෝතල්, ළදරු කිරිපිටි, ළදරුවන් සඳහා සනීපාරක්ෂක යට ඇඳුම්, පැදුරු, කොට්ට, ලන්තෑරුම්, ළිං පිරිසිදු කිරීමට වතුර මෝටර, පාසල් ළමයින්ගේ උපකරණ කට්ටල, ජෙනරේටර්, කඳවුරු ගොඩනැගිලි සඳහා ජනෙල් ආවරණ, ජල බවුසර්, කාන්තාවන් සඳහා යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා, පිරිමින් සඳහා ඇඳුම්, මුළුතැන්ගෙයි උපකරන කට්ටල, ටෙන්ට්රෙදි, නිවාස තැනීමට තහඩු සහ තාවකාලික වැසිකිලි අත්‍යවශ්‍ය ආධාර ලෙස ලැයිස්තු ගර කර තබේ.
ලැබෙන ආධාර අවශ්‍ය අවස්ථාවල අවශ්‍ය අවතැන් කඳවුරුවලට ලැබෙනවාදැයි සොයා බැලීමට වෙනම කණ්ඩායමක් පත් කිරීම සුදුසු බව අවතැන් කඳවුරක් බාර නිලධාරිනියක් ලංකාදිපයට පැවසීය.
ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් ඇතිව වැඩ කටයුතු කළ හොත් සහන සැලසීම පහසු වනු ඇතැයි ද ඇය කීවාය.
නාය ගිය තැන බැලීමට ආ විශාල පිරිස නිසා ද සහන සේවකයෝ මෙන්ම සෝදිසි මෙහෙයුම්වල නිරතව සිටි යුද හමුදා සෙබළු ද දැඩි අපහසුතාවට පත්වූහ. ස්ථානය බැලීමට හා පිරිස මඩේ එරෙද්දී ඔවුන් බේරා ගැනීමට ද යුද හමුදාවට සිදු විය.
වෙසක් සමයේ වෙසක් බැලීමට වාහනවල යන ආකාරයට නාය ගිය පෙදෙස බැලීමට ද විශාල පිරිසක් ආහ. ඇතැමුන් මඩේ එරුණු ත්‍රීවීලර් අසල සෙල්ෆි ගත්හ. තවත් අය නාය ගොස් ඉතුරු වූ ගෙවල් අසල සිට සෙල්ෆි ගත්හ. සිය ගණනක් වැළලී ඇති ස්ථානය බොහෝ දෙනෙකුට විනෝද වන තැනක් බවට පත්වී තිබිණි. මෙවැනි අවස්ථාවලදී කටයුතු කළ ආකාරය ගැන කල් තියා ජනතාව දැනුම්වත් කර තැබීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව එය දුටු බොහෝ දෙනෙක් මතු කළහ.
විනෝදයට නාය යෑම බැලීමට ආ ඇතැමුන් ද අවතැන්වූවන්ට බෙදන බත් පාර්සල ලබා ගත් බව සහන සේවකයෙක් කීවේය.
අරණායක මෙහෙයුම් වලදී යුද හමුදාව, විශේෂ කාර්ය බළකාය මෙන්ම ශ්‍රී ලංකා රතුකුරස සංවිධානය ද මහත් වෙහෙසක් ගත්තේය. සම්බන්දීකරණයේ ගැටළු සහ අරණායකදී මුහුණ දුන් ගැටළු ගැන රතුකුරුස සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් ජොනී මහතාගෙන් විමසීමු.
‘‘ආපදාවක් වුණ අවස්ථාවකටදී කටයුතු කරන ආකාරය ගැන රජයේ ක්‍රමවේදයක් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයය වගේ ආයතන එකිනෙක සම්බන්ධ වෙමින් සහන කටයුතු සිදු කළ යුතු වෙනවා.
අරණායක සිදුවීමෙදි බොහෝ දෙනෙක් ආධාර රැගෙන අරණායක ගියා. ඇත්තටම එය අනවශ්‍යයි. ආධාර එකතු කරන රජයේ ක්‍රමවේදයට දායක වුණා නම් හරි. කොළඹත් තිබුණා ආධාර එක් රැස් කරන ස්ථාන.
ඒවගේම තමයි බොහෝ දෙනෙක් අදාළ ස්ථාන බලන්න ගියා. හොඳම උදාහරණය තමයි අම්බල කන්ද නාය ගිය ස්ථානය. අම්බරකන්ද හදිසියේ නාය ගියා. ඒ අසල රතුකුරසයේ සහන කඳවුරක් තිබුණා. එම කඳවුරේ ගම්වැසියන් 300ක් පමණ හිටියා. කන්ද නාය යද්දි ඔවුන් වෙනත් ආරක්ෂිත ස්ථානයකට ගෙනියන්න අවශ්‍ය වුණා. නමුත් ඒ පැත්ත බලන්න ආපු සහ ආධාර අරගෙන ආපු පිරිසේ වාහන නිසා ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති වුණා. අවතැන්වූවන් ඉවත් කරන්න ලොකු වෙලාවක් ගියා.
ඒවගේම තවමත් කන්ද බලන්න මිනිසුන් යනවා. කොච්චර යන්න එපා කිව්වත් අහන්නේ නෑ. විටින් විට ඇද හැළෙන වැස්සත් සමග උඩ ඉඳන් මඩ හෝදගෙන පල්ලෙහාට එනවා. ඒ සමග මිනිසුන්ගේ කොටස් එනවා. මේවා ශරීරයට අහිතකරයි. බලන්න යන අයත් ලෙඩ වෙන්න පුළුවන්.
ජනතාවට දෙන්න තියෙන උපදෙස තමයි මේවගේ අවස්ථාවකදී අපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආදී ආයතන දෙන අපදෙස් පිළිපදිමින් නිසි ආකාරයට කටයුතු කරන්න කියලයි.”