එතකොට මම කිරිදරුවෙක්


2016-07-30-ent-13

එදා රිදී තිරයෙන් බැසගිය තරුවකි රෝහිණී ජයකොඩි.

එදා පරපුරට ඇය පිළිබඳව තියෙන්නේ අමතක නොවන මිහිරි මතකයකි.

 

මෙවර සඳැල්ල මතක පොතට සිය සිනමා රංගනය ගැන මතකය අවදි කරන්නට ආරාධනා ලබන්නේ රෝහිණී ජයකොඩිගේ දියණියයි. ඇය වීණා ජයකොඩි නම් සම්මානනීය රංගන ශිල්පිනියයි.

2016-07-30-ent-12එදා මෙන් අදත් අප්සරාවක් බඳුවූ වීණා සිනමා රංගනයට පිවිස ඇත්තේ ‘‘අප්සරා’’ චිත‍්‍රපටයෙනි. පසුව ‘‘රෑ මනමාලි’’, ‘‘මිස් මල්ලිකා’’, ‘‘සරුංගලේ’’, ‘‘බාඳුරා මල්’’ ‘‘කෙළිමඩල’’ ආදී චිත‍්‍රපට රැුසකටම රංගනයෙන් දායකවී ඇති වීණා ජයකොඩි එම චිත‍්‍රපට සඳහා සම්බන්ධවීමේදී කැමරාව පිටුපස වූ අමතක නොවන සිද්ධීන් ‘‘සඳැල්ල’’ මතක පොතට කියා සිටියේ මෙහෙමයි. ආදරණීය පාඨකයිනි, දැන් අපි කියවන්නේ ඇගේ ඒ මිහිරි මතකයයි.

මගේ ප‍්‍රථම චිත‍්‍රපටයේ මම රඟපෑවේ නැහැ. මාව ඒ රූපරාමුවලට යොදාගත්තා විතරයි. අපේ අම්මා කියන හැටියට එතකොට මම මාස 3 ක කිරිදරුවෙක්. ඒ චිත‍්‍රපටය තමයි ‘අහංකාර ස්ත‍්‍රිය’ ඊට පසුව අපේ අම්මා අධ්‍යක්ෂණය කළ ‘හැංගි හොරා’ චිත‍්‍රපටයේ ළමා නැටුම් ජවනිකාවක් රඟපෑවා.

දැන් කියන්නම් මම රඟපෑ ප‍්‍රථම චිත‍්‍රපටය. ඒ තමයි ‘‘අප්සරා’’ චිත‍්‍රපටය. නවක නිළියක් හැටියට මම ඉතාමත්ම වාසනාවන්ත වුණා. ඒ සිංහල සිනමාවේ අග‍්‍රගන්‍ය නළු ගාමිණී ෆොන්සේකා සමඟ රඟපාන්න ලැබීම ගැන. ප‍්‍රථම සීන් එක රූගත කරන දවසේ මම ගියේ අපේ අම්මත් එක්ක. ඒ වෙලාවේ මගේ අත් බාහුව දැකලා ගාමිණී මහත්මයා අපේ අම්මට කිව්වා ඔයාගේ දුව හරියට මල්ලව පොර ශූර කාන්තාවක් වාගෙයි කියලා. ගාමිණී මහත්තයා එහෙම කිව්වේ මගේ අත ටිකක් මහතට තිබුණු නිසා වෙන්න ඇති.

ෆ්‍රෙඞී සිල්වා ඇතුලූ ශිල්පී කණ්ඩායම ඉදිරියේ ගාමිණී මහත්මයා එහෙම කිව්වම මට දරාගන්න බැරි ලැජ්ජාවක් ඇති වුණා.

ඊට පස්සේ ගාමිණී මහත්මයාගේම මගපෙන්වීම මත ඩොක්ටර් කෙනෙක් මුණගැහිලා වෛද්‍ය උපදෙස් අරගෙන නිළියකට සුදුසු තත්ත්වයට මගේ ශරීරය හදාගත්තා. ඒ චිත‍්‍රපටයේ ඉතිරි රූගත කිරීම්වලට ගියාම ගාමිණී මහත්මයා එදා වගේ ගෙරෙව්වේ නැහැ. මගේ දිහා බලාගෙන හොඳට හිනා වුණා. ගාමිණී මහත්මයා එදා දුන් පාඩමෙන් මට විශාල සතුටක් ලබන්න පුළුවන් වුණා.

