ඉවසීමේ ගුණය වෛද්‍යවරුන්ට අවශ්‍යයි


පාසල් පිට්ටනියේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි සිසුවකු අතින් සිය නිවසට විසි වූ බෝලයක් ඉල්ලීමෙන් උරණ වී දාහත් හැවිරිදි දරුවකුගේ පපුවට වායු රයිෆලයකින් වෙඩි තැබූ බව කියන සිද්ධියට අදාළව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයා ලබන 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයකු වන තාරක ප්‍රියජීව ඇල්විටිගල නැමැත්තකු බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

අදාළ වෛද්‍යවරයා ‘නිර්වින්දනය කර ගත්’ වෛද්‍යවරයකු විය යුතුය. ළමා ලෝකයේ සිතුම් පැවතුම් හැසිරීම් සම්බන්ධ සියුම් සංවේදනා ජීවිත කාලයේ අවසන් මොහොත දක්වාම රැඳී පවතින්නකි. තමන් වියපත් වූවද ළමා ලෝකයට අදාළ සිදුවීම් නිවස තුළින් මෙන්ම පිටස්තර සමාජයෙන් ද නිතර නෙත ගැටේ. එමඟින් තම ළමා ලෝකය සම්බන්ධ අත්දැකීම් සිහිපත්ව එයින් කිසියම් වින්දනයක් ලැබීම මනුෂ්‍ය ස්වභාවයකි. තම වත්තට වැටුණු බෝලය ඇහිලීමට ආ දරුවාට වායු රයිෆලයකින් වෙඩි තැබීමට තරමට යමකු පිරිහෙන්නේ නම් හෙතෙම නියත වශයෙන්ම අසංවේදී මෙන්ම නිර්වින්දනය වූ අයෙකි.

වෛද්‍යවරයකු යනු වෘත්තීමය නිපුණතාවෙන් මෙන්ම කාරුණික බවින් පිරිපුන් විය යුතුය. ‘ලෙඩ්ඩු කලබල වුණාට දොස්තරලා කලබල නොවෙතියි’ යන්න සමාජ කියමනකි. එයින් කියැවෙන්නේ වෛද්‍යවරයා ඉවසීමෙන් යුතු අයකු බවය. එය එම වෘත්තියට අදාළ අනන්‍ය යහ ලක්ෂණයකි. වායු රයිෆලයෙන් දරුවකුට වෙඩි තැබූ බව කියන වෛද්‍යවරයා එම වෘත්තීය ආචාර ධර්ම වලින් පොහොසත් ද? නැද්ද? යන්න ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වන්නකි.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිතුමා හා කාර්ය මණ්ඩලයෙන් ද එම දරුවාගේ දෙමාපියන්ගෙන් ද සමාව ඉල්ලා සිටින බවය. මානව හිතවාදී මානව දයාවෙන් යුක්ත කාර්ය මණ්ඩලයක් සිටින මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයකු අතින් සිදු වූ මෙම වැරැද්ද සම්බන්ධයෙන් මෙම සමාව ඉල්ලා සිටින බව ද ඒ මහතා සඳහන් කර තිබේ.

    ඕනෑම ක්ෂේත්‍රයක ඇති සමාජ ගරුත්වය පිළිගැනීම මත වසුරු හෙළන අම්බරුවෝ සිටිති. තමන් කවුරුන් ද? , තමන්ගේ සමාජ පිළිගැනුම කුමක් ද?, තමාගෙන් සමාජය අපේක්ෂා කරන්නේ කුමක් ද? යන්න සම්බන්ධ වැටහීමක්, හැඟීමක් නැති අම්බරුවන් අතින් මෙබඳු පන්නයේ හැසිරීම් අපේක්ෂා කටයුතුය.

ක්‍රීඩා කිරීමට පැමිණෙන දරුවන්ගෙන් වෙනත් අයවලුන්ගෙන් යම් හිරිහැරයක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර තිබේ. මෙබඳු ප්‍රශ්න බොහෝවිට සාකච්ඡා කර විසඳා ගැනීමට සමත් කමක් තිබිය යුතුය. එසේ නොවී වායු රයිෆලයකින් වෙඩි තබා ප්‍රශ්න විසඳා ගැනීමට යාම අනුමත කළ නොහැකිය. යම් හෙයකින් එම නිවසේ වායු රයිෆලයක් වෙනුවට ගල්කටස් එකක් හෝ ටී පනස් හය වර්ගයේ ගිනි අවියක් තිබුණේ නම් ප්‍රතිඵලය කුමක් වේද යන්න සිතා ගැනීම අසීරු නැත.

විශේෂයෙන් අවධාරණය කළ යුතු කාරණයක් ද තිබේ. තවත් අයකුට හිංසාකාරී ලෙස කටයුතු කිරීමට කිසිවකුට අයිතියක් නැත. ඇතැමෙක් මෙම සිද්ධාන්තය අමතක කර කටයුතු කරති. ‘ඔබගේ අත රැඳි හැරමිටිය වැනීමට ඔබට ඇති අයිතිය අනෙකාගේ නාසය අගින් කෙළවර වේ’ යන්න ප්‍රකට, පිළිගත් කියමනකි. මේවා අමතක කර දමා ජීවත් වෙමින් සාමූහික බව හෝ සමාදානය ආරක්ෂා කර ගත නොහැකිය. ‘අත්තානං උපමං කත්වා - නහනෙය්‍ය නඝාතයේ’ කියා බුදු වදනේ සඳහන් වන පරිදි නිතරම තමන් උපමාවට ගෙන අනුන් ගැන සිතිය යුතුය. මෙම වෛද්‍යවරයාගේ නිවෙස අසල සෙල්ලම් කරන ළමයින්ගේ බෝල වෛද්‍යවරයාගේ ගෙවත්තට නිතර නිතර වැටෙන්නේ නම් ඔවුන්ට බලවත් කරදරයකි. ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියකි. විශේෂයෙන් තාප්පය උඩට නැග බෝලය ගැනීමට යාම ද විනීත නොවේ. අනුන්ගේ ගෙවතුවලට අනවසරයෙන්, බලහත්කාරයෙන් ඇතුළුවීම ද වරදක් බව මේවාට සම්බන්ධ දරුවන්ගේ දෙමව්පියන් තේරුම් ගත යුතුය.

තමන් හිංසනයට, අගෞරවයට පාත්‍රවීමට අකමැති පරිදිම අනෙකා ද  එයට අකමැති බව පිළිගැනීම බුද්ධිමත් බව වේ. සමාජයේ ජීවත්වීමේ දී අවශ්‍ය වන්නේ මෙම බුද්ධිමත්කම වේ. ඇවැසිම ගුණාංග අහිමිවීම යනු නොසිතන විපත් ළඟා කර ගැනීමකි.

(***)