 

ඊළඟට කියන්නෙත් ‘‘අප්සරා’’ රූගත කිරීමේදී සිදුවූ සිද්ධියකි.

ඒ ගීතයක් ඇතුලත් සීන් එකේ තිබුණේ මම කන්දක් උඩ ඉඳලා පහලට රෝල් වෙලා රෝල් වෙලා එන දර්ශනයක්. මමත් ඉතින් කිසිම ඇහිල්ලක් බැල්ලිලක් නැතිව කැමරා රෙඩි කිව්වා විතරයි කන්ද උඩ ඉඳලා රෝල් වෙවී රෝල් වෙවී පහලට ඇවිත් නතර වුණේ ගලක් ළඟ.

මම රෝල් වෙලා ඇවිත් නතර වෙන තැන ගාමිණී මහත්මයා දැක්කා. ඒ වෙලාවේ ගාමිණී මහත්මයා ඔලූවේ අත තියාගත්තා. මේ ගලේ ඔලූව වැදුණානම් මොකද වෙන්නේ..? මීට පස්සෙවත් යමක් කරනකොට හොඳට සොයලා බලන්න කියලා උපදෙස් දුන්නා. මට විතරක් නොවෙයි ෂූටින් ගියාම කාට කාටත් උපදෙස් දීම ගාමිණී මහත්මයා ළඟ තිබුණු හොඳ මානුෂ්‍ය ගුණ ධර්මයක් කියලා. මේ වෙලාවේදීත් ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා.

‘‘දීපාංජලී’’ චිත‍්‍රපටයේ ෂූටීන් තිබුණා වැව් බැඳි රාජ්‍යයේ. මගේ චරිතය රෙද්දයි හැට්ටයයි ඇදගත් ගැමි තරුණ කාන්තාවක්. කතාවේ හැටියට මට තිබුණේ වැව් බැම්ම දිගේ දුවගෙන එන්න.

ඉතින් මම චරිතයට ආරූඪ වෙලා එක පිම්මේ වැව් බැම්ම දිගේ දුවගෙන දුවගෙන ගියා. එක තැනක තිබුණා වැව පැත්තට බරවෙලා දුවන්න. මමත් ඉතින් කිසිම බයක් නැතිව කැමරාව ඉදිරියට දුවගෙන දුවගෙන ගිහින් නතර වුණා විතරයි ශිල්පි කණ්ඩායම වීණා නෝනා යම්තම් බේරුණා ඇති කිව්වා. ඊට පස්සේ ඒ අය මාව එක්කරගෙන ගිහින් වැවට බරවෙන්න ආපු ස්ථානය පෙන්නුවා. මගේ අම්මෝ එතැන තිබිලා තියෙන්නේ වැව් සොරොව්ව. වැරදිලාවත් රෙද්ද පැටලිලා වැටුනා නම් මං ඉවරයි. හොඳ වෙලාවට ගාමිණී මහත්මයා හිටියේ නැත්තේ. හිටියානම් බැණුම් කෝටියයි. ඊළඟට කියන්නම් ‘‘? මනමාලි’’ චිත‍්‍රපටයේ රූගත කිරීමකදී වෙච්ච සිද්ධීයක්.

මේ චිත‍්‍රපටයේ එක උද්වේගකර දර්ශනයක් තිබුණා මම රවීන්ද්‍ර රන්දෙණියට පිහියෙන් අනින දර්ශනයක්. වීණා ජයකොඩි කියන නිළිය පිහියක් අමෝරාගෙන වියරුවෙන් ඉදිරියට එන දර්ශනය කැමරාගත කරලා අවසන් වුණාම ටී බ්රේක් එකකට වැඩ නැවැත්තුවා.

ඊට පස්සේ මම ෂූටින් කරන ස්ථානයෙන් බැහැර වෙලා ටිකවේලාවක් ගත කළා. කැමරා රෙඩි කිව්වාම මම ආයෙත් සෙට් එකට ආවා විතරයි ගාමිණී මහත්තයා මට බැනගෙන බැනගෙන ගියා. නිළියක් හැසිරෙන්න ඕනෑ ඔහොම නොවෙයි. ඊළඟ සීන් එකට කැමරා රෙඩි කරන තුරු ඒ මූඞ් එකෙන්ම කැමරා ළඟ ඉන්න ඕනෑ. කැමරාව ළඟින් ගිහිල්ලා කවුරුහරි එක්ක අනම් මනම් කතා කර කර ඉන්න කොට මූඞ් එක නැතිවෙනවා. මෙන්න මේ විදියට ගාමිණී මහත්මයා මට බනින්න පටන් ගත්තාම මට ලැජ්ජා හිතිලා මම හොඳටම ඇඬුවා.

මම මෙහෙම අඬනකොට ගාමිණී මහත්මයා මම ළඟට ඇවිත් වීණා ඇඬුවට වැඩක් නැහැ කැමරාව රවට්ටන්න බැහැ කියලා හිතාගන්න කිව්වා. ගාමිණී මහත්මයා එහෙම කිව්වම මම හිත හදා ගත්තා. ඒත් ගාමිණී මහත්මයා මට දොස් කිව්ව නිසාම මගේ හිතට හොඳටම කේන්තියි. ඒ එක්කම පිහිය අතට ගත්තා. වීණා වියරු ගැහැණියක් වුණා. ඔන්න ඔය විදියට ඒ සීන් එක නියමෙට කරන්න මට පුළුවන් වුණා. කොච්චර හොඳට ඒ චරිතය කළාද කිව්වොත් ඒ අවුරුද්දේ හොඳම නිළියට පිදෙන සම්මානයත් මට දිනාගන්න පුළුවන් වුණා.

‘‘කෙළිමඬල’’ චිත‍්‍රපටයට සම්බන්ධ කතාවකින් මගේ මතක පොත තාවකාලිව හෝ නතර කරන්නම්.

මේ චිත‍්‍රපටයේ රූගත කිරීම්වලට අපි කණ්ඩායම ඈත පළාතකට ගිහින් ලොජ් එකක නතරවුණා. අපි කාන්තා පර්ශවය රාත‍්‍රියේ කෑම කාලා නිදාගන්න ගියා විතරයි අපි සහෝදරවරු කරුණාකරලා දොරවල් අරින්න කිව්වා.

සහෝදරවරුන්ගේ හැටි දන්න නිසා අපි ටක් ගාලා දොර ඇරියා. දෙන්නෙක් තුන්දෙනෙක් ඇතුලට ආවා. මේ චිත‍්‍රපටයේ වැඩවලට තුවක්කු අරගෙන ආවා කියලා අංරංචියි කියලා අපෙන් ප‍්‍රශ්න කළා. අපි කිව්වා තවම ගෙනාවේ නැහැ කියලා. ඒත් සහෝදරවරු අපේ කීම පිළිගත්තේ නැතුව මුළු ලොජ් එකම එහෙට මෙහෙට පෙරලලා බැලූවා. මොකුත්ම නැති නිසා සහෝදරවරු යන්න ගියා.

මේ සියල්ල සිදුවෙන වෙලාවේ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ ආචාර්ය ඞී.බී. නිහාල්සිංහ මහත්මයා යාබද කාමරයේ රාත‍්‍රි ආහාර ගනිමින් සිටියා. අපි සර්ගේ ළඟට ගියා. ඇයි සර් ඒ අයගෙන් මොකුත්ම ඇහුවේ නැත්තේ කියලා අපි ඇහුවා. ඒ අයට උවමනායි කිව්වේ ලොජ් එක පරීක්ෂා කරන්න. ඒ අය පරීක්ෂා කරලා යන්න ගියා. ඒ අය කලබල කළාට අපි මොකටද කලබල වෙන්නේ. සර් එහෙම කිව්වම අපිත් ඒක පාඩමකට ගත්තා.

ආචාර්ය ඞී.බී. නිහාල්සිංහ කියන්නේ ඒ විදියට කල්පනා කරන කිසිම දේකට කලබල නොවන ශ්‍රේෂ්ඨ බුද්ධිමත් කලාකරුවෙක්. ඒ බුද්ධිමතුන්ගෙන් අපි ඉගෙන ගත් දෑ බොහොමයි.

 

අමරදාස සිල්වා